Skip to content

පටුනට යන්න

මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු

මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු

‘මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළා.’හෙබ්‍රෙ. 11:24.

1, 2. (අ) අවුරුදු 40දී මෝසෙස් ගත්ත තීරණය මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් එක්ක දුක් විඳින්න තෝරගත්තේ ඇයි?

තමන්ගේ අනාගතය සැප පහසු එකක් කියලා තරුණ මෝසෙස් දැනගෙන හිටියා. රජ කුමාරයෙක් විදිහට හැදී වැඩුණු ඔහුට විද්‍යාව, ගණිතය, කලාව, තාරකා ශාස්ත්‍රය ඇතුළු “ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න” පුළුවන් වුණා. (ක්‍රියා 7:22) ඔහු ඉදිරියේ තිබුණේ සාමාන්‍ය ඊජිප්තු ජාතිකයෙකුට හිතාගන්නවත් බැරි තරම් වස්තුවක්, බලයක් ඇති සුඛෝපභෝගී ජීවිතයක්.

2 ඒත් අවුරුදු 40දී මෝසෙස් හුඟදෙනෙක්ට හිතාගන්න බැරි විදිහේ තීරණයක් ගත්තා. තමා ඉදිරියේ තිබුණ සැප පහසු ජීවිතයට සමු දීලා වහලුන් එක්ක ජීවත් වෙන්න ඔහු තීරණය කළා. ඒ ඇයි කියලා ඔබ දන්නවද? විශ්වාසය කියන වටිනා ගුණාංගය ඔහු තුළ තිබුණ නිසයි. (හෙබ්‍රෙව් 11:24-26 කියවන්න.) “නොපෙනෙන තැනැත්තාණන්” වන යෙහෝවා දෙවිව දකිනවා හා සමාන විශ්වාසයක් ඔහු තුළ තිබුණ නිසයි. දෙවිගේ පොරොන්දුවල ඉටු වීම ගැන නොසැලෙන විශ්වාසයක් ඔහු තුළ තිබුණ නිසයි.හෙබ්‍රෙ. 11:27.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්න තුනට පිළිතුරුද?

3 මේ ලෝකය අපිට දෙන්න සූදානම් කරලා තියෙන දේවලට ඔබ්බෙන් බලලා යෙහෝවා දෙවිව දකින්න නම් අපිත් මෝසෙස් වගේ “විශ්වාසයක් ඇති අය” වෙන්න ඕනේ. (හෙබ්‍රෙ. 10:38, 39) ඒකට හෙබ්‍රෙව් 11:24-26 දක්වා තියෙන විස්තරය අපිට උදව් කරනවා. පව්කාර ආශාවන් පරාජය කරන්න මෝසෙස්ට විශ්වාසය උදව් වුණේ කොහොමද? පීඩා ආවත් දෙවිගෙන් ලැබුණ පැවරුම වටින එකක් විදිහට සලකන්න විශ්වාසය මෝසෙස්ට උදව් වුණේ කොහොමද? මෝසෙස් ‘තමාට ලැබෙන ත්‍යාගය දෙස ඕනෑකමින් බලා සිටියේ’ ඇයි? අපි දැන් ඒ ප්‍රශ්න තුනට පිළිතුරු බලමු.

පව්කාර ආශාවන් පරාජය කළා

4. ‘පව්කාර දේවල් කරමින් භුක්ති විඳින සැප’ ගැන මෝසෙස් තේරුම්ගත්තේ මොකක්ද?

4 ‘පව්කාර දේවල් කරමින් සැප භුක්ති විඳින’ එක තාවකාලික දෙයක් කියලා මෝසෙස් තේරුම්ගත්තා. ඒත් හුඟක් අයට ඒක තේරුණේ නැහැ. මොකද දෙවිගේ සෙනඟ වහලුන් වෙලා ඉද්දී දෙවි අසතුටු දේවල් කරන ඊජිප්තුව ලෝක අධිරාජ්‍යයක් වුණ හැටි ඔවුන් දැක්කා. බැලූ බැල්මට පේන්න තිබුණේ තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගන්න වැඩ කරපු අය සාර්ථකයි කියලයි. ඒත් ඒ දුෂ්ට සමාජය ඉක්මනින්ම විනාශ වෙනවා කියලා මෝසෙස්ට ලොකු විශ්වාසයක් තිබුණා. ‘තාවකාලික සැප භුක්ති විඳීමේ’ ආශාවට ඔහු හසු වුණේ නැත්තේ ඒ නිසයි.

5. ‘තාවකාලික සැප භුක්ති විඳීමේ’ ආශාවට හසු නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

5 ‘තාවකාලික සැප භුක්ති විඳීමේ’ ආශාවට හසු නොවී ඉන්න ඔබට පුළුවන් කොහොමද? වැරදි දේවල් කරලා ලබන සතුටට වැඩි ආයුෂ නැහැ කියලා මතක තියාගන්න. “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය” කියන දේ තේරුම්ගන්න විශ්වාසය ඔබට උදව් කරයි. (1 යොහ. 2:15-17) පසුතැවිලි නොවී වැරදි කරන අයට අනාගතයේ සිද්ධ වෙන දේ ගැන හිතන්න. “ලිස්සනසුලු තැන්වල” ඉන්න ‘ඔවුන්ගේ දිවි කෙළවර වෙන්න’ ආසන්නයි. (ගීතා. 73:18, 19) වැරදි දෙයක් කරන්න හිතෙද්දී ‘මටත් ඕනෙ ඒ අය වගේ විනාශ වෙන්නද’ කියලා ඔබෙන්ම අහගන්න.

6. (අ) ‘පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම මෝසෙස් ප්‍රතික්ෂේප කළේ’ ඇයි? (ආ) මෝසෙස්ගේ තීරණය නිවැරදියි කියලා ඔබ හිතන්නේ ඇයි?

6 ‘මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කරලා’ අනාගතය ගැන නිවැරදි තීරණයක් ගත්තා. (හෙබ්‍රෙ. 11:24) ‘රජ මැදුරෙම ඉඳගෙන උසස් නිලයක් දැරුවොත් ඒ බලතලත් වස්තුවත් යොදාගෙන මගේ සෙනඟට උදව් කරන්න මට පුළුවන්. ඒ විදිහට දෙවිට සේවය කරන්න මට පුළුවන්’ කියලා මෝසෙස් හිතුවේ නැහැ. යෙහෝවා දෙවිට ‘මුළු හදවතින්ම ප්‍රේම කරන්නත්’ උපරිමය කරමින් මුළු ජීවිතයම දෙවිට කැප කරන්නත් මෝසෙස්ට තිබුණේ ලොකු වුවමනාවක්. (ද්වි. 6:5) ඔහුගේ තීරණය නිවැරදි එකක් කියලා පස්සේ ඔප්පු වුණා. ඔහු අත්හැරලා ආපු ඊජිප්තුවරුන්ගේ වස්තුවෙන් වැඩි හරියක් අන්තිමේදී ඊශ්‍රායෙල්වරුන්ට අයිති වුණා. (නික්. 12:35, 36) පාරාවෝත් හුඟක් ලැජ්ජාවට පත් වුණා. අන්තිමට ඔහු විනාශ වුණා. (ගීතා. 136:15) ඒත් මෝසෙස්ට? දෙවිගේ සෙනඟව ආරක්ෂිතව රැගෙන යන වගකීම දෙවි ඔහුට භාර දුන්නා. ඇත්තටම ඔහුගේ ජීවිතය සාර්ථකයි.

7. (අ) මතෙව් 6:19-21ට අනුව තාවකාලික අනාගතයක් වෙනුවෙන් සැලැසුම් කරන එක අඥාන ඇයි? (ආ) එහෙම නොකරපු කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

7 ඔබ තරුණ කෙනෙක් නම් අනාගතය ගැන තීරණයක් ගන්නේ කොහොමද? ඔබේ අනාගතය හොඳට සැලසුම් කරන්න. ඒත් තාවකාලික අනාගතයක් වෙනුවෙන් සැලැසුම් කරන්න එපා. ඒ වෙනුවට දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසය තියලා සදාකාලයටම “වස්තු රැස් කරගන්න” පුළුවන් වෙන විදිහට සැලැසුම් කරන්න. (මතෙව් 6:19-21 කියවන්න.) නැටුම්වලට දක්ෂ තරුණියක් වුණ සෝෆිටත් එයාගේ අනාගතය ගැන තීරණයක් ගන්න වුණා. ඇමරිකාවේ හුඟක් රංගන ආයතනවලින් එයාට ශිෂ්‍යත්ව ලබා දෙන්න කැමති වුණා. හොඳ රැකියාවක් ලබාගන්නත් අවස්ථාව තිබුණා. ඔය අතරේ එයා යෞවනයන් සම්බන්ධයෙන් තියෙන DVD එකක් බැලුවා. (Young People Ask—What Will I Do With My Life?) ඊටපස්සේ එයා මෙහෙම කියනවා. “මේ ලෝකෙට ඕනෙ ජනප්‍රියත්වය, මුදල් වගේ දේවල් මට දීලා මං යෙහෝවා දෙවිට කරන නමස්කාරය මගෙන් උදුරගන්නයි.” ඒ ගැන යාච්ඤා කරලා නැටුම් ශිල්පිනියක් විදිහට එයාගේ අනාගත සැලසුම්වලට තිත තියන්න එයා තීරණය කළා. ඒ ගැන එයා පසුතැවුණද? “මට කිසිම කනගාටුවක් නෑ. මමයි මගේ මහත්තයායි දැන් පුරෝගාමීන් විදිහට කියාගන්න බැරි සතුටක් අද්දකිනවා. ඇත්ත, මම ජනප්‍රිය නෑ. හුඟක් සල්ලිත් නෑ. ඒත් දැන් මගේ ජීවිතේ යෙහෝවා දෙවි ඉන්නවා. හුඟක් බයිබල් පාඩම් තියෙනවා. සේවයට සම්බන්ධ හුඟක් ඉලක්ක තියෙනවා. ඒවා එක්ක බලද්දී මට නැති වුණ දේවල කිසිම වටිනාකමක් නෑ.”

8. යෞවනයෙක්ට අනාගතය ගැන හරි තීරණයක් ගන්න උදව් වෙන උපදෙස මොකක්ද?

8 ඔබේ යහපතට හේතු වෙන හොඳම දේ මොකක්ද කියලා දෙවි දන්නවා. “ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ගරුබිය දැක්විය යුතුයි. ඔබ එසේ කළොත් ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින් සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න ඔබට හැකි වෙයි. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න ඔබ පෙලඹෙයි. ඔබේම යහපත සඳහා අද මම ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ අණපනත් පිළිපදින්නත් ඔබට හැකි වෙයි” කියලා මෝසෙස් කිව්වා. (ද්වි. 10:12, 13) ‘ඔබේ මුළු ජීවිතයම දෙවි වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න’ පුළුවන් වෙන විදිහට ඔබේ අනාගතය සැලසුම් කරන්න. යෞවන කාලෙදිම ඔබ ඒ තීරණය ගන්නවා නම් ඒක “ඔබේම යහපත සඳහා” හේතු වෙනවා.

දෙවිගෙන් ලැබුණ පැවරුම අගය කළා

9. පැවරුම ඉටු කරන එක මෝසෙස්ට අමාරු වෙන්න ඇත්තේ ඇයි?

9 මෝසෙස් ‘ඊජිප්තුවේ වස්තුවලට වඩා අභිෂේක ලැබූ කෙනෙකු ලෙස නින්දා අපහාස විඳීම උතුම් දෙයක් ලෙස සැලකුවා.’ (හෙබ්‍රෙ. 11:26) ඔහුව “අභිෂේක ලැබූ කෙනෙකු” හැටියට හඳුන්වලා තියෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගන්න යෙහෝවා දෙවි ඔහුව තෝරගත්ත නිසයි. ඒ පැවරුම ලේසි නැහැ කියලත් හුඟක් නින්දා අපහාස විඳින්න වෙනවා කියලත් මෝසෙස් දැනගෙන හිටියා. කලින් අවස්ථාවක ඊශ්‍රායෙල් ජාතිකයෙක් “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද” කියලා මෝසෙස්ට අපහාස කළා. (නික්. 2:13, 14) දෙවි ඔහුට පැවරුම භාර දුන්නම “පාරාවෝ මට ඇහුම්කන් දෙයි කියා සිතන්න පුළුවන්ද” කියලා මෝසෙස්ම දෙවිගෙන් ඇහුවා. (නික්. 6:12) පැවරුම අමාරු වුණත් ඒක සාර්ථකව කරන්න ඕන නිසා ඔහු තමන්ට හැඟුණ විදිහ, දැනුණ දුක, හිතේ බය දෙවිට කිව්වා. යෙහෝවා දෙවි ඔහුට උදව් කළාද?

10. පැවරුම ඉටු කරන්න දෙවි මෝසෙස්ට උදව් කළේ කොහොමද?

10 දෙවි මෝසෙස්ට උදව් කරපු විදි 4ක් අපි බලමු. (1) යෙහෝවා දෙවි මෝසෙස්ට පොරොන්දු වුණා “මම ඔබ සමඟ සිටිමි” කියලා. (නික්. 3:12) (2) යෙහෝවා දෙවි තමන්ගේ නමේ අර්ථයට ඇතුළත් වෙන කාරණයක් මෝසෙස්ට පැහැදිලි කරලා දීලා ඔහුව ශක්තිමත් කළා. දෙවි කිව්වේ “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” කියලයි. * (නික්. 3:14) (3) ආශ්චර්යයන් කරන්න දෙවි මෝසෙස්ට බලය දුන්නා. එහෙම කළේ මෝසෙස්ව එව්වේ දෙවි කියලා ඔප්පු කරන්නයි. (නික්. 4:2-5) (4) දෙවි මෝසෙස්ගේ සහයට ආරොන්ව දුන්නා. (නික්. 4:14-16) දෙවි පැවරුමක් දුන්නොත් ඒක හොඳින් ඉටු කරන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ ගැන මෝසෙස් යොෂුවාට කිව්වේ මෙහෙමයි. “කිසි දෙයකට භය වෙන්න එපා. යෙහෝවා දෙවි ඔබ සමඟයි. ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”ද්වි. 31:8.

11. තමන්ට ලැබුණ පැවරුම මෝසෙස් අගය කළේ ඇයි?

11 දෙවිගේ උදව් නිසා තමන්ට ලැබුණ පැවරුම “ඊජිප්තුවේ වස්තුවලට වඩා” වටින එකක් විදිහට සලකන්න මෝසෙස්ට පුළුවන් වුණා. දෙවිට කරන සේවය තරම් වටින තවත් දෙයක් තියෙනවද? දෙවිම තමන්ව තෝරගෙන තමන්ට දුන්න වගකීම එක්ක බලද්දී රජ කුමාරයෙක් වෙලා ඉන්න එකේ වටිනාකමක් තියෙනවද? මෝසෙස් හිතුවේ එහෙමයි. ඒ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඔහුට පුළුවන් වුණා. දෙවි ඔහුට “බොහෝ පුදුම ක්‍රියා” කරන්න උදව් කරපු නිසා ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට රැගෙන යන්නත් ඔහුට පුළුවන් වුණා.ද්වි. 34:10-12.

12. දෙවි අපිට දීලා තියෙන්නේ මොන වගේ පැවරුම්ද?

12 දෙවි ශුභාරංචිය දේශනා කිරීමේ වටිනා පැවරුම අපි හැමෝටම භාර දීලා තියෙනවා. (මතෙ. 24:14; 28:19, 20; 1 තිමෝති 1:12-14 කියවන්න.) අපෙන් සමහරු පූර්ණකාලීන සේවයේ යෙදෙනවා. සමහරු සහායක සේවකයන්, වැඩිමහල්ලන් විදිහට සේවය කරනවා. ඒත් දෙවිට සේවය නොකරන අය ඔබට ලැබිලා තියෙන ඒ වගේ පැවරුම්වල වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා ඒ අය ඔබ කරන කැප කිරීම් ගැන ඔබට දොස් කියයි, අපහාස කරයි. (මතෙ. 10:34-37) එතකොට ඔබ කරන කැප කිරීම්වල කිසි වටිනාකමක් නැහැ කියලත් ඒ පැවරුම හොඳින් කරන්න බැහැ කියලත් ඔබට හිතෙන්න පුළුවන්. ඒ වෙලාවලදී විශ්වාසය ඔබට උදව් වෙන්නේ කොහොමද?

13. දෙවි අපිට දෙන පැවරුම් හොඳින් ඉටු කරන්න ඔහු උදව් කරන්නේ කොහොමද?

13 දෙවි උදව් කරනවා කියන විශ්වාසය ඇතුව ඔබේ දුක, දැනෙන බය දෙවිට කියන්න. දෙවි අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා. මොකද ඔබට ඒ පැවරුම දුන්නේ යෙහෝවා දෙවි. දෙවි උදව් කරන විදි 4ක් දැන් බලමු. (1) දෙවි අපිට මෙහෙම පොරොන්දු වෙනවා. “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” (යෙසා. 41:10) (2) ඔහු දුන්න පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා මෙහෙම මතක් කරනවා. “මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි. මම අරමුණු කළ ලෙසම කරමි.” (යෙසා. 46:11) (3) අපේ පැවරුම හොඳින් කරන්න දෙවි අපිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා. (2 කොරි. 4:7) (4) පැවරුම හොඳින් කරගෙන යන්න උදව්වක් විදිහට “එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” ලෝක ව්‍යාප්ත සහෝදර පවුලක් අපිට දීලා තියෙනවා. (1 තෙස. 5:11) ඒ උදව් අද්දකිද්දී ඔබේ විශ්වාසය තව වැඩි වෙයි. එතකොට මේ ලෝකය දෙන ඕනම දේකට වඩා දෙවි දීලා තියෙන පැවරුම වටිනවා කියලා ඔබට තේරෙයි.

‘ත්‍යාගය දෙස ඕනෑකමින් බලා සිටියා’

14. තමන්ට ආශීර්වාද ලැබෙනවා කියලා මෝසෙස්ට කිසිම සැකයක් තිබුණේ නැත්තේ ඇයි?

14 මෝසෙස් ‘තමාට ලැබෙන ත්‍යාගය දෙස ඕනෑකමින් බලා සිටියා.’ (හෙබ්‍රෙ. 11:26) දෙවිගේ පොරොන්දු ඉටු වෙන විදිහ ගැන හැම තොරතුරක්ම දැනගෙන හිටියේ නැතත් දන්න ටික ගැන හිතලා මෝසෙස් තීරණ ගත්තා. මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියලා ආබ්‍රහම් වගේ ඔහුත් විශ්වාස කළා. (ලූක් 20:37, 38; හෙබ්‍රෙ. 11:17-19) දෙවිගේ පොරොන්දු ගැන ඔහුට මොන තරම් නිසැකකමක් තිබුණද කියනවා නම් ඊජිප්තුවෙන් පලා ගිහින් ගත කරපු අවුරුදු 40 දිහාත් පාළුකරයේ ගත කරපු අවුරුදු 40 දිහාත් ඔහු බැලුවේ නාස්ති වෙලා ගිය කාලයක් විදිහට නෙමෙයි. අනාගත ආශීර්වාද දකිනවා හා සමාන විශ්වාසයක් ඔහුට තිබුණා.

15, 16. (අ) අපිට ලැබෙන ත්‍යාගය දෙස ඕනෑකමින් බලා ඉන්න එක වැදගත් ඇයි? (ආ) ඔබ ආශාවෙන් බලාගෙන ඉන්නේ මොන පොරොන්දුවල ඉටු වීම අද්දකින්නද?

15 ඔබත් ඔබට ලැබෙන ත්‍යාගය දෙස ඕනෑකමින් බලා සිටිනවද? අපිත් දෙවිගේ පොරොන්දු ඉටු වෙන විදිහ ගැන හැම තොරතුරක්ම දන්නේ නැහැ. උදාහරණයකට මහත් පීඩාව ආරම්භ වෙන්න “නියමිත කාලය කවදාද” කියලා අපි හරියටම දන්නේ නැහැ. (මාක් 13:32, 33) ඒත් පාරාදීසය ගැන මෝසෙස් දැනගෙන හිටියට වඩා දේවල් අපි දන්නවා. පාරාදීසයේ ගත කරන ජීවිතය මොන වගේ එකක් වෙයිද කියලා මනසේ චිත්‍රයක් මවාගෙන ඒ දිහා ‘ඕනෑකමින් බලා ඉන්න’ උදව් වෙන පොරොන්දු දෙවි කොච්චර දීලා තියෙනවද! අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් අපේ මනසේ තියෙනවා නම් දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න අපි පෙලඹෙයි. මෙහෙම හිතන්න. තොරතුරු ගැන හොඳට හොයලා බලන්නේ නැතුව ඔබ ගෙයක් මිල දී ගන්නවද? නැහැ නේද? ඒ වගේ තමයි අනාගතය ගැන තොරතුරු හරියට දන්නේ නැතුව, සැබෑ වෙයි කියලා අපිට හිතෙන්නේ නැති දෙයක් වෙනුවෙන් අපේ ජීවිත කැප කරන්න අපි කැමති නැහැ. ඒත් අපිට හොඳ විශ්වාසයක් තියෙනවා නම් අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් ඇතුව ඉන්නත් ඒ චිත්‍රය දිහා ඇස් යොමාගෙන ඉන්නත් අපිට පුළුවන්.

මෝසෙස් වගේ දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අයව පාරාදීසයේදී හම්බ වෙද්දී ඔබට මොන තරම් සතුටක් දැනෙයිද! (16 ඡේදය බලන්න)

16 අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් ඇතුව ඉන්න පුළුවන් විදිහක් තමයි ඒ චිත්‍රයේ ඔබත් ජීවත් වෙන එක. ඒ කියන්නේ පාරාදීස පොළොවේදී ඔබ මොන වගේ දේවල් කරයිද, එදාට ඔබේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා හිතෙන් මවාගන්න එක. උදාහරණයකට ඔබ බයිබලේ තියෙන යම් චරිතයක් ගැන කියවද්දී මෙහෙම හිතන්න. ‘මේ කෙනාව මට පාරාදීසයේදී හම්බ වුණාම මම එයාගෙන් අහන්නේ මොනවද? එයා අන්තිම දවස් ගැන මගෙන් මොන වගේ දේවල් අහයිද?’ අවුරුදු සිය ගාණකට කලින් ජීවත් වුණ ඔබේ නෑදෑයන් හමු වෙද්දී, දෙවි ඒ අය වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන ඒ අයට කියලා දෙද්දී ඔබට දැනෙන සතුට හිතේ මවාගන්න. වනසතුන් දිහා බලලා උන් ගැන ඉගෙනගද්දී ඔබට දැනෙන සතුට ගැන හිතන්න. ටිකෙන් ටික පරිපූර්ණ වෙද්දී දෙවිට මොන තරම් කිට්ටු වෙන්න ඔබට පුළුවන් වෙයිද කියලා හිතන්න.

17. අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් ඇතුව ඉන්නවා නම් ඒක දැන් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

17 අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් ඇතුව හිටියොත් අපිට එන ප්‍රශ්න විඳදරාගන්න, සතුටින් ඉන්න විතරක් නෙමෙයි සදාකාල ජීවිතය ගැන හිතලා තීරණ ගන්නත් අපිට පුළුවන් වෙනවා. පාවුල් කිව්වේ “අප බලාපොරොත්තුවෙන් සිටින දේ තවමත් ඉටු වී නැති නිසා අපි විඳදරාගෙන ඒ දෙස දිගටම බලා සිටිමු” කියලයි. (රෝම 8:25) පාවුල් ඒ දේ කිව්වේ අභිෂේක ලත් අයට වුණත් පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒක අදාළයි. සදාකාල ජීවනය තවමත් අපිට ලැබිලා නැතත් ‘ලැබෙන්න තියෙන ඒ ත්‍යාගය දෙස ඕනෑකමින් බලාගෙන ඉන්න’ තරම් අපේ විශ්වාසය හුඟක් ශක්තිමත්. අපි හිතන්නෙත් මෝසෙස් වගේමයි. දෙවිගේ සේවය වෙනුවෙන් අපි ගත කරන අවුරුදු ගණනාව අපතේ යනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ වෙනුවට “පෙනෙන දේවල් පවතින්නේ කෙටි කාලයකටය. නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය” කියන දේ අපිට ස්ථිරයි.2 කොරින්ති 4:16-18 කියවන්න.

18, 19. (අ) අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අපි ලොකු සටනක් කරන්න ඕනෙ ඇයි? (ආ) ඊළඟ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

18 ‘අපි විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගන්න’ අපිට විශ්වාසය උදව් කරනවා. (හෙබ්‍රෙ. 11:1) තමන්ගේ ආශාවන්ට මුල් තැන දීලා වැඩ කරන අයට දෙවි ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා දෙවිට සේවය කරන එක ‘මෝඩ දෙයක්’ කියලයි ඒ අය හිතන්නේ. (1 කොරි. 2:14) ඒත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ සදාකාලයටම ජීවත් වෙන්නයි. මිය ගිය අය නැවත නැඟිටිනවා දකින්නයි. ඒ දේවල් ගැන මේ ලෝකෙ අයට හිතාගන්නවත් බැහැ. පාවුල් ගැන සමහරු හිතුවේ කිසිම තේරුමක් නැති දේවල් ‘දොඩවන්නෙක්’ කියලයි. අපි දේශනා කරද්දීත් හුඟක් අය හිතන්නේ අපි විකාර දේවල් කියනවා කියලයි.ක්‍රියා 17:18.

19 දෙවි ගැන කිසිම විශ්වාසයක් නැති මිනිසුන්ගෙන් වට වුණ සමාජයක ඉන්න අපිට අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න හැමදාම ලොකු සටනක් කරන්න වෙනවා. ඒ නිසා ‘විශ්වාසය දුර්වල වෙන්න ඉඩ නොදෙන්න’ කියලා දෙවිගෙන් අයැදින්න. (ලූක් 22:32) වැරදි දේවල් කරලා අත්විඳින්න වෙන ප්‍රතිඵල ගැනත් යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණ වටිනා පැවරුම ගැනත් සදාකාල් ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව ගැනත් මෝසෙස්ගේ මනසේ පැහැදිලිව තිබුණා වගේ ඔබේ මනසෙත් පැහැදිලිව තියාගන්න. “නොපෙනෙන තැනැත්තාණන්ව” දකින්න මෝසෙස්ට විශ්වාසය උදව් වුණේ කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.හෙබ්‍රෙ. 11:27.

^ 10 ඡේ. නික්මයාම 3:14 සඳහන් දේ විස්තර කරන එක විශාරදයෙක් කියන්නේ ‘දෙවි අරමුණු කරන දේ ඉටු කිරීමෙන් ඔහුව නවත්තන්න කිසිම දේකට බැහැ. [යෙහෝවා කියන] ඒ නම ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් හා සමානයි. ඒ නම නිසා බලාපොරොත්තුවක් හා සහනයක් ඔවුන්ගේ ජීවිතවලට ලැබුණා’ කියලයි.