Skip to content

පටුනට යන්න

පෞද්ගලිකත්වය වෙනස් කරන්න ඔයා තවමත් බයිබලේට ඉඩ දෙනවද?

පෞද්ගලිකත්වය වෙනස් කරන්න ඔයා තවමත් බයිබලේට ඉඩ දෙනවද?

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.”—රෝම 12:2.

ගීතිකා: 61, 52

1-3. (අ) බව්තීස්මයෙන් පස්සේ අපිට අමාරු වෙන්න පුළුවන් මොන වගේ වෙනස්කම් කරගන්නද? (ආ) වෙනස්කම් කරගන්න අමාරු වෙද්දී අපිට ඇති වෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

කෙවින් අවුරුදු ගාණක් තිස්සේ සූදුවේ නියැලුණු, දුම් බීපු, පමණ ඉක්මවා මත්පැන් ගත්ත, මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක්. [1] ඒත් බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ එයාට ඕන වුණේ යෙහෝවා දෙවිට ළං වෙන්නයි. ඒක කරන්න නම් ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ කියලා එයා තේරුම්ගත්තා. දෙවිගේ උදව් ලැබුණු නිසාත් දේවවචනයේ තියෙන බලවත්කම නිසාත් ඒ නරක පුරුදු අත්හරින්න කෙවින්ට පුළුවන් වුණා.—හෙබ්‍රෙ. 4:12.

2 යේසුස්ව කිට්ටුවෙන් අනුගමනය කරන්න නම් බව්තීස්මයෙන් පස්සෙත් පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලා එයා තේරුම්ගත්තා. (එෆී. 4:31, 32) ඉක්මනින් කේන්ති යන එක එයාට තිබුණු දුර්වලකමක්. “කේන්තිය පාලනය කරගන්න ඉගෙනගන්න එක බව්තීස්ම වෙන්න කලින් කරපු නරක දේවල් අත්හරිනවට වඩා අමාරුයි” කියලා කෙවින් කියනවා. ඒත් උදව් ඉල්ලලා දෙවිට කන්නලව් කරපු නිසා, බයිබලේ හොඳින් අධ්‍යයනය කරපු නිසා එයාට පුළුවන් වුණා ඒකෙන් ගොඩ එන්න.

3 දෙවි කැමති විදිහට ජීවත් වෙන්න ආස වුණු නිසා බව්තීස්මයට කලින් අපෙන් වැඩිදෙනෙක් ජීවිතේ ලොකු වෙනස්කම් කරගත්තා. ඒත් ඒක එතනින් නතර වෙන්නේ නැහැ. දෙවිව සහ යේසුස්ව අනුකරණය කරන්න නම් අපි දිගටම ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනේ. ඒවා කලින් කරපු වෙනස්කම් තරම් කැපීපෙනෙන ඒවා නොවුණත් ඒ වෙනස්කම් කරගන්න එක වැදගත්. (එෆී. 5:1, 2; 1 පේතෘ. 2:21) උදාහරණෙකට හැම දෙයක්ම විවේචනය කරන එක, ඕපාදූප කියන එක අපි අතින් නිතරම වෙනවද? නැත්නම් මිනිසුන්ට තියෙන බය නිසා අපි බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරන්නේ නැද්ද? ඒවා හදාගන්න කාලයක් තිස්සේ උත්සාහ කළත් අපි අතින් තාමත් ඒ වැරදි වෙනවා ඇති. ඒ නිසා මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මේ දුර්වලකම් හදාගන්න මෙච්චර අමාරු ඇයි? මගේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරන්න බයිබලේට ඉඩදෙන්න පුළුවන් කොහොමද?’

දෙවිගේ හිත සතුටු කරන්න ඔයාට පුළුවන්

4. දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන්න හැම වෙලාවෙම අපිට බැරි ඇයි?

4 අපි අපේ දෙවිට හුඟක් ආදරෙයි. හැම වෙලාවෙම ඔහුව සතුටු කරන්නයි අපිට ඕනේ. ඒත් පාපය උරුම කරගත්ත අය විදිහට සමහර වෙලාවට ඒක කරන්න අපිට බැරි වෙනවා. ඒ වෙලාවට අපිට හැඟෙන්නෙත් මේ විදිහටමයි. “හොඳ දේ කිරීමට මා තුළ කැමැත්තක් ඇතත් එය කිරීමට හැකියාවක් මා තුළ නැත.”රෝම 7:18; යාකො. 3:2.

5. බව්තීස්මයට කලින් අපි කළේ මොන වගේ වෙනස්කම්ද? ඒත් තාමත් සටන් කරනවා ඇත්තේ මොන වගේ දුර්වලකම් එක්කද?

5 දෙවිගේ සෙනඟට එකතු වෙන්න තිබුණු ආසාව නිසා දෙවි පිළිකුල් කරන ක්‍රියා අපි අත්හැරියා. (1 කොරි. 6:9, 10) ඒත් අපි තාමත් පව්කාරයන්. (කොලො. 3:9, 10) බව්තීස්ම වෙලා කාලයක් ගියත් අපි අතින් තාමත් වැරදි වෙනවා. කාලෙන් කාලෙට වැරදි ආසාවන් අපි තුළ ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපි තුළ තියෙන දුර්වලකමක් පාලනය කරගන්න අමාරුයි කියලා අපිට තේරෙයි. සමහරවිට ඒ දුර්වලකම එක්ක අවුරුදු ගාණක් පොරබඳින්න සිද්ධ වෙයි.

6, 7. (අ) පව්කාරයන් වුණත් යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන් මොකක් නිසාද? (ආ) දෙවිගෙන් සමාව ඉල්ලන්න අපි අදිමදි කරන්න හොඳ නැත්තේ ඇයි?

6 උරුම වුණු පාපය නිසා අපි තුළ දුර්වලකම් තිබුණත් යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නත් ඔහුට සේවය කරන්නත් අපිට පුළුවන්. දෙවිගේ යාළුවෙක් වෙන්න ඔයාට ලැබුණු අවස්ථාව ගැන හිතන්න. ඔයා තුළ තිබුණු යහපත දැකලා ඔහුව දැන හඳුන ගන්න ඔයාට අවස්ථාව දුන්නේ යෙහෝවා දෙවියි. (යොහ. 6:44) ඔයා තුළ අඩුපාඩුකම් තියෙනවා කියලත් ඉස්සරහටත් ඔයා අතින් අඩුපාඩුකම් වෙනවා කියලත් දෙවි දැනගෙන හිටියා. ඒත් දෙවිට ඕනෙ වුණේ ඔයාව ඔහුගේ යාළුවෙක් කරගන්නයි.

7 යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියනවා නම් අපිව පාපයෙන් බේරගන්න අවශ්‍ය කරන ජීවිත පූජාව ඔප්පු කරන්න ඔහුගේ එකම පුතාව පොළොවට එව්වා. (යොහ. 3:16) අපි අතින් වරදක් වුණාම දෙවිගෙන් සමාව ඉල්ලන්න ඒ නිසා අපිට පුළුවන්. ජීවිත පූජාව නිසා දෙවි අපිට සමාව දෙනවා කියලා අපිට ස්ථිරයි. දෙවි එක්ක තියෙන යාළුකම ඒ නිසා අපිට දිගටම තියාගන්න පුළුවන්. (රෝම 7:24, 25; 1 යොහ. 2:1, 2) යේසුස් මිය ගියේ පසුතැවෙන පව්කාරයන් වෙනුවෙන්. ඒ නිසා ‘මං මහ පව්කාරයෙක්’ කියලා ඔයාට හැඟුණත් ජීවිත පූජාව පදනමක් හැටියට යොදාගෙන දෙවිගෙන් සමාව ඉල්ලන එක කවදාවත් නතර කරන්න එපා. එහෙම කළොත් ඒක හරියට අතේ කුණු තියාගෙනත් හෝදලා පිරිසිදු වෙන්න බැහැ කියනවා වගේ දෙයක්. පව්කාරයන් වුණත් දෙවිගේ යාළුවන් වෙන්න අපිට අවස්ථාව දුන්න එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද!—1 තිමෝති 1:15 කියවන්න.

8. අපේ දුර්වලකම් අපි සැහැල්ලුවට ගන්න හොඳ නැත්තේ ඇයි?

8 ඒත් අපි මතක තියාගන්න ඕනෙ අපි තුළ තියෙන දුර්වලකම් සැහැල්ලුවට ගන්න එක, ඒවාට නිදහසට කරුණු කියන එක දෙවි අනුමත කරන්නේ නැහැ කියලා. දෙවි තමන්ගේ යාළුවන් කරගන්න කැමති මොන වගේ අයවද කියලා බයිබලේ තියෙනවා. (ගීතා. 15:1-5) ඒ නිසා දෙවි එක්ක කිට්ටු බැඳීමක් හැමදාටම තියාගන්න ඕනෙ නම් දෙවිවත් යේසුස්වත් ආදර්ශයට ගන්න අපි දිගටම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම වැරදි ආසාවන් පාලනය කරගන්න, පුළුවන් නම් ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපි වෑයමක් දරන්න ඕනේ. බව්තීස්ම වෙලා කොච්චර කාලයක් ගත වෙලා තිබුණත් දිගටම අපේ පෞද්ගලිකත්වයේ දුර්වල පැති හදාගන්න එක අත්‍යවශ්‍යයි.—2 කොරි. 13:11.

9. අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න එක දිගටම කරන්න පුළුවන් දෙයක් කියලා දන්නේ කොහොමද?

9 පාවුල් මෙහෙම කිව්වා. “ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි. මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා ඔබ තව තවත් පිරිහීමට ලක් විය. එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි. එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆී. 4:22-24) ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ අපි දිගටම ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනේ. කාලයක් පුරා දෙවිට සේවය කරන අයට වුණත් දෙවිගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැන ඉගෙනගන්න තව හුඟක් දේවල් තියෙනවා. පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරගෙන තව තවත් දෙවි වගේ වෙන්න අපිට උදව් කරන්න බයිබලේට පුළුවන්.

වෙනස්කම් කරගන්න අමාරු ඇයි?

10. බයිබලේ උදව්වෙන් පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරගන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? මතු වෙන ප්‍රශ්න මොනවද?

10 අපි හැමෝටම ඕනෙ බයිබලේ කියන විදිහට ජීවත් වෙන්න. ඒත් දිගටම ජීවිතේ වෙනස්කම් කරගන්න නම් අපේ පැත්තෙන් ලොකු උත්සාහයක් ගන්න වෙයි. ඒ ඇයි? කිසිම වෑයමක් නැතුව ලේසියෙන්ම හරි දේ කරන්න අපිට හැකියාව දෙන්න දෙවිට බැරිද?

11-13. දුර්වලකම් ජය ගන්න අපි වෑයමක් දරයි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ ඇයි?

11 විශ්වය ගැන හිතද්දී ඕනෑම දෙයක් කරන්න බලය යෙහෝවා දෙවිට තියෙනවා කියලා අපිට ස්ථිරයි. දෙවි නිර්මාණය කරපු ඉර ගැන හිතන්න. හැම තත්පරයකදීම ඉරෙන් හිතාගන්න බැරි තරම් ආලෝකයක් සහ උෂ්ණත්වයක් පිට වෙනවා. ඒත් පොළොවේ ජීවය පවතින්න අවශ්‍ය කරන්නේ ඒකෙන් හරිම ටිකයි. (ගීතා. 74:16; යෙසා. 40:26) දෙවි ඔහුගේ සේවකයන්ටත් අවශ්‍ය වෙලාවලදී බලය දීලා ශක්තිමත් කරනවා. (යෙසා. 40:29) ඒවාවලින් තේරෙන්නේ අපේ දුර්වලකම් හරිම ලේසියෙන් පරාජය කරන්න හැකියාව දෙන්න, ඕනෙ නම් දෙවිට පුළුවන් කියලයි. ඒත් දෙවි ඒක කරන්නේ නැත්තේ ඇයි?

12 දෙවි අපිව නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. ඔහුට කීකරු වෙනවද නැද්ද කියන තීරණය ගන්නත් දෙවි අපිටම ඉඩ දීලා තියෙනවා. දෙවිට කීකරු වෙන්න තීරණය කරලා ඔහුගේ කැමැත්ත කරන්න ලොකු උත්සාහයක් ගද්දී ඒකෙන් පේන්නේ දෙවි ගැන අපිට තියෙන ආදරෙයි. ඔහුව සතුටු කරන්න අපිට තියෙන වුවමනාවයි. දෙවි හොඳ පාලකයෙක් නෙමෙයි කියලා සාතන් චෝදනා කළා. ඒත් දෙවිට කීකරු වෙන්න අපි තීරණය කරද්දී අපි පෙන්නන්නේ යෙහෝවා දෙවි අපේ පාලකයා වෙනවට අපි කැමතියි කියලා. ඔහුට කීකරු වෙන්න අපි දරන හැම වෑයමක්ම දෙවි අගය කරනවා කියලත් අපි දන්නවා. (යෝබ් 2:3-5; හිතෝ. 27:11) කොයි තරම් අමාරු වුණත් අපේ දුර්වලකම් පාලනය කරගන්න අපි වෑයම් කරද්දී අපි ළැදි දෙවිට කියලත් අපේ පාලකයා විදිහට අපි තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවිව කියලත් අපි ඔප්පු කරනවා.

13 දෙවිගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න “උපරිම උත්සාහයක්” දරන්න කියලා දෙවි අපිට කියනවා. (කොලො. 3:12; 2 පේතෘස් 1:5-7 කියවන්න.) අපේ සිතුවිලි, හැඟීම් පාලනය කරගන්නත් අපි ලොකු වෑයමක් දරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (රෝම 8:5; 12:9) වෑයමක් දරලා අපේ දුර්වලකමක් පරාජය කරද්දී අපිට ලොකු තෘප්තියක් දැනෙයි. මොකද අපේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරන්න අපි තවමත් බයිබලේට ඉඩ දීලා කියලා එතකොට අපිට තේරෙයි.

වෙනස්කම් කරන්න බයිබලේට ඉඩ දෙන්න

14, 15. දෙවි සතුටු වෙන ගුණාංග වර්ධනය කරගන්න අපි කරන්න ඕනෙ මොනවද? (“ බයිබලය සහ යාච්ඤාව නිසා එයාලගේ ජීවිත වෙනස් වුණා” යන කොටුව බලන්න.)

14 දෙවි සතුටු වෙන ගුණාංග අපේ පෞද්ගලිකත්වයට ඇතුළත් කරගන්න අපි කරන්න ඕනෙ මොනවද? වෙනස් කරගන්න ඕන පැති මොනවද කියලා අපිම තීරණය කරනවට වඩා අපිට මඟ පෙන්වන්න දෙවිට ඉඩ දෙන්න. රෝම 12:2 කියන්නේ මෙහෙමයි. “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” දෙවි බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න බයිබලය සහ ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උදව් කරනවා. දිනපතා බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතනවා නම් දෙවිට යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලනවා නම් දෙවි කැමති අපි මොන වගේ වෙනස්කම් කරනවටද කියලා දැනගන්න පුළුවන්. (ලූක් 11:13; ගලා. 5:22, 23) ඒ වගේම දෙවි හිතන විදිහට හිතන්න අපි පුහුණු වෙනවා. එතකොට අපි හිතන විදිහ, අපේ හැසිරීම, කතාබහ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන විදිහට සකස් කරගන්න අපිට පුළුවන්. අපේ දුර්වලකම් පාලනය කරගන්නත් අපි ඉගෙනගන්නවා. ඒ වුණත් දුර්වලකම් එක්ක අපි කරන සටන දිගටම කරන්න ඕනේ.—හිතෝ. 4:23.

ඔයාගේ දුර්වලකම් එක්ක සටන් කරන්න උදව් වෙන ලිපි, බයිබල් පද එකතු කරලා, ඒවා නිතරම කියවන්න (15 ඡේදය බලන්න)

15 දිනපතාම බයිබලේ කියවනවට අමතරව ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ වගේ ප්‍රකාශන යොදාගෙන බයිබලේ අධ්‍යයනය කරන එකත් අත්‍යවශ්‍යයි. ඒ සඟරාවල තියෙන හුඟක් ලිපිවලින් දෙවිගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න විදිහ, දුර්වලකම් එක්ක සටන් කරන විදිහ අපිට කියලා දෙනවා. ‘මේක නම් ලියලා තියෙන්නේ මටමයි’ කියලා හිතෙන ලිපි, බයිබල් පද හුඟක් වෙලාවලදී අපිට හම්බ වෙනවා. ඒවා එකතු කරලා තියාගෙන කාලෙන් කාලෙට ඒවා කියවන්න.

16. දුර්වලකම් හදාගන්න කාලයක් ගියත් අපි අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

16 දෙවි බලාපොරොත්තු වෙන විදිහට ඔයාගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න යම් කාලයක් යයි. ඒ නිසා හිතන තරම් ඉක්මනට දුර්වලකම් හදාගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. දිගටම වෑයම් කරන්න. බයිබලේ කියලා තියෙන විදිහට දේවල් කරන්න මුලින් ටිකක් අමාරු වෙයි. ඔයාට ඔයාවම පාලනය කරගන්න වෙයි. ඒත් දෙවි බලාපොරොත්තු වෙන විදිහට හිතන්න, වැඩ කරන්න අපි අපිව පුහුණු කරන තරමට දෙවි වගේ හිතන එක, වැඩ කරන එක අපිට ලේසි දෙයක් වෙනවා.—ගීතා. 37:31; හිතෝ. 23:12; ගලා. 5:16, 17.

අනාගත ආශීර්වාද ගැන හිතන්න

17. දෙවිට ළැදිව ඉන්න අයට ලැබෙන්නේ මොන වගේ අනාගතයක්ද?

17 පරිපූර්ණ අය විදිහට දෙවිට සේවය කරන්න ලැබෙන කාලය එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. එදාට අපිට දුර්වලකම් එක්ක සටන් කරන්න වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නත් හුඟක් ලේසි වෙයි. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා දැනුත් දෙවිට නමස්කාර කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි පව්කාරයන් වුණත් දෙවි බයිබලෙන් උගන්වන දේවලට අනුව අපේ පෞද්ගලිකත්වය දිගටම වෙනස් කරගන්න වෑයම් කරනවා නම් දෙවිව සතුටු කරන්න දැනුත් අපිට පුළුවන්.

18, 19. දිගටම අපේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් කරන්න බයිබලේට පුළුවන් කියලා නිසැක වෙන්නේ කොහොමද?

18 කේන්තිය පාලනය කරගන්න විදිහ ඉගෙනගන්න කෙවින් ලොකු උත්සාහයක් ගත්තා. බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතුවා. ඒවාට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්න ලොකු වෑයමක් දැරුවා. අනිත් අය දුන්න මඟ පෙන්වීම් පිළිගත්තා. වෙනස්කම් කරගන්න ටික කාලයක් ගියත් පස්සේ සහායක සේවකයෙක් විදිහටත් පහුගිය අවුරුදු 20 පුරාම වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කරන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඒත් එයාගේ දුර්වලකම් එක්ක කරන සටන දිගටම කරන්න ඕනෙ කියන දේ එයා අමතක කරලා නැහැ.

19 කෙවින් වගේ අපිත් දෙවි කැමති විදිහට අපේ පෞද්ගලිකත්වය දිගටම වෙනස් කරගමු. එතකොට අපිට පුළුවන් දෙවිට තව ළං වෙන්න. (ගීතා. 25:14) දෙවි සතුටු වෙන විදිහට පෞද්ගලිකත්වය වෙනස් කරගන්න අපි අපේ උපරිම කරද්දී ඒක සාර්ථක කරගන්න දෙවි අපිට උදව් කරනවා. බයිබලේ උදව්වෙන් අපේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් දිගටම කරගන්න අපිට පුළුවන් කියලා එතකොට අපිට ස්ථිර වෙයි.—ගීතා. 34:8.

^ [1] (1 ඡේදය) නම වෙනස් කර ඇත.