1 රාජාවලිය 18:1-46

18  බොහෝ කලක් ගත වූ පසු+ එනම්, තුන්වන අවුරුද්දේදී යෙහෝවා දෙවි එලියාට මෙසේ කීවේය. “නැවතත් වැසි වස්සන්න මම තීරණය කළෙමි.+ ඊට කලින් ඔබ ගොස් ආහබ්ව හමු විය යුතුයි.”  එවිට එලියා ආහබ් රජුව හමු වීමට පිටත්ව ගියේය. සමාරියේ සාගතය දරුණු අතට හැරී තිබුණේය.+  ඒ අතරතුර ආහබ් රජ, රජමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි+ ඔබදියාව කැඳෙව්වේය. (ඔබදියා, යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගරුබියක් දැක්වූ+ කෙනෙකි.  යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+  ඔබදියා පැමිණි විට ආහබ් රජ ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකටම ගොස් තවමත් වතුර තිබෙන දිය උල්පත් සහ ඇළදොළවල් සොයන්න. ඒ අවටින් තණකොළ+ සොයාගෙන අපේ අශ්වයන්ටයි කොටළුවන්ටයි කන්න දෙන්න පුළුවන් වෙයි. එහෙම කරලා හරි ඉතුරු වෙලා ඉන්න අපේ සතුන් ටික අපි බේරගමු.”+  ඉන්පසු ඔවුහු තනි තනිව තණකොළ තිබෙන ස්ථාන සොයා යෑමට තීරණය කළෝය. ආහබ් රජ දේශයේ එක් පැත්තකටද ඔබදියා අනික් පැත්තටද ගියෝය.+  ඔබදියා යන අතරේදී ඔහුට එලියාව මුණගැසුණේය.+ ඔබදියා ඔහුව දුටු විගස ඔහුව හඳුනාගෙන ඔහු ඉදිරියේ දණින් වැටී හිස නමා+ මෙසේ කීවේය. “මගේ ස්වාමීනි,+ ඔබ ඇත්තටම එලියාද?”  එවිට එලියා ඔහුට මෙසේ කීවේය. “ඔව්, මම එලියා. දැන් ගිහින් ඔබේ ස්වාමියාට+ කියන්න ඔබට මාව මුණගැසුණා කියලා.”  නමුත් ඔහු මෙසේ පැවසුවේය. “මම මොන වරදක් කළාටද+ ඔබ මට ඒ වගේ දෙයක් කරන්න කියන්නේ? මම ආහබ් රජු ළඟට ගිහින් එහෙම කිව්වොත් ඔහු මාව මරලා දායි. 10  ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිවුරලා කියන්නම්,+ මම මේ කියන්නේ ඇත්ත. මගේ ස්වාමියා ඔබව සොයන්න සෑම තැනකටම ඔහුගේ සේවකයන්ව යැව්වා. එක රටක්වත් රාජධානියක්වත් අත් නෑර ඔහු ඔබව සෙව්වා. ඒ දේශයන්වල මිනිසුන් ඔබ නැහැ කියලා පැවසුවත් තමන් කියන්නේ ඇත්තක් බව සහතික කරන්න ඒ අයට දිවුරන්න සිදු වුණා.+ 11  ඒත් දැන් ඔබ මට කියනවා මගේ ස්වාමියා ළඟට ගිහින් ඔබව මුණගැසුණු බව කියන්න කියලා. 12  මම මෙතැනින් ගිය විගස යෙහෝවා දෙවි ඔහුගේ බලයෙන්+ ඔබව වෙන තැනකට ගෙන යයි. මම ගිහින් ආහබ් රජුට ඔබ ගැන කිව්වාම ඔහු ඔබව සොයාගෙන එයි. ඔහුට ඔබව සොයාගන්න බැරි වුණාම ඔහු මාව මරලා දායි.+ ඔබේ සේවකයා වන මම කුඩා කාලයේ සිටම යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් ජීවත් වුණා.+ 13  යෙසබෙල් රැජින යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරන්න පටන්ගත් අවස්ථාවේදී මම කළ දේ මගේ ස්වාමීන්ට ආරංචි වුණේ නැද්ද? මම යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් සියදෙනෙකුව ගුහා දෙකක පනස්දෙනා බැගින් සඟවා,+ ඔවුන්ට අවශ්‍ය කෑම සහ වතුර ගිහින් දුන්නා.+ 14  දැන් ඔබ කියන විදිහට මම ඔහු ළඟට ගිහින්, ‘මට එලියාව මුණගැසුණා’ කියලා කිව්වොත් මට අනිවාර්යයෙන්ම මැරුම් කන්න වෙයි.”+ 15  නමුත් එලියා මෙසේ කීවේය. “අද මම කොහොමහරි ආහබ්ව මුණගැසෙන බව මම සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපතිද+ ජීවමාන දෙවිද+ වන යෙහෝවාගේ නමින් දිවුරලා ඔබට කියනවා.” 16  එවිට ඔබදියා ගොස් ආහබ් රජුව හමු වී ඔහුට එලියා පැවසූ දේ කීවේය. එය ඇසූ ආහබ් රජ එලියාව හමු වීමට ගියේය. 17  ආහබ් රජ එලියාව හමු වූ වහාම, “ඇත්තටම ඔබ එලියාද? ඊශ්‍රායෙල් දේශයට මේ හැම විපතක්ම ගෙනාවේ නුඹයි”+ කියා කීවේය. 18  නමුත් එලියා, “ඊශ්‍රායෙල් දේශයට පැමිණි මේ කරදරවලට වග කියන්න ඕනේ ඔබයි ඔබේ පවුලේ අයයි+ මිස මම නෙවෙයි.+ ඔබයි යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වී+ බාල් දෙවිවරුන්ට සේවය කරන්නේ.+ 19  හොඳයි! මේ ප්‍රශ්නය විසඳගන්න සියලු ඊශ්‍රායෙල්වරුන්ව කර්මෙල් කන්දට+ රැස් කරන්න. යෙසබෙල්ගේ+ මේසයේ ඉඳගෙන කෑම කන බාල්ගේ අනාගතවක්තෘවරුන්+ හාරසිය පනස්දෙනාටත් කුලුනට+ නමස්කාර කරන අනාගතවක්තෘවරුන් හාරසියදෙනාටත් එතැනට එන්න කියන්න.” 20  ආහබ් රජද ඔහුගේ ඉල්ලීමට අනුව සියලු ඊශ්‍රායෙල්වරුන්ට කර්මෙල් කන්දට රැස් වන්න+ කියා පණිවිඩයක් යැව්වේය. ඔහු අනාගතවක්තෘවරුන්වද එතැනට රැස් කළේය. 21  එවිට එලියා එතැනට පැමිණ එහි රැස්ව සිටි සෙනඟට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?+ යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න.+ නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.” සෙනඟ කිසිවක් නොකියා සිටියෝය. 22  තවදුරටත් එලියා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් ඉතුරු වී සිටින්නේ මා පමණයි.+ නමුත් බාල්ගේ අනාගතවක්තෘවරුන් හාරසිය පනස්දෙනෙක් ඉන්නවා. 23  දැන් මේ දේ කරන්න. වස්සන් දෙන්නෙක්ව ගෙනැවිත් ඒ අනාගතවක්තෘවරුන්ට කැමති වස්සෙකුව තෝරගන්න ඉඩ දෙන්න. ඔවුන් ඌව කෑලිවලට කපා දර මත තැබිය යුතුයි. නමුත් ඊට ගිනි නොතැබිය යුතුයි. මම අනික් වස්සාවත් එලෙස කෑලිවලට කපා දර මත තබන්නම්. මමත් ඊට ගිනි අවුළන්නේ නැහැ. 24  ඒ පූජාව දවන්න කියා ඔබේ දෙවිගෙන් ඔබ ඉල්ලන්න.+ මම යෙහෝවා දෙවිගෙන් මම ඔප්පු කරන පූජාව දවන්න කියා ඉල්ලන්නම්. ගින්නක් එවා වස්සාව දවා දමන දෙවි+ තමයි සැබෑ දෙවි.”+ ඔහුගේ කීම ඇසූ සෙනඟ, “ඊට අපි එකඟයි” කියා කීවෝය. 25  ඉන්පසු එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට මෙසේ කීවේය. “වැඩිදෙනෙක් ඉන්නේ ඔබේ පැත්තේ. ඒ නිසා පළමුවෙන් ඔබ කැමති වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරන්න. නමුත් ඊට ගිනි අවුළන්න එපා. එය දවන්න කියා ඔබේ දෙවිගෙන් ඉල්ලන්න.” 26  ඔවුහුද වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරගත්තෝය. ඉන්පසු ඔවුහු උදේ පටන් දහවල් වන තෙක්ම, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියමින් බාල්ට හඬගැසුවෝය. නමුත් ඔවුන්ට කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ එහෙත් ඔවුහු දිගටම තමුන් සාදාගත් පූජාසනය වටා නටනටා ඇවිද්දෝය. 27  දහවල් වූ විට එලියා ඔවුන්ට සමච්චල් කරමින්,+ “තව හයියෙන් කෑගහන්න. ඔහු දෙවි කෙනෙක්නේ.+ සමහරවිට ඔහු වැදගත් දේකට යන්න ඇති. නැත්නම් ඔහු වැසිකිළියට ගිහින් ඇති.+ එහෙමත් නැත්නම් ඔහු නිදි ඇති. ඔහුව කූද්දන්න!”+ 28  එය ඇසූ විට ඔවුහු හැකි තරම් ශබ්ද නඟා කෑගසමින් තමන්ගේ සිරිතට අනුව ලේ වැගිරෙන තෙක්ම කිනිසිවලින් හා පිහිවලින් තමන්ගේ ශරීර කපාගත්තෝය.+ 29  දහවල් වූ පසුත් කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැත. ධාන්‍ය පූජාව ඔප්පු කරන වේලාව තෙක්ම එම අනාගතවක්තෘවරු වියරුවෙන් මෙන්* හැසිරුණෝය.+ ඒත් කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැත. ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙක් පැමිණියේද නැත.+ 30  අන්තිමේදී එලියා සෙනඟට මෙසේ කීවේය. “දැන් මා ළඟට එන්න.” සෙනඟ ඔහු ළඟට පැමිණි විට කඩා දමා තිබූ යෙහෝවා දෙවිගේ පූජාසනය+ ඔහු නැවත සකස් කළේය. 31  ඉන්පසු එලියා, යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවත ආ ගෝත්‍ර නියෝජනය කිරීමට ගල් දොළොසක් ගත්තේය. (“මින්පසු ඔබේ නම ඊශ්‍රායෙල්”+ කියා යෙහෝවා දෙවි එම ගෝත්‍රවලට කියා තිබිණ.)+ 32  ඒ ගල්වලින් ඔහු යෙහෝවා දෙවි වෙනුවෙන්+ පූජාසනයක් ගොඩනැඟුවේය.+ තවද ඔහු ඒ පූජාසනය වටා අගලක් කැපුවේය. ඒ අගල, ධාන්‍ය සෙයා මිනුම්* දෙකක් පැළ කළ හැකි බිම් කොටසකට සමාන විය. 33  ඉන්පසු දර ටික+ පිළිවෙළට තැබූ ඔහු, වස්සාව කොටස්වලට කපා දර මත ඒ කොටස් තැබුවේය. ඉන්පසු, “විශාල භාජන හතරකට වතුර පුරවාගෙන ඇවිත් දවන්න යන මේ පූජාව මතටත් දර මතටත් වත් කරන්න” යයි ඔහු කීවේය. 34  ඔවුන් එසේ කළ පසු, “නැවතත් වතුර වත් කරන්න” කියා ඔහු කීවේය. ඔවුහු නැවත එසේ කළෝය. ඔහුද, “තුන්වන වතාවටත් වතුර වත් කරන්න” යයි කීවේය. එබැවින් ඔවුහු තුන්වන වතාවටත් එසේ කළෝය. 35  එවිට පූජාසනය වටා වතුර ගලා ගියේය. අගලද ඔහු වතුරෙන් පිරෙව්වේය. 36  ධාන්‍ය පූජාව ඔප්පු කරන වේලාවේදී+ පමණ අනාගතවක්තෘ එලියා යාච්ඤා කර මෙසේ කීවේය. “ආබ්‍රහම්ගේද+ ඊසාක්ගේද+ ඊශ්‍රායෙල්ගේද+ දෙවි වන යෙහෝවා, මුළු ඊශ්‍රායෙල්හිම දෙවි ඔබ බව අද සියලුදෙනාටම පැහැදිලිව පෙන්වන්න.+ මා ඔබේ සේවකයා බවත් මා කරන කියන සියල්ල සිදු වෙන්නේ ඔබේ වචනයට අනුව බවත් ඔවුන්ට දැනගන්න සලස්වන්න.+ 37  අනේ යෙහෝවා දෙවියනි, මට පිළිතුරු දෙන්න. ඔබ සැබෑ දෙවි වන යෙහෝවා බවත්+ ඔබ නැවත ඔවුන්ගේ සිත් ඔබ වෙතට හරවන බවත්+ මේ සෙනඟ දැනගන්නා පිණිස මට පිළිතුරු දෙන්න.” 38  එකෙණෙහිම යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාවද+ දරද මුළුමනින්ම පුලුස්සා දැමුවේය. ගල්ද ඒ අවට තිබූ සෑම අංශුමාත්‍රයක්ද ගින්නෙන් දැවී ගියේය. අගලේ තිබුණු වතුරද වියළී ගියේය.+ 39  එය දුටු සෙනඟ දණින් වැටී පොළොව දෙසට හිස පහත් කර,+ “යෙහෝවා දෙවි සැබෑ දෙවිය! යෙහෝවා දෙවි සැබෑ දෙවිය” කියා පැවසූහ. 40  එවිට එලියා ඔවුන්ට මෙසේ කීවේය. “බාල්ගේ අනාගතවක්තෘවරුන්ව අල්ලගන්න! එක් කෙනෙකුටවත් බේරෙන්න ඉඩ දෙන්න එපා!” ඔවුහු වහාම ඔවුන්ව අල්ලාගත්තෝය. එලියා ඔවුන්ව කීෂොන් නිම්නයට+ ගෙන ගොස් මරා දැමුවේය.+ 41  ඉන්පසු එලියා ආහබ් රජුට මෙසේ කීවේය. “මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා.+ ඒ නිසා ගොස් කා බී සතුටින් ඉන්න.”+ 42  ආහබ් රජ එලියා කී ලෙස පිටත්ව ගියේය. නමුත් එලියා, කර්මෙල් කන්දට නැඟ දණින් හිඳ,+ දණිස් දෙක අතරේ ඔළුව තබාගෙන සිටියේය.+ 43  ඔහු තම සේවකයාට මෙසේ කීවේය. “ගිහින් මුහුද දෙස බලන්න.” එවිට ඔහු ගොස් බලා නැවත පැමිණ, “විශේෂ දෙයක් මට පෙනෙන්නේ නැහැ” කියා කීවේය. නමුත් හත් වතාවක්, “එතැනට ගිහින් එන්න” යයි එලියා ඔහුට කීවේය.+ 44  ඔහු හත්වන වතාවේ ගොස් නැවත පැමිණ, “මුහුදෙන් වලාකුළක් නැඟී එනවා මම දැක්කා.+ ඒ වලාකුළ මිනිසෙකුගේ අතක හැඩයට සමානයි” කියා කීවේය. එවිට එලියා, “‘ඉක්මන් කරන්න,+ වහින්න කලින් ගෙදර යන්න’ කියා ගිහින් ආහබ් රජුට කියන්න” යයි කීවේය. 45  අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය.+ ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය.+ අසු පිට නැඟ ගිය ආහබ් රජ යෙෂ්‍රෙයෙල් නගරය+ දෙසට ගමන් කළේය. 46  නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+

පාදසටහන්

1සාමු 18:10හි පාදසටහන බලන්න.
සෙයා මිනුමක් ලීටර් 7.33කට සමානය.