Skip to content

පටුනට යන්න

අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු

අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු

“වඩා දුර්වලයි කියා සැලකෙන අවයවවලින් පවා අත්‍යවශ්‍ය කාර්යයන් සිදු වේ.”1 කොරි. 12:22.

1, 2. මානසිකව වැටිලා ඉන්න අයගේ තත්වය තේරුම්ගන්න පාවුල්ට පුළුවන් වුණේ ඇයි?

‘අද නම් ඇඟට කිසි පණක් නෑ වගේ. මුකුත් කරන්න හිතෙන්නේ නෑ.’ ඔබටත් එහෙම හිතුණු දවස් ඇති. අසනීප වෙලා, දුර්වල වෙලා අපිට මාස ගාණක් ඉන්න වුණා කියලා හිතන්න. එතකොට අපි කැමති අනිත් අය අපේ තත්වය තේරුම් අරන් අපිට ආදරෙන් සලකනවට නේද?

2 පීඩා නිසා, සභාවේ අයගෙන් ආපු ප්‍රශ්න නිසා පාවුල්ටත් සමහර වෙලාවලදී තවත් නම් දරාගන්න බැහැ කියලා හිතුණා. ඔහු මානසිකව වැටුණා. (2 කොරි. 1:8; 7:5) ඒ නිසා ප්‍රශ්න ගැටලුවලට මැදි වෙලා, මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට හැඟෙන විදිහ ගැන පාවුල්ට හොඳ අවබෝධයක් තිබුණා. “යම් කෙනෙකු දුර්වල වී සිටින විට එය මගේ සිතටත් දැනේ” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (2 කොරි. 11:29) ක්‍රිස්තියානි සභාවේ අයව මිනිස් සිරුරක අවයවවලට සමාන කරපු වෙලාවේ පාවුල් කිව්වා “වඩා දුර්වලයි කියා සැලකෙන අවයවවලින් පවා අත්‍යවශ්‍ය කාර්යයන් සිදු වේ” කියලා. (1 කොරි. 12:22) ඒකෙන් අදහස් කළේ මොකක්ද? සභාවේ ශක්තිමත් නැහැ වගේ පේන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? ඒ අය දිහා දෙවි බලන විදිහට බලන්න අපිට පුළුවන් කොහොමද? එහෙම කරන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මිනිසුන් දිහා දෙවි බලන විදිහ

3. සමහර අය ගැන අඩුවෙන් හිතන්න අපි පෙලඹෙන්න පුළුවන් ඇයි?

3 හුඟදෙනෙක් උත්සාහ කරන්නේ දුර්වල අයව පාගලා ඉස්සරහට යන්නයි. ඒ අය හිතන්නේ සාර්ථක වෙන්න පුළුවන් තරුණ, ශක්තිමත් අයට විතරයි කියලා. පරෙස්සම් වුණේ නැත්නම් නිතරම වගේ අපේ උදව් ඕන කරන, අවබෝධයෙන් වැඩ කරන්නේ නැහැ වගේ පේන සහෝදර සහෝදරියන් ගැන අඩුවෙන් හිතන්න අපිත් පෙලඹෙන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව දෙවි හිතන විදිහට ඒ අය ගැන හිතන්න අපිට පුළුවන් කොහොමද?

4, 5. (අ) යෙහෝවා දෙවි අපි දිහා බලන විදිහ පාවුල් සිරුර ගැන කියපු උදාහරණයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) අනිත් අයට උදව් කරද්දී ඒකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

4 සභාවේ ඉන්න හැම කෙනෙක්ම යෙහෝවා දෙවිට හුඟක් වටිනවා. එච්චර වැදගත්කමක් නැහැ කියලා පේන්න තියෙන අවයව පවා සිරුරට අත්‍යවශ්‍යයි කියලා පාවුල් කිව්වේ ඒක තේරුම් කරන්නයි. (1 කොරින්ති 12:12, 18, 21-23 කියවන්න.) පරිණාමවාදය විශ්වාස කරන සමහරු කියන්නේ සමහර අවයව සිරුරට අවශ්‍ය නැහැ කියලයි. * උදාහරණයකට ඔවුන් කකුලේ තියෙන පුංචිම ඇඟිල්ල සිරුරට ඇත්තටම අවශ්‍යයද කියන එක ගැන ප්‍රශ්න කරනවා. ඒත් දැන් විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ අපිට සමබරව හිටගෙන ඉන්න ඒ පුංචි ඇඟිල්ල උදව් වෙනවා කියලයි.

5 සිරුරේ අවයව ගැන පාවුල් කියපු දෙයින් තේරෙන්නේ සභාවේ ඉන්න හැම කෙනෙක්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා කියන එක නේද? ඒත් සාතන්ට ඕනෙ අපෙන් වැඩක් නැහැ කියලා අපි හිතනවටයි. ඔහුට අහු වෙන්න එපා. (යෝබ් 4:18, 19) යෙහෝවා දෙවිට අපි හැම කෙනෙක්වම වටිනවා. අද්දැකීම් අඩු, ප්‍රශ්න නිසා මානසිකව වැටිලා ඉන්න, දෙවි එක්ක තියෙන මිත්‍රත්වය පලුදු කරගෙන ඉන්න කෙනෙක් වුණත් ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා තමන් වටින්නේ නැහැ කියලා කවුරුත් හිතන්න අවශ්‍ය නැහැ. අපි හැමෝගෙන්ම සභාවට අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. කෙනෙක් මහලු, දුර්වල කෙනෙකුට උදව් කරනවා. ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ මහලු කෙනා විතරද? නැහැ. උදව් කරපු කෙනාටත් ප්‍රයෝජන ලැබෙනවා. එයාට සතුටක් ලැබෙනවා. ඉවසන්න, අනිත් අයව තේරුම්ගන්න, ඒ අයට ආදරේ කරන්න, අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගන්නවා. ඒ විදිහට බලද්දී මානසිකව වැටිලා, දුර්වල වෙලා ඉන්න කෙනාගෙනුත් වැදගත් කාර්යයක් ඉටු වෙනවා. (එෆී. 4:15, 16) ඒ නිසා දෙවිට ඕනෙ සභාවේ ඉන්න හැම කෙනෙක්වම අපි වටින අය විදිහට සලකලා ඒ අයට උදව් කරනවටයි. අනිත් අයව වටින අය විදිහට සලකනවා නම් ඒ අයගෙන් අපි ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට සභාව හුඟක් ප්‍රේමණීය තැනක් වෙනවා.

6. පාවුල් “දුර්වල,” “පුළුල් අවබෝධයක් ඇති” කියන වචන පාවිච්චි කළේ මොන අදහසින්ද?

6 සභාවේ සමහර අය ගැන කියද්දී “දුර්වල” කියන වචනේ පාවුල් පාවිච්චි කළේ ක්‍රිස්තියානි නොවුණු අය සභාවේ අය දිහා ඒ විදිහට බලපු නිසයි. එහෙම නැතුව සභාවේ ඉන්න එක පිරිසක් අනිත් අයට වඩා පහත්, වටින්නේ නැහැ කියලා පෙන්නන්න නෙමෙයි. මොකද ‘චකිතයක්, බයක්’ දැනුණු අවස්ථාවලදී ඔහු තමාව හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන්නෙත් දුර්වල කියන අදහස තියෙන ග්‍රීක වචනයයි. (1 කොරි. 1:26, 27; 2:3) පාවුල් සමහරුන්ව “සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් ඇති” අය විදිහටත් හැඳින්නුවා. ඒ අය අනිත් අයට වඩා හොඳයි, උසස් කියලා ඒකෙන් අදහස් කළේ නැහැ. (රෝම 15:1) ඔහු අදහස් කළේ අද්දැකීම් තියෙන අය අද්දැකීම් අඩු අය එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ කියන එකයි.

හිතන විදිහ වෙනස් කරගමු

7. ප්‍රශ්න නිසා අසරණ වෙලා ඉන්න කෙනෙක්ට උදව් කරන එක අමාරුයි කියලා හිතෙන්න පුළුවන් ඇයි?

7 යෙහෝවා දෙවි අසරණ අයට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. අපිත් එහෙම කරද්දී දෙවි සතුටු වෙනවා. (ගීතා. 41:1; එෆී. 5:1) ඒත් ඒක හැම වෙලාවෙම ලේසි නැහැ. මොකද සමහර වෙලාවට සහෝදරයෙක් ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්නවා නම් ඒකට වගකියන්න ඕනෙ එයා නිසා ඒක විසඳගන්න ඕනෙත් එයාමයි කියලා අපිට හිතෙයි. එහෙම නැත්නම් ඒ වගේ කෙනෙකුට සහනයක් වෙන්න කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි වුණාමත් එයාට උදව් කරන්න ඉදිරිපත් නොවී ඉන්න අපිට හිතෙයි. ඒත් සින්තියා * කියන සහෝදරියගේ අද්දැකීම බලන්න. එයාගේ සැමියා එයාව අත්හැරලා ගියා. “ඒ වෙලාවේ සභාවේ අය මාව මඟහැරියා නම්, උදව්වට ආවේ නැත්නම් ඒක මට ලොකු දුකක් වෙන්න තිබුණා. අමාරු වෙලාවලදී සභාවේ අය ළඟින්ම ඉන්නවා නම් ඒක හුඟක් වටිනවා” කියලා සින්තියා කිව්වා. ඒක ඇත්ත. අසීරු වෙලාවකදී යාළුවෝ දාවිත් ළඟින් හිටියේ නැති නිසා දාවිත්ට ලොකු දුකක් දැනුණා.ගීතා. 31:12.

8. අසරණ වෙලා ඉන්න සහෝදරයන්ව තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

8 හුඟක් අය දුක් විඳින්නේ, අසරණ වෙලා ඉන්නේ මොන හේතු නිසාද කියලා අපි තේරුම්ගත්තොත් ඒ අයට උදව් කරන්න අපිට ලේසියි. හුඟක් අයට එහෙම වෙලා තියෙන්නේ අසනීප, මානසික පීඩනය, පවුලේ අය දෙවිට නමස්කාර කරන්නේ නැති එක වගේ හේතු නිසා. අපිටත් ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණොත් අපි කැමති අනිත් අය අපිව තේරුම් අරන්, අපිට ආදරෙන් සලකනවට නේද? ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේදී හුඟක් දුක් වින්දා. ඔවුන් ඒක අමතක කරනවට දෙවි කැමති වුණේ නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ට කිව්වා පොරොන්දු දේශයට ගියාට පස්සේ ඔවුන්ගේ සහෝදරයන් දුප්පත්, අසරණ තත්වයට පත් වුණොත් ඒ අයට උදව් කරන්න කියලා.ලෙවී. 25:35-38; ද්වි. 15:7, 11.

9. ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්න කෙනෙක්ට අවශ්‍ය කරන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.

9 කෙනෙක් යම් ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී එහෙම වුණේ ඒ කෙනාගේම වරදින් කියලා දොස් කියන්න අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඒ කෙනාට වඩා අපි හොඳයි කියලා හිතන්නත් හොඳ නැහැ. ඒ වෙනුවට අපි එයාට උදව් කරන්න ඕනේ. (යෝබ් 33:6, 7; මතෙ. 7:1) කෙනෙක් අනතුරකට ලක් වෙලා රෝහලකට ගෙනියනවා කියලා හිතන්න. එතන ඉන්න වෛද්‍යවරුන්, හෙදියන් ලෙඩාට ප්‍රතිකාර කරන්නේ නැතුව අනතුරට වගකියන්න ඕනෙ කවුද කියලා හොයහොයා කාලේ නාස්ති කරයිද? නැහැ. ලෙඩාට ඉක්මනින්ම ප්‍රතිකාර කරනවා. අපි කරන්න ඕනෙත් ඒකමයි. මුහුණ දීලා ඉන්න ප්‍රශ්නෙන් ගොඩ ඇවිත් දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපේ සහෝදරයාට අපි ඉක්මනින්ම උදව් කරන්න ඕනේ.1 තෙසලෝනික 5:14 කියවන්න.

10. අවබෝධයෙන් වැඩ කරන්නේ නැහැ කියලා පේන අය වුණත් විශ්වාසය අතින් ධනවත් කියලා කියන්න පුළුවන් ඇයි?

10 බැලූ බැල්මට සභාවේ සමහර අය අවබෝධයෙන් වැඩ කරන්නේ නැහැ වගේ අපිට පේන්න පුළුවන්. ඒත් හොඳට හොයලා බැලුවොත් ඒක එහෙම නෙමෙයි. දෙවිට සේවය කරන්නේ නැති සැමියෙක් ඉන්න සහෝදරියකට මොන තරම් ප්‍රශ්න තියෙනවද! තාත්තා කෙනෙක් නැතුව, දරුවෝ ඇතිදැඩි කරන්න මහන්සි වෙන අතරේ දිගටම රැස්වීම් එන අම්මා කෙනෙක් ගැන හිතන්න. දෙවිගේ ප්‍රතිපත්ති කඩන්න කියලා පාසැලේ අයගෙන් එන පීඩනවලට හැමදාම මුහුණ දෙන යෞවනයෙක් ගැන හිතන්න. මොන තරම් පීඩනයක් තිබුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඒ අය දෙවිට ආදරේ කරන නිසා නේද? සභාවේ අය ගැන අපි ඒ විදිහට හිතනවා නම් අවබෝධයෙන් වැඩ කරන්නේ නැහැ කියලා පේන අයව වුණත් විශ්වාසය අතින් ධනවත් අය විදිහට දකින්න අපිට පුළුවන්.යාකො. 2:5.

යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න

11, 12. (අ) සහෝදරයන් අතින් වැරදි, අඩුපාඩු වෙද්දී දෙවි ඒ අය දිහා බලන විදිහට බලන්න අපිට උදව් වෙන්නේ මොනවද? (ආ) දෙවි ආරොන්ට සමාව දුන්නේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 අනිත් අයගේ අතින් වැරදි, අඩුපාඩු වුණත් ඒ අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලන්න බයිබලේ තියෙන වාර්තා අපිට උදව් වෙනවා. (ගීතාවලිය 130:3 කියවන්න.) උදාහරණයකට ආරොන් ගැන හිතන්න. රන් වස්සෙක් හදපු එක ගැන ආරොන් මෝසෙස්ට නිදහසට කරුණු කියද්දී ඔබත් එතන හිටියා නම් ඔබට ආරොන් ගැන මොනවා හිතෙයිද? (නික්. 32:21-24) වෙනත් ජාතියක ස්ත්‍රියක්ව විවාහ කරගත්ත එක ගැන මිරියම් කියපු දේවල් අහලා ආරොන් මෝසෙස්ට දොස් කියද්දී ඔබ හිටියා නම් ඔබට මොනවා හිතෙයිද? (ගණන්. 12:1, 2) දෙවි සෙනඟට පර්වතයකින් වතුර දුන්න වෙලාවේ මෝසෙස් සහ ආරොන් ඒ ගෞරවය දෙවිට නොදී තමන්ට ගත්ත එක ගැන ඔබට මොනවා හිතෙයිද?ගණන්. 20:10-13.

12 ආරොන් කරපු ඒ වගේ වැරදිවලට යෙහෝවා දෙවිට ඕනෙ නම් ඒ වෙලාවෙම දඬුවම් කරන්න තිබුණා. ඒත් අඩුපාඩු සිද්ධ වුණත් ආරොන් නරක කෙනෙක් නෙමෙයි කියලා දෙවි දැනගෙන හිටියා. ඔහු අතින් වැරදි වුණේ ඔහුට මුහුණ දෙන්න වුණු පීඩනය නිසයි. නැත්නම් නරක අය කියන දේ අහලා වැඩ කරපු නිසයි. ඒත් ඔහු වැරදි පිළි අරන් පසුතැවුණා. දෙවිගේ උපදෙස්වලට කීකරු වුණා. ඒ ඔහු දෙවිට ආදරේ කරපු නිසයි. (නික්. 32:26; ගණන්. 12:11; 20:23-27) ඒ නිසා දෙවි ඔහුට සමාව දුන්නා. අවුරුදු ගාණක් ගත වුණාට පස්සෙත් ආරොන්ව සහ ඔහුගේ පවුලේ අයව යෙහෝවා දෙවිට ගරුබිය දක්වපු අය විදිහට හැඳින්නුවේ ඒ නිසයි.ගීතා. 115:10-12; 135:19, 20.

13. අපි හිතන විදිහ වෙනස් කරගන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

13 ආරොන්ගේ අතින් වුණා වගේ අපේ සහෝදරයන්ගේ අතිනුත් අඩුපාඩු වෙනවා. ඒ අය දිහා අපි බලන්න ඕනෙ කොහොමද? (1 සාමු. 16:7) අපි හිතමු සභාවෙන් දෙන මඟ පෙන්වීම් ඒ තරම් බැරෑරුම්ව සලකන්නේ නැතුව වැඩ කරන යෞවනයෙක් ඉන්නවා කියලා. සමහරවිට එයා විනෝදයට කරන්න තෝරගන්න දේවල් ගැන එච්චර සැලකිලිමත් නැතුව ඇති. ඒත් එයා නරක කෙනෙක් කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. එයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. හොඳ තීරණ ගන්න එයාට උදව් කරන්න. එහෙම කරද්දී ඉවසීමෙන් වැඩ කරන්න ඔබත් ඉගෙනගන්නවා. ඒ අය ගැන ඔබේ හිතේ තියෙන ආදරයත් තව වැඩි වෙයි.

14, 15. (අ) බයෙන් පලා ගිය එලියා දිහා දෙවි බැලුවේ කොහොමද? (ආ) දෙවි එලියාට උදව් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 මානසිකව වැටිලා, කනස්සල්ලෙන් ඉන්න අය දිහා දෙවි බලන විදිහ එලියා ගැන සිද්ධියකින් අපිට තේරුම්ගන්න පුළුවන්. එලියා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරපු කෙනෙක්. බාල්ගේ අනාගතවක්තෘවරුන් 450දෙනෙකුට බය නැතුව මුහුණ දුන්න කෙනෙක්. ඒත් යෙසබෙල් රැජිණ ඔහුව මරණවා කියලා තර්ජනය කළාම ඔහු බය වෙලා කිලෝමීටර් 150ක් දුර තියෙන බෙයර්-ෂෙබාවලට පලා ගියා. එතැනින් පාළුකරයටත් ගියා. වෙහෙසට පත් වෙලා මානසිකව වැටිලා හිටිපු එලියා, ‘මං මැරුණා නම් මීට වඩා හොඳයි’ කියලා කිව්වා.1 රාජා. 18:19; 19:1-4.

එලියා ඉන්නේ කොච්චර බයෙන්ද කියලා දැකලා එයාව ශක්තිමත් කරන්න යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එව්වා (14 සහ 15 ඡේද බලන්න)

15 ඒ වෙලාවේ යෙහෝවා දෙවි මොනවද කළේ? බයේ පලා ගිය කෙනෙක් මට එපා කියලා අත්හැරලා දැම්මද? නැහැ. ඒ වෙනුවට එලියාට උදව් කරන්න දෙවි දේවදූතයෙක්ව එව්වා. ඒ දේවදූතයා එලියාට දෙපාරක්ම කෑම දීලා ඔහුව ශක්තිමත් කළා. ඔහුගේ ගමනට ඒක ලොකු උදව්වක් වුණා. (1 රාජාවලිය 19:5-8 කියවන්න.) උපදෙස්, මඟ පෙන්වීම් දෙන්න ඉස්සෙල්ලා දෙවි එලියාට ඇහුම්කන් දීලා ඔහුට ඕන කරන උදව් දුන්නා.

16, 17. යෙහෝවා දෙවිව ආදර්ශයට අරන් සභාවේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවි එලියාට උදව් කළා වගේ අපේ සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? මේ විදිහට කරන්න, අර විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න ඉක්මන් වෙන්න එපා. (හිතෝ. 18:13) මානසිකව වැටිලා ඉන්න, තමන් වටින්නේ නැහැ කියලා හිතන් ඉන්න කෙනෙකුට ඕන කරන්නේ හිතේ තියෙන දේ කාට හරි කියන්නයි. එයාට ඇහුම්කන් දෙන්න. එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න. (1 කොරි. 12:23) එතකොට එයාට අවශ්‍ය මොනවද කියලා තේරුම් අරන් උදව් කරන්න ඔබට පුළුවන්.

17 සැමියා දාලා ගියාට පස්සේ සින්තියාට හිතුණේ දුවලා දෙන්නා එක්ක එයා තනි වුණා කියලයි. සභාවේ අය මොනවද කළේ? සින්තියා මෙහෙම කියනවා. “සිද්ධිය වෙලා විනාඩි 45ක්වත් යන්න කලින් හුඟක් අය අපේ ගෙදර ආවා. ඒගොල්ලොත් අපිත් එක්ක අඬලා දුක බෙදාගත්තා. දවස් දෙක තුනක් යනකම් අපිව තනි කළේ නැහැ. අපි ළඟින්ම හිටියා.” සින්තියාත් දුවලා දෙන්නත් හිටියේ ගොඩක් දුකෙන්. මානසිකව වැටිලා. සභාවේ අය ඒ තුන්දෙනාව ඒගොල්ලන්ගේ ගෙවල්වල තියාගෙන, කන්න බොන්න දීලා ඒ අයව ආදරෙන් බලාගත්තා. ඇත්තටම ඒ අය අදාළ කරගත්තේ බයිබලේ තියෙන මේ උපදෙසයි. “සහෝදරයෙකුට හෝ සහෝදරියකට හෝ ප්‍රමාණවත් ඇඳුම් හා එදා වේල පිරිමසාගැනීමට කෑම වේලක්වත් නැතුව සිටින විට, ඔහුට හෝ ඇයට අවශ්‍ය දේ ලබා නොදී, ‘හොඳින් ඇඳ පැළඳ කා බී සතුටින් සිටින්න’ කියා ඔබ අතරේ සිටින කෙනෙක් පැවසුවොත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ අනුව විශ්වාසය සමඟ ක්‍රියා දක්නට නොලැබේ නම් ඒ විශ්වාසය මිය ගිය එකක් බව පැවසිය හැක.” (යාකො. 2:15-17) සින්තියාටත් දුවලා දෙන්නාටත් ඒ වෙලාවේ ඕනම කරපු උදව් සභාවේ අයගෙන් ලැබුණා. ප්‍රතිඵලය? මාස හයක් ගත වෙද්දී සහායක පුරෝගාමි සේවය කරන්න තරම් ඒ අම්මායි දුවලා දෙන්නායි ශක්තිමත් වෙලා හිටියා.2 කොරි. 12:10.

ප්‍රයෝජන රැසක්

18, 19. (අ) උපකාර අවශ්‍ය අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) අපි එහෙම කරද්දී ප්‍රයෝජන ලබන්නේ කවුද?

18 කාලයක් තිස්සේ අසනීප වෙලා හිටපු කෙනෙක්ට ආපහු සාමාන්‍ය විදිහට වැඩ කරන්න කාලයක් යනවා. සහෝදරයෙක් අතින් වරදක් වුණොත්, අසීරු තත්වයකට මුහුණ දීලා ඉන්නවා නම් ආයෙත් සාමාන්‍ය තත්වයට එන්න කාලයක් යනවා. ඇත්ත, එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න බයිබලේ කියවන එක, යාච්ඤා කරන එක, රැස්වීම්වලට යන එක එයා කරන්න ඕනේ. ඒත් ඊට අමතරව එයාට අපේ උදව්වත් ඕනේ. එයාගේ තත්වය තේරුම් අරන් එයාත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. අපේ ආදරේ පෙන්නන්න ඕනේ. සභාවට එයා වටිනවා කියලා දැනෙන්න සලස්වන්නත් ඕනේ.2 කොරි. 8:8.

19 එහෙම කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉවසන්න, දයාව පෙන්නන්න පුරුදු වෙනවා. හැමෝම එහෙම කරද්දී මුළු සභාවම ආදරය පිරුණු තැනක් වෙනවා. වැදගත්ම දේ ‘උපකාර අවශ්‍ය අයට වෙහෙස මහන්සිය නොබලා උපකාර කරද්දී’ යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න අපි කැමතියි කියලා ඒකෙන් ඔප්පු වෙනවා. ඇත්තටම අපේ ආදරණීය දෙවිට අපි හැමෝම හුඟක් වටිනවා.ක්‍රියා 20:35.

^ 4 ඡේ. චාල්ස් ඩාවින් ලියපු පොතක මිනිස් සිරුරේ තියෙන හුඟක් අවයවවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා සඳහන් වෙනවා. (The Descent of Man) උණ්ඩුකපුච්ඡය, තයිමසය වගේ සිරුරට ප්‍රයෝජනයක් නැති අවයව හුඟක් තියෙනවා කියලා තවත් පරිණාමවාදියෙක් කිව්වා.

^ 7 ඡේ. නම වෙනස් කර ඇත.