එසකියෙල් 39:1-29

39  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ගොග්ට විරුද්ධව මෙම අනාවැකිය ප්‍රකාශ කරන්න.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මෙෂෙක්+ හා තූබල්හි+ මහ අධිපතියා වන ගොග්, මම ඔබට විරුද්ධව පියවර ගන්නෙමි.  මම ඔබව මෙල්ල කර ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව ඔබව යවන්නෙමි.+ ඔබ උතුරුකරයේ ඉතා ඈතින් පිහිටි ස්ථානයකින් පිටත් වී+ ඊශ්‍රායෙල් කඳුකරයට පැමිණෙනු ඇත.  එවිට මම ඔබේ වමතේ තිබෙන දුන්නටද ඔබේ දකුණතේ තිබෙන ඊතලවලටද ගසා ඒවා බිම වට්ටන්නෙමි.  ඔබද ඔබේ මහත් සේනාවද ඔබ සමඟ රැස්ව සිටින මුළු සමූහයද ඊශ්‍රායෙල් දේශයේ කඳු මත වැටෙනු ඇත.+ මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.”’+  “‘ඔබ භූමිය මතුපිටම ඇද වැටෙනවා ඇත.+ මන්ද එසේ වීමට නියම කර ඇත්තේ මමය’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.  “‘මම මාගොග් දේශයටත්+ සුරක්ෂිතව වාසය කරන දූපත්වල වැසියන්ටත්+ විරුද්ධව ගින්නක් එවන්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත.  මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ඉදිරියේ මාගේ ශුද්ධ නාමය මම ප්‍රකාශ කරන්නෙමි. මාගේ ශුද්ධ නාමය තවදුරටත් නින්දාවට ලක් වෙන්න මම ඉඩ දෙන්නේ නැත.+ එවිට මා ඊශ්‍රායෙල් දේශයේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත.’+  “‘ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. මා පැවසූ සියල්ල එලෙසම ඉටු වන්නේය’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. ‘මා කී දවස මෙයයි.+  ඒ දවසේදී, ඊශ්‍රායෙල් දේශයේ නුවරවල වැසියෝ ඇවිත් ලොකු කුඩා පලිස්, දුනු, ඊතල, හෙල්ල, මුගුරු යනාදි සියලු යුද්ධායුධ ගොඩගසා ඒවාට ගිනි තබන්නෝය.+ ඔවුහු අවුරුදු හතක් පුරා ඒවා දවන්නෝය. 10  ගින්නක් ඇවිළීම සඳහා එළිමහනට හෝ වනාන්තරයට හෝ ගොස් කෝටු කෑලිවත් දරවත් එකතු කරන්න ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. මන්ද ඔවුන් ගිනි අවුළුවන්නේ යුධ අවිවලිනි.’ “‘තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔවුහු කොල්ල කන්නෝය.+ තම දේපළ පැහැරගත් අයගෙන් ඔවුහුද දේපළ පැහැරගන්නෝය’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. 11  “‘ඒ කාලයේදී මම ගොග්ට+ ඊශ්‍රායෙල් දේශයේ සොහොනක් සූදානම් කර දෙන්නෙමි. එම සොහොන තිබෙන්නේ මුහුදට නැඟෙනහිරින් පිහිටි මඟීන්ගේ තැනිතලාවේය. ඒ නිසා එතැනින් යන එන අයගේ ගමන අවහිර වනු ඇත. ගොග්වත් ඔහුගේ මුළු සෙනඟවත් වළලනු ලබන්නේ එහිදීය. එම ස්ථානයට, “හාමොන්-ගොග් තැනිතලාව”* යන නම තබනු ඇත.+ 12  ඊශ්‍රායෙල් දේශයේ වැසියෝ සත් මසක් පුරා ගොග්වත් ඔහුගේ සමූහයවත් එහි වළලමින් දේශය පවිත්‍ර කරන්නෝය.+ 13  ඔවුන්ව වැළලීමට දේශයේ සියලු වැසියෝ අනිවාර්යයෙන්ම සහභාගි වනු ඇත. මා ගෞරවයට පත් වන ඒ දවසේදී+ දේශයේ ඒ වැසියන්ටද කීර්ති නාමයක් ලැබෙන්නේය’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. 14  “‘දේශයේ තවත් මළ කඳන් ඇද්දැයි සෝදිසි කර බැලීමට පුරුෂයන්ව තෝරාගනු ලැබේ. නිරතුරුවම එම කාර්යයේ යෙදෙන ඔවුන්ගේ උපකාරයට වෙනත් අයද පැමිණෙන්නෝය. ඔවුහු දේශය පුරා ඇවිදිමින් ඉතුරුව ඇති මළ කඳන් වළලා දමා දේශය පිරිසිදු කරන්නෝය. ඔවුහු සත් මසක් පුරා එම කාර්යයෙහි නියැලෙන්නෝය. 15  දේශය සෝදිසි කර බලන අය මුළු දේශය පුරාම යා යුතුය. එසේ සෝදිසි කරන අතරේදී මිනිසෙකුගේ ඇටකටු දක්නට ලැබුණොත් ඔවුන් ඒ අසල ලකුණක් තබා යා යුතුය. ඉන්පසුව වැළලීමේ කාර්යයේ නිරත වන අය ඒ ඇටකටු රැගෙන ගොස්, “හාමොන්-ගොග්” නම් තැනිතලාවෙහි වැළලිය යුතුය.+ 16  එම තැනිතලාවේ පිහිටි නුවරේ නම, “හාමොනාය.”* මෙසේ, ඔවුහු දේශය සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරන්නෝය.’+ 17  “මනුෂ්‍ය පුත්‍රය, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. ‘සියලු පක්ෂීන්ටත් වනයේ සැරිසරන සියලුම සතුන්ටත් මෙසේ කියන්න.+ “එන්න! රංචු පිටින් එන්න. මා පිළියෙල කර ඇති පූජාව වටා එක් රොක් වන්න. ඒ පූජාව මා සූදානම් කරන්නේ ඔබ වෙනුවෙන්ය. එය ඊශ්‍රායෙල් කඳුකරයේ සිදු කරන දැවැන්ත පූජාවකි.+ එහිදී ඔබ සියලුදෙනාම මස් කා ලේ බොන්නහුය.+ 18  ඔබ බලවතුන්ගේ මස් කන්නහුය.+ එළුවන්, බැටළුවන්,+ තරුණ ගවයන්+ මෙන් සිටින පොළොවේ අධිපතීන්ගේ ලේ බොන්නහුය. ඔවුහු සියලුදෙනා බාෂාන් දේශයේ තර සත්තුය.+ 19  මා ඔබ වෙනුවෙන් පිළියෙල කරන මෙම පූජාවෙන් ඔබ තෙල් කොටස් කා තෘප්තියට පැමිණෙන්නහුය.+ ඔබ මත් වන තෙක්ම ඔවුන්ගේ ලේ බොන්නහුය.”’ 20  “‘ඔබ මාගේ මේසය ළඟට ඇවිත් අශ්වයන්ගේද අශ්ව රථ පදවන්නන්ගේද බලවතුන්ගේද බොහෝ රණශූරයන්ගේද මස් කා තෘප්තියට පැමිණෙනවා ඇත’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.+ 21  “‘මම ජාතීන්ට මාගේ තේජස දකින්න සලස්වන්නෙමි. එවිට මා නියම කළ දේ ඉටු වන ආකාරයත්+ මාගේ අතිමහත් බලය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වන ආකාරයත් සියලු ජාතීහු දකිනු ඇත.+ 22  ඒ දවසේදී, යෙහෝවා වන මා ඔවුන්ගේ දෙවි බව ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ට පිළිගන්න සිදු වනු ඇත.+ 23  ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයට ගියේ තමන්ගේම වැරදි නිසා කියා සියලු ජාතීහු තේරුම්ගනු ඇත.+ මන්ද ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මම ඔවුන්ට පිහිට නොවී+ ඔවුන්ව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියෙමි. ඔවුහු සියලුදෙනා කඩුවෙන් මැරුම් කෑවෝය.+ 24  මා ඔවුන්ට දඬුවම් කළේ ඔවුන් කළ අපවිත්‍ර දේවල් හා ඔවුන්ගේ වැරදි නිසාය.+ මම මාගේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගතිමි.’ 25  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+ 26  මට විරුද්ධව කළ සියලු ද්‍රෝහිකම්වලට ඔවුහු දඬුවම් විඳ ඇත.+ ඔවුන් අද්දුටු නින්දාවද+ දැන් අවසන්ය. මෙතැන් පටන් ඔවුහු තමන්ගේම දේශයේ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ 27  ඔවුන් විසිර සිටි ජාතීන් අතරින්ද ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින්ද මම ඔවුන්ව නැවතත් එකතු කරන්නෙමි.+ සියලු ජාතීන් ඉදිරියෙත් මාගේ සෙනඟ ඉදිරියෙත් මා ශුද්ධ දෙවි කෙනෙකු බව මම ඔප්පු කර පෙන්වන්නෙමි.’+ 28  “‘ඔවුන්ව ජාතීන් අතරට වහලුන් ලෙස යැව්වද මම නැවතත් ඔවුන් සියලුදෙනාව ඔවුන්ගේ දේශයට රැගෙන එන්නෙමි.+ එවිට මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවා බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඒ දේශවල අත්හැර දමන්නේ නැත.+ 29  මම නැවත කිසිදා ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඈත් නොවන්නෙමි.+ මම නොඅඩුව ඔවුන්ට මාගේ බලය දෙන්නෙමි’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.”

පාදසටහන්

තේරුම, “ගොග්ගේ සමූහයට අයිති තැනිතලාව.”
තේරුම, “සමූහය.”