Skip to content

පටුනට යන්න

හාස්කම්වලින් සුව කිරීම දෙවිගෙන්ද?

හාස්කම්වලින් සුව කිරීම දෙවිගෙන්ද?

පාඨකයන් අසයි

හාස්කම්වලින් සුව කිරීම දෙවිගෙන්ද?

යෙහෝවා දෙවිට ඕනෑම සුව කිරීමක් කරන්න බලය තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ නමස්කාරකයන්ට පවා එවැනි බලයක් සපයන්න දෙවිට පුළුවන්. දෙවි පුරාණ කාලයේ සිටි සමහරුන්ට සුව කිරීමට හැකියාව දුන්නා. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ඒ ගැන මෙසේ ලිව්වා. “එකිනෙකාට ආත්මයේ ප්‍රකාශ වීමක් ලැබෙන්නේ [දෙවිගේ බලය සියලුදෙනා තුළ ක්‍රියාත්මක වන්නේ] ප්‍රයෝජනවත් අරමුණක් උදෙසාය. උදාහරණයක් වශයෙන්, ආත්මය මාර්ගයෙන් [දෙවිගේ බලය මගින්] එක් කෙනෙකුට ප්‍රඥාවන්තව කතා කිරීමේ හැකියාව දෙනු ලැබේ. . . . එම ආත්මය [බලය] මාර්ගයෙන්ම තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාද දෙනු ලැබේ. . . . තවත් කෙනෙකුට අනාවැකි කීමේ හැකියාවද . . . තවත් කෙනෙකුට විවිධ භාෂාද” දෙනු ලැබේ.—1 කොරින්ති 12:4-11.

කෙසේවෙතත් මේ දීමනාව දිගටම ලැබෙන්නේ නැති බව පාවුල් තවදුරටත් සඳහන් කළා. ඔහු පැවසුවේ මෙසේයි. “අනාවැකි කීමේ දීමනා වුවද නැති වන්නේය. අන්‍යභාෂා කතා කිරීමේ දීමනා වුවද අවසන් වන්නේය. දැනුම තිබුණත් එය නැති වන්නේය.”—1 කොරින්ති 13:8.

පළමු සියවසේදී යේසුස් සහ ඔහුගේ ගෝලයන් සුව කිරීම් කළේ යම් අරමුණක් ඇතුවයි. එදා කළ සුව කිරීම්වලින් දෙවිට මහිමයක් ගෙන දුන් අතර අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවට දෙවිගේ අනුමැතිය තිබූ බවද ඉන් ඔප්පු වුණා. නමුත් පසු කාලයේදී ක්‍රිස්තියානි සභාව හඳුනාගත්තේ හාස්කම්වලින් හෙවත් ප්‍රාතිහාර්යයන්වලින් නොවෙයි. ඒ වෙනුවට එහි සාමාජිකයන් අතර තිබූ ප්‍රේමය හා දෙවි කෙරෙහි තිබූ විශ්වාසය මෙන්ම බලාපොරොත්තුව මගිනුයි. (යොහන් 13:35; 1 කොරින්ති 13:13) මෙසේ ක්‍රිස්තු වර්ෂ 100 පමණ වන විට සුව කිරීම් සඳහා දෙවි තවදුරටත් ඔහුගේ බලය ලබා දුන්නේ නැහැ. *

එහෙත් තවමත් ප්‍රාතිහාර්යමය සුව කිරීම් ගැන අසන්න ලැබෙනවා කියා සමහරු පවසනවා. උදාහරණයකට මිනිසෙකුගේ ඇඟ පුරාම දරුණු පිළිකාවක් පැතිරී තිබුණු බවත් දිනක් දෙවි ඔහුට “කතා කිරීමෙන්” පසු ඔහුගේ පිළිකාව නැත්තටම නැති වූ බවත් එක් පුවත්පතක වාර්තා වුණා.

ඔබත් එවැනි වාර්තා අසා තිබෙනවාද? එසේනම් ඔබ මේ ගැන සිතුවාද? ‘මේ වාර්තාව සත්‍යයක්ද? මේක ඔප්පු කරන්න වෛද්‍යමය පරීක්ෂණ පවත්වා තිබෙනවාද? ඊට අමතරව තවත් වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. එනම් ප්‍රාතිහාර්යකින් සුව කළා කියන හැම සුව කිරීමක්ම සිදු කරන්නේ දෙවිද? බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?’

යේසුස්ම අනතුරු අඟවමින් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පිළිතුරු දුන්නා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. . . . ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමිනි, ස්වාමිනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි නොකීවෙමුද? ඔබේ නාමයෙන් භූතයන් දුරු නොකළෙමුද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා [ප්‍රාතිහාර්යයන්] නොකළෙමුද’ යයි මාගෙන් අසන්නෝය. එවිට මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්නයයි ඔවුන්ට ප්‍රකාශ කරමි.”—මතෙව් 7:15, 21-23.

එයින් පෙනී යන්නේ අදදින හාස්කම්වලින් කරන සුව කිරීම් දෙවිගෙන් නොවන බවයි. දෙවිගේ නාමයෙන් බලවත් ක්‍රියා කරනවා යයි කියන අයට නොරැවටී සිටීම සඳහා දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීම අවශ්‍යයි. එමෙන්ම දෙවිගේ කැමැත්ත කරන ඔහුගේ සැබෑ සේවකයන් කවුද කියාත් අප නිවැරදි ලෙස හඳුනාගත යුතුයි.—මතෙව් 7:16-19; යොහන් 17:3; රෝම 12:1, 2.

[පාදසටහන]

^ 5 ඡේ. පෙනෙන විදිහට එම හැකියාව ලබා දීම නතර කළේ යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් පසුවයි.