1 රාජාවලිය 3:1-28

3  පසුව සලමොන් රජ ඊජිප්තුවේ රජ්ජුරුවන් වන පාරාවෝ සමඟ එකඟත්වයකට පැමිණ ඔහුගේ දුවව+ විවාහ කරගත්තේය.+ ඔහු ඇයව දාවිත්ගේ නුවරට+ රැගෙන ගියේය. සලමොන් රජ තමාගේ මාලිගාවද+ යෙහෝවා දෙවිගේ ගෘහය+ හා යෙරුසලම වටා ඇති පවුරද+ සාදා නිම කරන තුරු ඇයව ඒ නුවරේ තබාගත්තේය.  ඒ වන විට යෙහෝවා දෙවිගේ නාමය දරන ගෘහයක් ගොඩනඟා නොතිබුණු බැවින්+ ජනයා විවිධ ස්ථානවල පූජා ඔප්පු කළෝය.+  සලමොන් රජ තම පියා වූ දාවිත්ගේ අණපනත් පිළිපදිමින්+ දිගටම යෙහෝවා දෙවිට ප්‍රේම කළේය.+ ඔහු පූජා ඔප්පු කරන පිණිස නිතරම පූජනීය ස්ථානවලට ගියේය.+  ඒ කාලයේදී පූජා ඔප්පු කරන ප්‍රධානතම ස්ථානය+ වූයේ ගිබියොන් නගරයයි.+ එබැවින් සලමොන් රජ පූජා ඔප්පු කරන පිණිස එතැනට ගියේය. රජ එහි තිබූ පූජාසනය මත දවන පූජා දහසක් ඔප්පු කළේය.+  රාත්‍රියේ සලමොන් රජු ගිබියොන් නුවරෙහි නිදා සිටියදී යෙහෝවා දෙවි ඔහුට සිහිනයකින්+ පෙනී,+ “ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් එය මගෙන් ඉල්ලන්න”+ කියා කීවේය.  එවිට සලමොන් රජ මෙසේ කීවේය. “ඔබේ සේවකයාද මගේ පියාද වූ දාවිත් ඔබට විශ්වාසවන්තව සේවය කළා. ඔහු ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨ+ හා අවංක ජීවිතයක් ගත කළා. ඔබත් ඔහුට ඉමහත් ප්‍රේමයක්* පෙන්නුවා.+ අද ඔහුගේ පුත්‍රයෙක් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන සිටින්නේ ඔබ පෙන්වූ ඒ මහත් ප්‍රේමය* නිසයි.+  මාගේ දෙවියනි, යෙහෝවා, ඔබ මගේ පියා වන දාවිත්ගෙන් පසුව ඔබේ සේවකයා වන මාව රජකමට පත් කළා. නමුත් මට මේ වගකීම් දරන්න අද්දැකීම් නැහැ.+ මම තරුණයෙක්.+  ඔබ තෝරාගත් ඔබේ සෙනඟගේ+ පාලකයා මමයි. ඔවුන් ගණන් කරන්නවත් බැරි තරම් අතිවිශාල සෙනඟක්.+  මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.” 10  සලමොන් රජ එවැනි ඉල්ලීමක් කළ නිසා යෙහෝවා දෙවි සතුටු විය.+ 11  එබැවින් දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ දීර්ඝායුෂවත් ධන සම්පත්වත්+ ඔබේ සතුරන්ගෙන් පළිගන්න කියාවත් ඉල්ලුවේ නැත. ඒ වෙනුවට නිවැරදි තීන්දු දීම සඳහා තේරුම්ගැනීමේ ශක්තිය ලබා දෙන මෙන් ඔබ ඉල්ලුවෙහිය.+ 12  ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි. 13  ඔබ නොඉල්ලූ දේ පවා මම ඔබට දෙන්නෙමි.+ ඔබේ මුළු ජීවිත කාලය පුරාවට මහත් ධන සම්භාරයක්ද+ ගෞරවයද ඔබට ලබා දෙන්නෙමි. ඔබෙන් පසුව වෙන කිසි රජෙක් ඒ තත්වයට පත් නොවනු ඇත.+ 14  ඔබේ පියා වන දාවිත් මෙන්+ ඔබත් මාගේ නියෝග සහ ආඥා පිළිපදිමින්+ මා පෙන්වන ලෙස ජීවත් වුණොත් මම ඔබේ ආයු කාලයද වැඩි කරන්නෙමි.”+ 15  සලමොන් රජ අවදි වූ විට,+ දෙවි තමාට සිහිනයකින් කතා කළ බව ඔහුට වැටහිණ. පසුව ඔහු යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ ඉදිරියේ දවන පූජා හා හවුල් පූජා+ ඔප්පු කර, තමාගේ සියලු සේවකයන්+ සඳහා විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය.+ 16  පසුව ගණිකාවෝ+ දෙදෙනෙක් රජු ඉදිරියට පැමිණියෝය.+ 17  එක් ස්ත්‍රියක් මෙසේ කීවාය. “මගේ ස්වාමීනි,+ අපි දෙදෙනා ඉන්නේ එකම නිවසේ. මට දරුවෙක් ලැබෙද්දී මේ ස්ත්‍රියත් මා ළඟ සිටියා. 18  දරුවා ලැබී දවස් තුනකට පසුව ඇයටත් දරුවෙක් ලැබුණා. අප දිගටම ජීවත් වුණේ එකම නිවසේ. අප දෙදෙනා හැර වෙන කිසිවෙක් එහි සිටියේ නැහැ. 19  දිනක් ඈ නින්දෙන් දරුවාගේ ඇඟ උඩට පෙරළුණු නිසා ඇගේ පුතා මැරුණා. 20  ඔබේ සේවිකාව වන මම නිදා සිටින අතරේදී ඈ රාත්‍රියේම අවදි වී ඇගේ මිය ගිය පුතාව මා ළඟ තබා මගේ පුතාව ඇය ළඟින් තබාගත්තා. 21  මා උදේ නැඟිට මගේ පුතාට කිරි දෙන්න+ බලද්දී පුතා මිය ගොස් සිටින බව මම දැක්කා. නමුත් දරුවා දෙස බලද්දී ඔහු මගේ පුතා නොවන බව මම හඳුනගත්තා.” 22  නමුත් අනික් ස්ත්‍රිය මෙසේ පැවසුවාය. “නැහැ. ඔබ කියන්නේ බොරු. පණපිටින් ඉන්නේ මගේ පුතා. ඔබේ පුතා තමයි මැරුණේ!” එවිට මේ ස්ත්‍රිය, “නැහැ. මැරුණේ ඔබේ පුතා. මගේ පුතා නෙවෙයි” කියා පැවසුවාය. ඔවුහු රජු ඉදිරියේ මෙසේ වාද කරමින් සිටියෝය.+ 23  අවසානයේදී රජ මෙසේ පැවසුවේය. “එක ස්ත්‍රියක්, ‘පණපිටින් ඉන්නේ මගේ පුතා. ඔබේ පුතා මැරුණා’ කියා කියනවා. අනික් ස්ත්‍රිය, ‘නැහැ. මැරුණේ ඔබේ පුතා, මගේ පුතා නෙවෙයි’ කියා පවසනවා. 24  මේ ප්‍රශ්නේ විසඳන්න මට කඩුවක් ගෙනත් දෙන්න.”+ රජුගේ සේවකයෝ කඩුවක් ගෙනාවෝය. 25  එවිට රජ මෙසේ කීවේය. “දරුවාව දෙකට කපා එක කොටසක් එක් ස්ත්‍රියකටද අනික් කොටස අනික් ස්ත්‍රියටද දෙන්න.” 26  පණපිටින් සිටි දරුවාගේ මවට තම පුත්‍රයා ගැන දැනුණු මව් සෙනෙහස+ නිසා ඇය එකෙනෙහිම රජුට මෙසේ පැවසුවාය. “අනේ මගේ ස්වාමීනි,+ දරුවාව ඇයටම දෙන්න. දරුවාව මරන්න නම් එපා.” නමුත් අනික් ස්ත්‍රිය, “දරුවා අප දෙදෙනාගෙන් කාටවත් අයිති වෙන්නේ නැහැ. දරුවාව දෙකට කපන්න”+ යයි පැවසුවාය. 27  එය අසා රජ මෙසේ කීවේය. “දරුවාව මරන්න එපා. ඔහුව අර ස්ත්‍රියට දෙන්න. ඇයයි දරුවාගේ සැබෑ මව.” 28  රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”