Skip to content

පටුනට යන්න

ඔබේ ප්‍රේමය තවත් පුළුල් කළ හැකිද?

ඔබේ ප්‍රේමය තවත් පුළුල් කළ හැකිද?

ඔබේ ප්‍රේමය තවත් පුළුල් කළ හැකිද?

‘නුඹට මෙන් නුඹේ අසල්වැසියාට නුඹ ප්‍රේම කළ යුතුය.’—මතෙව් 22:39.

1. යෙහෝවාට ප්‍රේම කරනවා නම්, අපේ අසල්වැසියන්ටද අප ප්‍රේම කළ යුත්තේමන්ද?

 උතුම්ම ආඥාව කුමක්ද කියා යේසුස්ගෙන් අසනු ලැබූ අවස්ථාවේදී, ඔහු මෙසේ පැවසුවේය. ‘නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කළ යුතුය.’ මෙම මුල් ආඥාවට සමාන දෙවන ආඥාවක්ද ඔහු මෙසේ ගෙනහැර දැක්වුවේය. ‘නුඹට මෙන් නුඹේ අසල්වැසියාට නුඹ ප්‍රේම කළ යුතුය.’ (මතෙව් 22:37, 39) අසල්වැසියාට ප්‍රේම කිරීම සැබෑ ක්‍රිස්තියානියෙකුව හඳුනාගැනීමේ ලක්ෂණයකි. අප යෙහෝවාට ප්‍රේම කරනවා නම්, අපේ අසල්වැසියාටද අප ප්‍රේම කළ යුතුමය. අප මෙසේ පවසන්නේ මන්ද? දෙවිට තිබෙන අපේ ප්‍රේමය අප පෙන්වන්නේ ඔහුගේ වචනයට කීකරු වීමෙනි. අපේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියා ඔහුගේ වචනයෙහි අපට ආඥාවක් දී තිබේ. එනිසා, අපේ සහෝදර සහෝදරියන්ට අප ප්‍රේමය පෙන්වන්නේ නැත්නම්, දෙවි කෙරෙහි අපට තිබෙන්නේ අව්‍යාජ ප්‍රේමයක් කියා කිව නොහැක.—රෝම 13:8; 1 යොහන් 2:5; 4:20, 21.

2. අපේ අසල්වැසියන් සඳහා අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ ප්‍රේමයක්ද?

2 අපේ අසල්වැසියාට අප ප්‍රේම කළ යුතුය කියා යේසුස් පැවසූ අවස්ථාවේදී, ඔහු කතා කරමින් සිටියේ මිත්‍රත්වයකට වඩා වැඩි යමක් ගැනය. ඔහු විස්තර කරමින් සිටි ප්‍රේමය, පවුලේ සාමාජිකයන් අතර හෝ පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර පවතින ප්‍රේමයට වඩා වෙනස්ය. මෙහිදී ඔහු කතා කරමින් සිටියේ යෙහෝවා ඔහුගේ කැප වූ සේවකයන්ට දක්වන ප්‍රේමයටත්, ඔවුන් ඔහුට දක්වන ප්‍රේමයටත් සමාන ප්‍රේමයක් ගැනය. (යොහන් 17:26; 1 යොහන් 4:11, 19) “මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද” දෙවිට ප්‍රේම කළ යුතුයි කියා පවසමින් යුදෙව් ලියන්නෙක් යේසුස් පැවසූ දෙයට එකඟ වූයේය. ඔහු බුද්ධිමත් ලෙස කතා කළ බව යේසුස් තේරුම්ගත්තේය. (මාර්ක් 12:28-34) එම ලියන්නා පැවසූ දෙය නිවැරදිය. දෙවි කෙරෙහිත් අසල්වැසියා කෙරෙහිත් ක්‍රිස්තියානියෙකු වර්ධනය කරගන්න ප්‍රේමයට හැඟීම් හා බුද්ධිය සම්බන්ධ වේ. ප්‍රේමය පිළිබඳ හැඟීමක් ඇති වන්නේ හෘදයෙන් වන අතර, ප්‍රේම කිරීමට මඟ පෙන්වන්නේ මනසය.

3. (අ) තමන්ගේ අසල්වැසියා කවුරුන්ද යන්න පිළිබඳව වඩාත් පුළුල් ලෙස සිතිය යුතුව තිබුණා කියා යේසුස් ‘ව්‍යවස්ථාව උගන්වන්නෙකුට’ පැහැදිලි කර දුන්නේ කෙසේද? (ආ) යේසුස් යොදාගත් උපමාව අදදින සිටින ක්‍රිස්තියානීන්ට අදාළ වන්නේ කෙසේද?

3 අපේ අසල්වැසියාට අප ප්‍රේම කළ යුතුයි කියා යේසුස් පැවසූ අවස්ථාවේදී, ‘මගේ අසල්වැසියා කවුද?’ කියා ‘ව්‍යවස්ථාව උගන්වන්නෙකු’ යේසුස්ගෙන් ඇසූ බව ලූක්ගේ වාර්තාවේ සඳහන් වේ. යේසුස් උපමාවක් යොදාගනිමින් එම ප්‍රශ්නයට උත්තර දුන්නේය. සොරුන් පිරිසක් මිනිසෙකුට තළාපෙළා ඔහු සතු දේවල් සොරකම් කරගෙන ඔහුව පාර අයිනේ දමා ගොස් තිබිණ. මුලින්ම පූජකයෙක්ද පසුව ලෙවීයෙක්ද ඒ අසලින් ගමන් කළහ. මොවුන් දෙදෙනාම අහක බලාගෙන ගියෝය. පසුව, සමාරියෙක් ඒ පාරේ ගමන් කරමින් සිටියදී, තුවාල වූ මිනිසාව දැක, ඔහුට කරුණාව දක්වමින් උපකාර කළේය. එම මිනිසුන් තිදෙනාගෙන් තුවාල වූ මිනිසාට අසල්වැසියා වූයේ කවුද? උත්තරය පැහැදිලිය. (ලූක් 10:25-37) පූජකයෙකුට හෝ ලෙවීයෙකුට වඩා සමාරියෙකු යහපත් අසල්වැසියෙකු විය හැකි බව යේසුස් පැවසූ විට, ඊට සවන් දීගෙන සිටි ව්‍යවස්ථාව උගන්වන්නා විස්මයට පත් වූවා විය හැක. එම අවස්ථාවේදී, යේසුස් වඩාත් පුළුල් ආකාරයකින් තම අසල්වැසියාට ප්‍රේම කිරීම සඳහා එම මිනිසාට උපකාර කරමින් සිටි බව පැහැදිලිය. ක්‍රිස්තියානීහුද එවන් ප්‍රේමයක් විදහාපෙන්වති. ඔවුන්ගේ ප්‍රේමයට පාත්‍ර වූ අය ගැන මතු දැක්වෙන අද්දැකීම් සලකා බලන්න.

පවුල තුළ ප්‍රේමය

4. ක්‍රිස්තියානියෙකු ප්‍රේමය පෙන්වීමට මුලින්ම පටන්ගන්නේ කොතැනින්ද?

4 ක්‍රිස්තියානීහු තම පවුලේ සාමාජිකයන්ට, එනම් භාර්යාවෝ තම ස්වාමිපුරුෂයන්ටද, ස්වාමිපුරුෂයෝ තම භාර්යාවන්ටද, දෙමාපියෝ තම දරුවන්ටද ප්‍රේම කරති. (දේශනාකාරයා 9:9; එපීස 5:33; තීතස් 2:4) බොහෝ පවුල්වල සහජයෙන්ම ඇති වන ප්‍රේමයේ හැඟීම දක්නට තිබේ. එහෙත්, අසාර්ථක විවාහයන්, ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ගැටුම් හා දරුවන්ව නොසලකා හැරීම යනාදිය පිළිබඳ වාර්තාවලින් පෙනී යන්නේ, පවුල අර්බූදයට ලක් වී තිබෙන බවයි. පවුලක සාමාජිකයන් අතර සහජයෙන්ම ඇති වන ප්‍රේමයේ හැඟීම පමණක් ඔවුන්ව එකමුතුව තැබීමට ප්‍රමාණවත් විය නොහැකි බවත් එම වාර්තාවලින් පැහැදිලි වේ. (2 තිමෝති 3:1-3) ක්‍රිස්තියානීන් තම පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට නම් යෙහෝවා සහ යේසුස් විදහාපෙන්වූ ප්‍රේමය වැනි ප්‍රේමයක් වර්ධනය කරගත යුතුය.—එපීස 5:21-27.

5. තම දරුවන්ව ඇති දැඩි කිරීමේදී, දෙමාපියන් උපකාරය පතා හැරෙන්නේ කා වෙතටද? මෙසේ කිරීමෙන් බොහෝදෙනෙකු කිනම් ප්‍රතිඵල ලබා තිබේද?

5 ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ව සලකන්නේ, ආදරයෙන් රැකබලා ගැනීම සඳහා යෙහෝවා විසින් තමන්ට විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන අනර්ඝ වස්තුවක් ලෙසය. එමනිසා ඔවුහු තම දරුවන්ව ඇති දැඩි කිරීමේදී ඔහුගේ උපකාරය පතති. (ගීතාවලිය 127:3-5; හිතෝපදේශ 22:6) මෙසේ කිරීමෙන් දෙමාපියන් ක්‍රිස්තියානි ප්‍රේමය වර්ධනය කරගන්න අතර, බොහෝ යෞවනයන් හසු වී තිබෙන නරක බලපෑම්වලින් තම දරුවන්ව ආරක්ෂා කරගැනීමට එම ප්‍රේමය ඔවුන්ට මහත් උපකාරයක් වේ. එසේ තම දරුවන්ට ප්‍රේමය පෙන්වීම නිසා ක්‍රිස්තියානි දෙමාපියන් බොහෝදෙනෙකු නෙදර්ලන්තයේ මවක් අද්දුටුවා හා සමාන ප්‍රීතියක් අද්දැක තිබේ. පසුගිය වසරේ නෙදර්ලන්තයේ බව්තීස්ම වූ 575දෙනා අතර ඇගේ පුතාද විය. තම පුතා බව්තීස්ම වෙනවා දැකීමෙන් පසු ඇය මෙසේ සඳහන් කළාය. “පසුගිය අවුරුදු 20 පුරා මම කරපු ආයෝජනයේ ප්‍රතිලාභ දැන් මට ලැබිල තියෙනවා. මේ සඳහා යෙදවූ කාලය, ශක්තිය, වෑයම මෙන්ම වේදනාවද දැන් අතීතයේ දේවල් බවට පත් වෙලා.” තම පුතා ඔහුගේම කැමැත්තෙන් යෙහෝවාට සේවය කිරීමට තෝරාගැනීම ගැන ඇයට මොනතරම් සතුටක් දැනෙන්න ඇද්ද! පසුගිය වසරේ නෙදර්ලන්තයේ වාර්තා වූ නව ඉහළම ප්‍රචාරක සංඛ්‍යාව වූ 31,089දෙනා අතර, යෙහෝවාට ප්‍රේම කිරීමට තම දෙමාපියන්ගෙන් ඉගෙනගත් යෞවනයන් බොහෝදෙනෙක්ද සිටියහ.

6. විවාහ බන්ධනය ශක්තිමත්ව තබාගැනීමට ක්‍රිස්තියානි ප්‍රේමය උපකාරවත් වන්නේ කෙසේද?

6 පාවුල් ප්‍රේමය හැඳින්වූයේ “එක්සත්කමේ පරිපූර්ණ බන්ධනයක් [NW]” ලෙසය. ගැටලු පැනනඟින අවස්ථාවලදී පවා විවාහ බන්ධනය නොකැඩී තබාගැනීමට ප්‍රේමයට හැක. (කොලොස්සි 3:14, 18, 19; 1 පේතෘස් 3:1-7) ටාහිටි සිට කිලෝමීටර් 700ක් පමණ ඈතින් පිහිටි රූරූටූ නම් කුඩා දිවයිනක සිටින මිනිසෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අවස්ථාවේදී ඔහුගේ භාර්යාව දැඩි ලෙස එයට විරුද්ධ විය. ඇය දරුවන්ද රැගෙන, ඔහුව හැර දමා ටාහිටිවල ජීවත් වීමට ගියාය. එහෙත් ඔහු ඇයට මුදල් යැවීමෙන්ද ඇගේ හා දරුවන්ගේ අවශ්‍යතා ගැන දුරකථනයෙන් විමසා බැලීමෙන්ද තම පවුල කෙරෙහි තිබෙන ප්‍රේමය පෙන්නුවේය. ක්‍රිස්තියානියෙකු හැටියට තම වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට තමාට හැකි සියල්ලම ඔහු කළේය. (1 තිමෝති 5:8) තමාගේ භාර්යාව හා දරුවන් සමඟ නැවත එක්වීමට ඔහුට තිබූ ඕනෑකම ගැන ඔහු නිතරම යාච්ඤා කළේය. ටික කලකට පසු, භාර්යාව නැවත ඔහු ළඟට ආවාය. ඔහු ඇය සමඟ ‘ප්‍රේමයෙන්ද, ස්ථිරකමෙන්ද, [විඳදරාගැනීමෙන්ද, NW], මොළොක්ගුණයෙන්ද’ කටයුතු කළේය. (1 තිමෝති 6:11) වර්ෂ 1998දී ඔහු බව්තීස්ම වූ අතර, පසුව ඔහුගේ භාර්යාවද බයිබලය පාඩම් කිරීමට කැමති වූ විට, ඔහුට මොනතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද! එම බයිබල් පාඩම, පසුගිය වසරේදී ටාහිටි ශාඛාවට අයත් බලප්‍රදේශය තුළ පවත්වන ලද බයිබල් පාඩම් 1,351න් එකකි.

7. ජර්මනියේ වෙසෙන මිනිසෙකු පැවසූ ලෙස ඔහුගේ විවාහය ශක්තිමත් කළේ කුමක්ද?

7 ජර්මනියේ ජීවත් වන පුරුෂයෙක් ඔහුගේ භාර්යාව බයිබලය ගැන ඉගෙනගැනීමට උනන්දු වූ විට එයට විරුද්ධ විය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම භාර්යාවව මුළා කරවයි කියා වෙනත් අය ඔහුට පවසා තිබිණ. කෙසේවෙතත්, පසුකලකදී ඔහු තම භාර්යාව මුලින්ම හමුවීමට පැමිණි සාක්ෂිකාරියට මෙසේ ලීවේය. “මගේ භාර්යාවව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමට හවුල් කරවාගැනීම ගැන ඔබට ස්තුතියි. මගේ භාර්යාව සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම ගැන මම අකමැති වුණේ හුඟදෙනෙක් මාත් එක්ක ඔවුන් ගැන වැරදි දේවල් කියා තිබුණු නිසයි. ඒත්, දැන් මම භාර්යාවත් එක්ක රැස්වීම්වලට යන නිසා මට තේරෙනවා මම මොනතරම් වැරදි විදිහටද ඔවුන් ගැන සිතුවේ කියල. මම ඉගෙනගනිමින් ඉන්නේ සත්‍යය කියල මම දැන් දන්නවා. සත්‍යය නිසා අපේ විවාහය තවත් ශක්තිමත් වෙලා තියෙනවා.” ජර්මනියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1,62,932දෙනා හා ටාහිටි ශාඛා කාර්යාලය යටතේ තිබෙන දූපත්වල සිටින සාක්ෂිකරුවන් 1,773දෙනා අතර, දෙවිට තිබෙන ප්‍රේමය නිසා එක්සත්ව වාසය කරන පවුල් බොහොමයක්ද සිටිති.

අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ට ප්‍රේමය පෙන්වන්න

8, 9. (අ) අපේ සහෝදරයන්ට ප්‍රේමය පෙන්වීමට අපට උගන්වන්නේ කවුද? ප්‍රේමය අපව පොලඹවන්නේ කුමක් කරන්නද? (ආ) සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රේමය සහෝදරයන්ට උපකාරවත් වන ආකාරය ගැන අද්දැකීමක් සපයන්න.

8 “එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම [දෙවිගෙන්] ඉගෙනගෙන සිටින්නහුය” කියා පාවුල් තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානීන්ට පැවසුවේය. (1 තෙසලෝනික 4:9) ‘යෙහෝවා විසින් උගන්වනු ලබන අය’ එකිනෙකාට ප්‍රේමය පෙන්වති. (යෙසායා 54:13) “ප්‍රේමයෙන් එකිනෙකාට [සේවය කරන්න]” කියා පාවුල් පැවසූ වදන්වලට එකඟව ඔවුහු ක්‍රියාවලින් ඔවුන්ගේ ප්‍රේමය පෙන්වති. (ගලාති 5:13; 1 යොහන් 3:18) අසනීප වී සිටින සහෝදර සහෝදරියන්ව බලන්න යෑමෙන්ද, අධෛර්යයට පත්ව සිටින අයව දිරිමත් කිරීමෙන්ද, දුර්වල අයට උපකාර කිරීමෙන්ද ඔවුහු ප්‍රේමය පෙන්වති. (1 තෙසලෝනික 5:14) අප අතර පවතින අව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රේමය අපගේ ආත්මික පාරාදීසයේ වර්ධනයට දායක වේ.

9 ඉක්වදෝරයේ තිබෙන සභා 544 අතුරින් එකක් වන ආංකෝන් සභාවේ සහෝදරයන් ප්‍රායෝගික ආකාරයකින් තමන්ගේ ප්‍රේමය විදහා පෙන්වූහ. මේ සහෝදරයන්ට විශාල මුල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු විය. ඔවුන්ට කිසිදු ආදායම් මාර්ගයක් නොතිබිණ. මේ නිසා සියලුදෙනාම එකට එකතු වී මුදල් උපයාගත හැකි මාර්ගයක් සොයාගන්න වෑයම් කළහ. ඉන්පසු ඔවුහු ඒ ප්‍රදේශයේ සිටින ධීවරයන් රාත්‍රි කාලයේ මසුන් අල්ලා ආපසු එන විට, ඔවුන්ට ආහාර විකිණීමට තීරණය කළහ. මේ කාර්යයේදී ළමුන් ඇතුළුව සෑම කෙනෙක්ම සහයෝගයෙන් කටයුතු කළහ. පාන්දර 4:00ට පමණ ධීවරයන් මාලු අල්ලාගෙන එන විට ඔවුන්ට ආහාර සැපයිය යුතු නිසා ආහාර පිළියෙළ කරන්න පටන්ගන්නේ පාන්දර 1:00ට පමණය. මෙසේ ආහාර අලෙවි කිරීමෙන් සහෝදරයෝ එකතු කරගත් මුදල් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව බෙදාගත්හ. එසේ එකිනෙකාට උපකාර කිරීමෙන් ඔවුන් තුළ අව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රේමයක් තිබූ බව දක්නට ලැබිණ.

10, 11. අප පෞද්ගලිකව නොහඳුනන සහෝදරයන්ට ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?

10 කෙසේවෙතත්, අප පෞද්ගලිකව දැන හඳුනන ක්‍රිස්තියානීන්ට පමණක් අපේ ප්‍රේමය සීමා වී නැත. “මුළු සහෝදර සංගමයටම ප්‍රේම කරන්න” කියා ප්‍රේරිත පේතෘස් පැවසුවේය. (1 පේතෘස් 2:17NW) අපේ සෑම සහෝදර සහෝදරියක්ම අප හා එක්ව යෙහෝවා දෙවිට නමස්කාර කරන නිසා අපි ඔවුන් සියලුදෙනාටම ප්‍රේමය පෙන්වන්නෙමු. අපේ සහෝදරයන් විපත්තිවලට මුහුණ දෙන විට, ප්‍රේමය පෙන්වීමට අපට අවස්ථාව උදා වේ. උදාහරණයක් හැටියට, පසුගිය 2000 සේවා වසරේදී මොසැම්බික්හි දරුණු ජලගැලීම් සිදු වූ අතර, ඇන්ගෝලාවේ පවතින සිවිල් යුද්ධය නිසා බොහෝදෙනෙකුට තමන්ගේ දේපොළ අහිමි විය. මොසැම්බික්හි සිටින සහෝදරයන් 31,724දෙනාගෙන්ද ඇන්ගෝලාවේ සිටින සහෝදරයන් 41,222දෙනාගෙන්ද වැඩි පිරිසක් එම විපත්තිවලට මුහුණ දුන්හ. මේ තත්වය සැලකිල්ලට ගනිමින් අසල්වැසි දකුණු අප්‍රිකාවේ සිටින සාක්ෂිකරුවන් විසින් මොසැම්බික් හා ඇන්ගෝලාවේ විපතට පත් සහෝදරයන්ට විශාල වශයෙන් සහනාධාර යවන ලදි. අවශ්‍යතාවෙන් පෙළුණු තම සහෝදරයන්ට උපකාර කිරීම සඳහා තමන්ට ‘වැඩියෙන්’ තිබූ දේවල් දීමට ඔවුහු කැමැත්තෙන් ඉදිරිපත් වූහ.—2 කොරින්ති 8:8, 13-15, 24.

11 සීමිත සම්පත් තිබෙන රටවල රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා ඉදි කිරීමේ වැඩවලට හවුල් වීම සඳහා බොහෝ රටවල සිටින සහෝදරයන් ඉදිරිපත් වීමෙන්ද ප්‍රේමය දැකගත හැක. සොලොමන් දූපත්වල සිදු වූ දෙය මීට උදාහරණයකි. නොසන්සුන් තත්වයක් පැවතියත්, පසුගිය වසරේදී සොලොමන් දූපත්වල ප්‍රචාරකයන් සංඛ්‍යාව සියයට 6කින් වැඩි වූ අතර, 1,697ක නව ඉහළ ප්‍රචාරක සංඛ්‍යාවක් වාර්තා විය. ඔවුහු එක්රැස්වීම් ශාලාවක් ඉදි කිරීමට සැලසුම් කළහ. එම දූපත්වල වැසියන්ගෙන් බොහෝදෙනෙක් එයින් පිට වී ගියත්, එක්රැස්වීම් ශාලාවේ ඉදි කිරීම් වැඩවලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ස්වේච්ඡා සේවකයෝ පැමිණියහ. කෙසේවෙතත්, ටික කලකට පසු ඔවුන්ටද එයින් පිට වී යෑමට සිදු විය. එහෙත් ඔවුහු පිට වී යන්න කලින්, එම දූපතේ සිටින ගොඩනැඟීමට හවුල් වූ සහෝදරයන්ට අත්තිවාරම සම්පූර්ණ කිරීම සඳහා පුහුණුවක් ලබා දුන්හ. ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන කලින් සාදන ලද කොටස් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලදි. එම රටේ ඉදි කිරීම් ව්‍යාපෘති බොහොමයක් නතර කර දමා තිබූ කාලයක නමස්කාරය සඳහා මෙම අලංකාර ගොඩනැඟිල්ල සම්පූර්ණ කිරීම යෙහෝවාගේ නාමයටත් අපේ සහෝදරයන්ගේ ප්‍රේමයටත් කදිම සාක්ෂියක් වනු ඇත.

දෙවි මෙන් අපද ලෝකයට ප්‍රේම කරන්නෙමු

12. අපේ ඇදහිල්ලට අයිති නැති අය ගැන අප දරන ආකල්පය සම්බන්ධයෙන් අපට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

12 අපේ ප්‍රේමය අපේ පවුලේ සාමාජිකයන්ට හා ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට පමණක් සීමා වී තිබේද? නැත. අපේ ප්‍රේමය යම් පිරිසකට පමණක් සීමා වුවහොත් ‘දෙවිව අනුකරණය කරන්නන් වීමට’ අපට නොහැක. යේසුස් මෙසේ පැවසුවේය. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (එපීස 5:1NW; යොහන් 3:16 අකුරු ඇල කළේ අපය.) යෙහෝවා දෙවි මෙන් අපිද අපේ ඇදහිල්ලට අයිති නැති අය ඇතුළු සියලුදෙනාටම ප්‍රේමය පෙන්වන්නෙමු. (ලූක් 6:35, 36; ගලාති 6:10) රාජ්‍යයේ ශුභාරංචිය මිනිසුන්ට දේශනා කරමින්, දෙවි ඔවුන්ට පෙන්වා තිබෙන මහත් ප්‍රේමය ගැන කතා කිරීමෙන් ඔවුන් කෙරෙහි තිබෙන ප්‍රේමය අපි පෙන්වන්නෙමු. මෙසේ අප දේශනා කරන ශුභාරංචියට සවන් දෙන ඕනෑම කෙනෙකුට ගැළවීමේ මාර්ගයට පිවිසිය හැක.—මාර්ක් 13:10; 1 තිමෝති 4:16.

13, 14. පෞද්ගලිකව මහත් අපහසුතාවකට මුහුණ දීමට සිදු වුවත්, සාක්ෂිකරුවන් නොවන අයට ප්‍රේමය පෙන්වූ සහෝදරයන්ගේ අද්දැකීම් සමහරක් ඉදිරිපත් කරන්න.

13 නේපාලයේ සේවය කරන පුරෝගාමින් හතර දෙනෙකුගේ අද්දැකීම සලකා බලන්න. මේ සහෝදරයන් හතරදෙනාට මෙම රටේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටි නගරයක සේවය කිරීමට පැවරුමක් ලැබිණ. පසුගිය අවුරුදු පහ පුරා ඔවුන් මෙම නගරයේ හා ඈත පිහිටි ගම්මානවල ඉවසිලිවන්ත ලෙස අත් නෑරව සාක්ෂි දරමින් ඔවුන්ගේ ප්‍රේමය පෙන්වා තිබේ. බොහෝ අවස්ථාවලදී ඔවුහු සෙල්සියස් අංශක 40කට වඩා වැඩි උෂ්ණත්වයක් තිබියදී පවා පැය ගණනාවක් බයිසිකල් පදිමින් ඔවුන්ට පවරා තිබෙන බලප්‍රදේශය පුරා සාක්ෂි දැරීමට මහත් ප්‍රයත්නයක් දරති. ප්‍රේමය හා ‘ඉවසීම [විඳදරාගැනීම, NW] ඇතුව යහපත්කම් කිරීම’ නිසා හොඳ ප්‍රතිඵල ඔවුන් අද්දැක තිබේ. එක් ගමක පොත් පාඩම් කණ්ඩායමක් ආරම්භ කිරීම එයට කදිම නිදසුනකි. (රෝම 2:7) පසුගිය වසරේ මාර්තු මාසයේදී චාරිකා අවේක්ෂක විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ කථාවට සවන් දීමට 32දෙදෙනෙක් පැමිණ සිටියහ. පසුගිය වසරේ නේපාලයේ ඉහළම ප්‍රචාරක සංඛ්‍යාව 430ක් ලෙස වාර්තා වූ අතර, මෙය සියයට 9ක වැඩිවීමකි. මේ රටේ සිටින අපේ සහෝදරයන් මිනිසුන්ට ප්‍රේමය පෙන්වමින් ජ්වලිතව කරන දේශනා සේවයට යෙහෝවා ආශීර්වාද කරමින් සිටින බව පැහැදිලිව දැකගත හැක.

14 කොලොම්බියාවේ තාවකාලික පදනමක් මත සේවය කරන විශේෂ පුරෝගාමීන් කිහිපදෙනෙක් එම රටේ වාසය කරන වීඌ කියා හඳුන්වන ඉන්දියානුවන්ට දේශනා කිරීමට ගියහ. ඔවුන්ට දේශනා කිරීම සඳහා ඔවුන්ගේ භාෂාව ඉගෙනගැනීමට මේ පුරෝගාමීන්ට සිදු විය. එම මිනිසුන් කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා එම භාෂාව ඉගෙනගැනීම සඳහා ඔවුන් දැරූ වෑයමට ප්‍රතිඵල ලැබිණ. අධික වර්ෂාව මැද 27දෙනෙක් ප්‍රසිද්ධ කතාවකට පැමිණියහ. එම පුරෝගාමීන් මෙන්ම ප්‍රචාරකයන් විසින් ජ්වලිතව විදහාපෙන්වූ ප්‍රේමනීය ස්වභාවය නිසා කොලොම්බියාවේ සියයට 5ක වර්ධනයක් දක්නට තිබේ. එමෙන්ම එරට ප්‍රචාරකයන්ගේ නව ඉහළම සංඛ්‍යාව 1,07,613ක් ලෙස වාර්තා විය. ඩෙන්මාර්කයේ සිටින වයසක සහෝදරියක් අනිත් අයත් සමඟ ශුභාරංචිය ගැන කතා කරන්න මහත් ආශාවක් දැක්වුවාය. එහෙත් ඇය දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසු වෙයි. අධෛර්යට පත් නොවුණු ඇය ලිපි ලිවීමෙන් උනන්දුව දක්වන අය සමඟ ශුභාරංචිය බෙදාගත්තාය. දැනට ඇය 42දෙදෙනෙකු සමඟ ලිපි හුවමාරු කරගන්න අතර බයිබල් පාඩම් 11ක් පවත්වමින් සිටියි. පසුගිය වසරේ ඩෙන්මාර්කයේ වාර්තා වූ ප්‍රචාරකයන්ගේ නව ඉහළම සංඛ්‍යාව වූ 14,885දෙනාගෙන් ඇයත් එක් අයෙකි.

ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න

15, 16. (අ) අපේ ප්‍රේමය කොතෙක් දුරට පුළුල් විය යුතුද යන්න ගැන යේසුස් පැවසුවේ කුමක්ද? (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අසත්‍ය තොරතුරු පළ කළ තැනැත්තෙකු සමඟ සහෝදරයන් ප්‍රේමයෙන් කටයුතු කළේ කෙසේද?

15 සමරිතානුවෙකුව අසල්වැසියෙකු ලෙස සැලකිය හැකි බව යේසුස් ව්‍යවස්ථාව උගන්වන්නාට පැවසුවේය. සිය කන්ද උඩ දේශනාවේදී යේසුස් ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් මෙසේද පැවසුවේය. ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. නුඹේ සතුරාට වෛර කරන්නයයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි, නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤා කරන්න. එසේ කිරීමෙන් නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාගේ පුත්‍රයෝ වන්නෝය.’ (මතෙව් 5:43-45) යමෙක් අපට විරුද්ධ වන අවස්ථාවලදී පවා අප උත්සාහ කළ යුත්තේ ‘යහපත්කමින් නපුරුකම පරාජය කිරීමටය.’ (රෝම 12:19-21) හැකි නම් අපි ඒ තැනැත්තා සමඟ අප සතු උතුම්ම දෙය වන සත්‍යය බෙදාගනිමු.

16 යුක්‍රේනයේ පළ වූ ක්‍රිමින්චූක් හෙරල්ඩ් නමැති පුවත්පතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව භයානක නිකායක් ලෙස හඳුන්වා තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සිදු කරනු ලබන ආගමික කටයුතුවලට සීමා පැනවීමේ හෝ එය තහනම් කිරීමේ අරමුණ ඇතුව, මිනිසුන්ව නම්මවාගැනීම සඳහා සමහරුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එලෙස හඳුන්වන නිසා, එම පුවත්පතේ පළ වූ දෙය කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු විය. මේ නිසා සාක්ෂිකරුවෝ එම ලිපිය ලියූ තැනැත්තා වෙතට ගොස්, එහි සඳහන් වූ වැරදි තොරතුරු නිවැරදි කර නැවත අලුත් ලිපියක් ලියන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. එසේ කිරීමට ඔහු එකඟ වූ නමුත්, මුලින් ලියූ ලිපියේ සඳහන් තොරතුරුවල වරදක් නැති බව ඔහු සඳහන් කළේය. එනිසා මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කළ සහෝදරයෝ නැවතත් එම තැනැත්තා වෙතට ගොස්, තවත් තොරතුරු ඔහුට ලබා දුන්හ. තමා මුලින්ම ලියූ ලිපිය වැරදි බව මෙම ලේඛකයා තේරුම්ගෙන, ඒ බව එම පුවත්පතේ සඳහන් කළේය. මෙම කාරණයේදී එම තැනැත්තා සමඟ ඍජුව මෙන්ම කාරුණිකව කටයුතු කිරීම ප්‍රේමනීය ක්‍රියාමර්ගය වූ අතර, එයින් යහපත් ප්‍රතිඵල අත් විය.

ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද?

17. එකිනෙකා සමඟ ප්‍රේමයෙන් කටයුතු කිරීම සැමවිටම පහසු දෙයක් නොවිය හැකි බව පැහැදිලි වන්නේ කුමකින්ද?

17 දරුවෙකු ඉපදුණු විගස දෙමාපියෝ එම දරුවාට ආදරය කරන්න පටන්ගනිති. එහෙත් වැඩිහිටියන් සමඟ ප්‍රේමනීයව කටයුතු කිරීමට සැමවිටම අප තුළ සහජ නැඹුරුවාවක් නොමැත. එකිනෙකාට ප්‍රේම කරන්න කියා බයිබලය නිතර නිතර අපට පවසන්නේ ඒ නිසා විය හැක. අන්‍යයන්ට ප්‍රේමය පෙන්වීම සඳහා අපට නිරන්තර වෑයමක් දැරීමට සිදු වේ. (1 පේතෘස් 1:22; 4:8; 1 යොහන් 3:11) අපේ සහෝදරයන්ට අප “සැත්තෑ සත් වරක්” සමාව දිය යුතුයි කියා යේසුස් පැවසුවේය. (මතෙව් 18:21, 22NW) අපේ ප්‍රේමය පරීක්ෂණයට ලක් වන බව ඔහු එම වදන් පැවසූ අවස්ථාවේදී දැන සිටියේය. ‘එකිනෙකා සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න’ කියා පාවුල්ද අපෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. (කොලොස්සි 3:12, 13) “ප්‍රේමය ලුහුබඳින්න” කියා අපට පවසා තිබීම ගැන පුදුම විය යුතු නැත. (1 කොරින්ති 14:1NW) අපට ‘ප්‍රේමය ලුහුබැඳිය’ හැක්කේ කෙසේද?

18. අන් අය කෙරෙහි තිබෙනප්‍රේමය වර්ධනය කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

18 මුලින්ම, යෙහෝවා දෙවි කෙරෙහි අප තුළ තිබෙන ප්‍රේමය අපට සැමවිටම මනසේ තබාගත හැක. දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය අසල්වැසියාට ප්‍රේම කිරීමට අපව පොලඹවන ප්‍රධාන බලයකි. එයට හේතුව කුමක්ද? අප අන් අය සමඟ ප්‍රේමනීය ලෙස කටයුතු කරන විට, අපේ ස්වර්ගික පියාගේ ගුණාංග අප තුළින් දිස් වෙන අතර, එමගින් ඔහුට ගෞරවය හා ප්‍රශංසාව ලැබේ. (යොහන් 15:8-10; පිලිප්පි 1:9-11) දෙවනුව, යෙහෝවා දේවල් දෙස බලන ආකාරයට දේවල් දෙස බැලීමට අපට හැක. අප පව් කරන සෑම අවස්ථාවකදීම, අපි යෙහෝවාට විරුද්ධ වන්නෙමු. එහෙත් ඔහු අපට නැවත නැවත සමාව දෙමින් අපට දිගටම ප්‍රේමය පෙන්වයි. (ගීතාවලිය 86:5; 103:2, 3; 1 යොහන් 1:9; 4:18) යෙහෝවා මෙන් කාරණා දෙස බැලීමට අප වෑයම් කරනවා නම්, අන් අයට ප්‍රේම කිරීමටත්, අපට වැරදි කරන අයට සමාව දීමටත් අප තුළ පෙලඹීමක් ඇති වනු ඇත. (මතෙව් 6:12) තුන්වනුව, අන් අය අප සමඟ කටයුතු කරනවාට අප කැමති වන ආකාරයටම අපටත් අන් අය සමඟ කටයුතු කළ හැක. (මතෙව් 7:12) අප අසම්පූර්ණ නිසා අපට නිතරම සමාව අවශ්‍ය වේ. උදාහරණයක් හැටියට, අන් අයගේ සිත රිදෙන විදිහට අප යම් දේවල් පවසන අවස්ථාවලදී, සෑම කෙනෙක්ම කලින් කලට තමන්ගේ දිව අනිසි ලෙස පාව්චිචි කිරීම නිසා පව් කරන බව ඔවුන් මතක් කරගනියි කියා අපි බලාපොරොත්තු වෙමු. (යාකොබ් 3:2) එහෙත් අන් අය අප සමඟ ප්‍රේමනීයව කටයුතු කරනවා දකින්න අප කැමති නම්, අපත් ඔවුන් සමඟ ප්‍රේමනීයව කටයුතු කළ යුතුය.

19. ප්‍රේමය වර්ධනය කරගැනීමට වෑයම් කිරීමේදී අපට ශුද්ධාත්මයේ උපකාරය පැතිය හැක්කේ කෙසේද?

19 සිව්වනුව, ප්‍රේමය ශුද්ධාත්මයේ ඵලයක් වන නිසා අපට එහි උපකාරය පැතිය හැක. (ගලාති 5:22, 23) බොහෝ අවස්ථාවලදී මිත්‍රත්වය, පවුලේ සාමාජිකයන් අතර පවතින සෙනෙහස හා ආදරවන්තයන් අතර තිබෙන ප්‍රේමය නිරායාසයෙන්ම ඇති වන දෙයකි. එහෙත් යෙහෝවා විදහාපෙන්වන ප්‍රේමය, එනම් එක්සත්කමේ පරිපූර්ණ බැම්මක් වන ප්‍රේමය වර්ධනය කරගැනීමට අපට ඔහුගේ ආත්මයේ උපකාරය අවශ්‍ය වේ. දේවානුභාවයෙන් ලියවී තිබෙන බයිබලය කියවීමෙන් අපට ශුද්ධාත්මයේ උපකාරය ලබාගත හැක. උදාහරණයක් හැටියට, යේසුස්ගේ ජීවිතය ගැන අප අධ්‍යයනය කරනවා නම්, ඔහු මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය අපි තේරුම්ගන්නෙමු. එමෙන්ම ඔහුව අනුකරණය කළ හැකි පැති අපි ඉගෙනගන්නෙමු. (යොහන් 13:34, 35; 15:12) එපමණක්ද නොව, විශේෂයෙන්ම අපට අන් අය සමඟ ප්‍රේමනීයව කටයුතු කිරීම දුෂ්කර වන අවස්ථාවලදීද ශුද්ධාත්මය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළ හැක. (ලූක් 11:13) එමෙන්ම, ක්‍රිස්තියානි සභාව සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමෙන් අපට දිගටම ප්‍රේමය විදහාපෙන්විය හැක. අපේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමද ප්‍රේමය වර්ධනය කරගැනීමට අපට මහත් රුකුලක් වේ.—හිතෝපදේශ 13:20.

20, 21. යෙහෝවාගේ සාක්ෂිකරුවන් පසුගිය 2000 සේවා වසරේදී කැපීපෙනෙන අයුරින් ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

20 පසුගිය වසරේ ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් 60,35,564ක නව ඉහළ සංඛ්‍යාවක් වාර්තා විය. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මිනිසුන් වෙතට යමින් ශුභාරංචිය ගැන කතා කිරීම සඳහා පැය 1,17,12,70,425ක් යෙදවූහ. අව්ව, වැස්ස හා ශීතල නොබලා මිනිසුන් ළඟට ගොස් ශුභාරංචිය ගැන කතා කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබුවේ ප්‍රේමයයි. පාසැලේ හා රැකියා ස්ථානයේ සිටින මිතුරන් සමඟද, වීදියේදී හෝ වෙනත් ස්ථානවලදී හමු වන තමන් කොහොමටවත් නොදන්න අය සමඟද කතා කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබුවේ ප්‍රේමයයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්, හමුවීමට ගිය බොහෝදෙනෙකු උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ අතර තවත් අය ඔවුන්ට විරුද්ධ වූහ. කෙසේවෙතත්, මේ අතර සමහර අය උනන්දුව දැක්වූ නිසා නැවත බැලීම් 43,34,54,049ක්ද බයිබල් පාඩම් 47,66,631ක්ද කිරීමට ඔවුන්ට හැකි විය. a

21 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දෙවි කෙරෙහිත් ඔවුන්ගේ අසල්වැසියන් කෙරෙහිත් මොනතරම් ප්‍රේමයක් පෙන්වා තිබෙනවාද කියා ඒ සෑම දෙයකින්ම මොනවට පැහැදිලි වේ! එම ප්‍රේමය කිසිදා නැති නොවේ. දෙදහස් එක සේවා වසරේදී මීටත් වඩා මහත් සාක්ෂියක් දරයි කියා අපට නිසැක විය හැක. යෙහෝවාගේ පක්ෂපාත හා ජ්වලිතවත් නමස්කාරකයන් ‘ඔවුන් කරන සියල්ලම ප්‍රේමයෙන් කරන’ විට ඔවුන්ට දිගටම යෙහෝවාගේ ආශීර්වාද හිමි වේවා!—1 කොරින්ති 16:14.

[පාදසටහන]

a සම්පූර්ණ විස්තර දැනගැනීම සඳහා 18-21 දක්වා ඇති පිටුවල සඳහන් 2000 සේවා වසරේ වාර්තාව ඇතුළත් සටහන බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අපේ අසල්වැසියන්ට අප ප්‍රේම කරන විට අප අනුකරණය කරන්නේ කාවද?

• අපේ ප්‍රේමය කොතරම් පුළුල් විය යුතුද?

• ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීම පිළිබඳ අද්දැකීම් කිහිපයක් ඉදිරිපත් කරන්න.

• අපට ක්‍රිස්තියානි ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18-21වන පිටුවේ වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2000 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

[15වන පිටුවේ පින්තූර]

පවුලක එකමුතුකම පවත්වාගැනීමට ක්‍රිස්තියානි ප්‍රේමයට හැක

[17වන පිටුවේ පින්තූර]

අන් අය සමඟ අපේ බලාපොරොත්තුව ගැන කතා කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි