Skip to content

පටුනට යන්න

දැනුමට මඟ—පුස්තකාල

දැනුමට මඟ—පුස්තකාල

දැනුමට මඟ—පුස්තකාල

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

මිනිසාගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වන්නේ පුස්තකාලවලින් නිසා ඒවා ගැන කතා නොකර සිටිය නොහැකියි. මිනිසාගේ ජීවන රටාවට සහ දියුණුවට දායක වී ඇති දේවල් අතරෙහි ඒවාටද වැදගත් තැනක් හිමි වන බව විශ්වකෝෂයක සඳහන් කර තිබෙනවා. (World Book Encyclopedia) පුස්තකාල ගැන කතා කරන විට ජර්මන් ජාතික කිවිඳෙකු වූ ගෝත කියා සිටියේ මිනිසාගේ ඉතිහාසය තිබෙන්නේ එහිය කියායි.

කතා නොකරම බැරි පුස්තකාල බවට පත් වී තිබුණේ කුමන ඒවාද? පුස්තකාලවලට සහ කියවීමේ හා ලිවීමේ හැකියාවේ වැඩි දියුණුවට විශාල ලෙස බලපෑවේ කුමන පොතද? නවීනදින තිබෙන අතිදැවැන්ත පුස්තකාලවල කොපමණ පොත් ප්‍රමාණයක් තිබෙනවාද? ඉහත සඳහන් මුල්ම ප්‍රශ්නයට පිළිතුර සොයාගැනීම සඳහා මිනිසාගේ ඉපැරණිතම පුස්තකාලයකට පා නඟමු.

පෞරාණික “මිනිසාගේ දැනුම් සම්භාරය”

ඔබ මැද පෙරදිග රටක් වන ඉරාකයේ සිටින ආකාරය සිතේ මවාගන්න. දැන් අපි ක්‍රිස්තු පූර්ව 650දී එහි තිබුණු තත්වය ගැන මනසේ චිත්‍රයක් ඇඳගනිමු. අහස උසට නැඟුණු තාප්පවලින් වට වූ නිනිවය නගරයේ ඔබ දැන් හිටගෙන ඉන්නවා කියා සිතන්න. ඔබ ඉදිරියේ අෂූර්බානිපල් රජුගේ දැවැන්ත රජමාලිගාව දිස් වෙයි. ඔහු අසිරියාවේ, ඊජිප්තුවේ සහ බැබිලෝනියේ පාලකයා වී සිටියි. * රජමාලිගාවේ දොරටු අසල සිටගෙන සිටින ඔබට කරත්තවල මැටි බඳුන් පටවාගෙන මාලිගාවට ඇතුල් වන මිනිසුන්ව දැකගත හැකියි. මොවුන් මේ පැමිණ සිටින්නේ ඇසිරියානු රාජධානිය පුරා ගමන් කිරීමෙන් පසුවයි. එහි විසූ සෑම සමාජයකටම, සංස්කෘතියකටම සහ ආගමකටම අයත් මිනිසුන්ගේ වත්පිළිවෙත් ගැන සඳහන් වන සෑම ලියකියවිල්ලක්ම එකතු කරගැනීමට ඔවුන් මහත් වෑයමක් දැරුවා. ඒ සඳහා අස්සක් මුල්ලක් නෑර මුළු රාජධානිය පුරාම ඔවුන් ගියා. දැන් ඔබට හිතෙයි ඒ බඳුනක තිබෙන දේවල් බලන්න ඕන කියලා. බඳුනක් ඇරලා බැලුවහම දකින්න තිබෙන්නේ සෙන්ටිමීටර් 8ක් පමණ පළල සහ සෙන්ටිමීටර් 10ක් පමණ දිග ඍජුකෝණාස්‍රාකාර මැටි ලෑලි පිරී තිබෙන ආකාරයයි.

දැන් රජමාලිගාව තුළට යන මේ මිනිසෙකු පිටුපස ඔබත් ගමන් කර බලන්න. අස්ථිවලින් සෑදූ පන්හිඳ අතැති පිටපත්කරුවන්ව දැකගත හැකියි. ඔවුන් කුඩා තෙත මැටි ලෑලිවල අකුරු කොටමින් සිටිනවා. විදේශ භාෂාවලින් තිබෙන ලියකියවිලි ඇසිරියානු භාෂාවට පරිවර්තනය කරමිනුයි ඔවුන් සිටින්නේ. ඉන්පසු එම වාර්තා සුරැකිව තබාගැනීමට ඔවුන් ඒවා පෝරණුවේ පුළුස්සා මැටි බඳුන්වල අසුරනවා. එහි කාමරවල තිබෙන රාක්කවල බඳුන් සියගණනක් ගබඩා කරලා. සෑම කාමරයකම තිබෙන වාර්තාවල විෂය ලේබලයක සටහන් කර එක් එක් කාමරයේ දොරටුවේ එල්ලා තිබෙනවා. මෙම පුස්තකාලයේ 20,000කට වඩා වැඩියෙන් තිබෙන මැටි ලෑලිවල ව්‍යාපාර කටයුතු, ආගමික චාරිත්‍ර, නීතිය, ඉතිහාසය, ඖෂධ සහ මිනිස් හා සත්ව සිරුරේ සැකැස්ම පිළිබඳ තොරතුරු රැසක් අඩංගුයි. ඒනිසා පසු කාලෙක සිටි විද්වතෙක් එය “මානව දැනුමේ විශ්වකෝෂයක්” කියා හැඳින්නුවා.

නිනිවයේ පුස්තකාලයට පෙර සහ පසු

නිනිවයේ අෂූර්බානිපල්ගේ පුස්තකාලයට පෙර තවත් විශාල පුස්තකාල තිබුණා. අෂූර්බානිපල් එය ඉදි කිරීමට වසර දාහකට පෙර හමූරාබි රජ බැබිලෝනියෙහි බොර්සිපා නගරයෙහි පුස්තකාලයක් ඉදි කළා. දෙවන රාමෙසෙස් විසින් ඊජිප්තු නගරයක් වන තීබ්ස්හි ප්‍රසිද්ධ පුස්තකාලයක් ඉදි කළේ නිනිවයේ පුස්තකාලය සෑදීමට වසර 700කට වඩා වැඩි කලකට පෙරයි. ඒත් නානාවිධ තොරතුරු සහ වාර්තා අතිවිශාල සංඛ්‍යාවක් සඳහා කීර්ති නාමය ලැබෙන්නේ අෂූර්බානිපල්ගේ පුස්තකාලයටයි. එය “පුරාණයේ තිබූ උසස්ම පුස්තකාලය” කියා පැවසිය හැක්කේ එමනිසයි. එය අබිබවා යන තවත් පුස්තකාලයක් ඉදි කරනු ලැබුවේ ඊට වසර 350ට පසුවයි.

එම පුස්තකාලය ඉදි කළේ ක්‍රි. පූ. 300දී පමණ පළමුවන ටොලමි සෝටර් විසින්. ඔහු මහා ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතියෙක්. එය ඉදි කර තිබුණේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙයි. එහි සිටි පුස්තකාලාධිපතීන් සෑහෙන වෙහෙසක් දැරුවේ ලොව පුරා තිබෙන ලියකියවිලිවලින් වැඩි කොටසක් එක්රැස් කරගැනීමටයි. * ජන වහරට අනුව, පණ්ඩිතයන් 70දෙනෙක් පමණ ශුද්ධලියවිල්ලේ හෙබ්‍රෙව් ලියවිල්ල ග්‍රීක් භාෂාවට පරිවර්තනය කරන්න පටන්ගත්තේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙයි. එම පරිවර්තනය ග්‍රීක සෙප්ටූඅජින්ට් ලෙසින් නම් කෙරුණා. මුල් ක්‍රිස්තියානීන් බොහෝවිට පාවිච්චි කළේ එම පරිවර්තනයයි.

පෙරදිග පුස්තකාල

අෂූර්බානිපල් තම පුස්තකාලය වැඩි දියුණු කරමින් සිටි සමයේදී චීනය පාලනය කරනු ලැබුවේ ෂූගේ රාජ වංශයයි. මෙම රාජ වංශය ක්‍රි. පූ. 1122 සිට ක්‍රි. පූ. 256 දක්වා පාලනය කළ අවදියේදී ග්‍රන්ථ කීපයක් නිපදවනු ලැබුවා. ඒවා නම් කෙරුණේ සම්භාව්‍ය ග්‍රන්ථ පහ ලෙසයි. පිළිවෙළින් එම පොත් පහේ සඳහන් වුණේ අනාගතය පිළිබඳ පෙර දැක්ම, මුල් පාලකයන්ගේ දේශනා කීපයක්, කවි, ආගමික උත්සව හා වතාවත් සඳහා උපදෙස් මෙන්ම ක්‍රි. පූ. 722 සිට ක්‍රි. පූ. 481 දක්වා තිබුණ ලූ රාජ්‍යයේ ඉතිහාසය ගැනයි. අවසානයට සඳහන් කළ පොත ලියා තිබෙන්නේ චීන දාර්ශනිකයෙකු වූ කොන්ෆියුෂස් විසින් කියා සිතිය හැකියි. එම සම්භාව්‍ය ග්‍රන්ථ පහ සහ ඒවාවල තිබෙන අදහස් චීන ජාතිකයන් සිතන පතන ආකාරයට බලපෑමක් කළා. එමෙන්ම අවුරුදු දෙදහකට වැඩි කාලයක් පුරා ඒවා රජයේ හා පෞද්ගලික පුස්තකාලවල ප්‍රධාන අංගයන් වෙලා තිබුණා.

ජපානය පාලනය කරමින් සිටි සමුරායි පවුලේ කෙනෙකු වූ හෝජෝ සානෙටෝකෝ තම උපන් නගරය වන කනසාවා (දැන් යොකෝහාමාවල) නගරයෙහි 1275දී පුස්තකාලයක් ඉදි කළා. චීන හා ජපන් භාෂාවෙන් තිබෙන සෑම පොතක්ම සොයාගෙන එහි තැබීමට ඔහු වෙහෙසක් දැරුවා. අද එහි තිබෙන පොත් සංඛ්‍යාව අඩු වී ඇතත් තවමත් එහි ඉහත සඳහන් කළ පොත් පත් වර්ග රැස තියෙනවා.

බයිබලය, පූජකාරාමවල පුස්තකාල සහ බටහිර සංස්කෘතිය

“ක්‍රිස්තියානි ධර්මයේ නැඟීම, ප්‍රචලිත වීම සහ නොකඩවා පැවැත්ම සඳහා පොත් පත්වලින් සහ පුස්තකාලවලින් මහඟු සේවයක් ඉටු වී ඇති බව පැවසිය හැකියි” කියා එක් පොතක සඳහන් වෙනවා. (පොතේ නම A History of Libraries in the Western World) පුස්තකාල ඉදි කිරීමේ හා ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත වීමේ තිබෙන සම්බන්ධතාව මොකක්ද?

රෝම අධිරාජ්‍යය බෙදුණු පසු, පුස්තකාලවල තිබුණු විශාල පොත් පත් ප්‍රමාණයක් විනාශ වී ගියා. සමහර ඒවා වෙනත් තැන්වලට ගෙන ගියා. ඒ කාලයේදී යුරෝපය පුරා ක්‍රිස්තියානි ලෝකයේ පූජකාරාම බිහි වෙන්න පටන්ගෙන තිබුණු අතර පුරාණ පුස්තකාලවල ඉතුරු වූ දේවල් එම පූජකාරාමවලට ගෙන ගියා. මෙම පූජකාරාම බොහොමයක ප්‍රධාන වැඩ කොටසක් වී තිබුණේ බයිබල් අත්පිටපත් හෝ වෙනත් අත්පිටපත් පිටපත් කිරීමයි. ශාන්ත බෙනෙඩික්ගේ නමින් තිබූ පූජකාරාම නිදසුනක් ලෙස දැක්විය හැකියි. ඒවා ක්‍රියාත්මක වුණේ “ශා. බෙනඩික්ගේ නීති” අනුවයි. පොත් කියවා පිටපත් කිරීම ඉන් එක් නීතියක්.

කොන්ස්ටැන්ටිනෝපල්හි පුස්තකාල තුළ පුරාණ අත්පිටපත් නිපදවා ගබඩා කර තිබුණා. පසුකලක ඒවා ඉතාලියේදීද යළි දක්නට ලැබුණා. මෙම අත්පිටපත් යුරෝපයේ පුනරුද යුගය බිහි කිරීමෙහිලා වැදගත් කාර්ය භාරයක් දැරූ බවට විශ්වාස කෙරෙනවා. ඉතිහාසඥ එල්මර් ඩී. ජොන්සන් පවසා තිබෙන්නේ මෙයයි. “බටහිර සංස්කෘතිය රැකීමට පූජකාරාමවල පුස්තකාල මගින් මෙහෙවරක් සිදු වුණේ නැහැයි කියා කිසිවෙකුටත් පැවසිය නොහැකියි. වසර දාහකට ආසන්න කාලයක් පුරා ඒවා යුරෝපයේ අධ්‍යාපනය සඳහා නැතුවම බැරි දෙයක්ව පැවතුණා. මෙය සිදු නොවුණා නම් අදදින තිබෙන බටහිර අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබුණා.”

එම කාලයේදී සිදු කෙරෙමින් පැවතුණ බයිබලය පිටපත් කිරීමේ වැඩය නිසා අධ්‍යාපනය ලැබීමේ ආශාව යටපත් නොවී දිගටම පැවතුණා. එමෙන්ම යුරෝපය පුරා සිදු කෙරුණ ආගමික ප්‍රතිසංස්කරණය නිසාත්, බයිබලය කියවන්න පොදු ජනයා දැක්වූ ආශාව නිසාත් කියවීමේ හා ලිවීමේ හැකියාවට වැටී තිබුණ වැට කඩුලු සිඳ බිඳලන්න ඔවුන් පෙලඹුණා. එක්තරා පොතක සඳහන් වී තිබුණේ මෙවැන්නක්. “රෙපරමාදු ප්‍රතිසංස්කරණය ඇති වෙනවාත් සමඟම, සමාජයේ සෑම සාමාජිකයෙකුටම අඩුම තරමින් බයිබලයවත් කියවන්න හැකියාව ලැබෙන තරමට අධ්‍යාපනයක් ලැබිය යුතුයි යන අදහස දරන්න පටන්ගත් බවයි පෙනෙන්න තිබෙන්නේ. දේවධර්මය පිළිබඳ මතභේදයන් වැඩිවීමට පටන්ගත් නිසා ආගමික ලියවිලි රැසක් කියවා බැලීමේ අවශ්‍යතාවක් ඇති වුණා. මේ සඳහා කියවීමේ හැකියාව පමණක් නොව පොත් පත් ලබාගන්න පුළුවන් ස්ථාන තිබීමත් අවශ්‍ය වුණා.”—The Story of Libraries නම් පොත.

බටහිර ලෝකය පුරා පුස්තකාල බිහිවීමටත්, කියවීමේ හා ලිවීමේ හැකියාව වැඩිදියුණු වීමටත් බයිබලය ප්‍රධාන මෙහෙවරක් ඉටු කළා. ඉන්පසු මුද්‍රණාලවල පොත් පත් නිපදවීම පටන්ගත් විට යුරෝපය පුරා මෙන්ම අන් රටවලද පෞද්ගලික හා රජයේ පුස්තකාලවල විවිධ විෂයන් යටතේ පොත් පත් රාශියක් දක්නට ලැබුණා.

විසිඑක්වන සියවසේ පුස්තකාල

අදදින සමහර පුස්තකාල සිතාගත නොහැකි තරම් අතිදැවැන්ත ඒවායි. පොත් රාක්කයක එක තට්ටුවක පොත් මිලියන 29කට වැඩි සංඛ්‍යාවක් අඩුක්කර තිබෙන කිලෝමීටර් 850ක් දිග පොත් රාක්කයක් ළඟ ඔබ සිටගෙන සිටිනවායයි සිතන්න. ලෝකයේ තිබෙන විශාලතම පුස්තකාලය වන එක්සත් ජනපදයේ කොංග්‍රස් පුස්තකාලයේ තමයි එම පොත් සියල්ලම තිබෙන්නේ. පොත්වලට අමතරව එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය තැටි මිලියන 2.7ක් පමණද, ඡායාරූප මිලියන 12ක්ද, සිතියම් මිලියන 4.8ක් සහ අත්පිටපත් මිලියන 57ක්ද තිබෙනවා. සෑම දිනකම මෙම පුස්තකාලයට එවැනි දේවල් 7,000ක් එකතු වෙනවා!

ඊළඟට වැඩිම පොත් සංඛ්‍යාවක් තිබෙන පුස්තකාලය තිබෙන්නේ ලන්ඩන් නුවරයි. එය බ්‍රිතාන්‍ය පුස්තකාලය ලෙස හැඳින්වෙන අතර එහි පොත් මිලියන 18කට වඩා වැඩියෙන් තිබෙනවා. මොස්කව්හි තිබෙන රුසියානු රජයේ පුස්තකාලයෙහි පොත් මිලියන 17ක් තිබෙන අතර සෑම වසරකම පුවත්පත් 6,32,000ක් පමණ ඊට එක් වෙනවා. යුරෝපයේ පැවති ජාතික පුස්තකාලවලින් ඉතිරිව තිබෙන පැරණිතම පුස්තකාලය වන ප්‍රංශයේ ජාතික පුස්තකාලයේ පොත් මිලියන 13ක් තිබෙනවා. එමෙන්ම “අන්තර්ජාලය හරහා සෑම තොරතුරක්ම පාහේ ලබාගත හැකි වුණ මුල්ම පුස්තකාලය ප්‍රංශ ජාතික පුස්තකාලය” බව පොතක සඳහන් වෙයි. (Library World Records නම් පොත) පරිගණකයක් තිබෙන අයට මිනිසාගේ ඉතිහාසය පිළිබඳ දැනුම අන්තර්ජාලයෙන් ලබාගැනීම පහසුයි.

අප ජීවත් වන්නේ තොරතුරු ගලන යුගයක නිසා පෙර නොදුටු විරූ අයුරින් තොරතුරු සම්භාරයක් ලබාගැනීමේ හැකියාව දැන් තිබෙනවා. ගණන් බලා ඇති ආකාරයට සෑම වසර හතරහමාරකටම සැරයක් මිනිසාට තොරතුරු ලබාගැනීම සඳහා පොත් පත් දෙගුණ වෙනවා. එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම අලුත් පොත් 1,50,000කට වඩා මුද්‍රණය කෙරෙනවා.

පුරාණ විද්වතෙකු, ලේඛකයෙකු හා රජ කෙනෙකු වූ සාලමොන්ගේ නිරීක්ෂණය අදටත් හොඳින් ගැළපෙනවා. ඔහු ලීවේ මෙයයි. “බොහෝ පොත් සෑදීමෙන් නිම නැත; බොහෝ ඉගෙනගැන්ම ශරීරයට වෙහෙසකි.” (දේශනාකාරයා 12:12) අවබෝධයෙන් යුතුව පුස්තකාලවලින් උපරිම ප්‍රයෝජන ලබනවා නම් “දැනුමට මඟ අතළඟය” යනුවෙන් යුනෙස්කෝ සංවිධානය (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) පැවසූ විරුදාවලිය ලැබීමට ඇත්තෙන්ම ඒවා සුදුසුයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. අෂූර්බානිපල් බයිබලයෙහි එස්රා 4:10හි සඳහන්ව ඇති ඔස්නප්පර් බවට විශ්වාස කෙරෙයි. ඔහු යූදාහි මනස්සේ රජුගේ කාලයෙහි සිටි කෙනෙක්.

^ 10 ඡේ. පුරාණ සහ නවීන දින ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාල ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2005 ජනවාරි 8 එවේක්! කලාපය බලන්න. එය සිංහලෙන් නැහැ.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පුස්තකාලාධිපතිගේ වැඩ කොටස

පුස්තකාල සුචිවලින් ඔබට අවශ්‍ය පොත සොයාගන්න බැරි නම් බලාපොරොත්තු සුන් කර නොගෙන පුස්තකාලාධිපතිගෙන් අහන්න. ඔහුගේ හෝ ඇගේ අද්දැකීම් සම්භාරයෙන් අපට ලැබෙන ප්‍රයෝජන අපමණයි. පුස්තකාලාධිපතිවරයෙකු ලෙස වසර 20ක් පුරා සේවය කර ඇති රොඩරික් මෙවැන්නක් පවසයි. “පුස්තකාල සහ පුස්තකාලාධිපතීන් ගැන පවසද්දී භයක් දැනෙනවා. ‘මම මේ අහන ප්‍රශ්නය මෝඩ එකක් වෙන්න ඇති. ඒත් මට දැනගන්න ඕනේ . . . ’ නමුත් මොනම ප්‍රශ්නයක් හරි අහන එක මෝඩකමක් නෙවෙයි. පළපුරුදු පුස්තකාලාධිපතියෙකුගේ දක්ෂතාව ඔබ ඉල්ලන දේ නොව ඔබ අදහස් කරන දේ ඔබට සොයා දීමයි.”

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අංකවලින් අදහස් කරන්නේ කුමක්ද? 225.7

ඩුවි දශම වර්ගීකරණ ක්‍රමය

තමන් සතු පොත් පත් රැස මතකයේ තබාගැනීමට පුස්තකාලාධිපතීන් බොහෝදෙනෙක් අනුගමනය කරන්නේ ඩුවි දශම වර්ගීකරණ ක්‍රමයයි. ඔවුන්ගේ සුචිවල සහ ඔවුන්ගේ පොත්වල නාරටියේ අංක පෙළක් දක්නට තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම එළි දැක්වුවේ අග්‍රගණයේ පුස්තකාලාධිපතිවරයෙකු වූ මෙල්විල් ඩුවි විසින් 1876දීයි. සියලුම විෂයන් වර්ග කිරීමට මෙහිදී යොදාගෙන තිබෙන්නේ 000 සිට 999 දක්වා අංකයි. මතු දැක්වෙන පරිදි ඒවා ප්‍රධාන කාණ්ඩ දහයකට වෙන් කර තිබෙනවා.

000-099 සාමාන්‍ය

100-199 දර්ශනය හා මනෝවිද්‍යාව

200-299 ආගම

300-399 සමාජ විද්‍යාව

400-499 භාෂාව

500-599 විද්‍යාව සහ ගණිතය

600-699 තාක්ෂණය (ව්‍යවහාරික විද්‍යා)

700-799 කලා

800-899 සාහිත්‍යය සහ ලේඛනය

900-999 භූගෝලය සහ ඉතිහාසය

ඉන්පසු සෑම ප්‍රධාන කාණ්ඩයක්ම උප කාණ්ඩ දහයකට වෙන් කර එම කාණ්ඩවලට අයත් විෂයන් නම් කර තිබෙනවා. උදාහරණයකට බයිබලය යන නම පැමිණෙන්නේ 200 (ආගම) ප්‍රධාන කාණ්ඩය යටතේ 220 ලෙස වර්ග කර තිබෙන උප කාණ්ඩයෙයි. බයිබලයට අදාළ වෙනත් විෂයන් තවත් කාණ්ඩවලට වෙන් කර තිබෙනවා. “නව තෙස්තමේන්තුව” (ග්‍රීක් ශුද්ධ ලියවිලි) 225 ලෙස හඳුන්වා තිබෙනවා. කුමන වර්ගයේ පොතක්ද යන්න හඳුනාගැනීමට අමතර අංක යොදා තිබෙනවා.

01 දර්ශනය සහ සිද්ධාන්ත

02 විවිධ

03 ශබ්දකෝෂ, විශ්වකෝෂ, අකාරාදි

04 විශේෂ මාතෘකා

05 වාරික ප්‍රකාශන

06 සංවිධාන සහ කළමනාකරණය

07 අධ්‍යාපනය, පර්යේෂණය හා ඊට සම්බන්ධ විෂයන්

08 විෂය යටතේ එකතු වූ පොත් පත්

09 අදාළ විෂය පිළිබඳ ඉතිහාසය

එබැවින් මුළු බයිබලය පිළිබඳ විශ්වකෝෂයකට 220.3 යන අංකනය ලැබෙන අතර ග්‍රීක් ශුද්ධ ලියවිලි පිළිබඳ විස්තර සංග්‍රහයක් 225.7 යන අංකනයෙන් දැක්වෙයි.

කොංග්‍රස් පුස්තකාල වර්ගීකරණ ක්‍රමය මීට සමාන වුණත් යොදා තිබෙන්නේ අකුරු සහ අංකවල එකතුවක්. පොත් වැඩි හරියක කර්තෘගේ නමේ අකුරු කීපයක් ඇතුළත් හැඳුනුම් අංකය සටහන් වෙනවා. වෙනත් රටවල අනෙකුත් වර්ගීකරණ ක්‍රම යොදාගනියි.

[20වන පිටුවේ පින්තූරය]

අසිරියාවේ අෂූර්බානිපල් රජු (ක්‍රි.පූ. 650) සහ ඔහුගේ පුස්තකාලයේ ත්‍රිකෝණාකාර අක්ෂර සහිත මැටි ලෑල්ලක්

[20වන පිටුවේ පින්තූරය]

එංගලන්තයේ ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පුස්තකාලය

[20වන පිටුවේ පින්තූරය]

ස්විට්සර්ලන්තයේ පූජකාරාමයක පුස්තකාලයක් (1761)

[21වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලය (ක්‍රි.පූ. 300දී පමණ)

[හිමිකම් විස්තර]

From the book Ridpath’s History of the World (Vol. II)

[22, 23වන පිටුවේ පින්තූරය]

ලෝකයේ විශාලතම පුස්තකාලය වන අ.එ.ජ. කොන්ග්‍රස් පුස්තකාලය

[හිමිකම් විස්තර]

From the book Ridpath’s History of the World (Vol. IX)

[20වන පිටුවේ පින්තූරය හිමිකම් විස්තර]

ඉහළ වමේ සහ පහළ පින්තූර: Erich Lessing/ Art Resource, NY; tablet: Photograph taken by courtesy of the British Museum