1 කොරින්ති 9:1-27

9  මා කැමති දේ කිරීමට මට නිදහසක් තිබෙනවා නොවේද?+ මා ස්වාමීන්ගේ නියෝජිතයෙක්* නොවේද?+ මා අපගේ ස්වාමීන් වන යේසුස්ව දුටු කෙනෙක් නොවේද?+ ස්වාමීන් වෙනුවෙන් මා කළ සේවයේ ප්‍රතිඵලය ඔබ නොවේද?  සමහරුන් සිතන්නේ මා අන් අය වෙනුවෙන් පත් කළ නියෝජිතයෙකු නොවන බවය. එසේවුවත් මාව ඔබ වෙතට එවනු ලැබූ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද මා ස්වාමීන් වෙනුවෙන් එවනු ලැබූ නියෝජිතයෙකු බව සහතික කරන ‘මුද්‍රාව’ ඔබය.+  මගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරන අයට මේ දේ පැවසීමට කැමැත්තෙමි.+  අන් අය දෙන කෑම බීම ලබාගැනීමට අයිතියක් අපට නැද්ද?+  අනිකුත් නියෝජිතයන්, ස්වාමීන්ගේ සහෝදරයන්+ සහ සීෆස්+ හා සමානව දෙවිට සේවය කරන ස්ත්‍රියකව විවාහ කරගෙන+ ඇයව අපගේ ගමන්වලදී රැගෙන යෑමට අපටත් අයිතියක් නැද්ද?  රැකියාවක් නොකර සිටින්න අයිතියක් නැත්තේ+ බානබස්ට+ හා මට පමණද?  සාමාන්‍යයෙන් හේවායෙකු සේවය කරන්නේ තමාගේම වියදමින්ද? මිදිවත්තක් වවන පුද්ගලයා එහි පලදාව භුක්ති විඳින්නේ නැද්ද?+ සත්ව රැළක් ඇති කර එය බලාගන්නා පුද්ගලයාට රැළෙහි කිරිවලින් කොටසක් ලැබෙන්නේ නැද්ද?+  මා මේ දේවල් පවසන්නේ මිනිසුන් මේ සම්බන්ධයෙන් දරන අදහස් පදනම් කරගෙන නොවේ.+ නීතියෙත්+ මේ දේවල් ගැන යමක් පවසා තිබේ.  ඇත්තෙන්ම, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ ලියා තිබේ. දෙවි සැලකිලිමත් වන්නේ ගවයන් ගැන පමණක්ද? 10  එසේ නැත්නම් ඔහු ඒ දේ පැවසුවේ අප ගැනත් සිතාගෙනද? ඇත්තෙන්ම එය ලියන ලද්දේ අප උදෙසාය.+ මන්ද සීසාන මිනිසා සීසෑමේ නිරත වන්නේ යමක් බලාපොරොත්තුවෙනි. එමෙන්ම කමතෙහි වැඩ කරන මිනිසා එහි වැඩ කරන්නේද යමක් බලාපොරොත්තුවෙනි.+ 11  අප දෙවිගෙන් ලැබූ දේවල් ඔබ අතරේ වපුරා ඇත්නම්+ අපගේ ශාරීරික අවශ්‍යතා සඳහා ඔබෙන් යමක් නෙළාගැනීම+ අසාධාරණ දෙයක්ද? 12  ඔබ අතරෙහි සිටින වෙනත් අයට එසේ කිරීමට අයිතියක් ඇත්නම්+ අපට ඊටත් වඩා අයිතියක් තිබිය යුතු නැද්ද? අපට ඒ සඳහා අයිතියක් තිබුණත් අපි ඔබෙන් කිසි දෙයක් ලබාගත්තේ නැත.+ ඒ වෙනුවට අපි සෑම දෙයක්ම දරාගෙන සිටින්නෙමු. එසේ කරන්නේ ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය කිසි බාධාවක් නැතුව පතළ කිරීම සඳහාය.+ 13  දේවමාලිගාවේ විවිධ පරිශුද්ධ කාර්යයන් ඉටු කරන පුරුෂයන් එහි තිබෙන ආහාර කෑමට ගන්නා බවත්+ පූජාසනයේ සේවය කරන අයට+ පූජාවෙන් යම් කොටසක් ලැබෙන බවත් ඔබ දැන සිටියේ නැද්ද? 14  එලෙසම ශුභාරංචිය ප්‍රකාශ කරන අයටත් තම එදිනෙදා අවශ්‍යතා සඳහා යමක් බලාපොරොත්තු විය හැකි බව+ ස්වාමීන් වන යේසුස් පවා සඳහන් කළේය.+ 15  නමුත් මට ලැබිය යුතුව තිබූ කිසිවක් මා ලබාගත්තේ නැත.+ මා දැන් මේ දේවල් ගැන සඳහන් කරන්නේ ඒවා ලබාගැනීමේ අදහසින් නොවේ. ඇත්තෙන්ම එසේ ලබාගන්නවාට වඩා මා මිය යනවා නම් හොඳය. මෙයාකාරයෙන් මා බියක් සැකක් නැතුව පවසන ඒ දේ සැබෑවක් නොවෙයි කියා කිසි කෙනෙකුට පැවසිය නොහැක.+ 16  කෙසේවෙතත් මා ශුභාරංචිය ප්‍රකාශ කළත්+ ඒ ගැන ආඩම්බර වීමට මට කිසි හේතුවක් නැත. මන්ද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මම බැඳී සිටිමි.+ ඇත්තෙන්ම එසේ නොකළොත් එය මට මොන තරම් දුකක්ද!+ 17  මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+ 18  එයින් මට ලැබෙන්නේ කුමක්ද? ඒ, කිසි දෙයක් අය කරන්නේ නැතුව+ මා ශුභාරංචිය ප්‍රකාශ කළ බව පැවසීමට මට හැකි වීමයි. මා එසේ කරන්නේ මට හිමි බලතල අයුතු ලෙස පාවිච්චි නොකිරීමේ අදහසිනි. 19  එමනිසා මම ඔබෙන් කිසි කෙනෙකුට බැඳී නැත. නමුත් මම කැමැත්තෙන්ම සියලුදෙනාගේ දාසයා ලෙස කටයුතු කරන්නෙමි.+ එසේ කරන්නේ හැකි තරම් පිරිසක් ක්‍රිස්තුස් වෙතට ගෙන ඒම සඳහාය.+ 20  එහෙයින් යුදෙව්වන්ව දිනාගැනීම සඳහා මා යුදෙව්වන් සමඟ කටයුතු කළේ ඔවුන්ට ගැළපෙන ආකාරයටය.+ මා නීතිය යටතේ නොසිටියත්+ නීතිය යටතේ සිටින අයව දිනාගැනීම සඳහා මා ඔවුන් සමඟ කටයුතු කළේ ඔවුන්ට ගැළපෙන ආකාරයටය.+ 21  එලෙසම මා දෙවිගේ නීතියටද ක්‍රිස්තුස්ගේ+ නීතියටද යටත්ව සිටියත්+ නීතියක් යටතේ නොසිටින අයව+ දිනාගැනීම සඳහා මම ඔවුන්ට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.+ 22  සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති අයව දිනාගැනීමට මම ඔවුන්ට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.+ ඒ අනුව හැකි සෑම ආකාරයකින්ම කිහිපදෙනෙකුව හෝ බේරාගැනීමට මම සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් ඒ ඒ අයට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.+ 23  මා මේ සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය.+ එසේ කිරීමෙන් මේ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්න මට හැකියාව ලැබී තිබේ. 24  ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත්+ ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ හොඳින් දන්නා දෙයකි.+ ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින්+ දුවන්න.+ 25  ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+ 26  එහෙයින් මා දුවන්නේ+ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ. එලෙසම මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.+ 27  ඒ අනුව මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්+ වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි. එසේ කරන්නේ මා අන් අයට දේශනා කළ පසු කිසි ලෙසකින්වත් මට දෙවිගේ අනුමැතිය අහිමි නොවීම සඳහාය.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෙක්.”