Skip to content

පටුනට යන්න

බූරුවා නැතුවම බැරි සම්පතක්

බූරුවා නැතුවම බැරි සම්පතක්

බූරුවා නැතුවම බැරි සම්පතක්

ඉතියෝපියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඉතියෝපියාවේ අගනුවර වන ඇඩිස් අබාබාවල බැලූ බැලූ අත සිටින්නේ බූරුවන්. එහි සෑම මිනිසුන් 12දෙනෙකුටම එකෙක් බැගින් බූරුවන් මිලියන පහක් පමණ සිටිනවා. උන් පාරවල්වල ගමන් කරද්දී උන්ගේ පිටේ ලොකු බරක් පටවලා තිබෙන නිසාත්, පස්ස නොබලා යන නිසාත් මිනිසුන්ට විතරක් නෙවෙයි, වාහනවලට පවා සිදු වෙනවා උන්ට ඉඩ දෙන්න. සමහරවිට උන් ගෙනියන්නේ අඟුරු, වියළි ගොම වැන දේවල් නිසා අයින් වුණේ නැත්නම් පාඩුව යන එන අයටමයි!

ඉතියෝපියාවේ මිලියන ගණන් මිනිසුන් ජීවත් වෙන්නේ කඳුකර ප්‍රදේශවල හා ටිකක් ඈතින් ඈතට වෙන්නයි. ප්‍රදේශයේ පිහිටීම ගැන සලකා බලද්දී දැකගන්න තියෙන්නේ කඳුවලින් වට වුණු තැනිතලාවක්. මේ වගේ තැනක පාරවල් සහ පාලම් හදන්න අමාරුයි. ඒ වගේම වියදමත් සැරයි. ඒකට හොඳම විසඳුම තමයි බූරුවෝ.

බූරුවන්ට කඳු පල්ලම්, අඩිපාරවල්, ඇළවල්, මඩ වගුරු වැනි ඕනෑම තැනක යන එක පහසු දෙයක් වන අතර සීතල හෝ උෂ්ණ දේශගුණයකටත් ඔරොත්තු දෙන්න පුළුවන්. මෙහෙම බලද්දී මේ සතා අශ්වයන්ට හා ඔටුවන්ට වඩා මේ ප්‍රදේශයට ප්‍රයෝජනවත්. ඉතියෝපියාවේ බොහෝ අයගේ නිවෙස් තනා තිබෙන තැන්වලට වාහනයක්වත් ගන්න බැරි නිසා බඩු ප්‍රවාහණය කිරීම සඳහා ඉන්නේ බූරුවයි.

වාහනයක් සමඟ බලද්දී බූරුවාට ඕනෑම තැනකට රිංගන්න පුළුවන්. නඩත්තුව පහසුයි, වියදම අඩුයි. බර පටවන්නත් පුළුවන්. වාහන තදබදයට අහු වෙන්නෙත් නැහැ. පොලිසියෙන් දඩ ගහන්නෙත් නැහැ. ඕනෑම තැනක නවත්වලා තියෙන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම බූරුවෙක් ගන්න වැය වෙන්නෙත් ඩොලර් 50ක පමණ මුදලක්. (රුපියල් 5,000ක් පමණ) මෙම මුදල වාහනයක් ගන්න වැය වන මුදල සමඟ කොහෙත්ම සංසන්දනය කරන්න බැහැ.

බූරුවාගේ දින චර්යාව

බූරුවා වැඩ පටන්ගන්නේ උදේ පාන්දරින්මයි. බදාදා සහ සෙනසුරාදා දවස් උන් වැඩියෙන්ම කාර්ය බහුලව සිටින දවස්. ඒ දවස් දෙකේ පොළ තියෙන නිසා බූරුවෝ දහස් ගණනක් ඇඩිස් අබාබාවලට එනවා බඩු අරගෙන. සමහර සතුන් කිලෝමීටර් 25ක් විතර දුරක සිටයි එන්නේ. නමුත් උන්ට මේ ගමනට යන්නේ පැය තුනක පමණ කාලයක් විතරයි. හැබැයි අයිතිකාරයන්ට නම් සිදු වෙනවා උන් සමඟ දුවගෙන එන්න.

බූරුවෙක්ගේ පිටේ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 90ක පමණ බරක් පටවනවා. ඒවා නම් ධාන්‍ය, එළවුළු, දර, සිමෙන්ති කොට්ට, අඟුරු, තෙල්, බීම බෝතල් හෝ බැරල් විය හැකියි. උණ බම්බු වැනි දිග දේවල් ගෙනියන විට ඒවායේ එක් පැත්තක් සතාගේ පිටේ තියලා බඳිනවා. ඊට පස්සේ ඌ ඒක ඇදගෙන යනවා. පිදුරු ගෙනියන විට විශාල ප්‍රමාණයක් බූරුවාගේ පිටේ පටවන නිසා උන්ව පෙනෙන්නේ හරියට පිදුරු ගොඩක් ඇවිදිනවා වගෙයි.

පිටේ තියෙන බඩු ඉක්මනින් අයින් කරන්න ඕනෙ නිසා උන් පොළට යන්නේ හරි වේගයෙන්. නමුත් බඩු ටික බාලා නැවත ගෙදර එන විට එන්නේ වට පිට බල බල අලස ලීලාවකින්. පොළ නැති දවස්වලට වුණත් ගෙදරට වතුර හෝ දර ගෙන ඒම වගේ වැඩ තියෙනවා කරන්න. බූරුවන්ව කරත්තවලටත් බඳිනවා. සමහර අවස්ථාවලදී බූරුවන් සිටින ව්‍යාපාරිකයෝ උන්ව කුලියට පවා දෙනවා.

බූරුවා මෝඩයෙක් නෙවෙයි

මේ සතුන්ට හොඳ මතකයක් තියෙනවා. කිලෝමීටර් අටක් විතර දුර ගිහින් තනියම වුණත් වතුර අරන් එන්න පුළුවන්. කෙනෙකු අවශ්‍යය වෙන්නේ වතුර පටවන්න හා බාන්න විතරයි. සමහර උන්ගේ බෙල්ලේ සීනුවක් එල්ලලා තියෙන නිසා උන් එන බව දැනගෙන ගෙවල්වල සිටින අයට ඇවිත් බඩු ටික බාගන්න පුළුවන්. ඒ වගේම ඌ උගේ ස්වාමියාටත් හරිම ආදරෙයි. මේ සත්තු ඕන දෙයක් සොයාගෙන කන නිසා නඩත්තුව පහසුයි. එහෙම බලද්දී බූරුවා අශ්වයන්ටත් වඩා දක්ෂයි.

බූරුවෝ කම්මැලි නූණත් මුරණ්ඩු වන අවස්ථා තියෙනවා. ඕනෑවට වඩා බර පටවලා නම්, අපහසුවක් දැනෙනවා නම් උන් අඩියක්වත් හෙල්ලෙන්නෙ නැතුව බිම වාඩි වෙනවා. උගේ අපහසුතාව තේරුම් නොගන්න ස්වාමියා උන්ට ගහන්නේ හෝ බනින්නෙ මෙවැනි අවස්ථාවලදී තමයි. ඒ වගේ සිදුවීමක් බයිබලයේද සඳහන් වී තිබෙනවා.—ගණන් කතාව 22:20-31 නව ලොව පරිවර්තනය.

බූරුවන්ට වුණත් යම් සැලකිල්ලක් අවශ්‍යයි. ඒක උන්ට නොලැබීම කනගාටුදායකයි. උන්ගේ පිටේ හරියට බඩු පටවලා නැත්නම් සමබරව ඇවිදින්න බැරි නිසා වැටිලා කකුල් කැඩෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව මැක්කො, කිනිතුල්ලෝ වැනි පරපෝෂිතයන් ඉන්නත් පුළුවන්. නියුමෝනියාව සහ තුවාල හැදෙන්න පුළුවන්. මේවායින් මේ අහිංසක සතාට ගොඩක් දුක් විඳින්න සිදු වෙයි. මේ හේතු නිසා මෑතකදී උන් වෙනුවෙන්ම නවීන පහසුකම් සහිත රෝහලක් සාදා තිබෙනවා. එහි ගිලන් රථ පවා උන් සඳහා වෙන් කරලා. වර්ෂ 2002දී බූරුවන් 40,000කට පමණ මෙම රෝහලෙන් ප්‍රතිකාර ලැබුණා.

පුරාණයේදී ආබ්‍රහම් මොරියා කන්දට යද්දී බූරුවෙකුත් අරන් ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 22:3 නව ලොව පරිවර්තනය) ඉපැරණි ඊශ්‍රායෙල් ජාතියටත් බූරුවා නැතුවම බැරි සතෙක් වුණා. යේසුස් පවා යෙරුසලමට ඇතුල් වුණේ බූරුවෙකුගේ පිටේයි.—මතෙව් 21:1-9.

ඒ වගේම ඉතියෝපියාවේ ජනයාටත් ඉතිහාසයේ සිට අද දක්වාම බූරුවා නැතිවම බැරි සතෙක්. කාලයත් සමඟ නවීන පන්නයේ වාහන නිපදවනු ලැබුවත් බූරුවාගේ නම් කිසි වෙනසක් වෙලා නැහැ. එදාට වගේම අදටත් ඌ නැතුවම බැරි සම්පතක්!

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

‘The Donkey Sanctuary’, Sidmouth, Devon, UK