දේශනාකාරයා 6:1-12

6  ඉර යට සිදු වන තවත් විපතක් මම දුටිමි. එය මිනිසා අතරේ නිතර නිතර දක්නට ලැබෙන දෙයකි.  සැබෑ දෙවි මිනිසෙකුට වස්තුවද දේපළද ගෞරවයද+ තමා ආශා කරන සියල්ලද ලබාගැනීමට ඉඩ සලසා තිබුණත්+ ඒ කිසිවක් භුක්ති විඳීමට තරම් සැබෑ දෙවිගෙන් ආශීර්වාද ඔහුට ලැබී නැත.+ ඔහු හරියට දරුණු රෝගයක් ඇති කෙනෙකු මෙනි. ඔහු සතු දේ භුක්ති විඳින්නේ වෙනත් මිනිසෙකි.+ මෙයද මහා නිෂ්ඵලකමකි.  මිනිසෙකු බොහෝ කල් ජීවත් වී+ දරුදැරියන් සියදෙනෙකුව හදා වඩා ගත්තද,+ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නොහැකිව+ ඔහු මැරෙන මොහොත එන තුරු බලා සිටින්නේ නම්*+ එයින් පලක් තිබේද? මෙලොව එළිය දැකීමට නොලැබුණු බිලිඳෙකු ඔහුට වඩා ආශීර්වාද ලද්දෙකි.+  මන්ද ඔහු මව්කුසෙන් පිටතට ආවත් කිසිවක් නොදැක, කිසිවක් නොදැන අඳුරේම නික්ම යයි. කිසිවෙකු ඔහුව හඳුනන්නේද නැත.+  ඔහු හිරු එළිය දැක නැත. ඒ ගැන දන්නේවත් නැත.+ එහෙත් ජීවිතයේ කරදරවලින් ඔහුට සහනයක් ලැබී ඇත.*+ මහලු තැනැත්තාට නම් සහනයක් නැත.  මන්ද ඔහු අවුරුදු දෙදහසක් ජීවත් වුවත් ඔහු ජීවිතය භුක්ති විඳින්නේ නැත.+ සියලුදෙනාම යන්නේ එකම තැනට නොවේද?+  මිනිසා වෙහෙස මහන්සි වී සෑම දෙයක්ම කරන්නේ තමාගේම කුස පුරවාගැනීමටය.+ එහෙත් ඔවුහු කිසිදා සෑහීමට පත් වන්නේ නැත.  මෝඩයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද?+ පීඩාවට පත්වූවන් අන් අය ඉදිරියේ හොඳ හැසිරීමක් පැවැත්වූවත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?  ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.+ මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+ 10  දැන් පවතින සෑම දෙයකටම මුල සිටම නමක් දී ඇත. තවද මිනිසාගේ ස්වභාවය කුමක්ද කියා හෙළි වී ඇත.+ තමාට වඩා බලවත් තැනැත්තෙකු ඉදිරියේ තමා නිදොස් බව ඔප්පු කර පෙන්වීමට මිනිසාට නොහැක.+ 11  නිෂ්ඵල වූ වෑයම් බොහොමයක් ඇත.+ ඒ කිසිවකින් මිනිසාට ප්‍රයෝජනයක් ඇද්ද? 12  මිනිසෙකුට තම ජීවිත කාලය තුළ කළ හැකි හොඳම දෙය කුමක්ද කියා කිව හැක්කේ කාටද?+ සෙවණැල්ලක් වැනි වූ ඔහුගේ නිෂ්ඵල ජීවිතය අවසන් වෙයි.+ ඉන්පසුව ඉර යට කුමක් සිදු වේද කියා පැවසිය හැක්කේ කාටද?+

පාදසටහන්

හෝ, “ඔහු තවමත් මිනී වළට ගොස් නැත්නම්.”
මූ.අ., “විවේකයක් ලැබී ඇත.”