Skip to content

පටුනට යන්න

හර්–මගෙදොන් යුද්ධයට ඔබ භය විය යුතුද?

හර්–මගෙදොන් යුද්ධයට ඔබ භය විය යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

හර්–මගෙදොන් යුද්ධයට ඔබ භය විය යුතුද?

“හර්–මගෙදොන්” කියන්නේ කුමක්ද? සරලව කියනවා නම් එය සිදුවීමට නියමිත සිද්ධියක්. එනම් දෙවිටත් යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන දෙවිගේ රාජ්‍යයටත් විරුද්ධව ලෝකයේ පාලකයන් එක්රැස් වීමේ අවස්ථාවයි. ප්‍රේරිත යොහන් දුටු දර්ශනයක් ගැන බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඔහු දුටුවේ හර්–මගෙදොන් ලෙස සංකේතමය වශයෙන් දැක්වෙන ස්ථානයකදී පාලකයන් දෙවිට විරුද්ධව එක්රැස් වෙන ආකාරයයි.

“හර්–මගෙදොන්” යන වචනය ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන්නේ එක් වතාවක් පමණයි. නමුත් සමහර භාෂාවලින් එම වචනය බොහෝ අවස්ථාවන්වලදී රූපාලංකාරයක් හැටියට යොදාගන්නවා. න්‍යෂ්ටික යුද්ධයක් වැනි විශාල ව්‍යසනයකට මෙන්ම පරිගණක වෛරසයක් වැනි කුඩා ව්‍යසනයක් හැඳින්වීමටත් එම වචනය යොදාගෙන තිබෙනවා. එම විෂය යටතේ පොත් කීපයක්ම ලියා තිබෙන්නේ ‘ලෝකාන්තිමය’ හෝ හර්–මගෙදොන්වලට පෙර කාලපරිච්ඡේදය ගැන විස්තර කිරීමටයි. එම විෂය යටතේ කොටස් වශයෙන් පළ කළ නවකතා පොතක පිටපත් මිලියන 60කට වඩා ඉකුත් වසර දහය පුරා අලෙවි වුණා.

සමහරු හර්–මගොදොන් කියද්දී බය වෙනවා. ඔවුන් සිතන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලින්, එදිරිවාදී ජාතීන් තුළින් හෝ මිනිසාට පාලනය කළ නොහැකි ව්‍යසනයන් නිසා මුළු පොළොවම විශාල උපද්‍රවයකට ලක් වී ජීවීන්ට විසිය නොහැකි තැනක් බවට එය පත් වෙයි කියලයි. තවත් අයගේ විශ්වාසය වී තිබෙන්නේ දෙවිම කෝප වී ඔහුට කැමති වෙලාවකදී අපේ පෘථිවිය සහ එහි ඇති සියල්ලම සුනු විසුණු කර දමයි කියලයි. එවැනි සිද්ධීන් වෙනවා නම් ඒවා ඇත්තෙන්ම භයානක ප්‍රතිඵල ගෙනෙනු ඇත! එහෙත් හර්–මගෙදොන්හි ඇති වන “දෙවිගේ මහත් දවසේ යුද්ධය” යන්නෙන් ඇත්තටම අදහස් වෙන්නේ කුමක්ද?—එළිදරව් 16:14, 16.

පෘථිවිය විනාශ වී යයිද?

හර්–මගෙදොන්හිදී සියලුම මිනිසුන් විනාශ වෙන්නේ නැහැ. කොහොමද අපි එය දන්නේ? බයිබලයේ ස්ථිර ලෙස පවසන මේ දේ නිසයි. “දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව කපාහරින පිණිස විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දන්නේය.” (2 පේතෘස් 2:9) එසේනම් දෙවි ඔහුගේ අසීමිත බලය පූර්ණ ලෙස හසුරුවයි කියා අපිට නිසැක වන්න පුළුවන්. හර්–මගෙදොන්හිදී දෙවිගේ උදහසට හසු වන්නේ දෙවිගේ පරමාධිපති පාලනයට යටත් නොවන අය පමණයි. අත්වැරැද්දකින් කාටවත් හානියක් සිදු වෙන්නේ නැහැ.—ගීතාවලිය 2:2, 9; උත්පත්ති 18:23, 25.

අනාගතයේදී දෙවි “පොළොව විනාශ කරන අයව විනාශ කර දමන” බව බයිබලයෙහි පවසා තිබෙනවා. (එළිදරව් 11:18) එසේනම් යෙහෝවා දෙවිගේ අරමුණ අපේ පෘථිවිය විනාශ කර දැමීම නොවන බව පැහැදිලියි. ඒ වෙනුවට ඔහු ඉදිරියේදී තම පාලනයට විරුද්ධව සිටින දුෂ්ට මිනිස් සමාජය විනාශ කර දමයි. නෝවාගේ කාලයේදී ජලගැල්මකින් දුෂ්ටයන් විනාශ වුණා වගේම මෙහිදීත් දුෂ්ටයන් පමණයි විනාශ වෙන්නේ.—උත්පත්ති 6:11-14; 7:1; මතෙව් 24:37-39.

“මහත් භයානක දවසක්”

අනාගතයේදී සිදු වන විනාශය ගැන තිබෙන බයිබල් අනාවැකිවලට අනුව එය බිය උපදවන එකක් බව ඇත්තයි. උදාහරණයක් ලෙස ගත්තොත් යෝවෙල් අනාගතවක්තෘ “යෙහෝවාගේ මහත් භයානක දවස” ගැන පවසා තිබෙනවා. (යෝවෙල් 2:31) දෙවි තම යුද්ධයේදී ආයුධ හැටියට හිම, ගල් වැසි, භූමිකම්පා, බෝවෙන රෝග, ජලගැලීම්වලට තුඩු දෙන ධාරාණිපාත වැසි, ගිනි හා ගෙන්දගම් වැසි, භයානක වියවුල, විදුලි කෙටීම් සහ මාංසය ක්ෂයවන දරුණු පීඩා යොදගන්නා බව ශුද්ධ ලියවිල්ලේ දැක්වෙනවා. * (යෝබ් 38:22, 23; එසකියෙල් 38:14-23; හබක්කුක් 3:10, 11; සෙකරියා 14:12, 13) මැරී වැටෙන අය මුළු පොළොව පුරාම විසිරී සිටින ආකාරය ගැනත්, මළ සිරුරු පොහොර වීමට හෝ කුරුල්ලන්ට සහ වෙනත් සතුන්ට ආහාර ලෙස ගැනීමට ඉඩහරින ආකාරය ගැනත් එහි විචිත්‍රවත් ලෙස පැහැදිලි කර තිබෙනවා. (යෙරෙමියා 25:33, 34; එසකියෙල් 39:17-20) මෙම යුද්ධයේදී දෙවිගේ සතුරන්ට සිදු වන්නේ බියෙන් වෙලී සිටීමටයි.—එළිදරව් 6:16, 17.

සැබෑ දෙවිට කීකරුව නමස්කාරයේ යෙදෙන අය හර්–මගෙදොන් යුද්ධයේදී සිදු වන පුදුමාකාර දේවලට භය විය යුතු බවක් මින් අදහස් වෙනවාද? මෙම සටන සඳහා පොළොවේ සිටින දෙවිගේ සේවකයන් සහභාගි නොවන නිසා ඔවුන් කිසිම භයක් ඇති කරගත යුතු නැහැ. එපමණක්ද නොව යෙහෝවා ඔවුන්ව ආරක්ෂා කරයි. කෙසේවෙතත් දෙවිගේ මහත් බලයේ භයානක පැත්ත දකින විට සැබෑ නමස්කාරකයන් පුදුමයට පත් වේවී.—ගීතාවලිය 37:34; හිතෝපදේශ 3:25, 26.

අපේ බිය සැක දුරු කිරීම සඳහා යොහන් දේවානුභාවයෙන් ලියූ මේ දේ සිතට ගැනීම වැදගත්. “මේ අකුළන ලියවිල්ලෙහි ඇති අනාවැකියේ වචන පවත්වන තැනැත්තා සන්තෝෂවත්ය.” (එළිදරව් 1:3; 22:7) හර්–මගෙදොන් ගැන කල්පනා කිරීමෙන් ඇත්තෙන්ම කෙනෙකුට සන්තෝෂ වෙන්න පුළුවන්ද? එය එසේ විය හැක්කේ කෙසේද?

අනතුරු ඇඟවීමට සවන් දෙන්න

දරුණු සුළි සුළඟක් එන බව දැනගත් වහාම දිවි රැකීම සඳහා අධිකාරීන් අනතුරු ඇඟවීමක් දීමට සලස්වයි. හැමදෙනාටම අනතුරු ඇඟවීමක් ලැබී තිබෙන බව සහතික කරගැනීම සඳහා බොහෝවිට පොලිසිය ශබ්ද විකාශන මගින් නිවේදනයක් නිකුත් කරයි. එසේ නැතහොත් ගෙයින් ගෙට ගොස් ඒ ගැන පවසයි. එලෙස කරන්නේ ජනතාව බියගැන්වීමට නොව දිවි රැකගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහායි. කල්පනාවෙන් වැඩ කරන අය එම අනතුරු ඇඟවීම සතුටෙන් භාරගෙන නිසි ක්‍රියාමාර්ගයක් ගනියි. එය ඔවුන්ට සතුටුදායක ප්‍රතිඵල ගෙන දෙයි.

ළඟදී පැමිණෙන ‘සුළි සුළඟක්’ මෙන් විනාශකාරීව සිදු වන හර්–මගෙදොන් යුද්ධය ගැනත් දෙවි අනතුරු ඇඟවීමක් දී තිබෙනවා. (හිතෝපදේශ 10:25) යෙහෝවා බයිබලය තුළින් ඒ යුද්ධය ගැන විස්තර සපයා තිබෙනවා. ඔහුගේ කැමැත්ත වන්නේ ජනයාව භය කිරීම නොවෙයි. ඒ වෙනුවට දෙවි කැමති ජනයා පසුතැවිලි වී අධිෂ්ඨානයකින් යුතුව ඔහුට සේවය කරනවා දැකීමටයි. (ශෙපනියා 2:2, 3; 2 පේතෘස් 3:9) එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා අය ඉදිරියේදී ගැලවීම ලබයි. එමනිසා ළඟදී ඇති වන දෙවිගේ යුද්ධයට අපි බිය විය යුතු නැහැ. “යෙහෝවාට යාච්ඤා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේය” යන විශ්වාසය ඇතුව අනාගතය දෙස බැලීමට අපට හැකියි.—යෝවෙල් 2:32.

[පාදසටහන]

^ 10 ඡේ. බයිබලයේ ඇතැම් කොටස් ලියා තිබෙන්නේ ‘සංකේතමය’ භාෂාවෙන් බව සඳහන් කළ යුතුයි. (එළිදරව් 1:1) ඒ නිසා මෙම අනාවැකිවල සඳහන් වන දේවල් ඒ විදියටම භාවිත කරයි කියා අපිට සියයට සියයක්ම කිව නොහැකියි.

[12වන පිටුවේ පින්තූරය]

දරුණු සුළි සුළඟක් එන බව දැනගත් වහාම දිවි රැකීම සඳහා අධිකාරීන් අනතුරු ඇඟවීමක් දීමට සලස්වයි

[13වන පිටුවේ පින්තූරය]

හර්–මගෙදොන් පිළිබඳ දෙවිගේ අනතුරු ඇඟවීම දිවි රැකගැනීමට කරන ආරාධනාවක්