Skip to content

පටුනට යන්න

බෘක්ලින් බෙතෙල් නිවස අවුරුදු 100 සපුරයි

බෘක්ලින් බෙතෙල් නිවස අවුරුදු 100 සපුරයි

ර්ෂ 1909 නිව් යෝර්ක් ජනපදයේ පිහිටි නිව් යෝර්ක් නගරයට විශේෂ අවුරුද්දක් වුණා. ඒ අවුරුද්දේදී එම නගරයේ විශාල සංවර්ධනයක් සිදු වුණා. ක්වින්ස් හා මැන්හැටන් ප්‍රදේශ යා කරමින් ක්වින්ස්බරෝ පාලමද, මැන්හැටන් හා බෘක්ලින් ප්‍රදේශ යා කරමින් මැන්හැටන් පාලමද සාදා නිම කළේ එම අවුරුද්දේදීයි.

වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි යන නමින් ලියාපදිංචි වී සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටද එය විශේෂ අවුරුද්දක් වුණා. එයට හේතුව පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පිහිටි මූලස්ථානය නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් වෙත ගෙන යෑමයි. වර්ෂ 1908 වන විට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරාම දේශනා කිරීමට කාලය පැමිණ තිබෙන බව එහි මුල්ම සභාපති වූ චාල්ස් ටේස් රසල් තේරුම්ගත්තා. (මතෙව් 24:14) ඒ අනුව ස්ථානය මාරු කළේ 1909 මුල් භාගයේදීයි.

එසේ කළේ ඇයි?

ඒ කාලයේ බයිබලයේ සඳහන් සත්‍යය දේශනා කිරීමට පුවත්පත් මාධ්‍යය ඉතා සාර්ථක ක්‍රමයක් බව රසල් ඇතුළු මූලිකත්වය ගත් අයට වැටහුණා. වර්ෂ 1908 වන විට සතිපතා ඉදිරිපත් කළ රසල්ගේ බයිබල් දේශන පුවත්පත් 11ක පළ වී තිබුණා. එම පුවත්පත්වල පිටපත් 4,02,000ක් බෙදාහරිනු ලැබුවා.

“ප්‍රසිද්ධ නගරයකට මාරු වුණොත් අපේ දේශනාවන් පුවත්පත් වැඩි ගණනක මුද්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජනපදය පුරාම ඒවා බෙදාහරින්නත් පුළුවන් වෙයි. ඒ ගැන පුවත්පත් මාධ්‍යය ගැන අවබෝධයක් තිබෙන අපේ සහෝදරයන්ට ලොකු විශ්වාසයක් තිබෙනවා. අවුරුද්දක් ඇතුළත පුවත්පත් සියගණනක ඒ දේශනා පළ වෙයි කියාත් ඔවුන් සිතනවා” කියා රසල් වරක් සඳහන් කළා. ඊට සුදුසුම නගරය කුමක්ද කියා සොයා බලන්න ඔවුන් එතැන් සිට පටන්ගත්තා.

ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ බෘක්ලින් නගරයයි. ඒ ඇයි? රසල් දුන් පිළිතුර වූයේ මෙයයි. “අපි මේ තීරණය ගත්තේ යාච්ඤා කිරීමෙන් පසුවයි. බෘක්ලින් කියන්නේ විශාල ජනගහනයක් සිටින නගරයක්. ආගමික මධ්‍යස්ථානයක් ලෙසත් එය ප්‍රසිද්ධයි. ඒ හේතු නිසා දේශනා කිරීමේ කාර්යය පුළුල් කිරීම සඳහා සුදුසුම නගරය බෘක්ලින් කියා අප සිතනවා.” එය නැණවත් තීරණයක් බව ප්‍රතිඵලවලින් පැහැදිලි වුණා. කෙටි කාලයක් තුළ පුවත්පත් 2,000කම රසල්ගේ දේශන පළ වෙන්න පටන්ගත්තා.

තවත් හේතුවක් නිසාත් එම තීරණය නැණවත් බව පෙනී ගියා. වර්ෂ 1909 වන විට බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව යන රටවලද පසුව වෙනත් රටවලද ශාඛා කාර්යාල පිහිටුවනු ලැබුවා. ඒ නිසා ලෝක මූලස්ථානය ප්‍රවාහණ පහසුකම් තිබෙන වරායක් පිහිටි නගරයක තිබීම ප්‍රයෝජනවත් වුණා.

බෙතෙල් කියා නම තැබුවේ ඇයි?

පෙන්සිල්වේනියාවේ පිහිටා තිබූ අපේ මුල්ම මූලස්ථානය හැඳින්වූයේ බයිබල් නිවස කියායි. එහි 1896දී 12දෙනෙක් සේවය කළා.

වර්ෂ 1909දී ලෝක මූලස්ථානය බෘක්ලින් වෙත මාරු කිරීමත් සමඟම එහි නම බෙතෙල් * කියා වෙනස් කළා. ඊට හේතුව වූයේ මෙයයි. වොච්ටවර් සොසයටි මගින් හික්ස් වීදියේ පිහිටි අංක 13-17 දරන ගොඩනැඟිල්ලක් මිල දී ගත්තා. බීච බෙතෙල් නමින් ප්‍රසිද්ධ වී තිබූ එය අයිතිව තිබුණේ හෙන්රි වෝඩ් බීච නමැති ප්‍රසිද්ධ පූජකයාටයි. පසුව හෙන්රි බීච කලින් පදිංචි වී සිටි කොලම්බියා හයිට්ස්හි අංක 124 දරන ස්ථානයේ පිහිටි ඔහුගේ නිවසද මිල දී ගත්තා. ඒ මිල දී ගැනීම් ගැන 1909 මාර්තු 1වනදා වොච් ටවර් සඟරාවේ සඳහන් වුණේ මෙසේයි. “පැරණි බීච බෙතෙල් ගොඩනැඟිල්ල මෙන්ම නොසිතූ විදිහට ඔහුගේ නිවසද මිල දී ගන්න ලැබීම පුදුමයට හේතුවක්. අප පදිංචි වීමට යන නිවස ‘බෙතෙල්’ කියාද අලුත් කාර්යාලය හා ශ්‍රවණාගාරය ‘බෘක්ලින් මණ්ඩපය’ කියාද නම් කිරීමට අප තීරණය කළා. මින් ඉදිරියට අප ‘බයිබල් නිවස’ යන නම භාවිත කරන්නේ නැහැ.”

අද වන විට නිව් යෝර්ක් ජනපදයේ බෘක්ලින්හි මෙන්ම වෝල්කිල් හා පැටර්සන් යන ප්‍රදේශවලද අපට අයිති කාර්යාල, මුද්‍රණාල හා නවාතැන් ගොඩනැඟිලි පිහිටා තිබෙනවා. ඒ සියල්ලම හඳුන්වන්නේ බෙතෙල් යන නමින්. දැනට ලොව පුරා රටවල් 113ක බෙතෙල් නිවාස පිහිටා තිබෙනවා. ඒවායේ 19,000කට වැඩි පිරිසක් සේවය කරනවා.

අමුත්තන්ව සාදරයෙන් පිළිගනියි

බෙතෙල් සංකීර්ණය යෙහෝවා දෙවිගේ සේවය සඳහා කැප කළේ 1909 ජනවාරි 31වනදායි. එම වර්ෂයේම සැප්තැම්බර් මස 6වන සඳුදා අමුත්තන් පිළිගැනීමේ දවසක් වුණා. බයිබල් ශිෂ්‍යයන් (සාක්ෂිකරුවන්ව ඒ කාලයේ හැඳින්වූ නම) සියගණනක් එය නැරඹීමට පැමිණියා. නිව් යොර්ක් නගරයෙන් කිලෝ මීටර් 320ක් පමණ එහායින් පැවැත්වූ සමුළුවකට සහභාගි වූ අයගෙන් බොහෝදෙනෙක් එදින පැමිණ සිටියා. අමුත්තන්ව පිළිගනු ලැබුවේ චාල්ස් ටේස් රසල් විසින්මයි. *

අදත් ලොව වටා තිබෙන බෙතෙල් නිවාස බලන්න පැමිණෙන අමුත්තන්ව සාදරයෙන් පිළිගන්නවා. සෑම අවුරුද්දකම බෘක්ලින්හි තිබෙන බෙතෙල් නිවස බලන්න 40,000කට වැඩි පිරිසක් පැමිණෙනවා. ඔබටත් එහි යෑමට අවස්ථාවක් ලැබුණොත් දෙවි ළඟදීම ඔහුගේ රාජ්‍යය මගින් මිනිසුන්ට ලබා දෙන ආශීර්වාද ගැන දැනුවත් කිරීම සඳහා මොන තරම් වැදගත් කාර්යයක් ඉටු කරනවාද කියා දැකගත හැකියි.

^ 11 ඡේ. බෙතෙල් පුරාණ ඊශ්‍රායෙලයේ වැදගත් නගරයක්. “බෙතෙල්” යන හෙබ්‍රෙව් වචනයේ අර්ථය “දෙවිගේ ගෘහය” යන්නයි.

^ 14 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කළ Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom නමැති පොතේ 718-723 දක්වා පිටු බලන්න.—මෙය සිංහලෙන් නැහැ.