Skip to content

පටුනට යන්න

මෙතරම් ප්‍රශ්න ගැටලු ඇයි?

මෙතරම් ප්‍රශ්න ගැටලු ඇයි?

මෙතරම් ප්‍රශ්න ගැටලු ඇයි?

‘ජීවිතය සෙවණැල්ලක් හා සමාන නිෂ්ඵල දෙයක්.’ එසේ පැවසුවේ පුරාණයේ ජීවත් වූ සලමොන් රජයි. (දේශනාකාරයා 6:12) ඔබත් ජීවිතය ගැන සිතන්නේ ඒ ආකාරයටද? ඇත්තටම ජීවිතය නිෂ්ඵල දෙයක්ද? අනාගතයේදී අප සියලුදෙනාටම ප්‍රීතිමත් කාලයක් ලැබෙන බවට වූ පොරොන්දුවක් බයිබලයේ සඳහන් වෙනවා. බයිබලය ලියවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් නිසා එම පොරොන්දුව ඉටු වන බවට පූර්ණ විශ්වාසයක් තබාගන්න අපට පුළුවන්.—2 තිමෝති 3:16, 17.

දෙවි පොළොව නිර්මාණය කළේ ඇයි කියාත් අයුක්තිය, ප්‍රශ්න ගැටලු සහ දුක ඇති වුණේ කෙසේද කියාත් බයිබලයේ සඳහන් වෙනවා. එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම වැදගත්. ඊට හේතුව ජීවිතය නිෂ්ඵල දෙයක් යන නිගමනයට බොහෝදෙනෙක් පැමිණෙන්නේ ඔවුන්ට එම ප්‍රශ්නවලට පිළිතුරු නොමැති නිසයි.

දෙවි පොළොව නිර්මාණය කළේ ඇයි?

යෙහෝවා දෙවි * පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට සන්තෝෂයෙන් සදහටම ජීවත් වීම සඳහායි. නමුත් ඇතැම් අය පවසන්නේ දෙවි පොළොව නිර්මාණය කළේ මිනිසුන්ව යම් කාලයකට එහි පදිංචි කර ස්වර්ගයේ ජීවත් වීමට සුදුසුද නැද්ද කියා පරීක්ෂා කිරීමට බවයි.— “සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න ස්වර්ගයට යා යුතුද?” යන මාතෘකාවෙන් යුත් 6වන පිටුවේ ඇති කොටුව බලන්න.

දෙවි මුල් මිනිස් යුවළව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ විදහාපෙන්වීමේ හැකියාව ඇතුවයි. (උත්පත්ති 1:26, 27) ඔවුන්ට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. ඔවුන් පදිංචි වී සිටියේ අලංකාරවත් ඒදන් උයනෙයි. සන්තෝෂයෙන් පිරි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම ඔවුන්ට එහි තිබුණා. එමෙන්ම දරුවන් බිහි කරන්නත් මුළු පොළොවම පාරාදීසයක් කිරීමේ වගකීමත් දෙවි ඔවුන්ට දී තිබුණා.—උත්පත්ති 1:28-31; 2:8, 9.

වැරදුණේ කොතැනද?

අද අප ජීවත් වෙන්නේ පාරාදීස පොළොවක නොවෙයි. මිනිසුන් දෙවිගේ ගුණාංග විදහාපෙන්වන්නෙත් නැහැ. ඊට හේතුව කුමක්ද? අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමයි. එමෙන්ම “හොඳ හා නරක” තමන් විසින්ම තීරණය කරමින් “දෙවිට සමාන” වෙන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් දෙවිට විරුද්ධ වී සාතන්ගේ පැත්ත ගත්තා.—උත්පත්ති 3:1-6.

මේ සියල්ලෙන් අපට පැහැදිලි වෙන්නේ ප්‍රශ්න ගැටලු ඇති වීමට හේතුව යෙහෝවා දෙවි නොවන බවයි. එය ආරම්භ වුණේ සාතන්, ආදම් සහ ඒව දෙවිට අකීකරු වී ඒ තුළින් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ සිටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආදම් සහ ඒවට පාරාදීසය අහිමි වූ අතර ඔවුන්ට පාපය උරුම වුණා. ඒ නිසා අවසානයේදී ඔවුන් මිය ගියා. සියලු මිනිසුන් පැවත එන්නේ ඔවුන්ගෙන් නිසා ඒ සියලුදෙනාම පාපය උරුම කරගෙන සිටින අතර ඔවුන් සියලුදෙනාද මිය යනවා. (උත්පත්ති 3:17-19; රෝම 5:12) අද මිනිසා මුහුණ දෙන සියලුම ප්‍රශ්න ගැටලුවලට මූලික හේතුව එයයි.

ඒ මොහොතේම විනාශ නොකළේ ඇයි?

‘සාතන්, ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසූ අවස්ථාවේදීම දෙවි ඔවුන්ව විනාශ නොකළේ ඇයි’ කියා ඇතැම් අය ප්‍රශ්න කරනවා. නමුත් දෙවි එසේ කළා නම් එය සාධාරණ දෙයක් වෙයිද? එය තේරුම්ගැනීමට මෙසේ සිතන්න. යම් ආණ්ඩුවක් ඊට විරුද්ධ වන සෑම කෙනෙකුවම ඒ මොහොතේම විනාශ කරනවා නම් ඒ ආණ්ඩුව ගැන මිනිසුන්ට කෙසේ හැඟෙයිද? එය අසාධාරණ දෙයක් කියා මිනිසුන් සිතන්න පුළුවන්. ඒ වගේම එම ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට ඇති විශ්වාසයද නැති වීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව ඒදන් උයනේදී ඇති වූ කැරැල්ලට සම්බන්ධ වූ අයව දෙවි ඒ මොහොතේම විනාශ නොකළේ හොඳ හේතුවක් ඇතුවයි.

ස්ථිර විසඳුමක්

මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලු වැඩි කාලයක් පැවතීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ. යම් කාලයකට දෙවි ඒ සඳහා ඉඩහැර තිබෙන්නේ පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන මතු වූ ප්‍රශ්නය විසඳන තුරුයි. ඉන්පසු අනිකුත් සියලුම ප්‍රශ්න ගැටලුවලට දෙවි විසඳුම් ලබා දෙනවා.

පොළොව සහ මිනිසුන් සඳහා තම අරමුණ දෙවිට අමතක වී නැහැ. ‘දෙවි පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහායි’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 45:18) ඉතා ඉක්මනින් දෙවි මේ පොළොවෙන් දුෂ්ටකම නැති කර මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා. ඒ වන විට ඔහුගේ පාලනය ධර්මිෂ්ඨ එකක් බවත් දුෂ්ටයන්ව විනාශ කිරීම සාධාරණ බවත් සියලුදෙනාටම අවබෝධ වී තිබේවි. (යෙසායා 55:10, 11) මේ පොළොව පාරාදීසයක් වෙනවා දකින්න යේසුස්ද ආශාවෙන් සිටිනවා. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කරන්න තම ගෝලයන්ට යේසුස් ඉගැන්නුවේ ඒ නිසයි.—මතෙව් 6:9, 10.

දෙවිගේ කැමැත්ත පොළොවේ සිදු වන විට

දෙවිගේ කැමැත්ත පොළොවේ සිදු වෙන විට ‘නිහතමානී අය පොළොව උරුම කරගන්නවා.’ (ගීතාවලිය 37:9-11, 29; හිතෝපදේශ 2:21, 22) දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ගලවාගන්නා අතර පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නවා.’ එමෙන්ම යේසුස් මිනිසුන්ව ‘පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද මුදවාගන්නවා.’ (ගීතාවලිය 72:12-14) ඒ කාලයේදී යුද්ධ ඇති වන්නේ නැහැ. දුක, වේදනාව, මරණය තවදුරටත් අද්දකින්න සිදු වෙන්නේ නැහැ. (ගීතාවලිය 46:9; එළිදරව් 21:1-4) එමෙන්ම මිය ගිය අසංඛ්‍යාත සෙනඟක්ව ඒ කාලයේදී දෙවි නැවත නැඟිටුවන අතර ඔවුන්ටත් පාරාදීස පොළොවේ ආශීර්වාද භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා.—යොහන් 5:28, 29.

සාතන්ගේ කැරලිගැසීම නිසා සිදු වී ඇති හානිකර දේවල් සියල්ල දෙවි නැවත යථා තත්වයට පත් කරනවා. ඒ කාලයේදී මොන තරම් වෙනසක් සිදු වෙනවාද කියනවා නම් “පෙර කාලවලදී සිදු වූ දේවල් [එනම් දුක හා වේදනාව ඇති කළ දේවල්] නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 65:16-19) දෙවි බොරු නොකියන නිසා ඔහුගේ සියලු පොරොන්දු ඉටු වන බවට නිසැක විය හැකියි. ඒ කාලයේදී ජීවිතය “නිෂ්ඵල” දෙයක් කියා කිසි කෙනෙකුට හැඟෙන්නේ නැහැ. (දේශනාකාරයා 2:17) ඒ වෙනුවට ප්‍රශ්න ගැටලුවලින් තොර සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට සෑම කෙනෙකුටම හැකියාව ලැබෙනවා.

පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ හා බයිබලයේ ඇති තොරතුරු අවබෝධ කරගැනීමෙන් ඔබට දැනුත් සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකියි. ඒ ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 5 ඡේ. දෙවිගේ පෞද්ගලික නම යෙහෝවා බව බයිබලයේ සඳහන් වෙනවා.

[6වන පිටුවේ කොටුව]

 සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න ස්වර්ගයට යා යුතුද?

මිනිසාට සතුටින් ජීවත් විය හැක්කේ මේ පොළොවෙන් වෙනත් ලෝකයකට ගිය පසුවයි කියා පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන දැන නොසිටි අය පවසා සිටියා.

‘මිනිසුන් තුළ අමරණීය ආත්මයක් තිබෙනවා කියාත් එය මිනිසාගේ ශරීරයට ඇතුල් වීමට පෙර දිව්‍ය ලෝකයේ ජීවත් වුණා’ කියාත් සමහර අය සිතනවා. (New Dictionary of Theology) එමෙන්ම තවත් අය සිතන්නේ “දිව්‍ය ලෝකයේ ජීවත් වූ අමරණීය ආත්මයක් කළ වරදකට දඬුවමක් ලෙස මිනිසාගේ ශරීරයට එම ආත්මය ඇතුල් කළා” කියායි.—Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature.

සොක්‍රටීස් සහ ප්ලේටෝ වැනි ග්‍රීක දාර්ශනිකයන් පැවසුවේ මිනිස් ශරීරය තුළ ඇති අමරණීය ආත්මයට සන්තෝෂයෙන් සිටීමට හැකි වෙන්නේ එය මිනිස් ශරීරයෙන් ඉවත් වී ගිය පසුව කියායි. ඒ වගේම “අනික් දෙවිවරුන් සමඟ සදහටම ඇසුරු කිරීමටද” එම අමරණීය ආත්මයට හැකි වන බව ඔවුන් පැවසුවා.—Plato’s Phaedo, 81, A.

කාලයත් සමඟම ක්‍රිස්තියානියයි කියාගන්නා ආගමික නායකයන්ද දාර්ශනිකයන් පැවසූ එම අදහස පිළිගත්තා. ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල ඉගැන්වීම් අතරට “අමරණීය ආත්මය පිළිබඳ සංකල්පය” ඇතුළත් වුණා.—Christianity—A Global History.

බයිබලයේ සඳහන් වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අපි දැන් එහි සඳහන් කරුණු තුනක් ගැන සලකා බලමු.

1. දෙවි පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට ස්වර්ගයේ ජීවිතයක් ලබා දීම සඳහා ඔවුන් සුදුසුද කියා පරීක්ෂා කිරීමට සුදුසු ස්ථානයක් ලෙස නොවෙයි. ඒ වෙනුවට දෙවි එය නිර්මාණය කළේ මිනිසුන්ට සතුටින් සදහටම ජීවත් වීම සඳහායි. ආදම් සහ ඒව දෙවිට කීකරු වූවා නම් පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව තිබුණා.—උත්පත්ති 1:27, 28; ගීතාවලිය 115:16.

2. ‘භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසා ජීවමාන පුද්ගලයෙක්’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 2:7) අමරණීය ආත්මයක් ගැන බයිබලයේ සඳහන් වී නැහැ. එහි සඳහන් වෙන්නේ පුද්ගලයෙක් මිය යන මොහොතේම ඔහුගේ කල්පනාව නැති වන බවයි. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4, 20) මුල් මිනිසා වූ ආදම් මිය ගිය පසු දූවිල්ලට හැරී ගිය බව බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—උත්පත්ති 2:17; 3:19.

3. අනාගතයේදී පාරාදීස පොළොවක් තුළ සතුටින් ජීවත් වීම සඳහා මිය ගිය අයව නැවත නැඟිටුවන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා.—දානියෙල් 12:13; යොහන් 11:24-26; ක්‍රියා 24:15.