Skip to content

පටුනට යන්න

පාප්වරුන් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන්ද?

පාප්වරුන් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන්ද?

පාප්වරුන් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන්ද?

ගබ්සාව සම්බන්ධයෙන් ජර්මනියේ බිෂොප්වරයෙක් ගත් තීරණයට විරුද්ධ වෙමින් දෙවන ජුවාම් පාවුලු පාප්වරයා 2002දී එම බිෂොප්වරයාට ලිපියක් ලිව්වා. ඔහු එම ලිපියේ තමා සතු අධිකාරිය ගැන මෙසේ සඳහන් කළා. ‘යේසුස් ක්‍රිස්තුස්ගේ කැමැත්තට අනුව පල්ලි අතර එක්සත්කම පවත්වාගන්නත් ඒවායේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නත් වගකීම තිබෙන්නේ මටයි.’ බිෂොප්වරයෙක් ගත් තීරණයකට විරුද්ධ වීමට පේතෘස්ගේ අනුප්‍රාප්තිකයා වන පාප්වරයාට බලයක් තිබෙන බව ඔහු එහිදී සඳහන් කරනවා.

රෝමානු කතෝලික විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. ‘යේසුස් ක්‍රිස්තුස්, පේතෘස්ව ඔහුගේ අනුගාමිකයන් අතර ප්‍රධානියා බවට පත් කර ඇත. පේතෘස්ගෙන් පසු දිගටම ඔහුගේ අනුප්‍රාප්තිකයන් සිටිය යුතු බවට වූ සැලැස්ම ඇති කළේ යේසුස්ය. අනුප්‍රාප්තිකයෙකු ලෙස පත් කරන්නේ රෝමයේ සිටින බිෂොප්වරයෙකුවය.’—New Catholic Encyclopedia (2003), 11වෙනි වෙළුම 495-496 පිටු.

ඉහත සඳහන් අදහස් කොතරම් දුරට නිවැරදිද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න තුනක් ගැන දැන් අපි සලකා බලමු. (1) පේතෘස් පළමු පාප්වරයා කියා බයිබලයේ පවසනවාද? (2) පාප්වරුන්ගේ ආරම්භය ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ කුමක්ද? (3) ඔවුන්ගේ හැසිරීම හා ඉගැන්වීම් බයිබලයේ සඳහන් දේවලට එකඟද?

පේතෘස් පළමු පාප්වරයාද?

ක්‍රිස්තියානි සභාව ගොඩනඟා තිබෙන්නේ පේතෘස් මත කියා ඔප්පු කිරීමට කතෝලිකයන් මතෙව් 16:18හි ඇති මේ වචන යොදාගන්නවා. “ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි.” (නව අනුවාදය) එම වදන් රෝමයේ පිහිටි ශාන්ත පීතර දේවස්ථානයේ විශාල ලතින් අකුරුවලින්ද ලියා තිබෙනවා.

ක්‍රිස්තියානි සභාව පේතෘස් මත ගොඩනඟා ඇති බව පල්ලියේ නායකයෙක් වන ඔගස්ටීන්ද මුලදී පිළිගත්තා. කෙසේවෙතත් ක්‍රිස්තියානි සභාව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස් මත මිස පේතෘස් මත නොවන බව ඔහු තම ජීවිතයේ අවසාන කාලයේදී පිළිගත්තා. *

ශුභාරංචි පොත්වල පේතෘස් ගැන නිතර නිතර සඳහන් වෙන බව ඇත්තයි. ඒ වගේම යේසුස් විශේෂ අවස්ථා කිහිපයකට පේතෘස්වත් සම්බන්ධ කරගත් බව බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 5:37, 38; 9:2; 14:33) ඊට අමතරව යේසුස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාර දුන්නේද පේතෘස්ටයි. ඒ නිසා යුදෙව්වන්ට, යුදෙව් ආගමට හැරුණු අයට, සමාරියේ වැසියන්ට සහ වෙනත් ජාතීන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීමට අවස්ථාව ලබා දීමට ඔහුට හැකි වුණා. (මතෙව් 16:19; ක්‍රියා 2:5, 41; 8:14-17; 10:45) සාමාන්‍යයෙන් පේතෘස් ඉක්මනින් කතා කිරීමට පෙලඹෙන නිසා යේසුස්ගේ සියලුම ගෝලයන් වෙනුවෙන් කතා කළ අවස්ථාද තිබුණා. (ක්‍රියා 1:15; 2:14) ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වෙන්නේ පේතෘස් පළමු ශතවර්ෂයේ තිබූ ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා කියාද?

එක් අවස්ථාවක පේතෘස් ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. ඔහු “යුදෙව්වන් වෙනුවෙන් නියෝජිතයෙකු” ලෙස කටයුතු කරනවා. (ගලාති 2:8) පාවුල් එහිදී සඳහන් කරන්නේ යුදෙව්වන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පේතෘස් සතු කාර්යභාර්ය ගැන මිස ඔහු ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා කියා නොවන බව අවට පද කියවීමෙන් පැහැදිලි වෙනවා.

පේතෘස්ට බොහෝ වගකීම් පවරා තිබුණා. ඒ වුණත් ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා තමා කියාවත් අනිකුත් ගෝලයන් වෙනුවෙන් තීරණ ගන්නේ තමා කියාවත් ඔහු පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු තමාව හඳුන්වන්නේ “නියෝජිතයෙකු” සහ “වැඩිමහල්ලෙකු” ලෙසයි.—1 පේතෘස් 1:1; 5:1.

පාප්වරුන්ගේ ආරම්භය ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ කුමක්ද?

පාප්වරයෙක් සිටිය යුතුයි යන අදහස ආරම්භ වුණේ කොහොමද සහ කවදාද? එක් පුද්ගලයෙක් සෙසු නමස්කාරකයන් අතරින් ප්‍රධානියා විය යුතුයි යන අදහස මුලින්ම ඇති වුණේ යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ කාලයේදීමයි. එම අදහස යේසුස්ගේ අනුගාමිකයන් සැලකුවේ කොහොමද?

ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන පුරුෂයන්ට පේතෘස් පැවසුවේ ‘දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වන’ ලෙසයි. ඒ වෙනුවට නිහතමානීව හැසිරෙන්න කියා ඔහු පැවසුවා. (1 පේතෘස් 5:1-5) ක්‍රිස්තියානි සභාවේ සිටින සමහර අය ගැන පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:30) ඊට බොහෝ කාලයකට පසු යොහන් ලියූ ලිපියක, සභාවේ සහෝදරයන් අතර “මුල් තැන ලබාගැනීමට” උත්සාහ කළ දියොත්‍රෙෆස්ගෙන් පරෙස්සම් වෙන්න කියා සඳහන් කළා. (3 යොහන් 9) යේසුස්ගේ නියෝජිතයන් නිසා සභාවේ මුල් තැන ගැනීමට ආශාවෙන් සිටි අයට ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ.—2 තෙසලෝනික 2:3-8.

කොහොමවුණත් යේසුස්ගේ නියෝජිතයන් සියලුදෙනාගේ මරණයෙන් පසු සභාවේ සිටි සමහර අය මුල් තැන ලබාගැනීමට උත්සාහ කළා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “දෙවෙනි ශතවර්ෂයේ මැදභාගය වන තුරු සියලුදෙනා වෙනුවෙන් එක් අයෙක් ප්‍රධානියා විය යුතුයි යන සංකල්පය ක්‍රිස්තියානි සභාවේ තිබුණේ නැහැ.” (Cambridge History of Christianity) කෙසේවෙතත් තුන්වෙනි ශතවර්ෂය වන විට කතෝලික පල්ලියේ සියලුම බලය හිමි තැනැත්තා තමන් බව රෝමයේ බිෂොප්වරයා පවසා සිටියා. * රෝමයේ සිටින බිෂොප්වරයාට සියලුම බලතල තිබෙන බව අන් අයට අවබෝධ කර දීම සඳහා සමහර අය ඊට කලින් සිටි පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන්ගේ නම් ලැයිස්තුවක් සකස් කළා.

නමුත් එම ලැයිස්තුවේ සඳහන් නම් සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබුණා. ඊට හේතුව එහි සඳහන් තොරතුරු සත්‍යය බව පැවසීමට කිසි පදනමක් නොතිබීමයි. ඒ වගේම පළමු සහ දෙවන සියවස්වල ලියූ සමහර පොත්වල සඳහන් ලෙස පේතෘස් රෝමයේ දේශනා කළා විය හැකි වුණත් රෝමයේ පිහිටි සභාවේ ප්‍රධානියා ඔහුයි කියා ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් නැහැ.

රෝමයේ පිහිටි සභාවේ ප්‍රධානියා ලෙස පේතෘස් ක්‍රියා නොකළ බවට එක් සාක්ෂියක් සලකා බලමු. පාවුල් රෝමවරුන්ට ඔහුගේ ලිපිය ලියද්දී එහි සිටි ක්‍රිස්තියානීන් විශාල පිරිසකගේ නම් සඳහන් කළත් කිසිම තැනක පේතෘස්ගේ නම සඳහන් කර නැහැ. (රෝම 16:1-23) පේතෘස් රෝමයේ පිහිටි සභාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළා නම් පාවුල් ඔහුගේ නම සඳහන් නොකරයි කියා සිතන්න පුළුවන්ද?

ඒ වගේම පේතෘස් දෙවිගේ බලයේ උපකාරයෙන් ඔහුගේ පළමු ලිපිය ලියන කාලයේදීම වගේ පාවුල් තිමෝතිට ඔහුගේ දෙවෙනි ලිපිය ලිව්වා. එම ලිපියේදී පාවුල් රෝමය ගැන සඳහන් කළත් ඔහු පේතෘස් ගැන කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ.

පාවුල් ඔහුගේ ලිපි ලියා වසර 30කට පමණ පසු යොහන්, ලිපි තුනක් සහ එළිදරව් පොත ලිව්වා. අන් සියලු සභාවන් පාලනය කළේ රෝමයේ පිහිටි සභාව කියාවත් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයෙක් එහි මූලිකයා ලෙස කටයුතු කරනවා කියාවත් ඔහු කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ. රෝමයේ පිහිටි සභාවේ මුල්ම බිෂොප්වරයා තමන් බව පේතෘස් පැවසූ බවට කිසිම සාක්ෂියක් බයිබලයෙන්වත් ඉතිහාසයෙන්වත් සොයාගන්න බැහැ.

ඔවුන්ගේ හැසිරීම හා ඉගැන්වීම් බයිබලයට එකඟද?

තමන් පේතෘස්ගේ අනුප්‍රාප්තිකයන් හා යේසුස්ගේ නියෝජිතයන් බව පාප්වරුන් කියා සිටින නිසා ඔවුන් යේසුස් හා පේතෘස් දුන් මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙයි කියා අපේක්ෂා කිරීම සාධාරණයි. පේතෘස් සෙසු සහෝදරයන්ගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වගේම තමන්ව විශේෂ පදවි නාමවලින් හඳුන්වනවාට ඔහු කැමති වුණේද නැහැ. (ක්‍රියා 10:25, 26) තමා පොළොවට පැමිණියේ අන් අයට සේවය කරන්න මිසක් ඔවුන්ගෙන් ඇප උපස්ථාන ලබන්න නොවෙයි කියා යේසුස්ද පැවසුවා. (මතෙව් 20:28) පාප්වරුන් ක්‍රියා කරන්නේ කොහොමද? ඔවුන් ප්‍රසිද්ධිය හා පදවි නාම ප්‍රතික්ෂේප කරනවාද? ඔවුන් තමන් සතු ධනය හා බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටිනවාද?

පේතෘස් සහ යේසුස් යන දෙදෙනාම අවංක අය වූ අතර සාමය ඇති කිරීමට ක්‍රියා කළා. නමුත් කතෝලික විශ්වකෝෂයක දහවන ලියෝ පාප් ගැන සඳහන් දේ බලන්න. “ඔහු මිනිසුන්ට ආගම ගැන උගන්වනවා වෙනුවට දේශපාලනයට සම්බන්ධ වුණා. පවුලේ අයට අනිසි අනුග්‍රහයක් දැක්වුවා. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නද වැඩි ආශාවක් දැක්වුවා.” (Lexikon für Theologie und Kirche) කතෝලික පූජකයෙක් සහ පල්ලියේ ඉතිහාසය පිළිබඳව මහාචාර්යවරයෙක් වන කාර්ල් ආමොන් හයවන ඇලෙක්සැන්ඩර් පාප්වරයා සම්බන්ධයෙන් ලැබී තිබුණු විශ්වාස කළ හැකි වාර්තා ගැන මෙසේ පැවසුවා. “ඔහු වංක, බලය අනිසි ලෙස යොදාගත්, මුදලට තනතුරු ලබා දුන්, අනාචාර ජීවිතයක් ගත කළ කෙනෙක්.”

පාප්වරුන් උගන්වන්නේ මොනවාද? ඔවුන් උගන්වන දේවල් පේතෘස් සහ යේසුස් පැවසූ දේවලට එකඟද? යහපත් මිනිසුන් සියලුදෙනාම ස්වර්ගයට යන බව පේතෘස් විශ්වාස කළේ නැහැ. යහපත් පුද්ගලයෙක් වූ “දාවිත් ස්වර්ගයට ගියේ නැහැ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 2:34) බිලිඳුන්ව බව්තීස්ම කළ යුතුයි කියා පේතෘස් පැවසුවේ නැහැ. ඒ වෙනුවට කෙනෙක් බව්තීස්ම වීමට තීරණය කළ යුත්තේ ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව බව ඔහු පැවසුවා.—1 පේතෘස් 3:21.

සෙසු අයට වඩා ප්‍රසිද්ධ වීමට උත්සාහ නොකළ යුතුයි කියා යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “කවුරු හරි උතුම්ම තැනැත්තා වෙන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් සුළුම තැනැත්තා වී ඔවුන්ගේ සේවකයා විය යුතුයි.” (මාක් 9:35) යේසුස් තම මරණයට ටික දවසකට පෙර තම අනුගාමිකයන්ට මෙම පැහැදිලි මඟ පෙන්වීම ලබා දුන්නා. “අන් අය ඔබට රබ්බි කියා ඇමතිය යුතුයි කියා නොසිතන්න. මන්ද ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්. ඔබ සියලුදෙනාම සහෝදරයෝයි. පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි. ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.” (මතෙව් 23:1, 8-10) පාප්වරුන් ජීවත් වෙන්නේ යේසුස් සහ පේතෘස්ගේ ඉගැන්වීම්වලට අනුවයි කියා පවසන්න ඔබට පුළුවන්ද?

පාප්වරයා කියන තනතුර දරන තැනැත්තා බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් නොවුණත් එම තනතුර දිගටම පැවතිය යුතු බව සමහරු පවසනවා. එම අදහස සාධාරණයි කියා ඔබ සිතනවාද? යේසුස් පැවසූ මේ දේ ගැන මදකට සිතන්න. “සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි. හොඳ ගසකට වැඩකට නැති පල දරන්නවත් නරක ගසකට හොඳ පල දරන්නවත් බැහැ.” අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව පාප්වරුන් පේතෘස්ගේ හා යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා කියා ඔබ සිතනවාද?—මතෙව් 7:17, 18, 21-23.

[පාදසටහන්වල]

^ 7 ඡේ. යේසුස් ඒ අවස්ථාවේදී පේතෘස් සමඟ කතා කළේ පේතෘස් ගැන නොව තමන් ගැනයි. (මතෙව් 16:13-17) සභාව ගොඩනැඟී තිබෙන්නේ යේසුස් මත කියා පසු අවස්ථාවක පේතෘස්ම ඔහුගේ ලිපියක සඳහන් කළා. (1 පේතෘස් 2:4-8) ක්‍රිස්තියානි සභාව ගොඩනඟා තිබෙන “අත්තිවාරමේ ප්‍රධාන ගල” ක්‍රිස්තුස් බව පාවුල්ද සඳහන් කළා.—එෆීස 2:20.

^ 14 ඡේ. යම් කාලයක බොරු ගුරුවරුන් ක්‍රිස්තියානි සභාවේ කටයුතු මෙහෙයවන බව යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් පැවසුවා. (මතෙව් 13:24-30, 36-43; 2 තිමෝති 4:3; 2 පේතෘස් 2:1; 1 යොහන් 2:18) දෙවෙනි ශතවර්ෂයේදී ක්‍රිස්තියානි සභාව බොරු ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්න පටන්ගත් විට සහ බයිබලයේ සඳහන් ඉගැන්වීම් ග්‍රීක දර්ශනවාදයන් සමඟ සම්බන්ධ කරන්න පටන්ගත් විට යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් පැවසූ දේ ඉටු වුණා.

[25වන පිටුවේ පින්තූර]

පාප්වරුන් පේතෘස්ගේ ආදර්ශය අනුගමනය කරනවාද?