Skip to content

පටුනට යන්න

මුල් තැනට ආශාවීම සුදුසුද?

මුල් තැනට ආශාවීම සුදුසුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

මුල් තැනට ආශාවීම සුදුසුද?

එක්තරා ආගමික සංවිධානයක් විසින් පළ කළ වාර්තාවක කියා සිටියේ ධනය, බලය සහ කීර්තිය පසුපස හඹා යෑම වරදක් නොවන බවයි. එම අදහස පළ වී තිබුණේ “ආචාරධර්ම පිළිබඳව පැනනඟින ප්‍රශ්න” යන කොටස යටතේයි. ඔවුන් සිය මතය තහවුරු කිරීමට උපයෝගි කරගත්තේ දෙවි ආබ්‍රහම්ට පැවසූ මෙම වචන පෙළයි. “මම ඔබෙන් මහත් ජාතියක් සාදා ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය උතුම් කරන්නෙමි.”—උත්පත්ති 12:2.

“අන් අයට හානියක් සිදු නොකර එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වරදක් නැති බවත්” එහි සඳහන් වුණා. “තම හිසට තම අතමය සෙවණැල්ල, අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල” යන කියමන අපට මෙහිදී මතක් විය හැකියි. එවැනිම අදහසක් මුල් සියවසේ විසූ යුදෙව් ආගමික නායකයෙකුත් පැවසූ බවට ඉහත වාර්තාවේ සඳහන් වුණා. මෙවැනි මතයක් දැරීම දෙවිට සේවය කරන අයට ගැටලුවක්ද? ජීවිතය සාර්ථක කරගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද? අප පරෙස්සම් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? බයිබලයේ මේ ගැන සඳහන් වන්නේ කුමක්ද?

ඇත්තටම ආබ්‍රහම් මොන වගේ කෙනෙක්ද?

බයිබලයේ නිතරම සඳහන් වන ආබ්‍රහම් ප්‍රසිද්ධ වී සිටියේ තමාගේ ඇදහිල්ල සම්බන්ධයෙනුයි. (හෙබ්‍රෙව් 11:8, 17) ආබ්‍රහම්ගෙන් මහත් ජාතියක් සාදා ඔහුගේ නාමය උතුම් කරන බව දෙවි ආබ්‍රහම්ට පැවසූ විට ධනය, බලය හා කීර්තිය පසු පස හඹායන්න කියා ඔහු ආබ්‍රහම්ට දිරිගන්වමින් සිටියේ නැහැ. දෙවි කතා කළේ තම අරමුණට එකඟව ආබ්‍රහම් මාර්ගයෙන් මුළු මිනිස්වර්ගයාට ආශීර්වාද සලසා දෙන ආකාරය ගැනයි. යම් පෞද්ගලික පරමාර්ථයක් ඉටු කරගන්නා ආකාරය ගැන ඔහු කතා කළේ නැති බව මෙයින් පැහැදිලි වෙනවා.—ගලාති 3:14.

ආබ්‍රහම්ගේ ජීවිතය දෙස බලද්දී ඔහු ධනය, බලය හා කීර්තිය පසුපස හඹාගිය කෙනෙක් නොවූ බව බයිබලය තුළින් තහවුරු වෙනවා. ඔහු ප්‍රසිද්ධ වූයේ ඇදහිලිවන්ත, කීකරු හා යටහත්පහත් කෙනෙක් හැටියටයි. උදාහරණයකට දෙවිට කීකරු වෙමින් ඔහු ඌර් නම් නගරයේ ගත කළ සැපපහසු ජීවිතය අත්හැරියා. (උත්පත්ති 11:31) තවත් අවස්ථාවක පදිංචිය සම්බන්ධයෙන් ඔහුට වඩා බාල වූ ඔහුගේ නෑදෑයෙකු වූ ලොත් සමඟ මතභේදයක් හටගත් විට ඔහු කැමැත්තෙන්ම ලොත්ට මුල් තේරීම කිරීමේ ප්‍රස්තාව ලබා දුන්නා. ප්‍රතිඵලයක් ලෙස ලොත් පදිංචිය සඳහා සාරවත්ම දේශය තෝරාගත්තා. (උත්පත්ති 13:8, 9) ඇත්තෙන්ම දෙවි ආබ්‍රහම්ව තම ‘මිත්‍රයා’ කියා හැඳින්වීම පුදුමයක් නොවෙයි.—යෙසායා 41:8.

සලමොන් රජ ගැන කුමක් කිව හැකිද?

පුරාණයේ විසූ සලමොන් රජ බලය, කීර්තිය හා තනතුරු සමඟ මහත් ධන සම්භාරයකට හිමිකම් කියූ කෙනෙක්. (දේශනාකාරයා 2:3-9) එහෙත් ඔහු ඒවා පසුපස මහත් තණ්හාවකින් හඹාගියේ නැහැ. සලමොන්ට රජකම ලැබූ විට තමාට කැමති දෙයක් ඉල්ලන්න කියා දෙවි ඔහුට කිව්වා. එවිට ඔහු යටහත් පහත් ලෙස ඉල්ලුවේ දෙවිගේ සෙනඟව පාලනය කිරීමට බුද්ධිය සහ දෙවිට නිතරම කීකරු වෙන්න හැකියාව තමාට ලබා දෙන්න කියායි. (1 රාජාවලිය 3:5-9) පසු කාලයකදී ඔහුට මහත් බලයක් හා ධනයක් තිබුණත් ඒවා ගැන කිව්වේ “සියල්ල නිෂ්ඵලය; හුළඟ ලුහුබැඳ යන්ට උත්සාහ කිරීමක්” කියායි.—දේශනාකාරයා 2:11.

එසේනම් සාර්ථක ජීවිතයක් කියන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සලමොන් යමක් පැවසුවාද? ඔව්. තම ජීවිතයෙන් ලබාගත් අද්දැකීම් සම්භාරය සලකා ඔහු නිගමනය කළේ මෙයයි. “දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න; මනුෂ්‍යයාගේ මුළු යුතුකම නම් මේකය.” (දේශනාකාරයා 12:13) මේ අනුව සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ කීර්තිය, ධනය, බලය හෝ තනතුරු පසුපස හඹායෑම නොව, නමුත් දේවකැමැත්ත කිරීමයි.

වැදගත්ම දේ යටහත් පහත්කමයි

මින් අදහස් කරන්නේ යම් ප්‍රමාණයකට තමන් ගැන සැලකිලිමත් වීම වැරදි දෙයක් බව නම් නොවෙයි. ඇත්තටම බයිබලයේ පවසන්නේ අපගේ අසල්වාසියාට ප්‍රේම කළ යුත්තේ අපි අපටම ප්‍රේම කරනවා වගේ කියායි. (මතෙව් 22:39) සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම අප කාගෙත් ආශාවයි. නමුත් වඩා වැදගත් දේ ලෙස යටහත් පහත්ව වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ අවශ්‍යතාව බයිබලයේ අවධාරණය කර තිබෙනවා. (හිතෝපදේශ 15:33; දේශනාකාරයා 3:13; මීකා 6:8) සාමාන්‍යයෙන් අවංකව වෙහෙස මහන්සි වී වැඩ කරන අයට අන් අයගේ ප්‍රසාදය හා ගෞරවය ලැබෙන අතර, ඔවුන්ට රැකියාවක් සොයාගැනීමද පහසුයි. එහෙත් තනතුරුවලට ආශාවෙන් අන් අය සමඟ තරඟ වැදීමත්, අන් අයගෙන් කෙසේ හෝ වාසි ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කිරීමත් නිෂ්ඵල දෙයක්.

විවාහ මංගල්‍යයකට ගිය විට එහි ඇති ප්‍රධානතම ස්ථානය තෝරාගන්න එපා කියා යේසුස් තමන්ට සවන් දුන් අයට කලින්ම කියා සිටියා. ඔහු එසේ පැවසුවේ ආරාධනා කළ තැනැත්තා පැමිණ ඔහුට වෙනත් තැනකට යන්න කියා කියන්න ඉඩ තිබෙන නිසයි. තමා ඉගැන්වීමට උත්සාහ දැරූ ප්‍රතිපත්තිය ගැන සඳහන් කරමින් යේසුස් ඉන්පසුව මෙසේ පැවසුවා. “තමාවම උසස් කරගන්න සියලුදෙනාවම පහත් කරනු ලබන්නෝය. තමාවම පහත් කරගන්නාව උසස් කරනු ලබන්නේය.”—ලූක් 14:7-11.

සැබෑ ක්‍රිස්තියානීන් දරන ආකල්පය

සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ එම අවවාදය සිතට ගන්න වෑයම් කළ යුතුයි. මන්ද මිනිසුන් තුළ සහජයෙන්ම උඩඟු ගති පිහිටා තිබෙන නිසා ඔවුන් තම ආශාවන් පසුපස හඹායන්න පෙලඹෙන බවයි බයිබලයෙහි සඳහන් වන්නේ. (යාකොබ් 4:5, 6) උදාහරණයකට යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් යම් කාලයකදී තනතුරුවලට මහත් ආශාවක් දැක්වූවා. ඒ ආශාව කොතරම් ප්‍රබල වුණාද කියනවා නම් ඔහු තම සහෝදරයා සමඟ යේසුස් ළඟට ගොස් ස්වර්ග රාජ්‍යයේ ඉහළම තනතුරක් ඉල්ලා සිටියා. (මාක් 10:37) නමුත් යොහන් පසුව තම ආකල්ප නිවැරදි කරගත්තා. උදාහරණයකට ඔහු සභාවන්ට ලියූ ලිපියක “මුල් තැන ලබාගැනීමට කැමති” දියොත්‍රෙෆස්ට ඉතා ඍජු උපදෙස් දුන්නා. (3 යොහන් 9, 10) එනිසා යටහත් පහත්ව ක්‍රියා කිරීමට ඉගෙනගත් යොහන් ක්‍රිස්තියානීන් සඳහා කදිම ආදර්ශයක්.

සමහරක් අවස්ථාවලදී පුද්ගලයෙක් යටහත් පහත්ව තම කුසලතා හා දක්ෂතා භාවිත කරමින් වෙහෙස මහන්සි වී වැඩ කළත් අන් අයට යහපතක් සිදු කළත් ඔහුව අගය කරනු ලබන්නේ නැහැ. ඉඳහිට ප්‍රශංසාව ලැබෙන්නත් ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 22:29; දේශනාකාරයා 10:7) ඇතැම් අවස්ථාවලදී සුදුසුකම් නැති අයටයි ඉහළ තනතුරු හා බලය තිබෙන්නේ. සුදුසුකම් ඇති අයව ගණන් ගනු ලබන්නේ නැහැ. මෙම දුෂ්ට සමාජයේ ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.

සමාජයේ විටින් විට සිදු විය හැකි එම අසාධාරණය සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. එයට හේතුව ඔවුන් බයිබලයේ සඳහන් ප්‍රමිති සිතට ගන්න උත්සාහයක් දරන නිසයි. ඔවුන්ගේ ඉලක්කය විය යුත්තේ මිනිසුන් ඉදිරියේ කැපීපෙනෙන්න නොව, නමුත් සියල්ල දෙවිට භාර දෙමින් දෙවිව මහිමවත් කිරීමයි. (1 කොරින්ති 10:31) තම ජීවිතය සාර්ථක කරගැනීමට ක්‍රිස්තියානීන් වෑයම් කරන්නේ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා රක්ෂා කිරීමෙනුයි.

[24, 25වන පිටුවේ පින්තූරය]

දෙවි ආබ්‍රහම්ට කිව්වේ කුමක් ගැනද?