Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය සම්පූර්ණ බයිබලයම දැන් භාෂා 43කින් හා බ්‍රේල් භාෂා තුනකින් ලබාගත හැකියි. නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල භාෂා 18කින් හා බ්‍රේල් භාෂාවකින් ලබාගත හැකියි. වර්ෂ 2007 ජූලි වන විට පිටපත් 14,34,58,577ක් මුද්‍රණය කර තිබෙනවා.

දැනට සොයාගෙන ඇති බයිබලයේ කොටස්වලින් පැරණිතම කොටස වන්නේ ගණන් කතාව 6:24-26හි සඳහන් වදන් අඩංගු ඉතා තුනී රිදී තහඩු දෙකයි. ඇකිලිය හැකි මෙම තහඩු දෙක ක්‍රි.පූ. 7වන සියවසේ අගභාගයේ හෝ ක්‍රි.පූ. හයවන සියවසේ මුල්භාගයේ සෑදූ බවට විශ්වාස කරනවා.—එක්සත් ජනපදයේ BIBLICAL ARCHAEOLOGY REVIEW.

වර්ෂ 2006 දෙසැම්බර් 31වෙනිදා වන විට අඩුම තරමින් සම්පූර්ණ බයිබලයම හෝ එහි එක් පොතක් හෝ ලියාපදිංචි කර තිබූ ප්‍රධාන භාෂා හා උපභාෂා 2,426ක් තිබෙනවා. පසුගිය වසර හා සසඳන විට සියයට 23ක වැඩිවීමක් දක්නට තිබෙනවා.—එංගලන්තයේ UNITED BIBLE SOCIETIES.

අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 28ක්ම බයිබලය “දෙවිගේ වචනය බවත් එය වචනානුසාරයෙන්ම භාරගත යුතු බවත් පිළිගන්නවා.” සියයට 49ක් “දෙවිගේ වචනය කියා පිළිගත්තත් එහි සෑම දෙයක්ම වචනානුසාරයෙන් ගත යුතු නැහැ” කියා සිතන අතර සියයට 19ක් කියා සිටින්නේ එය “කතන්දර ඇතුළත් පොතක්” කියායි.—එක්සත් ජනපදයේ GALLUP NEWS SERVICE.

පැරණිතම චීන බයිබලයක්

“හෙබ්‍රෙව් බයිබලයෙන් චීන භාෂාවට පරිවර්තනය කරන ලද කොටසක් [වම්පස] ඇතුළත් ගල් පුවරුවක් සොයාගෙන තිබෙන අතර එය ක්‍රිස්තු වර්ෂ 781ට අයත් වෙනවා” කියා පීකින් විශ්වවිද්‍යාලයේ විශාරදයෙක් වන යෙයෙ චෙන් පවසනවා. නෙස්ටෝරියානු ක්‍රිස්තියානීන් විසින් ෂියාන් නගරයේ ඉදි කළ මෙය සොයාගනු ලැබුවේ 1625දීයි. මෙම ගල් පුවරුව ගැන එම විශාරදයා තවදුරටත් මෙසේ පැවසුවා. “මෙය මුලින් චීන භාෂාවෙන් නම් කර තිබුණේ ‘රෝම අධිරාජ්‍යයා විසින් චීනයේ ක්‍රිස්තියානි ධර්මය පතුරුවා හැරීමට දැරූ ප්‍රයත්නයක සාක්ෂියක්’ කියායි. එම පුවරුවේ සඳහන් වී තිබෙන කොටස ‘පිළිගත් ග්‍රන්ථයකින්’ හා ‘බයිබලයෙන් උපුටාගත්’ බව එහි සඳහන් වී තිබුණා.”

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Réunion des Musées Nationaux/Art Resource

වගුරු බිමක නිධානයක්!

වර්ෂ 2006දී අයර්ලන්තයේ සේවක පිරිසකට වගුරු බිමක තිබී අටවන සියවසට අයත්යැයි සැලකෙන ගීතාවලිය පොතේ පිටපතක් සම්බ වුණා. එය ලතින් භාෂාවෙන් ලියන ලද අත්පිටපතක් වූ අතර දැනට එවැනි පිටපත් තිබෙන්නේ කිහිපයක් නිසා එය නිධානයක් තරම්ම වටිනවා කියා කිව හැකියි. සත්ව හම්වලින් සෑදූ පිටු 100ක් අඩංගු එම වෙළුම මුලින්ම බැඳ තිබූ ආකරයටම තිබුණා. මේ ගැන එංගලන්තයේ එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “මෙම පිටපත් හම්වලින් සෑදූ මල්ලක දමා පැදුරක් යට සඟවා තිබුණා. ඉන් පෙනී යන්නේ මීට අවුරුදු 1,200කට පමණ පෙර සිදු වූ සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා කරගැනීම සඳහා වුවමනාවෙන්ම කර තිබෙනවා.” මෙම පිටපත්වලින් සමහර ඒවා දිරාපත් වී තිබුණත් අනික් ඒවා ආරක්ෂා කරගත හැකි වෙයි කියා විද්වතුන් විශ්වාස කරනවා.—එම පුවත්පත The Times.

බහුල සාක්ෂි

යෙරුසලමේ දේවමාලිගාව පිහිටි ප්‍රදේශයේ තිබී නටඹුන් රාශියක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. එම නටඹුන් අතර යෙරුසලමේ දේවමාලිගාව විනාශ කළ නෙබුකද්නෙෂර් රජුගේ හමුදාව විසින් භාවිත කළ ආකාරයේ ඊතලයක හිසක්ද මැටි මුද්‍රාවක්ද තිබුණා. එය ක්‍රිස්තු පූර්ව හය හෝ හත්වන සියවසට අයත් වෙනවා. එම මැටි මුද්‍රාව මත ගෙදල්යාහු බෙන් ඉමර් හා-කොහෙන් නම් හෙබ්‍රෙව් නම දක්නට තිබුණා. පුරාවිද්‍යාඥ ගේබ්‍රියෙල් බාකයිට අනුව මෙම පුද්ගලයා බයිබලයේ සඳහන් වන [යෙරෙමියා 20:1] පූජකයෙක් හා දේවමාලිගාවේ නිලධාරියෙක් වන පෂ්හූර් බෙන් ඉම්මෙර්ගේ සහෝදරයෙක්.”