මතෙව් 20:1-34

20  “තම මිදිවත්තට වැඩකරුවන්ව කුලියට ගැනීම සඳහා හිමිදිරි උදෑසනින්ම පිටත්ව ගිය වතුහිමියෙකුට ස්වර්ග රාජ්‍යය සමානයි.+  ඔහු වැඩකරුවන්ට දවසකට ඩිනාරිය*+ බැගින් දීමට එකඟ වී, ඔවුන්ව තම මිදිවත්තේ වැඩට පිටත් කළා.  තුන්වෙනි පැයේදී*+ පමණ ඔහු පිටත්ව යද්දී රැකියාවක් නැතුව වෙළඳපොළේ සිටගෙන සිටින තවත් අයව ඔහු දුටුවා.+  ‘ඔබත් මිදිවත්තට යන්න. ඔබට ලැබිය යුතු දේ මම ඔබට දෙන්නම්’ කියා ඔහු ඔවුන්ට පැවසුවා.  එහෙයින් ඔවුන්ද මිදිවත්තට ගියා. නැවතත් ඔහු හයවෙනි පැයේදී*+ හා නවවෙනි පැයේදී*+ පමණ පිටත්ව ගොස් තවත් අයව වැඩට පිටත් කළා.  අවසානයේදී ඔහු එකොළොස්වෙනි පැයේදී* පමණ පිටත්ව යද්දී තවත් අය සිටගෙන සිටිනවා දැක, ‘ඔබ රැකියාවක් නැතුව දවස මුළුල්ලේම මෙතැන සිටගෙන සිටින්නේ ඇයි’ කියා ඔවුන්ගෙන් ඇසුවා.  ඔවුන්ද, ‘කිසිවෙකු අපව කුලියට නොගත් නිසයි’ කියා ඔහුට පිළිතුරු දුන්නා. ‘ඔබත් මිදිවත්තට යන්න’+ කියා ඔහු ඔවුන්ට පැවසුවා.  “සවස් වූ විට+ මිදිවත්තේ ස්වාමියා තම වැඩ බලන තැනැත්තාට අඬගසා, ‘වැඩකරුවන් කැඳවා, අන්තිමට පැමිණි අයගෙන් පටන්ගෙන මුලින්ම පැමිණි අය දක්වා ඔවුන්ට ඔවුන්ගේ කුලිය ගෙවන්න’+ කියා පැවසුවා.  එකොළොස්වෙනි පැයේදී පැමිණි වැඩකරුවන්ටත් ඩිනාරිය බැගින් ලැබුණා. 10  මුලින්ම වැඩට ගිය අය සිතුවේ තමන්ට වැඩියෙන් ගෙවයි කියායි. නමුත් ඔවුන්ටත් ගෙවනු ලැබුවේ ඩිනාරිය බැගින් පමණයි. 11  එවිට ඔවුන් වතුහිමියාට විරුද්ධව මැසිවිලි නඟමින්,+ 12  ‘අන්තිමට පැමිණි මේ අය වැඩ කළේ පැයක් විතරයි. නමුත් ඔබ, මුළු දවසම අව් රස්නයේ දුක් විඳිමින් වැඩ කළ අපට සැලකුවෙත් ඔවුන්ට සැලකූ විදිහටමයි’ කියා පැවසුවා. 13  එවිට ඔහු ඔවුන්ගෙන් එක් කෙනෙකුට පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මා ඔබට අසාධාරණයක් කරනවා නොවෙයි. ඔබ මා හා එකඟ වුණේ ඩිනාරියකටයි.+ එසේ නොවෙයිද? 14  ඔබට අයිති දේ රැගෙන යන්න. ඔබට දුන් දෙයම අන්තිමට පැමිණි මොහුටත් දෙන්න මම කැමතියි.+ 15  මා සතු දෙයින් මා කැමති දෙයක් කිරීමට මට අයිතියක් නැද්ද? නැතහොත් ඔබ,* දුෂ්ට විදිහට කටයුතු කරන්නේ+ මා යහපත් කෙනෙක් වන නිසාද?’+ 16  එයාකාරයෙන් අන්තිමයන් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන් අන්තිමයන් බවටත් පත් වෙයි.”+ 17  යේසුස් යෙරුසලමට යද්දී ඔහු ගෝලයන් දොළොස්දෙනාව+ පැත්තකට අඬගසා ඔවුන්ට මෙසේ කීවේය. 18  “අපි දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන් හා නීතිය පිටපත් කරන්නන් අතට භාර දෙනු ලබයි. එවිට ඔවුන් ඔහුව මරණයට නියම කරයි.+ 19  ඉන්පසු ඔවුන් ඔහුව වෙනත් ජාතීන් අතට භාර දෙයි. ඒ ජාතීන් ඔහුට කවටකම් කර කසයෙන් තළා, කණුවක ඇණ ගසා+ මරා දමයි. නමුත් තුන්වෙනිදා ඔහුව නැඟිටුවනු ලබයි.”+ 20  එවිට සෙබදීගේ පුත්‍රයන්ගේ+ මව ඇගේ පුත්‍රයන් සමඟ යේසුස් වෙතට ඇවිත්, ඔහු ඉදිරියේ දණින් වැටී ඔහුගෙන් ඉල්ලීමක් කළාය.+ 21  ඔහුද, “ඔබට මොනවාද ඕනේ” කියා ඇයගෙන් ඇසුවේය. “ඔබේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද ඉඳගැනීමට අවසර දෙන්න”+ කියා ඇය ඔහුට කීවාය. 22  එවිට යේසුස්, “ඔබ දෙදෙනා ඉල්ලන්නේ කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. මට බොන්න සිදු වන දේ බොන්න ඔබට පුළුවන්ද”+ කියා ඇසුවේය. “අපට පුළුවන්” කියා ඔවුහු පිළිතුරු දුන්හ. 23  එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට අනිවාර්යයෙන්ම මගේ කුසලානයෙන් බොන්න සිදු වෙයි.+ නමුත් මගේ දකුණු පැත්තේද මගේ වම් පැත්තේද ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ. එය හිමි වන්නේ මගේ පියාණන් ඒ සඳහා සූදානම් කර තිබෙන අයටයි.”+ 24  අනික් දසදෙනාට ඒ ගැන ආරංචි වූ විට ඔවුහු ඒ සහෝදරයන් දෙදෙනා ගැන උදහස් වූහ.+ 25  යේසුස් ඔවුන්ව තමන් ළඟට කැඳවා මෙසේ කීවේය. “විවිධ ජාතීන්ව පාලනය කරන අය තම තනතුරුවල වැජඹෙමින් සිටින බවත් බලධාරීන් තමන් යටතේ සිටින්නන් කෙරෙහි දැඩි ලෙස තම අණසක පතුරුවන බවත්+ ඔබ දන්නවා. 26  නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි.+ ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි.+ 27  ඔබ අතරෙහි ප්‍රථමයා වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ දාසයා විය යුතුයි.+ 28  එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ 29  ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යද්දී+ මහත් සමූහයක් ඔහු පසුපස ගියෝය. 30  පාර අයිනේ ඉඳගෙන සිටි අන්ධ මිනිසුන් දෙදෙනෙක් යේසුස් ඒ අසලින් යන බව අසා, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රය,+ අපට අනුකම්පා කරන්න” කියා හඬ නැඟූහ. 31  නමුත් නිහඬව සිටින්න කියා සමූහයා ඔවුන්ට තදින් පැවසූහ. එසේවුවත් ඔවුහු වැඩි වැඩියෙන් හඬ නඟමින්, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රය,+ අපට අනුකම්පා කරන්න” කියා කීවෝය. 32  එවිට යේසුස් නැවතී ඔවුන්ව කැඳවා, “මා ඔබ වෙනුවෙන් කුමක් කරනවාට කැමතිද” කියා ඇසුවේය. 33  “ස්වාමීනි, අපේ ඇස් පාදන්න”+ කියා ඔවුහු ඔහුට කීවෝය. 34  යේසුස්ට මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළේය.+ ඔවුන්ට එසැණින්ම පෙනීම ලැබුණු අතර ඔවුහු ඔහු අනුව ගියෝය.+

පාදසටහන්

මතෙ 18:24හි දෙවෙනි පාදසටහන බලන්න.
එනම්, පෙ.ව. 9ට පමණ.
එනම්, දහවල් 12ට පමණ.
එනම්, ප.ව. 3ට පමණ.
එනම්, ප.ව. 5ට පමණ.
මූ.අ., “ඔබේ ඇස.”