Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලය?

පෝලන්තයේ හා ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර කැණීම් කටයුතු සිදු කරන විට පැරණි විශ්ව විද්‍යාලයක් සොයාගත්තා. එම කණ්ඩායම විසින් එක සමාන ප්‍රමාණයේ දේශන ශාලා 13ක් සොයාගත් අතර එම ශාලා සියල්ලේ ශිෂ්‍යයන් 5,000කට ඉඩ පහසුකම් තිබෙනවා කියා ලොස් ඇන්ජලිස් ටයිම්ස් නමැති පුවත්පතෙහි සඳහන් වෙනවා. මෙම ශාලා ගැන එම පුවත්පතෙහි පවසන්නේ මෙයයි. “ශාලාවේ පහළ සිට ඉහළට U හැඩයේ ආකාරයෙන් අසුන් ගැනීම සඳහා පඩි පෙළවල් තනා තිබුණා.” මැද අසුන මදක් උස් කර සාදා තිබුණා. එය සමහරවිට දේශකයා සඳහා තිබූ අසුන විය හැකියි. “මධ්‍යධරණී දේශ සීමාවට අයත් ග්‍රීසියේ හා රෝමයේ පළාත්වලින් මෙවැනි දේශන ශාලා සංකීර්ණයක් සොයාගනු ලැබුවේ පළමු වතාවටයි” කියා පුරාවිද්‍යාඥ සාහී හාවාස් පැවසුවා. ඔහු ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ ප්‍රධාන කවුන්සලයේ සභාපතියි. තවදුරටත් ඔහු කියා සිටින්නේ එය “ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලය විය හැකි” බවයි.

සුදුලූනු අයිස්ක්‍රීම්?

සුදුලූනුවල තිබෙන ඖෂධීය වටිනාකම නිසා එය කවදත් කාගෙත් ප්‍රසාදය දිනාගෙන තිබෙනවා. උතුරු ෆිලිප්පීනයේ මාරියානෝ මාකොස් සරසවිය විසින් “සෞඛ්‍යයට” හිතකර සුදු ලූනු අයිස්ක්‍රීම් නිපදවා තිබෙනවා කියා එක් පුවත්පතක වාර්තා කරනවා. (Philippine Star නම් පුවත්පත) සුදුලූනුවලින් යම් සහනයක් ලබාගත හැකි රෝගවලින් පීඩා විඳින අයට මෙම අයිස් ක්‍රීම්වලින් යම් ප්‍රයෝජනයක් ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා. සුදුලූනුවලින් යම් සහනයක් ලැබෙන රෝගවලින් කිහිපයක් නම් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, අධි රුධිර පීඩනය, ශ්වසන ආබාධ, හන්ධිපත් රුදාව, සර්ප විෂ, දත් කැක්කුම, ක්ෂය රෝගය, කක්කල් කැස්ස, තුවාල සහ තට්ටය පෑදීම වැනි රෝගයි. කාටද ඕනේ සුදුලූනු අයිස්ක්‍රීම්?

ආක්ටික් ගෝලයේ උපනිවර්තන දේශගුණයක්

ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සයිබීරියාව හා ග්‍රීන්ලන්තය අතර ආක්ටික් සමුද්‍රයේ පතුලෙහි කැණීම් සිදු කළා. යම් කලක එම ප්‍රදේශයේ තිබී ඇත්තේ උපනිවර්තන දේශගුණයක්. මෙම ගවේෂණ කණ්ඩායම ආක්ටික් මුහුදු පත්ල අඩි 400ක් පමණ ගැඹුරට හාරා රොන් මඩ ස්වල්පයක් පරීක්ෂණය සඳහා ලබාගැනීමට අයිස් කපාගෙන යන නැව් තුනක් භාවිත කළා. මෙම සාම්පලවල තිබුණ මුහුදු පැළෑටි සහ සත්වයන්ගේ කුඩා පොසිලවලින් පෙන්නුම් කරන්නේ සමුද්‍රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -1.5ක් නොව සෙල්සියස් අංශක 20ක්ව තිබී ඇති බවයි. මෙම මුහුදු පතුල ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ජෝන් බාක්මන් ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔහු සොයාගත් දේ බීබීසී විදෙස් පුවත් මගින් මෙසේ පවසා තිබුණා. “මෙම ගවේෂණයෙන් රැස් කරගත් විද්‍යාත්මක තොරතුරු අනුව ආක්ටික් මුහුදු පතුලේ මුල් ඉතිහාසය ගැන නැවත සලකා බලන්න සිදු වී තිබෙනවා.

කලු ලෑල්ල දැන් ඩිජිටල් වෙලා

මෙක්සිකෝවේ ප්‍රාථමික පාසැල් 21,000කට වඩා වැඩි සංඛ්‍යාවක සම්ප්‍රදායික කලු ලෑල්ල, හුණු කූර, මකනය වෙනුවට දැන් තිබෙන්නේ පරිගණකයක් ආධාරයෙන් ක්‍රියා කරන තිරයක් කියා මෙක්සිකෝවේ පුවත්පතක් වාර්තා කරනවා. (El Universal නම් පුවත්පත) මීටර් දෙකක් පමණ පළල හා මීටරයක උසක් ඇති මෙම තිරය පස්වන හා හයවන ශ්‍රේණියේ පංති සඳහා යොදාගැනේ. ඉතිහාසය, විද්‍යාව, ගණිතය, භූගෝල විද්‍යාව හා වෙනත් විෂයන් ඉගැන්වීමට පොත් පත් හතක අඩංගු තොරතුරු පරිගණකගත කර තිබෙනවා. මෙම තිරය මත වීඩියෝ පට පෙන්වීමටත් හැකියි. මේ නිසා එක් පංතියක සිසුන්ට “පිරමිඩ නැරඹීමට, මායාවරුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර නැරඹීමට හා ඔවුන්ගේ සංගීතයට සවන් දීමට පවා හැකි වුණා.” මෙයින් යම් ප්‍රයෝජනයක් තිබෙනවාද? “දරුවන්ගේ අවධානය දීම, ඉගෙනගැනීම සහ සහභාගි වීම වැඩි වෙලා තියෙනවා” කියා ගුරුවරිය පවසනවා.

වසරකට මිලියනයක් දිවි නසාගන්නවා

ලොව වටා සිදු වන සැහැසික මරණවලින් අඩකට පමණ හේතුව සිය දිවි නසාගැනීමයි. සෑම වසරකම මිලියනයක් වැනි සංඛ්‍යාවක් සිය දිවි නසාගන්නවා. මෙම සංඛ්‍යාව 2001දී සිදු වූ මිනි මැරුම් හා යුද්ධය නිසා සිදු වූ මරණවල එකතුවට වඩා වැඩියි. එසේ මිය ගිය අය මිය යෑමට පෙර 10 වතාවක් හා 20 වතාවක් අතර වාර ගණනක් සිය දිවි නසාගැනීමට තැත් කර තිබෙනවා. මෙම සංඛ්‍යා ලේඛන සකසා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා තිබෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ මෙම සෑම මරණයකටම හේතුව “ඔවුන් වැඩිදෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ගේ හා බොහෝ මිතුරන්ගේ ජීවිතවල මානසික, සමාජීය සහ ආර්ථික බිඳවැටීම් සිදු වී තිබෙන නිසා” කියායි. මෙම වාර්තාව සඳහන් කරන ආකාරයට සිය දිවි නසාගැනීම් වැළැක්වීම සඳහා “ආත්ම අභිමානයක්” ඇති කිරීම, මිත්‍රයන් හා පවුලේ අයගේ උපකාරය ලබා දීම, ශක්තිමත් සබඳතා ඇති කරගැනීම හා ආගම දහමට ලැදිවීම වැනි දේවල් ඔවුන්ට අවශ්‍ය වෙනවා.

දූවිලි කුණාටු ගැන අනතුරු ඇඟවීමක්!

කාන්තාර ප්‍රදේශවල දැන් කැබ් රථ හා ජීප් රථ වැනි වාහන යොදාගනිමින් ගමන් බිමන් යන නිසා “ලෝකය පුරාම දූවිලි කුණාටු දහ ගුණයකින් වැඩි වී තිබෙනවා. එය පරිසරයට හා සෞඛ්‍යයට හානි පමුණුවනවා” කියා ලන්ඩනයේ ද ටයිම්ස් සඟරාවේ සඳහන් වෙනවා. වාහන පැදවීමේදී කාන්තාරයේ වැල්ල හෑරී දූවිල්ල බොහෝ සෙයින් ඇවිස්සෙයි. “මෙම වාහන කාන්තාර හරහා පැදවීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. මැද පෙරදිග රටවල තම සත්ව රැළ බලාගත් ගෝත්‍රිකයන් දැන් යන්නේ ඔටුවන් පිට නොව එවැනි වාහනවලයි” කියා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ ගව්ඩී පවසනවා. කාන්තාරයේ දූවිලි ඇවිස්සෙනවාට අමතරව, “දූවිලි කුණාටුවලින් වගා බිම්වල සහ දිය සිඳුණු විල් පතුල්වල තිබෙන වල් නාශක හා කෘමී නාශක ඇවිස්සී පරිසරයට එක් වෙනවා” කියාත් ඔහු අනතුරු ඇඟවීමක් කරනවා. වාතයේ තිබෙන පරාග සහ බීජ නිසා දරුණු සෞඛ්‍ය ගැටලුද ඇති විය හැකියි. එක්සත් ජනපදයේ 1930 ගණන්වලදී අධික සීසෑම සහ නියඟය නිසා ප්‍රේරී තණබිම් විනාශ වූ ආකාරයටම අප්‍රිකාවේ සමහර පැතිත් එලෙසම විනාශ වී යා හැකිද කියා පරිසරවේදීන් සැලකිලිමත් වෙයි.

කඳු නඟින්නන්ගේ නොසැලකිලිමත්කමට ප්‍රතිඵල ලැබෙයි

සෑම වසරකම කඳු නඟින්න ගොස් සියගණන් ජනයා ජීවිතක්ෂයට පත් වෙයි. සමහරු ගල් පෙරළීම නිසා හෝ හෘදයාබාධය වැනි හදිසියේ ඇති වන රෝගයක් නිසා මිය යනවා. ඒත් ජර්මනියේ පුවත්පතකට අනුව එහි වාර්තා වන්නේ ඊට ප්‍රධාන හේතුව කඳු නඟින්නන්ගේ නොසැලකිලිමත්කම කියලයි. (Leipziger Volkszeitung නම් පුවත්පත) මෙම ගැටලුවට හේතුව තරුණකම හෝ පළපුරුද්දක් නැතිකම නොවේ. ස්විට්සර්ලන්තයේ සර්මැට්හි කඳු තරණ මාර්ගෝපදේශකයන්ගේ සංගමයේ සභාපති වන මයිගී බයිනර් කියා සිටින්නේ “අද්දැකීම් ලත් හා නොලත් අය තමන්ගේ හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාස කිරීමත් එසේ නැත්නම් කාලගුණය හා පවතින තත්වයන් ගැන වැඩි අවධානයක් නොදීමත් නිසා මෙවැනි දේවල් සිදු වෙනවා” කියායි. හදිසි අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂාවට හෙලිකොප්ටරයක් එයි කියා ජංගම දුරකථන අතැතිව සිටින අය අනවශ්‍ය නිසැකකමක් තබාගන්නවා.

අනපේක්ෂිත යෝධ රැළි

සෑම සතියකම ලෝකේ කොතැනක හෝ විශාල නැව් දෙකක්වත් මුහුදු බත් වන බව පැවසේ. කන්ටේනර් ගෙන යන මීටර් 200කට වඩා දිග යෝධ නැව් පවා මුහුදට බිලි වී තිබෙනවා. මෙවැනි විපත් බොහොමයකට හේතුව අතිවිශාල යෝධ රැළි කියා විශ්වාස කෙරෙනවා. විශාල නැව් ගිලා බස්වන තරමේ ඉහළට නඟින යෝධ රැළි තිබෙන බව නැවියන් පැවසූ විට ඔවුන් කෙන්ද කන්ද කරනවා කියායි සිතුවේ. එහෙත් යුරෝපියානු පර්යේෂක කණ්ඩායමක් එම වාර්තාවල සත්‍යයක් තිබෙන බව කියා සිටිනවා. මුහුදේ යෝධ රැළි චන්ද්‍රිකා ඡායාරූප ආධාරයෙන් පරීක්ෂණයට ලක් කළා. එම පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වන වුල්ෆ්ගැං රෝසෙන්තාල් පුවත්පතකට මෙසේ පවසනවා. “මෙවැනි මුහුදු රැළි ඇති වන්නේ ඉඳහිට කියා සිතුවත් යෝධ මුහුදු රැළි සාමාන්‍යයෙන් නිතර නිතර සිදු වෙන බව අපි ඔප්පු කර තිබෙනවා.” (Süddeutsche Zeitung නම් පුවත්පත) සති තුනක කාලයක් ඇතුළත එවැනි යෝධ රැළි අඩුම තරමින් දහයක්වත් ඇති වන බව ඔහුගේ කණ්ඩායම සොයාගත්තා. එම රැළි මීටර 40ක් පමණ ඉහළට නැඟ එකපාරට කඩා වැටෙන්නේ නැවක් සම්පූර්ණයෙන් කඩා බිඳ දමා අවසානයේදී මුහුදු බත් කිරීමට හැකි වේගයකින්. නැව් කිහිපයකට පමණයි ඒ රැළිවලට ඔරොත්තු දෙන්න හැකියාව තියෙන්නේ. “මෙම රැළි එන්න කලින් ඒ ගැන අනාවැකි පළ කළ හැකිද කියා අපිට දැන් සොයා බලන්න සිදු වෙලා තිබෙනවා” කියා රෝසෙන්තාල් පවසනවා.