Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ලැබුණ ආශීර්වාද

යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ලැබුණ ආශීර්වාද

“නෝවා යෙහෝවා දෙවිට කීකරු වුණා වගේම පවුලේ අයටත් හුඟක් ආදරය කළා. ඒ අය බේරුණේ නැවට ඇතුල් වුණ නිසයි. නෝවා අපිට හොඳ ආදර්ශයක්!” තාත්තා එහෙම කියනවා මට තාම මතකයි.

මගේ තාත්තා හරිම නිහතමානී කෙනෙක්. ඒ වගේම හුඟක් මහන්සි වෙලා වැඩ කළා. යුක්තිය ඉටු වෙනවා දකින්න ආස කරපු නිසා එයා බයිබලයේ තියෙන සත්‍යය පිළිගත්තා. ඒ 1953දී. තාත්තා බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් අපිට කියලා දෙන්නත් ලොකු උත්සාහයක් ගත්තා. අම්මා නම් කතෝලික පල්ලිය අත්හරින්න කැමති වුණේ නැහැ. ඒත් ටික දවසක් යනකොට අම්මත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා.

අපේ තාත්තා කෙත්වතුවල හුඟක් මහන්සි වෙලා වැඩ කරපු නිසත් අම්මට වැඩිය ලියන්න කියවන්න බැරි නිසත් අපිත් එක්ක බයිබලය පාඩම් කරන එක ඒ දෙන්නට ලේසි වුණේ නැහැ. සමහර දවස්වලට මහන්සි වැඩිකමට පාඩම වෙලාවෙදී තාත්තට නින්ද යනවා. කොහොමවුණත් අපිට සත්‍යය කියලා දෙන්න තාත්තා ගත්ත උත්සාහය අපතේ ගියේ නැහැ. නංගිටයි මල්ලිලා දෙන්නටයි සත්‍යය කියලා දෙන්න මම උදව් කළා. හුඟක් අවස්ථාවලදී තාත්තා කියනවා නෝවා කොහොමද යෙහෝවා දෙවිට කීකරු වුණේ කියලා. මමත් ඒ කතාවට හරි කැමතියි. ටික කාලෙකින් අපි හැමෝම ඉතාලියේ, රොසේටෝ ඩෙල්යි ආබෘට්සිවල තියෙන සභාවේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා.

පළමු වතාවට අම්මයි මමයි සමුළුවකට ගියේ 1955දී. එතකොට මට අවුරුදු 11යි. ඒ සමුළුව තිබුණේ රෝමයේ. එදා ඉඳන් සමුළුවලට යන්න මම හුඟක් ආස කළා.

ඊළඟ අවුරුද්දේ මම බව්තීස්ම වෙලා පූර්ණකාලීන සේවය පටන්ගත්තා. මට අවුරුදු 17ක් වෙනකොට ලැටිනාවලට විශේෂ පුරෝගාමියෙක් විදිහට පැවරුමක් ලැබුණා. එහේ ඉඳන් අපේ ගෙදරට කිලෝමීටර් 300ක් විතර දුරයි. මාත් එක්ක තවත් පුරෝගාමි සහෝදරියක් හිටියා. අපි හරිම ආසාවෙන් දෙවිට සේවය කළත් යෞවන වයසේ හිටපු නිසා මට විටින් විට ගෙදර අයවත් මතක් වුණා. ඒත් යෙහෝවා දෙවිට කීකරු වෙන්න තිබුණ ආසාව නිසා මම දිගටම මගේ පැවරුම ඉටු කළා.

අපි විවාහ වුණ දවස

වර්ෂ 1963දී “සදාකාල ශුභාරංචිය” යන තේමාව තිබුණ ජාත්‍යන්තර සමුළුව පැවැත්වුවේ මිලාන්වල. ඒ වැඩවලට උදව් කරන්න මාව මිලාන්වලට යැව්වා. මමයි තවත් හුඟක් අයයි ස්වේච්ඡා සේවකයන් විදිහට වැඩ කළා. ඒ අය අතර පාවුලෝ පිකෝලි කියන තරුණ සහෝදරයත් හිටියා. එයා ඒ සමුළුවේදී තනිකඩභාවය ගැන කතාවක් දුන්නා. එතකොට මට හිතුණා ‘මේ සහෝදරයා නම් කවදාවත් බඳින එකක් නැහැ’ කියලා. සමුළුවෙන් පස්සේ අපි එකිනෙකාට ලියුම් ලිව්වා.  එතකොට අපිට තේරුණා අපි දෙන්නා අතර ගැළපෙන දේවල් හුඟක් තියෙනවා කියලා. උදාහරණයකට අපේ ඉලක්ක, යෙහෝවා දෙවිට තිබුණ ආදරය, දෙවිට කීකරු වෙන්න තිබුණ අධිෂ්ඨානය වගේ දේවල්. අපි දෙන්නා 1965දී විවාහ වුණා.

පූජකයන් එක්ක සාකච්ඡා

අවුරුදු දහයක් මම ෆ්ලෝරන්ස්වල ස්ථාවර පුරෝගාමි සේවය කළා. ඒ සභාවල වර්ධනය දකිද්දී, විශේෂයෙන්ම යෞවන අය දියුණු වෙනවා දකිද්දී හරිම ආසයි. ඒ අය එක්ක අපි සෙල්ලම් කළා, බයිබල් සාකච්ඡාවන් කළා. හුඟක් වෙලාවට පාවුලෝ තරුණ අයත් එක්ක එකතු වෙලා ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මේ හැම දේකින්ම අපි අද්දැක්කේ ලොකු සතුටක්. පාවුලෝ මාත් එක්ක වැඩිපුර කාලය ගත කරනවා නම් හොඳයි කියලා සමහර වෙලාවට හිතුණා. ඒත් මම දැක්කා සභාවේ අය පාවුලෝ එක්ක කාලය ගත කරන එකෙන් කොයි තරම් ප්‍රයෝජන ලබනවද කියලා.

ඉස්සර කරපු බයිබල් පාඩම් ගැන මතක් වෙනකොට අදටත් ආස හිතෙනවා. ඒ වගේ පාඩමක් තමයි ඒඩ්‍රියානා කියන්නේ. එක සැරයක් එයා තවත් පවුල් දෙකක් එක්ක බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ගැන කතා කරලා තියෙනවා. ඊටපස්සේ ඒ අය, ත්‍රිත්වය ගැනයි අමරණීය ආත්මය ගැනයි පූජකයන් එක්ක සාකච්ඡා කරන්න දවසක් දාගෙන තිබුණා. එදා ආපු පූජකයන්ට පැහැදිලිව දේවල් විස්තර කරන්න බැරි වුණා. ඒ නිසා බයිබලය පාඩම් කරන අයට තේරුණා පූජකයන් උගන්වන දේවල් බයිබලයේ තියෙන ඉගැන්වීම් එක්ක ගැළපෙන්නේ නැහැ කියලා. ඒ සාකච්ඡාවට සහභාගි වුණ 15දෙනෙක් විතර සාක්ෂිකරුවන් වුණා.

ශුභාරංචිය දේශනා කරන්න පාවිච්චි කරන ක්‍රම එදාට වඩා අද හුඟක් වෙනස්. ඒ කාලයේදී පාවුලෝ නිතරම වගේ පූජකයන් එක්ක කතා කළා. එයා ඒකට හුඟක් දක්ෂයි. ඒ වගේ එක සාකච්ඡාවක් මටත් මතකයි. ඒ අවස්ථාවේදී අපිට උත්තර දෙන්න බැරි වෙන විදිහේ ප්‍රශ්න අහන්න පූජකයන් සමහර අයවත් සූදානම් කරලා තිබුණා. ඒත් සිද්ධ වුණේ වෙන දෙයක්. සාකච්ඡාව අතරතුරේදී එක් කෙනෙක් ඇහුවා පූජකයන් දේශපාලනයට සම්බන්ධ වෙන එක හරිද කියලා. ඒ වෙලාවෙදී පූජකයන්ට කරගන්න දෙයක් තිබුණේ නැහැ. එතකොට එකපාරටම ලයිට් ගියා. සාකච්ඡාවත් නතර වුණා. හැබැයි කාලයක් ගියාට පස්සේ අපි දැනගත්තා, පූජකයන්ට උත්තර දෙන්න බැරි අවස්ථාවක් ආවොත් ලයිට් ඕෆ් කරන්න කියලා කලින්ම සැලසුම් කරලා තිබුණා කියලා.

අලුත් පැවරුමක්

අපි බැඳලා අවුරුදු දහයකට පස්සේ අපිට චාරිකා සේවය සඳහා පැවරුමක් ලැබුණා. ඒ වෙනකොට පාවුලෝ හොඳ රැකියාවක් කරගෙන හිටපු නිසා තීරණයක් ගන්න ලේසි වුණේ නැහැ. ඒත් යාච්ඤා කළාට පස්සේ ඒ පැවරුම භාරගන්න අපි තීරණය කළා. සභාවලට ගියාම අපිට පුළුවන් වුණා අපි නතර වෙලා හිටපු ගෙවල්වල අයත් එක්ක කාලය ගත කරන්න. හවස් වරුවේ  අපි හැමෝම එකතු වෙලා අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. ඊටපස්සේ ගෙදර ඉන්න දරුවන්ගේ පාසැලේ වැඩවලට පාවුලෝ උදව් කරනවා. විශේෂයෙන්ම එයා කියලා දුන්නේ ගණන්. පාවුලෝ හුඟක් පොත් පත් කියවන්න ආස කෙනෙක් නිසා මොනවා හරි විශේෂ දෙයක් හම්බුණාම අපිටත් ඒවා කියලා දෙනවා. හුඟක් වෙලාවට සඳුදා දවස්වල අපි සාක්ෂිකරුවන් නැති ප්‍රදේශවල සේවයේ ගිහින්, හවස් වරුවේ පවත්වන කතාවට එන්න කියලා මිනිස්සුන්ට ආරාධනා කරනවා.

පාවුලෝ තරුණ අයත් එක්ක එකතු වෙලා ෆුට්බෝල් සෙල්ලම් කරනවා

අවුරුදු දෙකක් චාරිකා සේවය කළාට පස්සේ රෝමයේ බෙතෙල් එකේ සේවය කරන්න එන්න කියලා අපිට ආරාධනා කළා. පාවුලෝ නීතික අංශයෙත් මම සඟරා අංශයෙත් වැඩ කළා. ජීවිතේ වෙනස්කම්වලට මුහුණ දෙන එක ලේසි නැති වුණත් අපි දෙවිට කීකරුව ඉන්න, කරන්න පුළුවන් හැම දේම කළා. ඉතාලියේ හිටපු සාක්ෂිකරුවන්ගේ වර්ධනයත් ශාඛා කාර්යාලය විශාල කිරීමත් දකිද්දී අපිට පුදුම හිතුණා. ඒ කාලයේදී තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආගමක් හැටියට ඉතාලියේ ලියාපදිංචි කළේ. ඇත්තටම අපිට ලැබුණ පැවරුම ගැන අපි හුඟක් සතුටු වුණා.

පාවුලෝ බෙතෙල් නිවසේ වැඩ කළේ හරිම සතුටින්

අපි බෙතෙල් එකේ සේවය කරගෙන ඉන්න කාලෙදී, සාක්ෂිකරුවන් රුධිරය ගන්නේ නැති එක ගැන ප්‍රශ්න මතු වුණා. වර්ෂ 1980 ගණන්වලදී ඒක උසාවි යන ප්‍රශ්නයක් බවට පත් වුණා. සාක්ෂිකාර පවුලක දරුවෙක් මිය ගියේ දෙමව්පියන් ඒ දරුවට රුධිරය නොදුන්න නිසා කියලා නඩුවක් පවරලා තිබුණා. ඒත් ඇත්තටම ඒ දරුවා මිය ගියේ මධ්‍යධරණී ප්‍රදේශයේම පැතිරිලා ගිය රුධිරය හා සම්බන්ධ දරුණු රෝගයක් නිසයි. ඒ පවුල වෙනුවෙන් ඉදිරිපත් වුණ නීතිඥයාට බෙතෙල් එකේ හිටපු සහෝදර සහෝදරියන් හුඟක් සහයෝගය දුන්නා. ඒ වගේම රුධිරය සම්බන්ධයෙන් දෙවි කියන්නේ මොකද්ද කියන එක ගැන පත්‍රිකාවකුත් විශේෂ පිබිදෙව්! සඟරාවකුත් බෙදාහැරියා. ඒ මාසවල පාවුලෝ දවසට එක දිගට පැය 16ක් විතර වැඩ කළා. එයාගේ ඒ වැඩවලට මමත් මගේ උපරිමයෙන් සහයෝගය දුන්නා.

ජීවිතේ තවත් වෙනසක්

අපි බැඳලා අවුරුදු 20කට විතර පස්සේ අපේ ජීවිතේ නොහිතපු විදිහට වෙනස් වුණා. එතකොට මට අවුරුදු 41යි, පාවුලෝට වයස 49යි. දවසක් මට හිතුණා මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. ඒ ගැන පාවුලෝට කිව්ව දවසේ එයා කරපු යාච්ඤාවක් එයාගේ දිනපොතේ මේ විදිහට ලියලා තිබුණා. “ඒක ඇත්තක් නම් පූර්ණකාලීන සේවය දිගටම කරන්නත්, නමස්කාර කටයුතු දිගටම කරගෙන යන්නත්, ආදර්ශවත් දෙමව්පියන් වෙන්නත් අපිට උදව් කරන්න. විශේෂයෙන්ම අවුරුදු 30ක් පුරා මම වේදිකාවේ ඉඳන් උගන්වපු දේවලින් අඩු තරමින් සීයට එකක්වත් කරන්න උදව් කරන්න.” ඇත්තටම යෙහෝවා දෙවි අපේ යාච්ඤාවන්ට පිළිතුරු දුන්නා.

අපේ දුව ඉලාරියා ඉපදුණාට පස්සේ අපේ ජීවිත තවත් වෙනස් වුණා. සමහර අවස්ථාවලදී අපි අධෛර්යය වුණා. ඒත් බයිබලයේ කියන්නේ “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියලයි. (හිතෝ. 24:10) ඒ  කාලෙදී අපි සහයෝගයෙන් වැඩ කරපු එක අපිට ශක්තියක් වුණා.

පූර්ණකාලීන සේවකයන් දෙන්නෙක්ගේ දරුවෙක් විදිහට හැදී වැඩෙන්න ලැබුණ එක ගැන දුව හුඟක් සතුටු වෙනවා කියලා එයා අද කියනවා. අපේ දුවට අපි දෙන්නගේ ආදරේ කිසි අඩුවක් දැනෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒ කාලේ දවල් වරුවේ දුවට මම හිටියා. හවස් වරුවේ පාවුලෝට කරන්න කොච්චර වැඩ තිබුණත් එයා දුවත් එක්ක කාලය ගත කළා. එයා එක්ක සෙල්ලම් කරනවා, ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩවලට උදව් කරනවා. දුව නිතරම වගේ කියන්නේ “තාත්තා තමයි මගේ හොඳම යාළුවා” කියලා. සමහර දවස්වලට පාවුලෝ දුවත් එක්ක ඉඳලා, ඊටපස්සේ පාන්දර දෙක තුන වෙනකල් එයාගේ වැඩ කරගන්නවා.

ක්‍රිස්තියානියෙක් විදිහට ජීවත් වෙන්න දරුවන්ට පුහුණු කරන එකත් ලේසි නැහැ. සමහර වෙලාවට එයාලට හික්මවීම් දෙන්නත් වෙනවා. මට මතකයි දවසක් දුව තවත් දරුවෙක් එක්ක සෙල්ලම් කරද්දී එයා ටිකක් නපුරු විදිහට හැසිරුණා. අපි එයාට බයිබලයෙන්ම පෙන්නුවා එයා හැසිරුණ විදිහ වැරදියි කියලා. ඊටපස්සේ අපි ඉස්සරහම අනිත් දරුවගෙන් සමාව ගන්න කියලා අපි එයාට කිව්වා.

දුව හැම තිස්සේම කියන්නේ එයාගේ අම්මයි තාත්තයි සේවය සඳහා දක්වපු කැප වීම එයා ගොඩක් අගය කරනවා කියලයි. දැන් එයා විවාහ වෙලා. ඒ නිසා යෙහෝවා දෙවිට කීකරු වෙන එකත් ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන එකත් කොච්චර වටිනවද කියලා දුව දැන් තවත් හොඳට දන්නවා.

දුක් වුණු අවස්ථාවක්

පාවුලෝට පිළිකාවක් තියෙනවා කියලා අපි දැනගත්තේ 2008දී. අපි මුලින්ම හිතුවේ ඒක හොඳ කරගන්න පුළුවන් වෙයි කියලයි. පාවුලෝ මාවත් ගොඩක් ශක්තිමත් කළා. කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාර කරන අතරම අපි දෙන්නා දුවත් එක්ක එකතු වෙලා නිතරම වගේ දෙවිට යාච්ඤා කළා. ගොඩක් ශක්තිමත් කඩිසර කෙනෙක් වුණ පාවුලෝ, ටිකෙන් ටික දුර්වල වෙන විදිහ මම බලාගෙන හිටියේ හරි අමාරුවෙන්. වර්ෂ 2010දී එයා මිය ගියා. මට ඒක දරාගන්න ලේසි වුණේ නැහැ. ඒත් අවුරුදු 45ක් අපි දෙන්නා කරපු සේවය මතක් වෙද්දී මට ලොකු සහනයක් දැනෙනවා. අපි අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කළා. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ කියලා මම දන්නවා. යොහන් 5:28, 29 තියෙන යේසුස්ගේ වදන් ඉටු වෙද්දී පාවුලෝ නැවත නැඟිටිනවා කියලා මම දන්නවා. ඒ දවස එනකල් මම බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.

‘මට හිතෙන්නේ මම ඇතුළතින් තාමත් නෝවාගේ කාතාවට ආස කරපු ඒ පුංචි කෙල්ල කියලයි. යෙහෝවා දෙවිට කීකරු වෙන්න මට තියෙන අධිෂ්ඨානය නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ’

මට හිතෙන්නේ මම ඇතුළතින් තාමත් නෝවාගේ කාතාවට ආස කරපු ඒ පුංචි කෙල්ල කියලයි. මොන දේ වුණත් යෙහෝවා දෙවිට කීකරු වෙන්න මට තියෙන අධිෂ්ඨානය නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අපේ ආදරණීය දෙවි යෙහෝවා දෙන ආශීර්වාද එක්ක බලද්දී, අපි කරන පරිත්‍යාගයන් කැප කිරීම් විතරක් නෙවෙයි අපිට මුහුණ දෙන්න වෙන බාධා, අපිට අහිමි වන දේවල් මොන තරම් පුංචිද කියලා මට හිතෙනවා. මගේ ජීවිත කාලය පුරාම දෙවිදුන්න ආශීර්වාද මම අද්දැක්කා.