Skip to content

පටුනට යන්න

ශරීරයට ව්‍යායාම් ඕනෙමද?

ශරීරයට ව්‍යායාම් ඕනෙමද?

ශරීරයට ව්‍යායාම් ඕනෙමද?

“සිරුර හැඩට හා නිරෝගීව තබාගැනීමට සතියට දෙවරක්වත් ව්‍යායාම් කරන්න. දිනකට විනාඩි 30ක් ව්‍යායාම් කරන්න. පිළිකාවෙන් වැළකීමට මත්පැන් බොන්න එපා. හෘද රෝග වැලඳීමේ අවදානම අඩු කරගැනීමට මත්පැන් බොන්න. මෙවැනි හොඳ උපදෙස්වලින් නම් අඩුවක් නැහැයි කියා ඔබට සිතෙනවාද? පුවත් ශීර්ෂ පාඨවල එක් දවසක කියන දේ ගැන තව සතියකින් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. . . . විද්‍යාඥයන් අතර එකඟතාවක් නැත්තේ ඇයි? එක සතියක කෝපි බීම අනතුරුදායකයි. ඊළඟ සතියේ ඒක හොඳයි. එහෙම වෙන්නේ කොහොමද?”—ව්‍යායාම හා ක්‍රීඩා පිළිබඳ මහාචාර්යවරියක වන බාබරා ඒ. බ්‍රේම්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් බොහෝවිට පෝෂණය හා නිරෝගිකම සම්බන්ධයෙන් නොයෙකුත් මත දරනවා. කළ යුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳව තිබෙන තොරතුරු සමුදාය නිසා හුඟදෙනෙක් සිටින්නේ ව්‍යාකූල තත්වයකයි. ඒ කොයිවෙතත් ශාරීරික ව්‍යායාම්වල අවශ්‍යතාව සම්බන්ධයෙන් නම් විද්‍යාඥයන් අතර පොදු එකඟතාවක් තිබෙනවා. ඔවුන්ගේ උපදෙස මෙයයි. ඔබට හොඳ සෞඛ්‍යයක් අවශ්‍ය නම් ඔබ නිතිපතාම ව්‍යායාම් කළ යුතුමයි!

ප්‍රමාණවත් ලෙස කය නොවෙහෙසීම අද දරුණු ගැටලුවක් වී තිබෙනවා. විශේෂයෙන්ම මෙය දක්නට තිබෙන්නේ කාර්මික රටවල. අතීතයේදී එම රටවල සිටි මිනිසුන් ගොවිතැන් කිරීම, දඩයම් කිරීම හෝ ගොඩනැඟීම වැනි කය වෙහෙසන කාර්යයන්වල නියැලුණා. ජීවත් වීම සඳහා අපේ මුතුන්මිත්තන්ට අධික ලෙස තම කාය ශක්තිය වැය කිරීමට සිදුවීම පීඩාකාරී යමක් වුණා. ඔවුන්ගේ ආයු කාලය කෙටිවීමටත් එය හේතුවක් වුණා. එන්සයික්ලෝපිඩියා බ්‍රිටැනිකා නම් විශ්වකෝෂයට අනුව “පුරාණ ග්‍රීසියේ සහ රෝමයේ අපේක්ෂිත ආයු කාලය වූයේ අවුරුදු 28කි.” ඒත් ඊට වෙනස්ව 20වන සියවස අවසන් වන විට දියුණු රටවල් තුළ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 74ක් පමණ වී තිබෙනවා. එම වෙනසට හේතුව කුමක්ද?

තාක්ෂණික දියුණුව—සාපයක්ද නැතහොත් ආශීර්වාදයක්ද?

ශතවර්ෂ ගණනාවකට පෙර ජීවත් වූ අයට වඩා වර්තමානයේ ජීවත් වන පුද්ගලයන් යම් තාක් දුරකට හොඳ සෞඛ්‍යයක් හා දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳිනවා. මෙයට තාක්ෂණික දියුණුව යම් අයුරකින් දායක වී තිබෙනවා කියා කිව්වොත් එය නිවැරදියි. නව සොයාගැනීම් මගින් අප දේවල් කරන විදිහ වෙනස් කර තිබෙන අතර කය වෙහෙසා කළ කාර්යයන් බොහෝමයක් දැන් පහසුවෙන් කරගැනීමටද හැකි වී තිබෙනවා. රෝගවලට එරෙහි වීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රය ලබා තිබෙන දියුණුව නිසා බොහෝදෙනෙකු සෞඛ්‍ය සම්පන්නව සිටිනවා. ඒත් තවත් නොදුටු පැත්තක්ද මෙහි තිබෙනවා.

නව තාක්ෂණික දියුණුව සෞඛ්‍ය තත්වය නඟා සිටුවන්ට දායක වුවත් කාලය ගෙවී යත්ම ජනගහනයෙන් විශාල පිරිසක් කය නොවෙහෙසන තත්වයකට පත් කරන්න එය හේතු වී තිබෙනවා. අමෙරිකාවේ හෘද රෝග සංගමය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් කර තිබෙනවා. “ආර්ථික තත්වය වෙනස්වීම, නාගරීකරණය, කාර්මිකකරණය සහ ගෝලීයකරණය වැනි දේවල් නිසා මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස හෘද රෝග වැලඳීමේ ප්‍රවණතාවක් ඇති විය හැකියි.” එම වාර්තාවේ සඳහන් ආකාරයට ඊට ප්‍රධාන හේතුකාරක නම් “කය නොවෙහෙසීම හා සමබර ආහාර වේලක් නොගැනීමයි.”—International Cardiovascular Disease Statistics නම් වාර්තාව.

බොහෝ රටවල මීට අවුරුදු 50කට පෙර මිනිසෙක් නඟුල් භාවිත කරමින් දහඩිය වගුරා වැඩ කළා. බැංකුවට යෑම වැනි ගමන් බිමන් ගියේ බයිසිකලයෙන්. හවස් කාලයේ ගෙදර දොරේ අලුත් වැඩියා කටයුතුවල නිරත වුණා. ඒත් දැන් එම මිනිසාගේ දරු මුනුබුරන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස්. අද කාලයේ සේවකයෙක් දවසින් වැඩි හරියක් ගත කරන්නේ පරිගණකයක් ඉදිරියෙහි වෙන්න ඇති. ඒවගේම හැම ගමනක් බිමනක්ම වගේ යන්නේ තම වාහනයෙන්. සවස් කාලය පවා ගත කරන්නේ රූපවාහිනිය ඉදිරිපිටයි.

එක් අධ්‍යයනයක් පෙන්නුම් කළේ කලින් ගස් කොටන් පෙරළමින් දිනකට කැලරි 7,000ක් පමණ දවා දැමූ ස්වීඩනයේ ගස් කපන්නෙක් එම කටයුතු දැන් සිදු කරන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර මගින් කියායි. ලෝකයේ මහාමාර්ග බොහොමයක් තැනුවෙත් නඩත්තු කළෙත් මිනිසුන්. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ ගල් කටු හා ෂවල වැනි ආම්පන්න. ඒත් දැන් ඒවා සිදු කරන්නේ බුල්ඩෝසර හා වෙනත් යන්ත්‍ර සූත්‍ර ආදියෙන්. දියුණු වෙමින් පවතින රටවල පවා මෙම කාර්යයන් සිදු කරන්නේ නවීන ක්‍රමයටයි.

චීනයේ සමහර පැතිවල ගමනාගමනය සඳහා බයිසිකලය වෙනුවට දැන් යොදාගන්නේ මෝටර් සයිකලයයි. එක්සත් ජනපදයේ මිනිසුන් යන ගමන් බිමන්වලින් සියයට 25ක්ම කිලෝමීටරයකට වඩා අඩු කෙටි ගමන්. නමුත් එම කෙටි දුර පවා යෑමට ඔවුන්ගෙන් සියයට 75ක් යොදාගන්නේ වාහනයි.

නවීන තාක්ෂණය කය නොවෙහෙසෙන දරු පරම්පාරවක්ද බිහි කර තිබෙනවා. එක් අධ්‍යයනයක් පෙන්නුම් කළේ වීඩියෝ ක්‍රීඩාවලින් “දරුවෝ වැඩි විනෝදයක් ලබනවා. එය ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම . . . එවැනි ක්‍රීඩා සඳහා පැය ගණනක් කැප කරනවා” කියායි. රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් ආකාරයේ කය නොවෙහෙසන විනෝදාංශවලද දරුවෝ නියැලෙන විටත් ඉහත ආකාරයෙන්ම පැය ගණන් ඒ සඳහා කැප කරන බව නිගමනය කර තිබෙනවා.

කය නොවෙහෙසීමේ ඇති අවදානම

කය නොවෙහෙසීම නිසා බොහෝ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි. නිදසුනකට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආයතනයක් මෙසේ වාර්තා කරනවා. “කය නොවෙහෙසන දරුවන් ආත්ම විශ්වාසය අඩුවීමේ අවදානමක සිටිනවා. ඒවගේම එම දරුවන් කාංසාව හා මානසික පීඩනය වැඩියෙන් අද්දකිනවා. මෙම දරුවන් ක්‍රියාශීලී දරුවන්ට වඩා වැඩියෙන් දුම්පානයේ සහ මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදෙන බව පෙනෙන්න තිබෙනවා. කය නොවෙහෙසා සිටින සේවකයන් ක්‍රියාශීලී සේවකයන්ට වඩා වැඩියෙන් නිවාඩු ගැනීමේ ප්‍රවණතාවක් දකින්න තිබෙනවා. ඒ වගේම කාලයක් යද්දී ඔවුන්ට එදිනෙදා කටයුතු පවා කරගැනීමට අවශ්‍ය වන ශක්තිය හීන වී යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුට තනියම යමක් කරගත නොහැකි තත්වයකට පත් වන අතර මානසික ශක්තියද බිඳ වැටෙනවා.”

කැනඩාවේ ශාරීරික සුවතාව පිළිබඳ පර්යේෂණ ආයතනයේ සභාපතිනිය වන කෝරා ක්‍රේග් මෙවන් පැහැදිලි කිරීමක් කරනවා. “කැනඩාවේ වැසියන් කය වෙහෙසන රැකියාවල දැන් පෙර ලෙසම නියැලෙන්නේ නැහැ. . . . සමස්තයක් වශයෙන් ගත්තාම කැනඩාවේ වැසියන්ගේ ශරීරය වෙහෙසා කරන ක්‍රියාකාරකම් අඩු වෙලා.” කැනඩාවේ පුවත්පතක මෙසේ වාර්තා කරනවා. “කැනඩාවේ වැසියන්ගෙන් සියයට 48කගේ බර වැඩියි. එයින් සියයට 15ක් වැටෙන්නේ තරබාරු ගණයට.” එම පුවත්පතේ තවදුරටත් කියා සිටින්නේ කැනඩාවේ වැඩිහිටියන්ගෙන් සියයට 59ක් කය වෙහෙසන්නේ නැති බවයි. ෆින්ලන්තයේ කොපියෝ සරසවියේ වෛද්‍ය මාටි ඌසිටුපා මේ වගේ අනතුරු ඇඟවීමක් දෙනවා. එනම් “දෙවන වර්ගයේ දියවැඩියාව ලෝකයේ හැම තැනම වගේ වේගයෙන් පැතිර යන්නේ තරබාරුව හා කය නොවෙහෙසීම නිසයි.”—Globe and Mail නම් පුවත්පත.

හොංකොංවල මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි කළේ මෙයයි. අවුරුදු 35 හෝ ඊට වැඩි පුද්ගලයන් අතර සිදු වෙන මරණවලින් සියයට 20කට පමණ හේතුව කය නොවෙහෙසීම විය හැකියි. හොංකොං සරසවියේ මහාචාර්ය තායි හිං ලැම් කළ අධ්‍යයනයෙන් නිගමනය කළේ මෙයයි. හොංකොංවල සිටින චීන වැසියන්ට “දුම්පානයෙන් ඇති වන ප්‍රතිවිපාකවලට වඩා වැඩි දෙයක් කය නොවෙහෙසීම නිසා ඇති විය හැකියි.” (Annals of Epidemiology නම් 2004දී නිකුත් කළ වාර්තාව) පර්යේෂකයන් කියා සිටින්නේ ඉතිරි චීන වැසියන්ද “ශාරීරික ව්‍යායාම් නොකිරීම නිසා ඇති වන ආබාධ හේතුවෙන් මරණයට පත් විය හැකි බවයි.”

මෙම පර්යේෂණ හා අධ්‍යයනවල සත්‍යතාවක් තිබෙනවාද? කය නොවෙහෙසීම දුම්පානයට වඩා අපගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවාද? ක්‍රියාශීලී පුද්ගලයන්ට වඩා කය නොවෙහෙසන අක්‍රියාශීලී පුද්ගලයන්ට අධි රුධිර පීඩනය, ආඝාත හා හෘද රෝග වැලඳීමේ, යම් පිළිකා වර්ග වර්ධනය වීමේ හා ඔස්ටියොපරෝසිස් රෝගය වැලඳීමේ වැඩි අවදානමක් තිබෙන අතර තරබාරු වීමේ ඉඩකඩද වැඩියි. *

එක් සඟරාවක මෙසේ වාර්තා කරනවා. “සෑම මහාද්වීපයකම මෙන්ම මන්දපෝෂණය ගැටලුවක්ව පවතින රටවල් තුළ පවා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ බර වැඩිවීම හෝ තරබාරු වීම සිතාගත නොහැකි ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒවගේම අධික කැලරි ප්‍රමාණයක් ඇති ආහාර වේල් ගැනීම සහ කය නොවෙහෙසීම එක්සත් ජනපදයේ තරබාරු ගණයට වැටෙන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමට හේතු වී තිබෙනවා.” (The Wall Street Journal නම් සඟරාව) ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කැරොලින්ස්කා ආයතනයේ සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ස්ටෙෆාන් රොස්නර් ඊට එකඟ වන අතර මෙවන් දෙයක් පැවසීමට ඔහු පසුබට වුණේ නැහැ. “හැම රටකම තරබාරු පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙනවා.”

කොතැනත් තිබෙන ගැටලුවක්

අපගේ යහපත් පැවැත්මට ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීම අවශ්‍ය බව පැහැදිලියි. කය නොවෙහෙසීමෙහි අවදානමක් තිබෙනවා කියා සෑම මාධ්‍යයකින්ම වාගේ අනතුරු අඟවා ඇතත් ලොව වටා සිටින පුද්ගලයන් බොහෝ පිරිසක් ඒ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැහැ. ලෝක ජනගහනයෙන් සියයට 60ත් 85ත් අතර පිරිසක් “නිරෝගී දිවියක් ලබාගැනීම සඳහා ව්‍යායාම් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මෙය දැරියන් සහ කාන්තාවන් අතර දකින්න ලැබෙනවා” කියා ලෝක හෘද රෝග ඒකාබද්ධ සංගමය කියා සිටිනවා. මෙම සංවිධානය කියා සිටින්නේ “ළමුන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් නිරෝගී සෞඛ්‍යයක් සඳහා ප්‍රමාණවත්ව ව්‍යායාම් නොකරන බවයි.” එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 40ක් කය වෙහෙසන්නේ නැහැ. එමෙන්ම අවුරුදු 12ත් 21ත් අතර සිටින යෞවනයන්ගෙනුත් අඩක් පමණ නිතිපතා කඩිසර ලෙස කය වෙහෙසන්නේ නැහැ.

යුරෝපයේ රටවල් 15ක් තෝරාගෙන එම රටවල් තුළ අක්‍රියාශීලී ජීවන රටාව කොතරම් පුළුල්ව පැතිර තිබෙනවාද කියා සොයා බැලුවා. එම අධ්‍යයනයට අනුව ස්වීඩනයේ සියයට 43දෙනෙකුගේ සිට පෘතුගාලයේ සියයට 87ක් දක්වා එවැනි ජීවන රටාවක් ගත කරමින් සිටියා. බ්‍රසීලයේ සැවෝ පවුලෝහි ජනගහනයෙන් සියයට 70ක් කය වෙහෙසන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ වාර්තා කරනවා. “ලෝකය පුරාම සිදු කළ සමීක්ෂණවල සංඛ්‍යා ලේඛන එක හා සමානයි.” එසේනම් සෑම වසරකම පුද්ගලයන් මිලියන දෙකක් ව්‍යායාම් නොකිරීම නිසා ඇති වන ආබාධ හේතුවෙන් මිය යනවා කියා තක්සේරු කිරීම අපව පුදුමයට පත් කරවන්නේ නැහැ.

ලොව වටා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් මෙම අක්‍රියාශීලී ජීවන රටාව දකින්නේ වහාම පියවරක් ගත යුතු යමක් ලෙසයි. එමනිසා ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල නිරත වීමෙන් ලැබෙන ප්‍රයෝජන මහජනයාට පෙන්වා දීම සඳහා ලොව වටා තිබෙන රාජ්‍ය ආයතන නොයෙක් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය වසර 2010 වන විට තම පුරවැසියන්ගේ කය වෙහෙසවන ක්‍රියාකාරකම් සියයට 10කින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. ස්කොට්ලන්තය වසර 2020 වන විට තම වැඩිහිටි ජනගහනයෙන් සියයට 50ක් කය වෙහෙසන ක්‍රියාකාරකම්වල නිරත කරවීමට බලාපොරොත්තු වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වෙනත් රටවල් වන්නේ මෙක්සිකෝව, බ්‍රසීලය, ජැමෙයිකාව, නවසීලන්තය, ෆින්ලන්තය, රුසියානු සමූහාණ්ඩුව, මොරොක්කෝව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ ස්ලෝවේනියාවයි.”

රාජ්‍ය ආයතන හා සෞඛ්‍ය සංවිධාන මොන වෑයමක් දැරුවත් තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම තමන්ගේ වගකීමක්. ඔබෙන් මෙසේ අසන්න. ‘මම ක්‍රියාශීලී පුද්ගලයෙක්ද? මම ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කරනවාද? එසේ නොමැති නම්, මම කය වෙහෙසන ජීවන රටාවක් ඇති කරගන්නේ කොහොමද? ඊළඟ ලිපිය ඔබේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කරගත හැකි අන්දම ඔබට පෙන්වා දෙයි.

[පාදසටහන]

^ 16 ඡේ. කය නොවෙහෙසීම ජීවිතයට තර්ජනයක් එල්ල වන තත්වයන් ඇතිවීමට විශාල ලෙස හේතු වෙනවා. නිදසුනකට අමෙරිකාවේ හෘද රෝග සංගමයට අනුව කය නොවෙහෙසීම “හෘද රෝග ඇතිවීමේ අවදානම දෙගුණ කරන අතර අධික රුධිර පීඩනය වැලඳීමේ අවදානම සියයට 30කින් ඉහළ නංවනවා. ඒවගේම හෘද රෝග හා ආඝාතය වැනි රෝගවලින් මියයෑමේ අවදානම දෙගුණ කර තිබෙනවා.”

[5වන පිටුවේ කොටුව]

ක්‍රියාශීලී නොවීම නිසා සිදු වන අවාසිය

ක්‍රියාශීලී නොවීම නිසා වැය කිරීමට සිදු වන මුදල් කන්දරාව ගැන බොහෝ රාජ්‍ය ආයතන හා සෞඛ්‍ය සංවිධාන විශේෂ සැලකිල්ලක් යොමු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව - පුද්ගලයන් කය නොවෙහෙසීම නිසා ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට වැය කරන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 377යි.

කැනඩාව - ලෝක හෘද රෝග ඒකාබද්ධ සංගමයට අනුව කැනඩාවේ පුද්ගලයන් “කය නොවෙහෙසීම නිසා” එක් වසරකදී ඩොලර් බිලියන 2ක් සෞඛ්‍ය සේවා සඳහා වැය කළා.

එක්සත් ජනපදය - වසර 2000දී එක්සත් ජනපදය ඩොලර් බිලියන 76ක් තරම් ඇදහිය නොහැකි මුදල් කන්දරාවක් කය නොවෙහෙසීම හේතුවෙන් ඇති වන සෞඛ්‍ය ගැටලු සඳහා වැය කළා.

[5වන පිටුවේ කොටුව⁄පින්තූර]

දරුවන්ට ශාරීරික ව්‍යායාම් අවශ්‍යයි

මෑතක කළ අධ්‍යයනයන්වලින් පෙනී ගොස් තිබෙන්නේ දරුවන් විශාල සංඛ්‍යාවක් නිතිපතා ශාරීරික ව්‍යායාම්වල නිරත නොවන අතර එසේ නොකරන දරුවන්ගේ සංඛ්‍යාවද වර්ධනය වන බවයි. අක්‍රියාශීලී බව වැඩියෙන් දකින්න තිබෙන්නේ පිරිමි ළමුන් අතරට වඩා ගැහැනු ළමුන් අතරයි. දරුවන් ක්‍රම ක්‍රමයෙන් උස් මහත් වෙද්දී ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් අඩු වන බව පෙනෙන්න තිබෙනවා. පහත දැක්වෙන්නේ දරුවන් ශාරීරික ව්‍යායාමයේ යෙදීමෙන් ලැබෙන්නාවූ ප්‍රයෝජන කිහිපයක්.

● අස්ථි, මාංස පේශී සහ සන්ධි ශක්තිමත් වීම

● බර වැඩිවීම හා තරබාරු වීම මඟ හැරෙයි

● අධි රුධිර පීඩනය වළකාගැනීමට හෝ වැලඳීම ප්‍රමාද වීම

● දෙවන වර්ගයේ දියවැඩියා රෝගය වැළැක්වීම

● ආත්ම අභිමානය වැඩි කරන අතර කාංසාව හා මානසික පීඩනය වැළැක්වීම

● ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කර ගැනීමෙන් වැඩිහිටි වියේදීත් කය වෙහෙසා වැඩ කිරීමට හැකි වෙයි

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වැඩිහිටි අයට නිරෝගිකම ලැබේ

ඔබ වයසට යන විට ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීමෙන් හොඳ ප්‍රයෝජන නෙළාගත හැකි බව කොයි කවුරුත් කියන දෙයක්. ඒත් වැඩිහිටි වියේ පසුවන අය වේදනා විඳීමට සිදු වෙයි හෝ අසනීප වෙයි කියා බිය වන නිසා ව්‍යායාම් කිරීමෙන් වැළකෙනවා. වැඩිහිටියන් ප්‍රබල ලෙස ව්‍යායාමයේ නිතිපතා යෙදෙන්න පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. වැඩිහිටි වියේ පසුවෙන අය ශාරීරික ව්‍යායාම් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ යන බව ප්‍රවීණයන් පවසනවා. පහත දැක්වෙන්නේ වැඩිහිටි අය නිතිපතා ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.

● අවධානය දීම

● ශක්ති මට්ටම ඉහළ යෑම

● සමබරතාව සහ නම්‍යතාව

● හොඳ මානසික සුවයක්

● අසනීප හෝ තුවාල සුවවීමේ වේගය වැඩීවීම

● ආන්ත්‍රවල හා අක්මාවේ ක්‍රියාකාරිත්වය දියුණු වීම

● පරිවෘත්තිය ක්‍රියාකාරිත්වය දියුණු වීම

● ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම

● අස්ථි සවිමත් වීම