Skip to content

පටුනට යන්න

භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න

භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න

භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න

ජේම්ස් ජීවත් වෙන්නේ සොලමන් දූපත්වලයි. කුඩා කාලයේ ඉඳලා ඔහුව පුරුදු කළේ නොපෙනෙන බලවේගයන් හා භූතයන්ට ගරු කරන්නයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මම කවදාවත් කාටවත් හූනියම් කරලා නැහැ. හැබැයි ඒ වගේ බලවේගයන්ගේ උදව් උපකාර නැතුව සාර්ථක ජීවිතයක් ගත කරන්නත් බැහැ.”

ලෝකයේ ඉන්න බොහෝදෙනෙක් වගේම මෙම දූපත්වල ජීවත් වෙන අයත් නොපෙනෙන බලවේගයන්ගෙන් හා භූතයන්ගෙන් කෙනෙකුට හානියක් හෝ සෙතක් විය හැකියි කියා විශ්වාස කරනවා.

උදාහරණයකට ජේම්ස්ගේ කුඩා කාලයේදී ඔහුගේ ගමේ වැසියන් කොහා හැඬූ විගස භය වුණා. එවිට ස්ත්‍රීන් තම දරුවන්ව ඉක්මනින්ම ගේ ඇතුළට රැගෙන ගියා. ඔවුන් විශ්වාස කළේ මෙය භූතයෙකුගෙන් කෙනෙකුට හානියක් සිද්ධ වෙන සංඥාවක් කියායි.

ඒ ගමේ භූතයන් සම්බන්ධ තවත් සිරිත් විරිත් තිබුණා. ජේම්ස් පවා මේවා විශ්වාස කළා. ඔහු භූතයන්ගෙන් ආරක්ෂා වීමට විශේෂ සුදු පාට ගලක් උළුවස්සේ එල්ලුවා. රැකියා ස්ථානයේ දවල් ආහාර ගත් පසු ඉතුරු කෑම ටික ඒ අවට විසි නොකර වෙනම මල්ලකට දාගෙන ඔහු එය ගෙදර ගෙන ගියා. එහෙම කළේ කට්ටඩියෙක් ඒවා අරගෙන හූනියම් කර ඔහුව අසනීප කරයි කියන භය නිසයි.

සමහරවිට ඔබ වෙසෙන ප්‍රදේශයේ මෙවැනි සිරිත් විරිත් නැතුව ඇති. එහෙම නැත්නම් ජේම්ස් වගේ ඔබත් භූත බලපෑම්වලින් ආරක්ෂා වීමට එවැනි දේවල් කරලත් ඇති.

එම විෂය ගැන බයිබලයේත් සඳහන් වෙනවා. දැන් අපි මේ වැදගත් ප්‍රශ්න තුනට බයිබලයේ තිබෙන පිළිතුරු බලමු. (1) ඔබට භූතයන්ගෙන් සිදු විය හැකි හානි මොනවාද? (2) සමහර සිරිත් විරිත්වල යෙදීමෙන් ඔබ භූතයන්ගේ උගුලට අසු වෙයිද? (3) භූත බලපෑම්වලින් සැබෑ ආරක්ෂාවක් ලබාගත හැක්කේ කෙසේද?

භූතයන් හානි කරන අන්දම

භූතයන් කියන්නේ මළ ගිය අයගේ ආත්ම නොවන බව බයිබලයේ පවසනවා. එහි පවසන්නේ “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියායි. (දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය, NW) එසේනම් භූතයන් කියා හඳුන්වන්නේ කාවද? ඒ සාතන් නමැති යක්ෂයාගේ පැත්ත ගත් කැරලිකාර දේවදූතයන්. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය මිනිසුන්ව නොමඟ යැවීමයි.—එළිදරව් 12:9.

පාවුල් එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියන විට පැහැදිලි කළේ භූත බලපෑම්වලින් ආරක්ෂා වීම අවශ්‍ය බවයි. එය බයිබලයේ වාර්තා වී තිබෙන්නේ මෙලෙසයි. ‘අපට තිබෙන පොරබැදීම රුධිරයටවත් මාංසයටවත් විරුද්ධව නොව, ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය.’ භූතයන්ගේ පාලකයා වූ සාතන් වන යක්ෂයා “ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින්” සිටිනවා කියා පේතෘස් පැවසුවා.—එෆීස 6:12; 1 පේතෘස් 5:8.

සාතන් අපට හානි කරන්නේ දෙවි අකමැති දේවල් කිරීමට පෙලඹවීම මගිනුයි. වැරදි දේ හරියි කියා පෙන්වීමටයි ඔහු නිතරම උත්සාහ කරන්නේ. “සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින්නේය” කියා බයිබලයේ පවසනවා. (2 කොරින්ති 11:14) ඔහු උත්සාහ කරන්නේ හොඳ කෙනෙක් ලෙස පෙනී සිටින්න වුණත් ඔහු දුෂ්ටයෙක්. ඒ වගේම, කෙනෙක් දෙවි ගැන සත්‍යය දැනගන්නවාටත් ඔහු කැමති නැහැ. (2 කොරින්ති 4:4) නමුත් ඔහු මිනිසුන්ව මුළා කරන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

මිනිසුන්ගේ නමස්කාරය ලබාගන්න සාතන්ට බලවත් ආශාවක් තිබෙනවා. දෙවිගේ පුත්‍රයා වන යේසුස් පොළොවේ සිටිද්දී ඔහුට පවා සාතන් පැවසුවේ ‘ඔබ වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න’ කියායි. එහෙත් යේසුස් රැවටුණේ නැහැ. සාතන්ව ප්‍රතික්ෂේප කර ඔහු මෙසේ පැවසුවා. “සාතන්, අහක්ව යව! මන්ද, ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය.’”—මතෙව් 4:9, 10.

මුළු විශ්වයේම බලවත්ම තැනැත්තා යෙහෝවා දෙවියි. ඔහුට කීකරුව සිටින අයට දිගටම හිරිහැර කරන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. (ගීතාවලිය 83:17; රෝම 16:20) යේසුස් මෙන් අපිත් දෙවිට කීකරු වෙන්න උත්සාහ කරනවා නම් සාතන්වත් ඔහුගේ භූතයන්වත් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. එසේ කිරීම සඳහා නොදැනුවත්ව හෝ සාතන්ටත් භූතයන්ටත් නමස්කාරය පිදෙන සිරිත් විරිත් මොනවාද කියා අපි හඳුනාගත යුතුයි.

එවැනි සිරිත් විරිත් හඳුනාගැනීම

යෙහෝවා දෙවි තම සෙනඟ වූ ඉපැරණි ඊශ්‍රායෙල්වරුන්ට අවට ජාතීන්ගේ සිරිත් විරිත් ගැන අනතුරු අඟවමින් මෙසේ පැවසුවා. ‘පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් කොඩිවින සහ හදි හූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.’ යෙහෝවා දෙවි එවැනි දේවල් කරන අයව සලකන්නේ කෙසේද කියා බයිබලයේ පවසන්නේ මෙලෙසයි. ‘එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.’—ද්විතීය කතාව 18:10-12NW.

ඔබ වෙසෙන ප්‍රදේශයෙත් නැකත් බැලීම ප්‍රසිද්ධ සිරිතක්ද? ගස් කොළන් හෝ ගල් වැනි දේවලට වැඳ වැටෙමින් ආරක්ෂාව පතනවාද? නිතරම කොඩිවින සහ හදි හූනියම් කරනවාද? යෙහෝවා දෙවිට හැර වෙනත් දෙවිවරුන්ට හෝ බලවේගයන්ට නමස්කාරය පිදෙන සිරිත් විරිත් කෙරෙනවාද?—රෝම 14:11; ෆිලිප්පි 2:9, 10.

ඔබ එවැනි චාරිත්‍රවල යෙදෙනවා නම් ඒවා අත්හැරීම අත්‍යවශ්‍යයි. දෙවිගේ අනුමැතිය ඇතුව පාවුල් පැවසූ දේ සලකා බලන්න. “යෙහෝවා දෙවිගේ මේසයටද භූතයන්ගේ මේසයටද පංගුකාරයන් වන්න ඔබට නොහැක.” එකම සැබෑ දෙවි යෙහෝවා නිසා අපි ඔහුට තනි භක්තිය දිය යුතුයි. ඔහු අපෙන් ඉල්ලන්නෙත් එයයි. එසේ නොකරන අය යෙහෝවා දෙවිගේ උදහසට ලක් වෙනවා කියා පාවුල් අනතුරු ඇඟෙව්වා.—1 කොරින්ති 10:20-22; නික්මයාම 20:4, 5.

මේ ගැනත් සිතන්න. විවාහ වීමට පෙර ලිංගිකව හැසිරීම බයිබලයේ හෙළාදකිනවා. (1 කොරින්ති 6:9, 10) බොහෝ රටවලද එවැනි හැසිරීමක් හෙළා දැක්කත් සමහර පැසිෆික් දූපත්වල අවිවාහක කාන්තාවක් වශී ගුරුකමක් * නිසා ලිංගිකව හැසිරුණොත් එය වරදක් ලෙස සලකන්නේ නැහැ. වශී ගුරුකම වැනි දේවලින් කෙරෙන්නේ වැරදි දෙයක් කෙරුණත් ඒ කෙනාව වගකීමෙන් නිදහස් කිරීමයි. එය සාතන් මිනිසුන්ව මුළා කරන තවත් ක්‍රමයක්.

බයිබලයෙන් අපට දැනගන්න ලැබෙන්නේ කෙනෙක් තමන් කරන ඕනෑම ක්‍රියාවකට වගකිව යුතු බවයි. (රෝම 14:12; ගලාති 6:7) මුල්ම කාන්තාව වන ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී වරද යක්ෂයා පිට පටවා ඉන් නිදහස් වෙන්නයි උත්සාහ කළේ. ඇය දෙවිට පැවසුවේ මෙලෙසයි. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.” (උත්පත්ති 3:13, 16, 19NW) හැබැයි යෙහෝවා දෙවි ඉදිරියේ එය නිදහසට කරුණක් වුණේ නැහැ. එදා මෙන් අදත් අපි එක් එක්කෙනා කරන ඕනෑම දේකට අපි දෙවිට ගණන් දිය යුතුයි.—හෙබ්‍රෙව් 4:13.

කළ යුත්තේ කුමක්ද?

දෙවිව සතුටු කරන්න ඔබ කැමති නම් ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි. පළවෙනි සියවසේ එෆීස නගරයේ ජීවත් වූ අය දෙවිව සතුටු කිරීම සඳහා කළ දේ අපට හොඳ ආදර්ශයක්. භූත බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට ඔවුන් සැමදෙනා තමන් ළඟ තිබූ ඊට සම්බන්ධ සියලු පොත් පත් ගෙනැවිත් ‘සියල්ලන් ඉදිරියෙහි ඒවා පුලුස්සා දැමුවා.’—ක්‍රියා 19:19.

යේසුස් ගැන පාවුල් ඔවුන්ට පැහැදිලි කළ දේ නිසා ඔවුන් මේ පොත් පත් පුලුස්සා දැමුවා පමණක් නොව ‘බොහෝදෙනෙක් ඇවිත් ඔවුන් කරමින් සිටි ක්‍රියා ප්‍රසිද්ධියේ පිළිගෙන ඒවා නොසඟවා ප්‍රකාශ කළා.’ (ක්‍රියා 19:18) ඉන් අදහස් කරන්නේ ඔවුන් කලින් කළ සිරිත් විරිත් වැරදි බව පිළිගෙන තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන ඒ අනුව ක්‍රියා කළ බවයි.

කාලයක් පුරා පැවැත්වූ එවැනි සිරිත් විරිත් අත්හැරීම පහසු නැති බව ඇත්තයි. කලින් සඳහන් කළ ජේම්ස්ටත් ඒ ගැටලුව තිබුණා. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයෙන් ඉගෙනගත් දේවල් හා අනාගතය ගැන දෙවි දුන් පොරොන්දු විශ්වාස කළත් තමන්ට ආරක්ෂාවක් ලැබෙන්නේ පරණ සිරිත් විරිත්වල යෙදුණොත් පමණයි කියාත් විශ්වාස කළා.

ජේම්ස් තම ආකල්පය වෙනස් කරගත් ආකාරය මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිව විශ්වාස කිරීමටත් ආරක්ෂාව ලබාගැනීමටත් මම යෙහෝවා දෙවිටම යාච්ඤා කළා.” එම සිරිත් විරිත් අත්හැරීමෙන් ඔහුට යම් හානියක් සිදු වෙලා තියෙනවද කියා ජේම්ස්ගෙන් ඇසූ විට “කොහෙත්ම නැහැ. ඇත්තටම මම දැන් සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවිව විශ්වාස කරනවා. දැන් මගේ හොඳම මිත්‍රයා යෙහෝවා දෙවියි” කියා ඔහු පැවසුවා. දැන් ජේම්ස් අවුරුදු හතක් පුරා පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස සේවය කරමින් බයිබලයෙන් තමා ඉගෙනගත් දේවල් අන් අයටත් ඉගෙනගන්න උපකාර කරනවා.

ඔබත් ජේම්ස් කළ දේ කිරීමට කැමතිද? එසේනම් ඔබ ජීවත් වන සමාජයේ පවතින සිරිත් විරිත් දෙවිගේ කැමැත්තට එකඟද නැද්ද කියා හොඳින් බලන්න. ඉන්පසුව බුද්ධිමත් තීරණයක් ගන්න. (රෝම 12:1, 2) භය නැතුව මිථ්‍යා සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔබ එසේ කරනවා නම් යෙහෝවා දෙවි ‘ඔබව පිළිගන්නා’ අතර ඔබට ආරක්ෂාව සපයනවා නොඅනුමානයි. (2 කොරින්ති 6:16-18) ‘යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි’ යන්න සත්‍යයක් බව ජේම්ස් අද්දැක්කා. එය ඔබටත් අද්දැකිය හැකියි.—හිතෝපදේශ 18:10NW.

[පාදසටහන]

^ 18 ඡේ. යම් විශේෂ පලා වර්ගයකට හෝ ආහාරයකට මතුරලා තරුණියෙකුට කන්න දී වශී කරන සිරිතයි ඉන් අදහස් කරන්නේ. නමුත් කෙනෙක්ව මත් කරවා බලෙන් සම්බන්ධකමක් පැවැත්වීම මින් අදහස් කරන්නේ නැහැ.

[19වන පිටුවේ පින්තූරය]

කොහා

[හිමිකම් විස්තර]

Courtesy of Dr. Bakshi Jehangir

[19වන පිටුවේ පින්තූරය]

කට්ටඩියෙකුගේ හූනියම් කිරීමකින් බේරෙන්න ඉතුරු කෑම ටික එකතු කරන ගැහැනු ළමයෙක්