Skip to content

පටුනට යන්න

පූර්ණකාලීන සේවකයන්ව අගයමු

පූර්ණකාලීන සේවකයන්ව අගයමු

‘ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා ඔබ කරන ක්‍රියාවන්ද ඔබේ ප්‍රේමය නිසා ඔබ දරන වෙහෙසද අපි නිරතුරුවම මතක් කරන්නෙමු.’1 තෙස. 1:3.

1. ශුභාරංචිය දේශනා කරන්න මහන්සි වෙලා වැඩ කරපු අය ගැන පාවුල්ට හැඟුණේ කොහොමද?

ශුභාරංචිය දේශනා කරන්න මහන්සි වෙලා වැඩ කරපු අයව පාවුල් සැලකුවේ හුඟක් වටින අය විදිහටයි. “ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා ඔබ කරන ක්‍රියාවන්ද ඔබේ ප්‍රේමය නිසා ඔබ දරන වෙහෙසද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබට ඇති බලාපොරොත්තුව නිසා ඔබේ විඳදරාගැනීමද අපි අපගේ දෙවි සහ පියාණන් වන තැනැත්තා ඉදිරියෙහි නිරතුරුවම මතක් කරන්නෙමු” කියලා ඔහු කිව්වා. (1 තෙස. 1:3) සමහරුන්ට දෙවි වෙනුවෙන් කරන්න පුළුවන් ටිකයි. තවත් අයට වැඩි සේවයක් කරන්න පුළුවන්. කරන ප්‍රමාණය මොකක් වුණත් ඒ දේ යෙහෝවා දෙවි හුඟක් අගය කරනවා.හෙබ්‍රෙ. 6:10.

2. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවිට වැඩි සේවයක් කරන්න හුඟක් ක්‍රිස්තියානීන් කැප කිරීම් කරලා තියෙනවා. පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දෙවිට සේවය කරපු විදි ගැනත් අද ඉන්න පූර්ණකාලීන සේවකයන් කරන දේවල් ගැනත් දැන් අපි බලමු. පූර්ණකාලීන සේවකයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.

පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්

3, 4. (අ) පළවෙනි සියවසේ හිටපු සහෝදර සහෝදරියන් යෙහෝවා දෙවිට සේවය කළේ මොන වගේ විදිවලින්ද? (ආ) එදා හිටපු පූර්ණකාලීන සේවකයන් ඔවුන්ගේ වියදම් හොයාගත්තේ කොහොමද?

3 යේසුස් බව්තීස්ම වුණු ගමන්ම වගේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. එහෙම කරන්න අනිත් අයටත් ඉගැන්නුවා. (ලූක් 3:21-23; 4:14, 15, 43) යේසුස් මිය ගියාට පස්සේ ඔහුගේ නියෝජිතයන් ශුභාරංචිය ඈත ප්‍රදේශවලටත් ව්‍යාප්ත කළා. (ක්‍රියා 5:42; 6:7) ගේදොර අත්හැරලා වෙනත් රටවලට ගිහින් දේශනා කරපු අයත් ඔය අතරේ හිටියා. ෆිලිප් ඒ වගේ කෙනෙක්. (ක්‍රියා 8:5, 40; 21:8) පාවුල් කියන්නෙත් විවිධ රටවලට ගිහින් දේශනා කරපු මිෂනාරිවරයෙක්. (ක්‍රියා 13:2-4; 14:26; 2 කොරි. 1:19) මාක්, ලූක්, සිල්වානස් (සීලස්) කියන අය බයිබලේ පොත් ලියන්න එහෙම නැත්නම් ඒවා ලියපු අයට උදව් කරන්න මහන්සි වුණා. (1 පේතෘ. 5:12) ඒ අය එක්ක සහෝදරියන් හුඟදෙනෙකුත් සේවය කළා. (ක්‍රියා 18:26; රෝම 16:1, 2) යෙහෝවා දෙවි ඔවුන් කරපු සේවය හුඟක් අගය කළා වගේම ඔවුන්ට අවශ්‍ය දේවල් දීලා ඔවුන්ව රැකබලා ගත්තා කියලා ඔවුන් ගැන සඳහන් වාර්තා කියවද්දී අපිට තේරෙනවා.

4 එදා හිටපු පූර්ණකාලීන සේවකයන් ඔවුන්ගේ වියදම් හොයාගත්තේ කොහොමද? සහෝදර සහෝදරියන් තමන්ට උදව් කරන්න ඕනෙ කියලා ඔවුන් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා සේවය කරනවට අමතරව වියදම් පියවගන්න සමහරු සුළු රැකියාවක් කළා. (1 කොරි. 9:11-15) ඒ වුණත් සහෝදරයන් උදව් කරද්දී ඔවුන් ඒ උදව් පිළිගන්නේ නැතුව හිටියෙත් නැහැ. සමහරු ඔවුන්ට කෑම බීම දුන්නා. නවාතැන් දුන්නා. ඒ වගේ එක එක විදිවලින් සහෝදරයන් පුද්ගලිකව එහෙම නැත්නම් සභාවක් විදිහට ඔවුන්ට උදව් කළා.ක්‍රියා 16:14, 15; ෆිලිප්පි 4:15-18 කියවන්න.

අද දින පූර්ණකාලීන සේවකයන්

5. පූර්ණකාලීනව සේවය කරන යුවළක් එයාලගේ ජීවිතේ ගැන කියන්නේ මොනවද?

5 අදත් ගොඩක් අය පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. (“ මේ හැමෝම පූර්ණකාලීන සේවකයන්” යන කොටුව බලන්න.) ගත කරන ජීවිතය ගැන ඒ අයට හැඟෙන්නේ කොහොමද කියලා එයාලගෙන් අහලා බලන්න. එයාලා දෙන උත්තරෙන් ඔයා දිරිගැන්වෙයි. ස්ථාවර පුරෝගාමියෙක්, විශේෂ පුරෝගාමියෙක්, මිෂනාරිවරයෙක් වගේම දැන් වෙන රටක බෙතෙල් පවුලේ සාමාජිකයෙක් විදිහට සේවය කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “පූර්ණකාලීන සේවය තෝරගත්ත එක තමයි මං ජීවිතේ ගත්ත හොඳම තීරණේ. අවුරුදු 18දී මං හිටියේ විශ්වවිද්‍යාලෙට යනවද රැකියාවක් කරනවද පුරෝගාමි සේවය කරනවද කියලා තීරණයක් ගන්න බැරුවයි. ඒත් පූර්ණකාලීනව සේවය කරන්න දෙවිගේ සේවකයන් කරන පරිත්‍යාග යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ කියලා හුඟක් අද්දැකීම්වලින් මම කියවලා තිබුණා. යෙහෝවා දෙවි දීලා තියෙන හැකියාවන් මේ විදිහට පාවිච්චි කරන්න රැකියාවක් කළා නම් මට කවදාවත් හම්බ වෙන්නේ නැහැ.” එයාගේ බිරිඳ මෙහෙම කියනවා. “මට හම්බ වුණු හැම පැවරුමකින්ම මං යමක් ඉගෙනගත්තා. දෙවිගේ ආරක්ෂාවත්, මඟ පෙන්වීමත් අපිට තියෙනවා කියන දේ නිතරම වගේ අපි අද්දැක්කා. අපිට හුරුපුරුදු ජීවිත රටාවම ගත කරගෙන හිටියා නම් කවදාවත් ඒ දේවල් අද්දකින්න අපිට හම්බ වෙන එකක් නැහැ. දැන් අපි ගත කරන ජීවිතේ ගැන හැමදාම යෙහෝවා දෙවිට අපි ස්තුති කරනවා.” ඔයාත් කැමතිද ඒ වගේ ජීවිතයක් ගත කරන්න?

6. අපි කරන සේවය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?

6 සමහරුන් පූර්ණකාලීනව සේවය කරන්න ආසාවෙන් හිටියත් ඒ අයට දැන් තියෙන ප්‍රශ්න නිසා ඒක කරන්න අමාරුයි. ඒත් ඒ අය උපරිමයෙන් කරන සේවය යෙහෝවා දෙවි අගය කරනවා කියලා අපි දන්නවා. උදාහරණෙකට ෆිලෙමොන් 1-3 බලන්න. (කියවන්න.) පාවුල් කොලොස්සි සභාවේ හිටපු හැමෝවම අගය කළා. සමහරුන්ව ඒ අයගේ නම්වලින්ම අමතලා තිබුණා. යෙහෝවා දෙවිත් ඒ අයව අගය කළා. ඒ අයව වගේම ඔයා කරන සේවයත් දෙවි අගය කරනවා. පූර්ණකාලීන සේවය කරන්න ඔයාට බැරි වුණත් එහෙම කරන අයට උදව් කරන්න ඔයාට පුළුවන්.

පුරෝගාමීන්ට උදව් කරන්න පුළුවන් විදි

7, 8. පුරෝගාමියෙක් කරන්නේ මොන වගේ සේවයක්ද? පුරෝගාමීන්ට උදව් කරන්න සභාවේ අනිත් අයට පුළුවන් කොහොමද?

7 පළවෙනි සියවසේ උද්‍යෝගයෙන් සේවය කරපු අය වගේම අද ඉන්න පුරෝගාමීනුත් සභාවට ලොකු හයියක්. ඒ අයගෙන් වැඩිදෙනෙක් මාසෙකට පැය 70ක් විතර සේවය කරනවා. ඒ අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

8 පුරෝගාමි සේවය කරන ශාරි මෙහෙම කියනවා. “හැමදාම වගේ සේවයේ යන නිසා පුරෝගාමීන්ව හුඟක් අය දකින්නේ ශක්තිමත් විශ්වාසයක් තියන අය විදිහටයි. ඒත් ඒ අයටත් දිරිගැන්වීම් ඕනේ.” (රෝම 1:11, 12) අවුරුදු ගාණක් පුරෝගාමි සේවය කරන සහෝදරියක් එයාගේ සභාවේ ඉන්න පුරෝගාමීන් ගැන මෙහෙම කියනවා. “ඒගොල්ලෝ වෙලාවක් අවේලාවක් බලන්නේ නැතුව මහන්සි වෙලා සේවය කරනවා. සභාවේ අය එයාලට ප්‍රවාහන පහසුකම් දෙද්දී, කෑම වේලකට ආරාධනා කරද්දී, ගමන් වියදම්වලට හරි අවශ්‍ය දෙයක් ගන්න හරි පොඩි මුදලක් දෙද්දී ඒක එයාලට ලොකු ශක්තියක්.”

9, 10. සමහරුන් තමන්ගේ සභාවේ ඉන්න පුරෝගාමීන්ට උදව් කරලා තියෙන්නේ කොහොමද?

9 පුරෝගාමීන් එක්ක දේශනා සේවයේ යන එකත් එයාලට උදව් කරන්න පුළුවන් විදිහක්. සතියේ දවස්වලත් හවස් කාලෙදීත් සේවයේ යන්න තව සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒක එයාලට ලොකු හයියක් කියලා පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක් කියනවා. දැන් බෙතෙල් එකේ සේවය කරන, කලින් පුරෝගාමි සේවය කරපු සහෝදරියක් මෙහෙම කියනවා. “කාර් එකක් තිබුණු සහෝදරියක් දවසක් කිව්වා ‘ඔයාට සේවයේ යන්න කවුරුත් නැති වුණොත් මට කෝල් එකක් දෙන්න. මං එන්නං’ කියලා. දිගටම පුරෝගාමි සේවය කරන්න ඒක මට ලොකු උදව්වක් වුණා.” ශාරි මෙහෙම කියනවා. “තනිකඩ පුරෝගාමීන්ට සේවයේ යන්නේ නැති වෙලාවලදී පාළුවක්, තනිකමක් දැනෙන්න පුළුවන්. ඒ අයව ඔයාලාගේ පවුලේ නමස්කාරයට විටින් විට එකතු කරගන්න. සතුටු වෙන වෙලාවලදී එයාලවත් හවුල් කරගන්න. ඒක එයාලට ලොකු දිරිගැන්වීමක්.”

10 තමන්ටත් තමන් එක්ක සේවය කරපු තනිකඩ සහෝදරියන්ටත් ලැබුණු උදව් ගැන අවුරුදු 50කට කිට්ටු කාලයක් පූර්ණකාලීන සේවයේ යෙදුණු සහෝදරියක් මෙහෙම කියනවා. “අපේ වැඩිමහල්ලෝ මාස දෙකකට විතර සැරයක් පුරෝගාමීන්ව හම්බ වෙන්න එනවා. අපිට තියෙන ප්‍රශ්න ගැන හොයලා බලනවා. අපි නැවතිලා ඉන්න තැන්වලටම ඇවිත් අපිව බලන නිසා අපිට උදව් ඕන මොන පැත්තෙන්ද කියලා ඒගොල්ලන් තේරුම්ගන්නවා.” ඒ වැඩිමහල්ලොත් ඒ විදිහට පුරෝගාමීන්ට උදව් කරන අනිත් අයත් හරියට ඔනෙසිෆරස් වගේ. පවුලේ වගකීම් තිබුණත් ඔහු පාවුල්ට ඕන කරන දේවල් ගැනත් හොයලා බැලුවා.2 තිමෝ. 1:18.

11. විශේෂ පුරෝගාමීන් කරන්නේ මොන වගේ සේවයක්ද?

11 පුර්ණකාලීන සේවයට අයිති තවත් දෙයක් තමයි විශේෂ පුරෝගාමි සේවය. විශේෂ පුරෝගාමීන් මාසෙකට පැය 130ක් විතර සේවය කරනවා. සභාවේ වැඩ කරන්නත් එයාලා හුඟක් මහන්සි වෙනවා. සම්පූර්ණ කාලයම සේවය කරන්න යොදවන නිසා රැකියාවක් කරන්න කාලයක් එයාලට නැහැ. ඒ නිසා ශාඛා කාර්යාලය ඒ අයට සුළු මුදලක් මාසිකව ලබා දෙනවා. අත්‍යවශ්‍යම වියදම් පිරිමහගන්නත් වැඩි කාලයක් සේවය වෙනුවෙන් යොදවන්නත් එයාලට ඒක උදව්වක්.

12. විශේෂ පුරෝගාමීන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට සහ සභාවේ අනිත් අයට පුළුවන් කොහොමද?

12 විශේෂ පුරෝගාමීන්ට උදව්වක් වෙන්න අපිට කරන්න පුළුවන් මොනවද? ශාඛා කාර්යාලයක සේවය කරන වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් නිතරම විශේෂ පුරෝගාමීන් එක්ක කතාබහ කරලා එයාලා ගැන හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඒ අයට උදව් කරන එකත් වැදගත්. සමහර අය හිතන්නේ විශේෂ පුරෝගාමීන්ට යම් මුදලක් මාසිකව හම්බ වෙන නිසා එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි. ඒත් සභාවේ අයට පුළුවන් හුඟක් පැතිවලින් එයාලට උදව් කරන්න.” ස්ථාවර පුරෝගාමීන් වගේම එයාලත් තමන් එක්ක සේවයේ යන්න සහෝදර සහෝදරියන් එනවා නම් හරිම සතුටුයි. ඔයාටත් පුළුවන්ද එයාලා එක්ක සේවයේ යන්න?

චාරිකා සේවකයන්ට උදව් කරන්න

13, 14. (අ) චාරිකා සේවකයන් සහ ඒ අයගේ භාර්යාවන් ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) චාරිකා සේවයේ යෙදෙන අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

13 චාරිකා සේවකයන්ට සහ එයාලගේ භාර්යාවන්ට හුඟක් අද්දැකීම් තියෙනවා. දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕන කරන දිරිගැන්වීම් දෙන්නත් ඒ අය කැමතියි. ඒත් එයාලටත් දිරිගැන්වීම් ඕනෙ කියලා අමතක කරන්න එපා. එයාලා එක්ක සේවයේ යන්න සහෝදර සහෝදරියන් එනවා නම් ඒක එයාලට ලොකු දිරිගැන්වීමක්. විනෝද වෙන අවස්ථාවලට ඒගොල්ලන්වත් එකතු කරගන්න. අසනීප වුණොත් ඒ අයව බලන්න ගිහින්, ඕන කරන දේවල් කරලා දීලා උදව් කරන්න. “ප්‍රේමණීය වෛද්‍යවරයෙක්” වුණු ලූක් එහෙම කළා. ඔහු විවිධ සභාවන්වලට ගිහින් සේවය කරපු පාවුල් ගැනත් එහෙම කරපු අනිත් සහෝදරයන් ගැනත් හොයලා බලලා ඒ අයට උදව් කළා.—කොලො. 4:14; ක්‍රියා 20:5–21:18.

14 චාරිකා සේවකයන්ටත් ඒගොල්ලන්ගේ භාර්යාවන්ටත් කිට්ටු යාළුවන්ගේ ආදරේ, දිරිගැන්වීම ඕනෙමයි. එක චාරිකා සේවකයෙක් මෙහෙම කියනවා. “මං මානසිකව වැටිලා ඉන්න වෙලාවලදී මගේ යාළුවන්ට ඒක තේරෙනවා. ඒ වගේ වෙලාවලදී ඒගොල්ලො මාව තේරුම් අරන් මාත් එක්ක කතාබහ කරන නිසා මගේ හිතේ තියෙන දේවල් එයාලා එක්ක කතා කරන්න ලේසියි. මං කියන දේවල් අහගෙන ඉන්න එකම ඒගොල්ලෝ මට කරන ලොකු උදව්වක්.” සහෝදර සහෝදරියන් තමන් ගැන හොයලා බලනවා කියලත් තමන්ගේ හොඳ යාළුවන් කියලත් දැනෙද්දී චාරිකා සේවකයන්ට ලොකු සතුටක් දැනෙනවා.

බෙතෙල් සාමාජිකයන්ට උදව් කරන්න

15, 16. බෙතෙල් නිවෙස්වලත් සමුළු ශාලාවලත් සේවය කරන අය කරන්නේ වැදගත් කාර්යයක් කියලා කියන්නේ ඇයි? ඒ අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

15 බෙතෙල් නිවාසවල, සමුළු ශාලාවල සේවය කරන අයගෙන් දේශනා කරන වැඩේට ලැබෙන්නේ ලොකු සහයක්. ඔයාගේ සභාවේ නැත්නම් චාරිකාවේ බෙතෙල් සේවකයන් ඉන්නවද? එයාලට උදව් කරන්න, එයාලව අගය කරන්න ඔයාට පුළුවන්ද?

16 බෙතෙල් එකේ සේවය කරන්න ආපු මුල් දවස්වල කෙනෙකුට ලොකු පාළුවක් දැනෙනවා. ගෙදර අය, යාළුවෝ නැතුව ලොකු තනිකමක් දැනෙනවා. බෙතෙල් එකෙත් සභාවෙත් ඉන්න අය එයාලව කිට්ටු යාළුවෝ කරගද්දී එයාලට ඒක ලොකු සතුටක්. (මාක් 10:29, 30) බෙතෙල් එකේ සේවය කරන අයට හැම සතියකම රැස්වීම්ලට යන්න, දේශනා සේවයේ යන්න කාලය තියෙනවා. ඒත් සමහර වෙලාවලදී ඒ අයට සාමාන්‍යයෙන් කරන්න තියෙන වැඩවලට අමතරව තවත් වැඩ කරන්න වෙනවා. සභාවේ අය ඒක තේරුම් අරන් එයාලා කරන සේවය අගය කරන එක හුඟක් වැදගත්.—1 තෙසලෝනික 2:9 කියවන්න.

වෙනත් රටවලින් ඇවිත් සේවය කරන අයව අගය කරන්න

17, 18. වෙනත් රටවලට ගිහින් සේවය කරන අය කරන්නේ මොන වගේ පැවරුම්ද?

17 සමහර පූර්ණකාලීන සේවකයන් වෙනත් රටවලට ගිහින් සේවය කරනවා. එතකොට ඒගොල්ලන්ට කන්න වෙන්නේ තමන්ට හුරුපුරුදු කෑමවලට වඩා වෙනස් කෑමයි. අලුත් භාෂාවක් ඉගෙනගන්න, වෙනස්ම සිරිත් විරිත්වලට හුරු වෙන්න ඒ අයට සිද්ධ වෙනවා. ඒ අභියෝග මැද ඒගොල්ලො කරන්නේ මොන වගේ පැවරුම්ද?

18 සමහරු මිෂනාරිවරුන් විදිහට දේශනා සේවයේ වැඩි කාලයක් හවුල් වෙනවා. ඒ අය දක්ෂ විදිහට දේශනා කරනවා, උගන්වනවා. තමන් ඉගෙනගත්ත දේවල් සභාවේ අය එක්ක බෙදාගන්නවා. නවතින්න සරල තැනකුත් වියදම් පියවගන්න පොඩි මුදලකුත් ශාඛා කාර්යාලය මගින් මිෂනාරිවරුන්ට ලබා දෙනවා. තවත් අය වෙනත් රටකට යන්නේ ශාඛා කාර්යාලයේ සේවය කරන්නයි. එහෙම නැත්නම් ශාඛා කාර්යාල, පරිවර්තන කාර්යාල, සමුළු ශාලා, නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නයි. ඒ අයගේ ඕනෑ එපාකම් බලා කියා ගන්නේ ශාඛා කාර්යලයයි. එහෙම නැත්නම් ඒ රටේ සහෝදර සහෝදරියනුයි. බෙතෙල් පවුලේ අය වගේම ඒ අයත් නිතිපතා සභා රැස්වීම්වලටත් දේශනා සේවයෙත් සහභාගි වෙනවා. ඒ අයගේ අද්දැකීම්වලින් සභාවේ ඉන්න අයට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

19. වෙන රටකින් ඇවිත් සේවය කරන අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

19 වෙන රටකින් ඇවිත් සේවය කරන අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? එයාලට මේ රටේ කෑම එච්චර හුරු නැහැ. ඒ නිසා ඒ අයව කෑම වේලකට ඔයාගේ ගෙදරට ආරාධනා කරනවා නම් අලුත් කෑමක් රස බලන්න කැමතිද, ඒ අය කන්න අකමැති මොන වගේ කෑමද කියලා අහලා දැනගන්න. රටේ භාෂාව, සිරිත් විරිත් ගැන ඉගෙනගන්න එයාලා කැමතියි. ඒත් ඒක ඉක්මනින්ම කරන්න අමාරු නිසා ඉවසීමෙන්, කාරුණිකව එයාලට උදව් කරන්න.

20. පූර්ණකාලීන සේවකයන්ට සහ ඒ අයගේ දෙමාපියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

20 කල් යද්දී වෙනත් රටකින් ඇවිත් සේවය කරන අයට එයාලගේ මහලු දෙමාපියන්ව බලාගන්නේ කොහොමද කියන එක ගැන තීරණයක් ගන්න සිද්ධ වෙයි. ඒ දෙමාපියන් සාක්ෂිකරුවන් නම් ඒ අය කැමති තමන්ගේ දරුවා දිගටම එයාගේ පැවරුම කරගෙන ඉන්නවටයි. (3 යොහ. 4) පූර්ණකාලීන සේවකයනුත් තමන්ගේ දෙමාපියන්ව රැකබලා ගන්න ඔවුන්ට කරන්න පුළුවන් හැම දේම කරනවා. පුළුවන්කමක් තියෙනවා නම් නිතරම වගේ ඒ අයව බලන්න යනවා. ඒ පූර්ණකාලීන සේවකයන්ට උදව් කරන්න අනිත් සාක්ෂිකරුවන්ට පුළුවන් කොහොමද? මහලු දෙමාපියන්ගේ සභාවේ අයටත් ඒ අයට කිට්ටුව ඉන්න අයටත් පුළුවන් ඒ දෙමාපියන් වෙනුවෙන් යම් දේවල් කරලා දීලා, ඒගොල්ලන්ව රැකබලා ගන්න. මේ කාලේ කරන්න තියෙන්න වැදගත්ම වැඩේ කරන්න පූර්ණකාලීන සේවකයන් හුඟක් මහන්සි වෙනවා. (මතෙ. 28:19, 20) ඒ අයගේ මහලු දෙමාපියන්ට උදව් කරන්න ඔයාටත් පුළුවන්ද?

21. අනිත් අය තමන්ට දෙන උදව්, දිරිගැන්වීම් ගැන පූර්ණකාලීන සේවකයන්ට හැඟෙන්නේ කොහොමද?

21 පොහොසත් වෙන්න හිතාගෙන හුඟක් අය මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් පූර්ණකාලීන සේවකයන් මහන්සි වෙන්නේ ඔවුන්ට පුළුවන් හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්නයි. අනිත් අයට උදව් කරන්නයි. අනිත් අය දෙන ඕනම උදව්වක් ඒගොල්ලොත් අගය කරනවා. වෙන රටකට ගිහින් පූර්ණකාලීන සේවයේ යෙදෙන සහෝදරියක් මෙහෙම කියනවා. “අනිත් අය ඒගොල්ලන්ගේ හිතේ තියෙන අගය පෙන්නලා අපිට දෙන පුංචි කාඩ් එකක් වුණත් අපිට හුඟක් වටිනවා. මොකද ඒකෙන් අපිට තේරෙනවා ඒ අය අපි ගැන හිතනවා කියලා. අපි කරන දේවල් ගැන එයාලගේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලා.”

22. පූර්ණකාලීන සේවය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

22 පූර්ණකාලීනව දෙවිට සේවය කරන අය ගත කරන්නේ ඇත්තෙන්ම තෘප්තිමත් ජීවිත. ඒක තමයි අද කාලේ ජීවිතේ ගත කරන්න පුළුවන් හොඳම විදිහ. අද කාලෙට වගේම අනාගතයේදීත් ප්‍රයෝජනවත් වෙන හුඟක් දේවල් ඉගෙනගන්න, හොඳ ගුණාංග වර්ධනය කරගන්න පූර්ණකාලීන සේවය ලොකු උදව්වක්. දෙවිගේ හැම සේවකයෙකුටම හැම දවසකදීම දෙවි වෙනුවෙන් සේවය කරන්න ලැබෙන කාලය වැඩි ඈතක නැහැ. ඒ කාලය එනකල් අපි හැමෝම, පූර්ණකාලීන සේවකයන් ‘විශ්වාසය නිසා කරන ක්‍රියාවනුත් ප්‍රේමය නිසා දරන වෙහෙසත්’ අපිට පුළුවන් උපරිමයෙන් අගය කරමු.—1 තෙස. 1:3.