එසකියෙල් 1:1-28

1  තිස්වන අවුරුද්දේ හතරවන මාසයේ පස්වන දින මම වහල්කමට+ ගෙන ගිය සෙනඟ සමඟ කේබාර් ගඟ+ අසල සිටියෙමි. ඒ දිනයේදී අහස විවර විය.+ එවිට මට දෙවිගෙන් දර්ශන මාලාවක් ලැබිණ.+  (එම දර්ශන ලැබුණේ යෙහෝයාකින්+ රජු වහල්භාවයට පත් වී ගත වන පස්වන අවුරුද්දේදීය.) එම දිනයේදී,  කල්දිවරුන්ගේ+ දේශයේ කේබාර් ගඟ අසල සිටි පූජක බූසීගේ පුත්‍රයා වූ එසකියෙල්+ වන මට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක විය.+  මම අහස දෙස බැලුවෙමි. එවිට උතුරු දිශාවෙන් හමා එන චණ්ඩ මාරුතයක්+ මම දුටුවෙමි. ඒ සමඟ මහත් දීප්තියකින් බැබළෙන දැවැන්ත වලා පටලයක්ද+ බුරබුරා නඟින ගින්නක්ද+ දුටුවෙමි. එම ගින්න මැදින් රන් හා රිදී මිශ්‍ර ලෝහයක තිබෙන කාන්තියට සමාන දිස්නයක් නික්මුණේය.+  එම ගින්න මැද ජීවීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුන්ට මනුෂ්‍යයන්ට සමාන හැඩරුවක් තිබිණ.  එහෙත් ඒ සෑම ජීවියෙකුටම මුහුණු හතර බැගින්ද+ පියාපත් හතර බැගින්ද තිබිණ.+  ඔවුන්ගේ පාදවල කිසිම ඇදයක් තිබුණේ නැත. ඒ පාදවල අග කොටස වහු පැටවෙකුගේ කුරවලට සමානය.+ ඒවා දිදුලන තඹ පැහැයෙන් යුක්ත විය.+  ඔවුන්ගේ පියාපත් යටින් මිනිසෙකුට සමාන අත් ඔවුන්ට තිබිණ.+ ඔවුන් හතරදෙනාටම මුහුණු හතර බැගින් තිබුණු අතර පියාපත්ද තිබිණ.+  එම පියාපත් එකිනෙකට ළං වී තිබිණ. ඔවුහු වෙනත් දිශාවකට නොහැරී ඉදිරියටම ගමන් කළහ.+ 10  ඔවුන් හතරදෙනාටම මුහුණු හතර බැගින් තිබිණ. මිනිසෙකුගේ+ මුහුණක්ද ඊට දකුණු පැත්තෙන්+ සිංහයෙකුගේ+ මුහුණක්ද වම් පැත්තෙන්+ ගවයෙකුගේ+ මුහුණක්ද තිබිණ. ඔවුන් හතරදෙනාටම රාජාලියෙකුගේ මුහුණක්ද තිබිණ.+ 11  ඔවුන් එක් එක් කෙනාට මුහුණු හතර බැගින් පිහිටා තිබුණේ ඒ ආකාරයටය. ඔවුහු එක් එක් කෙනාට තිබුණු පියාපත්+ හතරෙන් දෙකක් එකට ළං කර තම ශරීර වසාගෙන සිටියෝය. අනික් පියාපත් දෙක ඉහළට විදහාගෙන සිටියෝය.+ 12  ඔවුන් හතරදෙනා ගමන් කළේ දෙවිගේ බලයේ ආධාරයෙනි. ඔවුන් ගමන් කළේ දෙවි මඟ පෙන්වූ දිශාවටමය.+ ඔවුහු වෙනත් දිශාවකට නොහැරී+ ඉදිරියටම ගමන් කළෝය.+ 13  එම ජීවීහු දැවෙමින් තිබූ ගිනි අඟුරු මෙන් දිස් වූහ.+ දැල්වෙමින් තිබූ ගිනිසිළු රැසක්ද+ ඔවුන් අතරේ තිබිණ. ඒවා එක තැන නොනැවතී ඒ මේ අත ගමන් කළේය. ඒවායින් අතිමහත් දීප්තියක් නික්මුණේය. එම ගිනිසිළුවලින් අකුණු සැර නික්මෙන ආකාරයද මම දුටිමි.+ 14  ජීවීන්ද එක තැනක රැඳී සිටියේ නැත. ඔවුහුද අකුණු ගසන ආකාරයට ඉදිරියට හා පිටුපසට ගමන් කරමින් සිටියහ.+ 15  මම මුහුණු හතර+ බැගින් ඇති ඒ ජීවීන් දෙස තවත් හොඳින් බැලුවෙමි. ඔවුන් එක් එක් කෙනා අසල රෝදය බැගින් පොළොවේ පිහිටා තිබිණ.+ 16  මා දුටු රෝදවල+ පෙනුම මෙසේය. ඒ රෝදවලින් ක්‍රිසොලයිට් මැණිකක*+ කාන්තියට සමාන දීප්තියක් නික්මුණේය. එම රෝද හතරම එක හා සමානය. ඒ එක් එක් රෝදය හරහට ඒ හා සමාන තවත් රෝදයක් සවි කර තිබිණ.+ 17  එම රෝද එලෙස පිහිටා තිබුණු නිසා ඒවාට ඕනෑම දිශාවකට පහසුවෙන් ගමන් කරන්න හැකියාව තිබිණ.+ ඒවා ගමන් කරද්දී වෙනත් දිශාවකට නොහැරී නියමිත දිශාවටම ගියේය.+ 18  එම රෝදවල විශාලත්වය දුටු මා තුළ මහත් බියක් හටගත්තේය. ඒ සෑම රෝදයක් වටේටම ඇස් පිහිටා තිබිණ.+ 19  ජීවීන් ගමන් කළ සෑම තැනකටම එම රෝදද ගමන් කළේය. ජීවීන් ඉහළට පියාසර කළ විට රෝදද ඉහළට ගියේය.+ 20  දෙවිගේ බලය ආධාරයෙන් ගමන් කළ එම ජීවීහු දෙවි පෙන්වූ දිශාවටම ගියෝය. ජීවීන් හතරදෙනාට තිබූ බලය රෝද තුළත් ක්‍රියාත්මක වූ නිසා ඒවාත් ඔවුන් සමඟම ඉහළට ගමන් කළේය. 21  ජීවීන් ගිය සෑම තැනකටම රෝදද ගමන් කළේය. ඔවුන් නතර වූ විට රෝදද නතර විය. ඔවුන් ඉහළට පියාසර කළ විට රෝදද ඉහළට ගියේය. එසේ වූයේ දෙවිගේ බලය ජීවීන් තුළ පමණක් නොව එම රෝද තුළත් ක්‍රියාත්මක වූ නිසාය.+ 22  පළිඟු* මෙන් දීප්තිමත්ව බැබළෙන විශාල වේදිකාවක්+ එම ජීවීන්ගේ හිසට ඉහළින් පිහිටා තිබෙනවා මම දුටිමි.+ 23  එම විශාල වේදිකාව යටින් සිටි ඔවුහු පියාපත් දෙක බැගින් ඉහළට ඔසවාගෙන සිටියෝය. අනික් පියාපත් දෙක එකිනෙකට ළං කර තම ශරීර වසාගෙන සිටියෝය. 24  ඔවුන් ගමන් කරන විට ඔවුන්ගේ පියාපත්වල හඬ කඩා හැළෙන මහා ජල කඳක හඬ මෙනි.+ ඒ හඬ විශාල හමුදාවක ඝෝෂාවකටත්+ සියලු බලැති දෙවිගේ හඬටත් සමානය.+ ඔවුහු එක තැන නතර වූ විට තම පියාපත් පහත් කරගෙන සිටියෝය. 25  ඔවුන්ගේ හිසට උඩින් පිහිටා තිබුණු එම විශාල වේදිකාවට ඉහළින් හඬක් නික්මුණේය. (ඔවුහු එක තැන නතර වූ විට තම පියාපත් පහත් කරගත්තෝය.) 26  එම ජීවීන්ට උඩින් තිබූ වේදිකාවටත් ඉහළින් නිල් මැණිකක+ කාන්තියෙන් බැබළෙන සිංහාසනයක්+ මම දුටිමි. ඉතා ඉහළින් පිහිටා තිබූ එම සිංහාසනය මත මිනිසෙකුගේ පෙනුම ඇති තැනැත්තෙක් හිඳගෙන සිටියේය.+ 27  එම තැනැත්තාගේ ඉණට ඉහළින් රන් රිදී මිශ්‍ර ලෝහයක තිබෙන දීප්තිය හා සමාන දීප්තියක් විහිදෙමින් තිබිණ.+ ඒ දීප්තිය ගින්නක් මෙන් විය. ඒ ගින්න ඔහුගේ මුළු ශරීරය පුරාම එනම්, ඇතුළතින් හා පිටතින් දැල්වෙමින් තිබුණේය.+ ඔහුගේ ඉණට පහළිනුත් ගිනිමය දීප්තියක් විහිදුණේය. ඔහු වටාම දීප්තියක් බැබළුණේය. 28  ඒ වටා පැතිර තිබූ දීප්තිය වැස්සක් පෑව්වායින් පසු වලාකුළු අතරෙහි පායන දේදුන්නක+ තිබෙන දීප්තියට සමානය. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවිගේ තේජසට සමානය.+ මේ සියල්ල දුටු විට මම මුණින් වැටුණෙමි.+ එවිට මට කතා කරන හඬක් ඇසුණේය.

පාදසටහන්

රන් පැහැයෙන් බැබළෙන මැණිකකි.
මූ.අ., “අයිස්.”