Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගීතාවලිය 37:25 දාවිත් සඳහන් කරන දෙයිනුත් මතෙව් 6:33 යේසුස් සඳහන් කරන දෙයිනුත් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි කවදාවත් ඔහුගේ සෙනඟට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ කියලද?

යෙහෝවා දෙවි කොයි තරම් ආදරෙන් තමන්ගේ සෙනඟව රැකබලා ගන්නවද කියලා දාවිත් අද්දැකලා තිබුණා. දෙවිගේ ඒ සැලකිල්ල විස්තර කරන්නයි දාවිත් මේ වගේ දෙයක් කිව්වේ. “ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතා. 37:25) ඒත් දෙවිට නමස්කාර කරන කෙනෙක් කවදාවත් අගහිඟකම්වලින් පෙළෙන්නේ නැහැ කියලා දාවිත් ඒකෙන් අදහස් කළේ නැහැ.

දාවිත්ටත් සමහර කාලවලදී දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සාවුල්ගෙන් බේරෙන්න තැනින් තැනට යන කාලේ එක අවස්ථාවක දාවිත්ටයි එයාත් එක්ක හිටපු අනිත් අයටයි කන්න මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා දාවිත්ට සිද්ධ වුණා කෑම ඉල්ලගන්න. (1 සාමු. 21:1-6) ඒත් ඒ වෙලාවේ දෙවි එයාව අත්හැරියේ නැහැ කියලා දාවිත් අද්දැක්කා. ඒ වෙලාවේ විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙදීම එයා ඒ දේ අද්දැක්කා. කෑම ඉල්ලලා හිඟාකන්න තරම් අන්ත අසරණ තත්වයකට දාවිත් පත් වුණා කියලා බයිබලේ කොහෙවත් සඳහන් වෙන්නේ නැත්තේ ඒ නිසයි.

මතෙව් 6:33 යේසුස් කිව්වේ දේවරාජ්‍යයට මුල් තැන දෙන අයට ඕන කරන දේවල් දෙවි සපයනවා කියලයි. “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට [කෑමබීම, ඇඳුම් ඇතුළු] ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි” කියලා ඔහු කිව්වා. හැබැයි ඔහු මේ වගේ දේකුත් කිව්වා. ඒ තමයි විරුද්ධවාදිකම් නිසා ඔහුගේ “සහෝදරයන්ට” බඩගින්නේ ඉන්න වෙනවා කියන දේ. (මතෙ. 25:35, 37, 40) පාවුල් ඒ දේ අද්දැක්කා. සමහර අවස්ථාවලදී කුසට අහරක් නැතුව ඉන්නත් පිපාසයෙන් ඉන්නත් ඔහුට සිද්ධ වුණා.2 කොරි. 11:27.

සාතන් මිනිසුන් සම්බන්ධයෙන් කරපු චෝදනාව බොරුවක් කියලා ඔප්පු කරන්න යෙහෝවා දෙවි සමහර වෙලාවට අපිට අගහිඟකම්වලට මුහුණ දෙන්න ඉඩහරිනවා. (යෝබ් 2:3-5) උදාහරණයකට නාට්සි ගාල් කඳවුරුවල හිටපු අපේ සහෝදර සහෝදරියන්ට හිතාගන්න බැරි තරම් දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කන්න බොන්න නොදී කුසගින්නේ තියපු එක ඒගොල්ලන්ට පීඩා කරපු එක විදිහක්. ඒත් සාක්ෂිකරුවන් දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. දෙවිත් ඔවුන්ව අත්හැරියේ නැහැ. ඒ අයට හාමතේ ඉන්න වුණු එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද ඒකත් ක්‍රිස්තියානීන්ට විඳින්න වෙන පීඩාවලින් එකක්. ඒ වුණත් දෙවිගේ නමට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන නිසා පීඩා විඳින අයට ඒවාට හොඳින් මුහුණ දෙන්න දෙවි උදව් කරනවා. (1 කොරි. 10:13) ෆිලිප්පි 1:29 කියන මේ වචන අපි හැම තිස්සෙම මතක තියාගමු. “ඔබට ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමේ වරප්‍රසාදය පමණක් නොව ඔහු වෙනුවෙන් දුක් විඳීමේ වරප්‍රසාදයද ලබා දී තිබේ.”

තමන්ගේ සේවකයන් එක්ක ඉඳලා ඔවුන්ට උදව් කරනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. උදාහරණයකට යෙසායා 54:17 දෙවි මෙහෙම කියනවා. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.” ඒ පොරොන්දුවෙනුත් දෙවි දීලා තියෙන ඒ හා සමාන තවත් පොරොන්දුවලිනුත් අපිට එක දෙයක් නිසැකයි. ඒ තමයි යෙහෝවා දෙවි කණ්ඩායමක් විදිහට තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියන දේ. ඒත් තනි තනි පුද්ගලයන් විදිහට අපිට හුඟක් පීඩා අද්දකින්න, සමහරවිට මැරෙන්න වුණත් සිද්ධ වෙයි කියලා අපි මතක තියාගමු.