Skip to content

පටුනට යන්න

බයිබලයේ කර්තෘ කවුද?

බයිබලයේ කර්තෘ කවුද?

බයිබලයෙන් පිළිතුරක්

බයිබලයේ කර්තෘ කවුද?

බයිබලය ලියා තිබෙන්නේ කවුරුන් විසින්ද කියා එහි පැහැදිලිවම පවසා තිබෙනවා. එහි “නෙහෙමියාගේ වචනයි” “යෙසායා දුටු දර්ශනය” “යෝවෙල්ට පැමිණි යෙහෝවාගේ වචනය” වැනි හැඳින්වීම් තිබෙන නිසා මෙය ලියූ අය හඳුනාගැනීම පහසුයි. (නෙහෙමියා 1:1; යෙසායා 1:1; යෝවෙල් 1:1) සමහර ඉතිහාසගත වාර්තා නාතාන්, ගාද් සහ සාමුවෙල් යන තුන්දෙනාම ලියා තිබෙන බව සොයාගෙන තිබෙනවා. (1 ලේකම් 29:29, 30) ගීතාවලිය නම් පොතේ සමහර පරිච්ඡේද ආරම්භයේම දක්වා ඇති ශීර්ෂපාඨවලින් ඒවා ලියූ අයව හඳුනාගත හැකියි.—ගීතාවලිය 79, 88, 89, 90, 103 සහ 127.

දෙවි බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගත් නිසා වෙනත් පොත් පත්වල වගේම එහි තිබෙන්නේද මිනිසුන්ගේ අදහස් බව විවේචකයන් පවසනවා. නමුත් එසේ පැවසීමට ස්ථිර පදනමක් තිබෙනවාද?

දෙවිගෙන් ලද පොතක්

බයිබලය ලියූ වැඩිදෙනෙක් පැවසුවේ ඔවුන් දෙවිගේ පණිවිඩය ලියූ බවයි. එනම් දෙවිගේ මඟ පෙන්වීම තුළින් හෝ දේවදූතයෙකුගේ මඟ පෙන්වීම යටතේ ලියූ බවයි. (සෙකරියා 1:7, 9) හෙබ්‍රෙව් ලියවිලි (පරණ ගිවිසුම) ලියූ අය 300 වතාවකට වඩා වැඩි වාර ගණනක් “යෙහෝවා මෙසේ කියන්නේය” කියා සඳහන් කර තිබෙනවා. (ආමොස් 1:3; මීකා 2:3; නාහුම් 1:12) ඔවුන් ලියූ බොහෝ කොටස් ආරම්භ වෙන්නේ “යෙහෝවාගේ වචනය මේය” කියායි. (හොෂෙයා 1:1; යෝනා 1:1) දෙවිගේ අනාගතවක්තෘවරුන් ගැන බයිබල් ලේඛකයෙකු වූ පේතෘස් පැවසුවේ “මිනිස්සු ශුද්ධාත්මය [එනම්, දෙවිගේ බලය] විසින් මඟ පෙන්වනු ලැබ දෙවිගෙන් ලැබූ දේ කතා කළෝය” කියායි.—2 පේතෘස් 1:21.

බයිබලය ලිවීමට බොහෝදෙනෙක් දායක වුවද එය දෙවිගෙන් ලද පොතක් බව පැහැදිලියි. එහි තොරතුරුවල ඇති එකඟතාවෙන් එය මනා ලෙස ඔප්පු වෙනවා. එය ලියනු ලැබුවේ දෙවිගේ මඟ පෙන්වීම යටතේ බව එහි ලේඛකයන් පිළිගත්තා. එය හරියට ප්‍රධානියෙක් තම පණිවිඩ ලිවීම සඳහා ලේකම්වරුන් භාවිත කළා හා සමානයි. ඒත් දෙවි මෙය කළේ කෙසේද?

“දේවානුභාවයෙන්”

“මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය” කියා එක් ලේඛකයෙක් වන පාවුල් පැවසුවා. (2 තිමෝති 3:16) ඉන් අදහස් කරන්නේ ලිවිය යුත්තේ මොන වගේ කාරණාද කියා දෙවි බයිබල් ලේඛකයන්ගේ මනස්වලට ඇතුල් කරනු ලැබූ බවයි. කෙසේවෙතත් දස පනත දුන් අවස්ථාවේදී දෙවි විසින්ම ඒවා ගල්ලෑලිවල ලියා දුන්නා. (නික්මයාම 31:18) තවත් සමහර අවස්ථාවලදී දෙවි කෙළින්ම මනුෂ්‍යයන්ට ලිවිය යුතු පණිවිඩය දැනුම් දුන්නා. නික්මයාම 34:27හි පවසන දේ ඊට උදාහරණයක්. එහි පවසන්නේ ‘යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය: “මා ඔබට කියූ දේවල් ලියාගන්න”’ කියායි.—නව ලොව පරිවර්තනය, NW.

තවත් අවස්ථාවලදී දෙවි ලියන්න අවශ්‍ය කරුණු සිහින මාර්ගයෙන් හෙළි කළා. ඒ නිසයි එසකියෙල් “මම දෙවි ගැන දර්ශන දුටිමි” කියා සඳහන් කළේ. (එසකියෙල් 1:1) ඒ හා සමානව “දානියෙල් තමාගේ යහනේදී සිහිනයක්ද දර්ශනද දුටුවේය; එවිට ඔහු ඒ සිහිනය ලියා “ තැබුවා කියා පවසා තිබෙනවා. (දානියෙල් 7:1) බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොත ලිවීමට යොහන්ට තොරතුරු ලැබුණේ සිහින මගිනුයි. ‘ස්වාමීන්ගේ දවසට මාව ආත්මයෙන් ගෙන යන ලදි. එවිට හොරණෑවක හඬක් මෙන් මහත් කටහඬක් මා පිටුපසින් ඇසුණේය. “ඔබ දකින දේ අකුළන ලියවිල්ලක ලියන්න”’ කියා යොහන්ට පැවසූ බව ඔහු සඳහන් කරනවා.—එළිදරව් 1:10, 11.

මිනිස් දායකත්වය

මෙය දෙවිගේ පණිවිඩයක් වුවත් ඔහු මිනිසුන්ගේ දායකත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කළේ නැහැ. දෙවිගේ පණිවිඩය ලිවීමට එය ලියූ අයට යම් වෑයමක් දරන්න සිදු වුණා. උදාහරණයක් ලෙස දේශනාකාරයා පොත ලියූ ලේඛකයා පැවසුවේ “ප්‍රසන්න වචන සෙවීමටද සත්‍ය වචන නිසි ලෙස ලිවීමටද උත්සාහ කළේය” කියායි. (දේශනාකාරයා 12:10NW) එස්රාට තමන් ලියූ ඉතිහාසගත වාර්තාවල තොරතුරු රැස් කිරීමට “දාවිත් රජුගේ වාර්තා” හා “යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යවල රජුන්ගේ පොතේ ලියා” තිබූ වාර්තා වැනි මූලාශ්‍ර 14කින් වත් කරුණු සොයා බැලීමට සිදු වුණා. (1 ලේකම් 27:24; 2 ලේකම් 16:11NW) ලූක් නම් පොතේ ලේඛකයා ‘තර්කානුකූලව අනුපිළිවෙළින් ලියා දීමට සියල්ල මුල පටන් නිවැරදිව සොයා බැලූ’ බව වාර්තා කරනවා.—ලූක් 1:3.

සමහර බයිබල් ලේඛකයන් තමන්ගේ වෘත්තීමය දැනුම මේ සඳහා භාවිත කර තිබෙන බව දැකිය හැකියි. යේසුස්ගේ ගෝලයෙකු වීමට පෙර බදු එකතු කරන්නෙකු වූ මතෙව් නම් ලෙවීවරයා සංඛ්‍යා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. යේසුස්ව පාවා දුන්නේ ‘රිදී කාසි තිහකට’ බව වාර්තා කරන්නේ ඔහු පමණයි. (මතෙව් 27:3; මාක් 2:14) වෛද්‍යවරයෙකු වූ ලූක් රෝගී තත්වයන් ගැන නිශ්චිත තොරතුරු සඳහන් කළා. නිදසුනකට, යේසුස් සුව කළ සමහර අය ගැන සඳහන් කරන විට “තද උණක්” සහ “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය” වැනි නිශ්චිත යෙදුම් ඔහු භාවිත කළා. (ලූක් 4:38; 5:12; කොලොස්සි 4:14) මෙයින් පෙනී යන්නේ යෙහෝවා දෙවි ලේඛකයන්ට තමන්ගේ ශෛලයෙන් කාරණා ලිවීමට ඉඩහැර තිබුණු බවයි. නමුත් ඔවුන්ගේ මනස්වලට දෙවිගේ අදහස් ඇතුළත් කළ නිසා එය නිවැරදි මෙන්ම දෙවිගේ පණිවිඩය ඇතුළත් පොතක් වුණා.—හිතෝපදේශ 16:9.

සාර්ථක කෘතියක්

විවිධ ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් 40දෙනෙකු අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් පුරා ලියූ පොතක අදහස්වල ගැටීමක් නැතිව එකම තේමාවක් ඔස්සේ ලියවී තිබීම ඇත්තෙන්ම පුදුම දනවන ක්‍රියාවක් නොවේද? (19වන පිටුවේ ඇති “බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද?” යන ලිපිය බලන්න.) මේ 40දෙනාම එක කර්තෘ කෙනෙකුගේ මඟ පෙන්වීම යටතේ නොලිව්වා නම් එවැනි දෙයක් කොහොමටවත් වෙන්න බැහැ.

යෙහෝවා දෙවිට තමන්ගේ පණිවිඩය ලිවීම සඳහා මනුෂ්‍යයන් යොදාගන්නම අවශ්‍ය වුණේ නැහැ. ඒත් එසේ කිරීම තුළින් දෙවිගේ ප්‍රඥාව පිළිබිඹු වෙනවා. අද බයිබලය ලෝකයේ මෙතරම් ජන සංඛ්‍යාවකගේ සිත් ඇදගෙන තිබීමට එක හේතුවක් නම් එහි ලේඛකයන් තමන්ගේ හැඟීම් එහි මුසු කොට ලියා තිබෙන නිසයි. දාවිත් රජ තමා කළ වරද ගැන පසුතැවිලි වී දෙවිගේ කරුණාව අයදින ආකාරය සඳහන් කර තිබීම එයට කදිම උදාහරණයක්.—ගීතාවලිය 51:2-4, 13, 17.

යෙහෝවා දෙවි බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගත්තත් පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අපිත් එය “මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙස” පිළිගනිමු.—1 තෙසලෝනික 2:13.

මේ ගැන ඔබ සිතුවාද?

‘මුළු ශුද්ධ ලියවිල්ලේ’ කර්තෘ කවුද?—2 තිමෝති 3:16.

දෙවි ඔහුගේ අදහස් මනුෂ්‍යයන්ට දැන්වීමට භාවිත කළ ක්‍රම මොනවාද?—නික්මයාම 31:18; 34:27; එසකියෙල් 1:1; දානියෙල් 7:1.

බයිබලය ලියූ ලේඛකයන්ගේ පෞද්ගලිකත්වය හා වෘත්තීමය දැනුම ඔවුන් ලියූ දෙයින් පෙනෙන්න තිබෙන්නේ කෙසේද?—මතෙව් 27:3; ලූක් 4:38.