යොෂුවා 23:1-16

23  සතුරු ආක්‍රමණවලින් තොර සාමකාමී කාලයක් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදා කර දී තිබිණ.+ එසේ බොහෝ කාලයක් ගත විය. යොෂුවාද මහලු වියේ පසු විය.+  එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්+ ඇතුළු මුළු සෙනඟ කැඳවා+ ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මම දැන් හොඳටම වයසට ගිහින්.  ඔබේ දෙවි යෙහෝවා ඔබට මේ දේශය ලබා දීම සඳහා මෙහි කලින් ජීවත් වූ ජාතීන්ට කළ සෑම දෙයක්ම ඔබ ඔබේ ඇස්වලින්ම දුටුවා.+ ඒ කාලය පුරා ඔබ වෙනුවෙන් සටන් කළේ ඔබේ දෙවි වන යෙහෝවායි.+  යොර්දාන් ගඟේ සිට බස්නාහිර දෙසින් පිහිටි මහ මුහුද දක්වා විහිදී ගිය ප්‍රදේශවලින්+ සෙනඟව පන්නා දමා+ ඒ දේශය මම දාදු දමා+ ඔබට බෙදා දුන්නා. වෙනත් ජාතීන් තවමත් ඒ ප්‍රදේශයේ තැනින් තැන ජීවත් වුණත් ඒ ප්‍රදේශය අයිති ඔබටයි.  එහෙත් ඔවුන්ව පන්නා දමා ඔවුන්ගේ දේශය ඔබට ලබා දුන්නේ ඔබෙත් මගෙත් දෙවි වන යෙහෝවායි.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඒ දේශය ඔබට උරුම කර දුන්නා.+  “මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් නීතියේ සඳහන් සෑම දෙයක්ම ඉටු කිරීමට අධිෂ්ඨාන කරගන්න.+ එයින් දකුණටවත් වමටවත් නොහැරී එය පිළිපදින්න.+ එසේ කිරීමට ඔබ එඩිතර විය යුතුයි.+  මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+  මේ දක්වාම ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ විශ්වාසවන්තව සිටියා.+ දිගටම එලෙස ජීවත් වෙන්න.  අද වන තුරු කිසි කෙනෙකුට ඔබට විරුද්ධව නැඟී සිටීමට හැකි වුණේ නැහැ.+ මින් ඉදිරියටත් යෙහෝවා දෙවි ඔබ ඉදිරියෙන් බලවත් ජාතීන් පන්නා දමයි.+ 10  ඔබෙන් එක් කෙනෙකුට මිනිසුන් දහසක් පන්නා දමන්න හැකි වෙයි.+ මන්ද ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි.+ 11  යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය+ කිසිදාක නැති වී යෑමට ඉඩ නොදෙන්න.+ එයින් ඔබේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි. 12  “නමුත් ඔබ දෙවිව අත්හැර+ ඔබ අතරේ තවමත් ජීවත් වන වෙනත් ජාතීන්+ සමඟ කිට්ටු ඇසුරක් පවත්වමින් ඔවුන් සමඟ විවාහ ගිවිසුම් ඇති කරගත්තොත්+ 13  ඔබේ දෙවි වන යෙහෝවා මින් මතුවට ඔබ ඉදිරියෙන් ඒ ජාතීන්ව පන්නා නොදමන බව ස්ථිරයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තුරු+ ඒ ජාතීන් ඔබට උගුලක් මෙන් වෙයි. ඔබේ පිටට කසයකින් පහර දෙන්නාක් මෙන්ද ඔබේ ඇස්වලට කටුවලින් අනින්නාක් මෙන්ද ඔවුන් ඔබට හිංසා පීඩා කරයි.+ 14  “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.+ ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.+ 15  ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් සෑම යහපත් පොරොන්දුවක්ම ඉටු වුණා වගේම+ ඔබ යෙහෝවා දෙවිට අකීකරු වුණොත් යෙහෝවා දෙවි ඔබට දුන් මේ සාරවත් දේශයෙන් ඔබ තුරන් වී යන තුරු ඔහු පැවසූ සෑම විපත්තියක්ම ඔබට අද්දකින්න සිදු වන බවත් ස්ථිරයි.+ 16  ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටුණොත්+ යෙහෝවා දෙවිගේ උදහස අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව ඇවිළෙයි.+ එවිට ඔහු ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ විගස තුරන් වී යයි.”+

පාදසටහන්