දේශනාකාරයා 10:1-20

10  මළ මැස්සන් නිසා අනර්ඝ තෛලයක්+ වුවද නාස්ති වී දුඟද හමන්න පටන්ගනියි. එලෙසම, අන්‍යයන්ගේ ගෞරවය දිනාගෙන සිටින ප්‍රඥාවන්තයෙකු කරන එක් මෝඩ ක්‍රියාවකින් ඔහුගේ හොඳ නම පලුදු වෙයි.+  ප්‍රඥාවන්තයාගේ සිත හරි මඟට යොමු වෙයි.+ නමුත් අඥානයාගේ සිත යොමු වන්නේ නරක දේටය.+  මෝඩයා කුමන දෙයක් කළත් ඔහුගේ අඥානකම* හොඳින් පැහැදිලි වේ.+ ඔහු තම මෝඩකම සියල්ලන් ඉදිරියේ ප්‍රදර්ශනය කරයි.+  පාලකයෙකු ඔබට විරුද්ධව උදහස් වුණොත් ඔබේ තැන අත්හැර නොයන්න.+ මන්ද සන්සුන්ව සිටීමෙන් සිදු වීමට තිබෙන ලොකු වරදක් වුණත් වැළැක්විය හැක.+  ඉර යට සිදු වන තවත් විපතක් මම දුටුවෙමි. එය නම් පාලකයෙකු+ අතින් සිදු වන වරදකි.+  උසස් තනතුරු බොහොමයකට පත් කර තිබෙන්නේ මෝඩයන්වය.+ එහෙත් සුදුසුකම් ලත් අය සිටින්නේ පහත් තනතුරුවලය.  සේවකයන් අශ්වයන් පිට නැඟ යන ආකාරයත් අධිපතීන් පයින් යන ආකාරයත් මම දුටුවෙමි.+  වළක් කපන්නා ඒ වළටම වැටිය හැකියි.+ ගල් පවුරක් බිඳ දමන්නාට සර්පයෙකු දෂ්ට කළ හැකියි.+  ගල් කඩන්නාට ඒ ගල්වලින් හානියක් විය හැක. දර පළන්නාද පරෙස්සම් විය යුතුය.+ 10  යකඩ ආයුධයක් මොට්ට වූ විට එය මුවහත් නොකර+ භාවිත කරන්නේ නම් ශක්තිය නිකරුණේ වැය කිරීමට සිදු වෙයි. එලෙසම, ප්‍රඥාව නිසි ලෙස යොදා නොගන්නේ නම් එයින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකිය.+ 11  නයාව නටවන්නත් කලින් ඌ දෂ්ට කරයි+ නම් නයි නටවන්නා පසුව කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැත. 12  ප්‍රඥාවන්තයාගේ මුඛයෙන් නික්මෙන්නේ ප්‍රිය වචනයි.+ එහෙත් අඥානයාගේ වචන ඔහුගේම විනාශයට හේතු වෙයි.+ 13  අඥානයා තම කතාව බොළඳ ලෙස ආරම්භ කළත්+ එහි අවසානය විනාශකාරීය. 14  මෝඩයා පාලනයකින් තොරව බොහෝ වචන පිට කරයි.+ අනාගතයේ කුමක් සිදු වේදැයි මිනිසෙකුට කිව නොහැකිය. ඔහු මිය ගිය පසු කුමක් සිදු වේදැයි කිව හැක්කේ කාටද?+ 15  අඥානයෝ නිකරුණේ වෙහෙස මහන්සි වෙති.+ නුවරට ඇතුල් වන දොරටුවවත් ඔවුන්ට සොයාගත නොහැක.+ 16  දේශයේ වැසියෙනි, ඔබේ රජු කුඩා දරුවෙකු නම් කුමක් සිදු වේවිද?+ ඔබේ අධිපතීන් උදෑසන සිටම කමින් බොමින් සිටින්නේ නම් ඔබේ තත්වය කුමක්ද? 17  එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි. 18  අලසයාගේ වහලේ පරාල කැඩී යයි. ඔහු අත් දෙක බැඳගෙන නිදාගෙන සිටින නිසා ඔහුගේ නිවස වැස්සට තෙමෙයි.+ 19  සේවකයෝ කෑම කා ප්‍රීති වෙති. වයින් බීමෙන් ජීවිතයට සතුටක් එක් කළ හැකියි.+ නමුත් ජීවිතේ මොන දේ කරන්නත් මුදල් අවශ්‍යයයි.+ 20  ඔබේ නිදන කාමරයේදීවත් රජුට විරුද්ධව කතා නොකරන්න.+ ඔබ, ගේ ඇතුළේ විවේක ගනිමින් සිටියදී පවා ධනවතෙකු ගැන කිසි වරදක් නොකියන්න.+ මන්ද අහසේ පියාසර කරන කුරුල්ලෙක් ඔබ කියූ දේ අසා ඒ ගැන දන්වයි. පක්ෂියෙක් ඔබ කියූ දේ ගැන ඔවුන්ට දැනුම් දෙයි.+

පාදසටහන්

හිතෝ 6:32හි පාදසටහන බලන්න.