Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු

යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු

“ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න.”—එෆී. 5:1.

1. (අ) ඔබේ මතකයට එන්නේ යෙහෝවා දෙවිගේ මොන ගතිලක්ෂණද? (ආ) යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?

යෙහෝවා දෙවිට තියෙන්නේ මොන වගේ ගතිලක්ෂණද කියලා ඇහුවොත් ඔබේ මතකයට එන්නේ මොනවද? ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව, බලය වගේ දේවල් ඔබට මතක් වෙයි. ඒත් පසුගිය අවුරුදු ගණනාව පුරාම අපේ සඟරා පොත් පත්වල දෙවිගේ ගතිලක්ෂණ 40කටත් වඩා වැඩියෙන් සාකච්ඡා කරලා තියෙනවා. දෙවි සතු මේ ගතිලක්ෂණ තනියෙන් හරි පවුලක් හැටියට හරි අධ්‍යයනය කරනවා නම් යෙහෝවා දෙවි ගැන මොන තරම් දේවල් ඔබට ඉගෙනගන්න පුළුවන් වෙයිද! එහෙම ඉගෙනගද්දී ඒවා ගැන ලොකු අගයක් ඔබ තුළ ඇති වෙයි. එතකොට දෙවිව අනුකරණය කරන්නත් දෙවිට තව තවත් කිට්ටු වෙන්නත් ඔබට පුළුවන්.—යොෂු. 23:8; ගීතා. 73:28.

2. (අ) දෙවිගේ ගතිලක්ෂණ ගැන තියෙන අගය වැඩි කරගන්න නම් අපි මොනවද කරන්න ඕනෙ? (ආ) මේ ලිපියෙත් ඊළඟ ලිපි දෙකෙත් අපි කතා කරන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ගැන අපි තුළ තියෙන අගය තවත් වැඩි කරගන්න නම් අපි මොනවද කරන්න ඕනෙ? අපි ඉස්සෙල්ලම ඒ ගතිලක්ෂණ ගැන තව තවත් ඉගෙනගන්න ඕනෙ. ඊටපස්සේ දෙවි ඒ ගතිලක්ෂණ පෙන්වපු අවස්ථා ගැන හොඳට හිතන්න ඕනෙ. අන්තිමට ඒ ගතිලක්ෂණ අපේ ජීවිතයෙනුත් පෙන්වන්න ඕනෙ. (එෆී. 5:1) මේ ලිපියෙත් ඊළඟ ලිපි දෙකෙත් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ කිහිපයක් ගැන කතා කරනවා. ඒ ගැන ඉගෙනගද්දී ඒ ගතිලක්ෂණවලට අයිති දේවල් මොනවද, දෙවි ඒවා පෙන්වලා තියෙන්නේ කොහොමද, දෙවි වගේ අපිටත් ඒ ගතිලක්ෂණ පෙන්වන්න පුළුවන් කොහොමද කියලා බලමු.

කිට්ටු වෙන්න පුළුවන් දෙවි කෙනෙක්

3, 4. (අ) යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද? (ආ) දෙවි අපිව කිට්ටු කරගන්න ආශාවෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?

3 ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට තමන්ට කිට්ටු වෙන්න දෙවි ඉඩ දීලා තියෙන එක දෙවිට තියෙන ලස්සන ගතිලක්ෂණයක්. අපි මුලින්ම ඒ ගැන කතා කරමු. හිතන්න කාරුණික, මිත්‍රශීලී, ඕනෙම වෙලාවක කිසිම භයක් සැකක් නැතුව ළඟට ගිහින් කතා කරන්න පුළුවන් කෙනෙක් ගැන. ඒ කෙනා කතා කරන විදිහෙන් ඉරියව්වලින් පෙන්වනවා කවුරු හරි කතා කරද්දී ඒකට ඇහුම්කන් දීලා උදව් කරන්න ඔහු ආශාවෙන් ඉන්නවා කියලා.

4 යෙහෝවා දෙවිත් අපිව කිට්ටු කරගන්න ආශාවෙන් ඉන්න දෙවි කෙනෙක්. මේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනා වුණත් යාච්ඤාවෙන් ඔහු එක්ක කතා කරන්න කියලා ඔහු අපිට කියනවා. අපේ යාච්ඤා අහන්නත් අපිට උදව් කරන්නත් දෙවි ආශාවෙන් බලාගෙන ඉන්නවා. (ගීතාවලිය 145:18; යෙසායා 30:18, 19 කියවන්න.) අපි කොහේ හිටියත් ඕනෙම වෙලාවක ඕනෙම තරම් කාලයක් දෙවි එක්ක කතා කරන්න අපිට පුළුවන්. ඒක කරදරයක් කියලා දෙවි කවදාවත් හිතන්නේ නැහැ. (ගීතා. 65:2; යාකො. 1:5) යෙහෝවා දෙවි අපිට කොයි තරම් කිට්ටුද කියලා පෙන්වන්න බයිබලයේ ලස්සන යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. “යෙහෝවා දෙවිගේ ඇස්” අපේ දිහාට යොමු වෙලා තියෙනවා කියලත් ඔහුගේ ‘දකුණතින් අපිව අල්ලාගෙන’ ඉන්නවා කියලත් කියන්නේ ඒ වගේ යෙදුම් දෙකක්. (ගීතා. 34:15; 63:8) ඒ වගේම දෙවි එඬේරෙක් වගේ තමන්ගේ “බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය” කියලත් එහි සඳහන් වෙනවා. (යෙසා. 40:11) ටිකක් හිතන්න, තමන්ට ගොඩක් ආදරය කරන එඬේරෙක්ගේ තුරුලට වෙලා ඉන්න බැටළු පැටියෙක් ගැන. යෙහෝවා දෙවිට ඕනෙ ඔබයි මමයි ඒ තරම් දෙවිට කිට්ටුවෙන් ඉන්නවා දකින්නයි. ඒ තරම් අපිට ආදරය කරන දෙවිට කිට්ටු වෙන්න අපි පෙලඹෙන්නේ නැද්ද! දෙවිව ආදර්ශයට අරන් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා අපිත් හිතලා බලමු.

වැඩිමහල්ලන්ට තිබිය යුතුම ගතිලක්ෂණයක්

5. වැඩිමහල්ලෙක් මොන වගේ කෙනෙක් වෙන්න ඕනෙද? ඒ ඇයි?

5 ‘ඔයා වැඩිමහල්ලෙක්ගේ දකින්න ආසම ගුණාංගය මොකක්ද?’ ලෝකේ විවිධ රටවල සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුගෙන්ම ඒ ප්‍රශ්නය අහපුවම දන්නවද ඒ අය දුන්න උත්තරේ? වැඩිදෙනෙක් කිව්වේ ‘ඕනෙම වෙලාවක කිසිම භයක් සැකක් නැතුව ගිහින් කතා කරන්න පුළුවන් වෙන එක තමයි අපි කැමතිම දේ’ කියලා. අපි හැමෝම ඒ වගේ වෙන්න ඕනෙ තමයි. ඒත් විශේෂයෙන්ම වැඩිමහල්ලන් ඒ වගේ වෙන්න ඕනෙ. (යෙසා. 32:1, 2) ඒ ඇයි කියලා දන්නවද? ‘වැඩිමහල්ලෙක් එහෙම කෙනෙක් වුණොත් විතරයි එයාගේ අනිත් හොඳ ගුණාංග තේරුම්ගන්න අපිට පුළුවන් වෙන්නේ’ කියලා සහෝදරියක් කිව්වා. ඒක ඇත්ත කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

6. අනිත් අය ඔබත් එක්ක භයක් සැකක් නැතුව කතා කරන්න පෙලඹෙන්න නම් ඔබ කරන්න ඕනෙ මොනවද?

6 ඒ වගේ වැඩිමහල්ලෙක් වෙන්න නම් ඔබ ඇත්තටම අනිත් අය ගැන සැලකිලිමත් කියලත් ඕනෙම වෙලාවක උදව් කරන්න බලාගෙන ඉන්නවා කියලත් පෙන්වන්න ඕනෙ. එතකොට අපේ සහෝදර සහෝදරියෝ විතරක් නෙවෙයි අපේ පුංචි දරුවෝ වුණත් ඕනෙම දෙයක් කියන්න ඔබ ළඟට දුවගෙන එයි. (මාක් 10:13-16) කාලොස්ට අවුරුදු 12යි. එයා මෙහෙම කියනවා. “අපේ වැඩිමහල්ලෝ හරිම හොඳයි. එයාලා හැමෝම එක්ක හිනා වෙලා ආදරෙන් කතා කරනවා.” ඒ නිසා වැඩිමහල්ලෙනි, අනිත් අයට ඇහුම්කන් දෙන්න ආශාවෙන් ඉන්නවා කියන එක, කියලා විතරක් මදි. ඒක ක්‍රියාවෙන් පෙන්වන්නත් ඕනෙ.1 යොහ. 3:18.

7. සමුළු බැජ් එක පැළඳගෙන ඉන්නකොට මිනිස්සු අපි එක්ක කතා කරන්න පෙලඹෙන්නේ ඇයි? අපිට ඒකෙන් දැනගන්න පුළුවන් මොකක්ද?

7 මේ අද්දැකීම බලන්න. දවසක් සහෝදරයෙක් “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියන සමුළුවේ බැජ් එකත් ගහගෙන, සමුළුව ඉවර වෙලා තමන්ගේ රටට ආපහු ආවේ ගුවන්යානයකින්. ඒකේ සේවය කරපු කෙනෙක් බැජ් එක දැකලා ඒ ගැන විස්තර ඇහුවා. දෙන්නා ගොඩක් වෙලා කතා කරලා අන්තිමේදී ඔහු සඟරාත් ගත්තා. ටිකක් මතක් කරලා බලන්න, ඔබත් සමුළු බැජ් එක ගහගෙන සමුළුවට යන එන අතරතුර හමු වෙන අය ඔබ එක්ක කිසිම භයක් සැකක් නැතුව කතා කළා නේද? ඒ ඇයි කියලා දන්නවද? සමුළු බැජ් එක හරියට ‘භය නැතුව මගෙන් විස්තර අහන්න’ කියලා ගහපු පුංචි දැන්වීමක් වගේ. ඒක දැක්කම ඕනෙම කෙනෙක් භයක් සැකක් නැතුව කතා කරන්න පෙලඹෙනවා. දැන් අපි, අන් අයට කිට්ටු වෙන්න තියෙන කැමැත්ත කියන ගතිලක්ෂණය සමාන කරමු ඒ බැජ් එකට. බැජ් එක පැළඳගෙන ඉන්නවා වගේ, වැඩිමහල්ලෙක් තුළ ඒ ගතිලක්ෂණය පේන්න තිබුණොත් විතරයි සභාවේ අය භය නැතුව ඔහු එක්ක කතා කරන්න පෙලඹෙන්නේ.

8. වැඩිමහල්ලන් අනිත් අය ගැන සැලකිලිමත් කියලා පෙන්වන්නේ කොහොමද? ඒ ගැන සභාවේ අයට දැනෙන්නේ කොහොමද?

8 මිත්‍රශීලීව හිනා වෙලා ‘ඔයා හොඳින්ද’ වගේ දෙයක් අහද්දී ඔබේ සහෝදර සහෝදරියන් ගැන ඔබ ඇත්තටම සැලකිලිමත් කියලා ඔබට පෙන්වන්න පුළුවන්. මතකද, යේසුස් ‘තමන්ගේ ගෝලයෝ ළඟට ගිහින්’ ඔවුන් එක්ක කතා කළා? (මතෙ. 28:18) ඒ වගේ වැඩිමහල්ලොත් අනිත් අය ළඟට ගිහින් කතා කරන්න උත්සාහ කරන්න ඕනෙ. එහෙම කරද්දී අනිත් අයට ඔබ ගැන හිතෙන්නේ කොහොමද කියලා දන්නවද? බලන්න වයස 88ක පුරෝගාමි සහෝදරියක් කියන දේ. “මං රැස්වීමට එද්දී වැඩිමහල්ලන් මං ළඟට ඇවිත් මාව දිරිගන්වලා කියන වචන දෙක තුන නිසා මට ඒගොල්ලෝ ගැන ලොකු ආදරයක් දැනෙනවා.” තව සහෝදරියක් මෙහෙම කියනවා. “අපේ වැඩිමහල්ලෝ හිනා වෙලා මං ළඟට ඇවිත් මාව ආදරෙන් රැස්වීමට පිළිගන්නවා. ඒක මට ගොඩක් වටිනවා.” බලන්න, ඔබ ආදරෙන් කරන පුංචි දෙයක් ඔබේ සහෝදරයන්ට කොච්චර වටිනවද කියලා.

වෙලාව හොයාගන්න

9, 10. (අ) යෙහෝවා දෙවි හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද? (ආ) වැඩිමහල්ලන් කරන්න උත්සාහ කරන්න ඕනෙ මොකක්ද?

 9 ඔබ එක්ක කතා කරන්න බැරි තරම් ඔබ කාර්යබහුලයි කියලා අනිත් අයට දැනෙන්න දෙන්න එපා. යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න. ඔහු කවදාවත් ‘අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි’ නේද? (ක්‍රියා 17:27) රැස්වීමට කලිනුත් රැස්වීමෙන් පස්සෙත් බාල මහලු හැමෝම එක්ක කතා කරන්න. පුරෝගාමි සහෝදරයෙක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලෙක් මගේ විස්තර අහද්දී එයා මාව වටින කෙනෙක් විදිහට සලකනවා කියලා මට දැනෙනවා.” අවුරුදු 50කට කිට්ටු කාලයක් පුරා යෙහෝවා දෙවිට සේවය කරන සහෝදරියක් කියන දේ බලන්න. “රැස්වීමෙන් පස්සේ වැඩිමහල්ලෝ මාත් එක්ක ටිකක් කතා කරද්දී මට දැනෙනවා මමත් සභාවට වටින කෙනෙක් කියලා.”

10 ඇත්ත, වැඩිමහල්ලන්ට හුඟක් වගකීම් තියෙනවා තමයි. ඒත් සභාවේදී ඔවුන් අනිත් අය එක්ක කතා කරන්න කොහොමහරි කාලය හොයාගන්න එක හුඟක් වැදගත්.

හැමෝටම එක වගේ සලකන දෙවි

11, 12. (අ) සියල්ලන්ටම එක හා සමානව සලකන්න නම් අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? (ආ) යෙහෝවා දෙවි අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවිට තියෙන තවත් ලස්සන ගතිලක්ෂණයක් තමයි හැමෝටම එක හා සමානව සලකන එක. (ක්‍රියා 10:34) දෙවි වගේ හැමෝටම එක හා සමානව සලකන්න අපිටත් ඕනෙ නම්, එහෙම කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි විශ්වාස කරන්න ඕනෙ. හැමෝටම එක හා සමානව සලකන කෙනෙක්, තව කෙනෙකුගේ පෙනුම දිහා බලලවත් වත්පොහොසත්කම් දිහා බලලවත් ඒ පුද්ගලයාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට පුද්ගලයෙක් ඇතුළතින්ම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන ඒ විදිහට සලකනවා.

12 ‘සියල්ලන්ටම එක හා සමානව සැලකීම’ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යෙහෝවා දෙවියි. (ක්‍රියා 10:34, 35; ද්විතීය කතාව 10:17 කියවන්න.) දෙවි එහෙම කරපු අවස්ථාවක් දැන් අපි බලමු.

දෙවි ෂෙලොපෙහාද්ගේ දූවරුන්ට සාධාරණව සැලකුවා ( 13වෙනි සහ 14වෙනි ඡේද බලන්න)

13, 14. (අ) ෂෙලොපෙහාද්ගේ දූවරු පස්දෙනා මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද? (ආ) යෙහෝවා දෙවි සාධාරණ දෙවි කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

 13 ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ෂෙලොපෙහාද් කියන පුද්ගලයාගේ දූවරු පස්දෙනා මෝසෙස්ව හම්බ වෙන්න ආවා. ඔවුන්ගේ පියා ඒ වෙනකොට මිය ගිහින් හිටපු නිසත් ඔවුන්ට සහෝදරයෙක් හිටපු නැති නිසත් දේශයේ ඉඩම් බෙදද්දී ඔවුන්ට කොටසක් ලැබෙන්න තිබුණේ නැහැ. ඒකට හේතුව පුතාලට විතරයි උරුමයක් හැටියට ඉඩම් ලැබෙන්නේ කියලා නීතියේ සඳහන් වුණ නිසයි.—ගණන්. 26:33, 52-55.

14 ඔවුන් සිටි අසරණ තත්වය ගැන ඔවුන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “අපේ පියාට පුත්‍රයන් සිටියේ නැහැ. පුත්‍රයන් නැති නිසාම ඔහුගේ පෙළපතෙන් ඔහුගේ නම ඉවත් කරන්න එපා.” ඒ අවස්ථාවේදී, ‘නීතියේ තියෙන්නේ එහෙමයි. මට කරන්න දෙයක් නැහැ’ කියලා මෝසෙස් කිව්වද? නැහැ. මෝසෙස් ඒ ගැන යෙහෝවා දෙවිගෙන් ඇහුවා. (ගණන්. 27:2-5) දෙවි මොනවද කිව්වේ? “ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. ඔවුන්ගේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට ඔවුන්ටත් උරුමයක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට ලබා දෙන්න” කියලා දෙවි මෝසෙස්ට කිව්වා. ඒ විතරක් නෙවෙයි, “යම් මිනිසෙකු පුත්‍රයෙකු නොලැබ මිය ගියොත් ඔහුගේ උරුමය ඔහුගේ දූවරුන්ට අයිති විය යුතුයි” කියන දේ, නීතියට ඇතුල් කරන්න කියලත් දෙවි මෝසෙස්ට කිව්වා. (ගණන්. 27:6-8; යොෂු. 17:1-6) එදා ඉඳන් ඒ ස්ත්‍රීන් පස්දෙනාගේ තත්වයේ හිටපු හැම ඊශ්‍රායෙල් ස්ත්‍රියකටම උරුමයක් ලැබුණා.

15. (අ) අසරණ අයට වුණත් යෙහෝවා දෙවි සලකන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවි ඒ වගේ ක්‍රියා කරපු තවත් අවස්ථා මොනවද?

15 මොකක්ද පාඩම? යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය, හැමෝටම එක හා සමානව සලකන දෙවි කෙනෙක්ද කියන එකයි. ෂෙලොපෙහාද්ගේ දූවරුන්ට උදව් කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒත් දෙවි අනිත් හැමෝටම වගේ ඔවුන්ටත් ගෞරවයෙන් සැලකුවා. (ගීතා. 68:5) අපි ඒ කතා කළේ දෙවි ඒ වගේ ක්‍රියා කළ අවස්ථා ගාණකින් එකක් ගැන විතරයි.—1 සාමු. 16:1-13; ක්‍රියා 10:30-35, 44-48.

අපිත් දෙවිව අනුකරණය කරමු

16. යෙහෝවා දෙවි වගේ හැමෝටම එක හා සමානව සලකන්න පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවි වගේ හැමෝටම එක විදිහට සලකන්න අපිටත් පුළුවන් කොහොමද? එහෙම කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔබ විශ්වාස කරනවා නම් විතරයි ඔබට එහෙම කරන්න පුළුවන් වෙන්නේ. අපි ඇත්තටම ඒ වගේ අයද කියලා දැනගන්නේ කොහොමද? අපිට පුළුවන් යේසුස් කළා වගේ කරන්න. තමන් ගැන අනිත් අය හිතන දේ දැනගන්න ඕනෙ වුණාම යේසුස් ඔහුගේ යාළුවන් ළඟට ගිහින්, “මනුෂ්‍ය පුත්‍රයා කවුරුන් කියාද මිනිසුන් කියන්නේ” කියලා ඇහුවා. (මතෙ. 16:13, 14) ඒ වගේ අවංකව අදහස් කියන යාළුවෙක්ගෙන් ‘මම හැමෝටම එක වගේ සලකනවා කියලා ඔයා හිතනවද, ඒ ගැන අනිත් අය හිතන්නේ මොනවද’ කියලා අහන්න. සමහර ජාතීන්වල අයට, මුදල් හදල් තියෙන අයට, හොඳ අධ්‍යාපනයක් ලබපු අයට ඔබ විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා සමහරවිට ඔහු කිව්වොත් මොනවද කරන්න පුළුවන්? යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. අනිත් අය ගැන හිතන විදිහ වෙනස් කරගෙන, යෙහෝවා දෙවි වගේ හැමෝටම එක හා සමානව සලකන්න උදව් කරන්න කියලා දෙවිට කියන්න.—මතෙ. 7:7; කොලො. 3:10, 11.

17. හැමෝටම එක හා සමානව සලකන්න පුළුවන් විදි මොනවද?

 17 සභාවේ ඉන්න හැමෝටම ගෞරවයෙන් හා කාරුණිකව සලකලා යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. උදාහරණයකට එකම පිරිසකට විතරක් ඔබේ ගෙදරට ආරාධනා කරන්නේ නැතුව සභාවේ ඉන්න විවිධ පසුබිම්වල අයට ආරාධනා කරන්න ඔබට පුළුවන්. එතරම් මුදල් නැති අයට, වැන්දඹු අයට, පවුලේ අය සත්‍යයේ නැති තරුණ අයට ඔබේ ගෙදරට ආරාධනා කරන්න ඔබට පුළුවන්. (ගලාති 2:10; යාකොබ් 1:27 කියවන්න.) දේශනා සේවයේ යද්දී ඔබට හමු වෙන ඕනෙම කෙනෙකුට, වෙනත් රටක කෙනෙකුට වුණත් ශුභාරංචිය ගැන කියන්න. යෙහෝවා දෙවිගේ සංවිධානය දැන් භාෂා 600කට කිට්ටු ප්‍රමාණයකින් සඟරා පොත් පත් මුද්‍රණය කරනවා. ඔවුන්ගේ භාෂාවෙන්ම සඟරා පොත් පත් ලබා දීලා හැමෝටම එක හා සමානව සලකන්න ඒක අපිට මොන තරම් උදව්වක්ද!

18. අපි මේ ලිපියේ කතා කරපු යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ දෙක ගැන හිතන්න හිතන්න ඔබ පෙලඹෙන්නේ මොනවා කරන්නද?

18 ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට තමන්ට කිට්ටු වෙන්න දෙවි ඉඩ දීලා තියෙන එකත් හැමෝටම එක හා සමානව සලකන එකත් අපේ දෙවිගේ ලස්සන ගතිලක්ෂණ දෙකක්. ඒ ගැන හිතන්න හිතන්න ඒ ගතිලක්ෂණ අගය කරන්න අපි පෙලඹෙන්නේ නැද්ද? එහෙම කරද්දී දෙවිව ආදර්ශයට අරන් අපේ සහෝදර සහෝදරියන්ටත් සේවයේ අපිට හමු වෙන අයටත් ඒ ගතිලක්ෂණ පෙන්වන්න අපි පෙලඹෙනවා නියතයි.

“යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.”—ගීතා. 145:18 ( 9වෙනි ඡේදය බලන්න)

‘යෙහෝවා දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා.’—ද්වි. 10:17 ( 17වෙනි ඡේදය බලන්න)