Skip to content

පටුනට යන්න

පරිශුද්ධ රැස්වීම් සඳහා අපගේ ගෞරවය පෙන්වීම

පරිශුද්ධ රැස්වීම් සඳහා අපගේ ගෞරවය පෙන්වීම

පරිශුද්ධ රැස්වීම් සඳහා අපගේ ගෞරවය පෙන්වීම

“සියලුදෙනාවම මගේ ශුද්ධ වූ කන්දට ගෙන්වා මාගේ යාච්ඤා ගෘහයේදී ඔවුන්ට ප්‍රීති වන්ට සලස්වන්නෙමි.”—යෙසායා 56:7.

1. අපගේ රැස්වීම් සඳහා නිසි ගෞරවය දැක්වීමට ශුද්ධ ලියවිල්ල අපට ලබා දෙන හේතු මොනවාද?

යෙහෝවා දෙවි තම සෙනඟ වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සහ මහත් සමූහයේ අයව, නමස්කාර කිරීම සඳහා තමන්ගේ “ශුද්ධ වූ කන්දට” රැස් කර තිබෙනවා. දෙවි තමන්ගේ “යාච්ඤා ගෘහයේදී” ඔවුන්ට ප්‍රීතිවීමට සලස්වයි. එම “ගෘහය සැම වර්ගයන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේය.” (යෙසායා 56:7; මාක් 11:17) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය පරිශුද්ධ, නිර්මල මෙන්ම ඉතා වැදගත් බවයි. එමනිසා ඉගෙනගැනීමට සහ නමස්කාර කිරීමට රැස්වෙද්දී ඊට නිසි ගෞරවය දැක්වීමෙන් අපි පෙන්වන්නේ පරිශුද්ධ දේවල් සඳහා යෙහෝවා දෙවිගේ ආකල්පය අපටත් තිබෙන බවයි.

2. නමස්කාරය සඳහා යෙහෝවා දෙවි තෝරාගත් ස්ථානය දෙවි පරිශුද්ධ දෙයක් හැටියට සැලකූ බව පැහැදිලි වන්නේ කුමකින්ද? යේසුස්ටද එම ආකල්පයම තිබුණු බව ඔහු පෙන්වූයේ කෙසේද?

2 පුරාණ ඊශ්‍රායෙලයේ යෙහෝවා දෙවි විසින් නමස්කාර කිරීම සඳහා තෝරාගත් ස්ථානය පරිශුද්ධ ලෙස සැලකිය යුතු වුණා. මණ්ඩපයත් එහි භාවිතයට ගත් බඩු බාහිරාදියත් “ඉතා ශුද්ධ වන පිණිස” ඒවා ශුද්ධ කළ යුතු වුණා. (නික්මයාම 30:26-29) කූඩාරමේ පළමු කාමරය “ශුද්ධ ස්ථානය” කියා හැඳින්වූ අතර අනිත් කාමරය හැඳින්වූයේ “අතිශුද්ධ ස්ථානය” ලෙසයි. (හෙබ්‍රෙව් 9:2, 3) පසු කාලයේදී මණ්ඩපය වෙනුවට යෙරුසලමෙහි දේවමාලිගාව ගොඩනැඟුවා. යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය යෙරුසලමේ පිහිටි නිසා එය හැඳින්වූයේ “ශුද්ධ නුවර” ලෙසයි. (නෙහෙමියා 11:1; මතෙව් 27:53) යේසුස් පවා මේ පොළොව මත සේවය කරද්දී දේවමාලිගාව සඳහා නිසි ගෞරවය දැක්වූවා. ඇතැම් අය දේවමාලිගාව වෙළඳ කටයුතු සඳහාත් ගමන් පහසුවට කෙටි පාරක් හැටියටත් භාවිත කළ විට යේසුස්ට මහත් කෝපයක් ඇති වුණා.—මාක් 11:15, 16.

3. ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ රැස්වීම් පරිශුද්ධ වූ බව පෙන්වන්නේ කුමකින්ද?

3 ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමටත් දෙවිගේ නීතිය කියවද්දී ඊට ඇහුම්කන් දීමටත් නිතිපතා රැස්වුණා. ඔවුන්ගේ මංගල්‍යයන් සමහරක් හැඳින්වූයේ ශුද්ධ සභා රැස්වීම් කියායි. ඉන් කාවද්දන්නේ එහි තිබූ පරිශුද්ධභාවයයි. (ලෙවී කතාව 23:2, 3, 36, 37) එස්රා සහ නෙහෙමියාගේ කාලයේදී ලෙවීවරුන් “සෙනඟට ව්‍යවස්ථාව තෝරා” දුන්නා. එවිට “මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ නිසා” ලෙවීවරු ඔවුන්ට කීවේ “අද දවස ඔබගේ දෙවි වූ යෙහෝවාට ශුද්ධය. වැලපෙන්ටවත් අඬන්ටවත් එපාය” කියායි. ඉන්පසු ඊශ්‍රායෙල්වරු කූඩාරම් මංගල්‍යයේ හත්වෙනි දවස සැමරුවේ “මහත් සන්තෝෂයක්ද” ඇතුවයි. තවදුරටත් “පළමුවෙනි දවස පටන් අන්තිම දවස දක්වා දවසින් දවස දෙවිගේ ව්‍යවස්ථා පොත” කියවනු ලැබුවා. “ඔවුහු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝය. අටවෙනිදා නියෝගය ලෙස ශුද්ධ රැස්වීමක් විය.” (නෙහෙමියා 8:7-11, 17, 18) ඒවා පරිශුද්ධ අවස්ථාවන් වූ නිසා ඊට සහභාගිවන්නන්ද හොඳ අවධානයක් දිය යුතු වුණා.

අපගේ පරිශුද්ධ රැස්වීම්

4, 5. අපගේ රැස්වීම් පරිශුද්ධයයි කියා කියන්න පුළුවන් කුමන හේතු නිසාද?

4 යෙහෝවා දෙවිගේ නමස්කාරයට කැප කළ පරිශුද්ධ නගරයක්වත් විශේෂ දේවමාලිගාවක්වත් අද දින නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා තිබෙන රැස්වීම් පරිශුද්ධ රැස්වීම් කියා මතක තබාගත යුතුයි. ශුද්ධ ලියවිල්ල කියවීමටත් ඉගෙනගැනීමටත් අපි සතියට තුන්වතාවක් රැස්වෙනවා. නෙහෙමියාගේ කාලයේ වගේ දේවවචනය ‘පැහැදිලි කර අර්ථය තෝරාදෙනවා.’ (නෙහෙමියා 8:8) අපගේ සෑම රැස්වීමක්ම ආරම්භ වන්නෙත් අවසන් වන්නෙත් යාච්ඤාවකින්. ඒ වගේම බොහෝ රැස්වීම්වලදී යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීත ගායනා කරනවා. (ගීතාවලිය 26:12) සභා රැස්වීම් අපගේ නමස්කාරයේ වැදගත් කොටසක් වන නිසා අපි යාච්ඤාපූර්වකව සහ හොඳ අවධානයකින් ඊට සහභාගි වීම අවශ්‍යයි.

5 යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට, ඔහුගේ වචනය ඉගෙනගැනීමට සහ සෙසු සහෝදරයන් සමඟ කදිම ඇසුරක් භුක්ති විඳීමට රැස්වෙද්දී දෙවි ඊට ආශීර්වාද කරනවා. අපි රැස්වීමකට සහභාගි වන විට යෙහෝවා දෙවි ඊට ‘ආශීර්වාද නියම කර ඇති බව’ අපිට සහතික වෙන්න පුළුවන්. (ගීතාවලිය 133:1, 3) අපි එම රැස්වීමට පැමිණ ඇදහිල්ල ශක්තිමත් කරවන එම වැඩසටහනට සාවධානව ඇහුම්කන් දෙනවා නම් අපිට එම ආශීර්වාද ලබාගන්න පුළුවන්. යේසුස්ද ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මාගේ නාමයෙන් කොතැනක හෝ රැස්ව සිටියොත් එතැන ඔවුන් අතරෙහි මම සිටිමි.” මෙම කොටස විශේෂයෙන් අදාළ වන්නේ සභාවක බරපතළ ගැටලුවක් විසඳීමට රැස්වන ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ රැස්වීමකටයි. නමුත් ඒ ප්‍රතිපත්තිය අපගේ රැස්වීම්වලටත් එක සේ අදාළයි. (මතෙව් 18:20) යේසුස්ගේ නාමයෙන් ක්‍රිස්තියානීන් රැස්වන විට එතැන දෙවිගේ බලය තිබෙනවා නම් එවැනි රැස්වීම් පරිශුද්ධ ලෙස සැලකිය යුතු නොවේද?

6. අප රැස්වන ස්ථාන කුඩා වුණත් විශාල වුණත් ඒවා අප සැලකිය යුත්තේ කොහොමද?

6 මිනිසුන් සාදන දේවමාලිගාවල යෙහෝවා දෙවි වාසය කරන්නේ නැති බව ඇත්තයි. කොහොමවුණත් අපගේ රාජ්‍ය ශාලාවන් සැබෑ නමස්කාරය සඳහා රැස්වන ස්ථානයි. (ක්‍රියා 7:48; 17:24) අපි එතැනට රැස්වෙන්නේ යෙහෝවා දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට, ඔහුට යාච්ඤා කිරීමට සහ ප්‍රශංසා ගීතිකා ගැයීමටයි. එක්රැස්වීම් ශාලා සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. වඩා විශාල ස්ථාන වන ශ්‍රවණාගාර, ප්‍රදර්ශන ශාලා හෝ ක්‍රීඩාංගණ අපගේ සමුළු සඳහා කුලියට ගෙන අපගේ පරිශුද්ධ රැස්වීම් ඒවායේ පැවැත්වෙන විට ඒවා අපේ නමස්කාර ස්ථාන බවට පත් වෙනවා. නමස්කාරය සඳහා භාවිත කරන එම ස්ථාන කුඩා වුණත් විශාල වුණත් අපගේ හැසිරීමෙන් සහ ආකල්පවලින් ඊට නිසි ගෞරවයක් පෙන්විය යුතුයි.

අපගේ රැස්වීම්වලට ගෞරවය පෙන්විය හැකි ආකාර

7. අපේ රැස්වීම්වලට ගෞරවය පෙන්වන්න පුළුවන් ක්‍රම මොනවාද?

7 අපගේ රැස්වීම්වලට ගෞරවය පෙන්විය හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා. එක ක්‍රමයක් නම් ගීතිකා ගායනා කිරීමේ හවුල්වීමයි. බොහොමයක් ගීතිකා යාච්ඤා ආකාරයෙන් රචනා කර තිබෙන නිසා ඒවා භක්තියෙන් යුතුව ගායනා කළ යුතුයි. ගීතාවලිය 22 උපුටා දක්වමින් පාවුල් එය යේසුස්ට අදාළ කළේ මෙහෙමයි. “මම මගේ සහෝදරයන්ට ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැද ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (හෙබ්‍රෙව් 2:12) එමනිසා රැස්වීමේ සභාපති ගීතිකාව හඳුන්වා දීමට පෙර අපගේ ආසන කරා පැමිණ ගීතිකාව ගයන විට එම ගීතයේ අදහසට හොඳ අවධානයක් දෙමින් ගායනා කිරීම අපි පුරුද්දක් කරගත යුතුයි. ගීතිකාකරු මෙන් අපිත් ගීතිකා ගායනා කිරීමේදී හැඟීමෙන් යුතුව මෙසේ කියමු. “යෙහෝවාට ප්‍රශංසා කරන්න. අවංකයන්ගේ සමාගමේදීද සභාවේදීද මුළු සිතින් යෙහෝවාට ස්තුති කරන්නෙමි.” (ගීතාවලිය 111:1) යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතිකා ගායනා කිරීම සඳහා රැස්වීම්වලට කලින් පැමිණීමටත් අවසන් වෙන තෙක් සිටීමටත් එය හේතුවක් කරගනිමු!

8. යාච්ඤාවට අප ගෞරවයෙන් අවධානය දිය යුතු බව පෙන්වන්නේ කුමන බයිබල් උදාහරණයෙන්ද?

8 අපේ සියලුම රැස්වීම්වල ඇති වටිනාකම වැඩි කරන තවත් ක්‍රමයක් නම් පැමිණ සිටින සියලුදෙනාම වෙනුවෙන් කරන හෘදයාංගම යාච්ඤාවයි. එක අවස්ථාවකදී මුල් ශතවර්ෂයේ යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් එකට රැස්වී “එක්සිත්ව දෙවිට හඬ නඟා” ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. ප්‍රතිඵලයක් හැටියට පීඩා මැද වුණත් ඔවුන් “දෙවිගේ වචනය නිර්භීතව කතා” කළා. (ක්‍රියා 4:24-31) එම යාච්ඤාව කරන අතරතුර කිසිවෙක් වෙන වෙන දේවල් ගැන කල්පනා කරමින් සිටියා කියා අපිට හිතන්න පුළුවන්ද? බැහැ. හේතුව ඔවුන් “එක්සිත්ව” යාච්ඤා කළ නිසයි. රැස්වීමකදී යාච්ඤාවක් ඉදිරිපත් කරන්නේ රැස්වීම්වලට පැමිණ සිටින සියලුදෙනා නියෝජනය කරමිනුයි. ඒ නිසා පැමිණ සිටින සියලුදෙනාම එවැනි යාච්ඤාවලට ගැඹුරු ගෞරවයකින් හා භක්තියකින් අවධානය දිය යුතුයි.

9. අපගේ ඇඳුම් පැළඳුම්වලින් සහ හැසිරීම මගින් පරිශුද්ධ රැස්වීම්වලට අපගේ ගෞරවය දක්වන්න පුළුවන් කොහොමද?

9 අපගේ රැස්වීම්වලට නිසි ගෞරවයක් දිය හැකි තව ක්‍රමයක් වන්නේ අපි අඳින පළඳින ආකාරයයි. අපගේ ඇඳුම් පැළඳුම්වලින් සහ හිසකේ සකසන ආකාරයෙන්ද අපගේ රැස්වීම්වල ගෞරවය තවත් වැඩි කළ හැකියි. ඒ ගැන පාවුල් උපදෙස් දුන්නේ මෙහෙමයි. “පුරුෂයන් සෑම තැනකදීම, උදහසින් සහ වාද විවාදවලින් තොරව, පක්ෂපාතකමේ දෑත් ඔසවා යාච්ඤා කරනවාට මම කැමැත්තෙමි. එසේම ස්ත්‍රීන් විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි. කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්‍රීන්ට ඔබින ආකාරයට යහපත් ක්‍රියා තුළින් සැරසී සිටිනවාට කැමැත්තෙමි.” (1 තිමෝති 2:8-10) ක්‍රීඩාංගණ වැනි විශාල ස්ථානවල අපගේ සමුළු පැවැත්වෙද්දී අපගේ ඇඳුම් පවතින කාලගුණයට ගැලපෙන ආකාරයෙන් තිබිය හැකි වුවත් ඒවායින්ද ගෞරවය ගෙනදිය යුතුයි. ඊට අමතරව ආහාර ගැනීමෙන් හෝ චුවිංගම් වැනි දේ හප හපා සිටීමෙන් වැළකී සිටීමෙනුත් අපට හැකියි ඊට නිසි ගෞරවය ගෙනදීමට. සුදුසු ඇඳුම් පැළඳුම් සහ හැසිරීම තුළින්, යෙහෝවා දෙවිටත් අපි ඔහුට කරන නමස්කාරයටත් අපගේ සහෝදර සහෝදරියන්ටත් ගෞරව කිරීමට අපට හැකියි.

සැබෑ ක්‍රිස්තියානීන්ට ඔබින හැසිරීම

10. අපගේ රැස්වීම්වලදී යහපත් හැසිරීමක් පවත්වාගැනීමේ වැදගත්කම ගැන පාවුල් පෙන්නුවේ කොහොමද?

10 ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්විය යුත්තේ කෙසේද කියා 1වන කොරින්ති 14වන පරිච්ඡේදයේ පාවුල් දී තිබෙන ඥානවන්ත උපදෙස සොයාගත හැකියි. අවසානයේදී ඔහු මෙහෙම කිව්වා. “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා!” (1 කොරින්ති 14:40) අපගේ රැස්වීම් ක්‍රිස්තියානි සභාවේ ඉතාමත් වැදගත් කොටසක්. එමනිසා අපගේ හැසිරීම ඉතා යහපත් තත්වයක තිබිය යුතු බව දෙවිගේ නමස්කාරකයන් හැටියට අපගෙන් බලාපොරොත්තු වෙනවා.

11, 12. (අ) අපගේ රැස්වීම්වලට පැමිණෙන දරුවන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද? (ආ) අපගේ රැස්වීම්වලදී දරුවන්ට තමන්ගේම ඇදහිල්ල ප්‍රකාශ කළ හැකි ක්‍රමය කුමක්ද?

11 රැස්වීම්වලදී හැසිරෙන්න අවශ්‍ය කොහොමද කියා විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඉගැන්විය යුතුයි. රාජ්‍ය ශාලාව සහ පොත් පාඩම් පවත්වන ස්ථානවල සෙල්ලම් නොකළ යුතු බව දෙමාපියන් තම දරුවන්ට පැහැදිලි කළ යුතුයි. ඒවා යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහාත් ඔහුගේ වචනය ඉගෙනගැනීම සඳහාත් තිබෙන බව මතක් කර දිය යුතුයි. ප්‍රඥාවන්ත සලමොන් රජ ඒ ගැන ලිව්වේ මෙහෙමයි. “ඔබ සැබෑ දෙවිගේ ගෘහයට ගිය විට පරෙස්සමින් හැසිරෙන්න. . . . සවන් දීම සඳහා එහි යන්න.” (දේශනාකාරයා 5:1, නව ලොව පරිවර්තනය, NW) එක අවස්ථාවකදී මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් අතර සිටි වැඩිහිටියන්ට සහ ‘නොදන්නා ළදරුවන්ට’ රැස්වෙන්න කියා ඉල්ලා සිටියා. ඔහු කිව්වේ “ඔවුන් අසා ඉගෙනගෙන ඔබගේ දෙවි වූ යෙහෝවාට භය වන පිණිසද ඔවුන්ගේ නොදන්නා ළදරුවන් අසා ඔබගේ දෙවි වූ යෙහෝවාට භය වන්ට ඉගෙනගන්නා පිණිසද . . . මේ ව්‍යවස්ථාවෙහි සියලු වචන පවත්වන පිණිසද . . . මේ සෙනඟ රැස් කරන්න.”—ද්විතීය කතාව 31:12, 13.

12 ඒ කාලයේ වගේ අදත් දරුවන් තම දෙමාපියන් සමඟ රැස්වීම්වලට සහභාගි වන්නේ විශේෂයෙන්ම ඇහුම්කන් දීමට සහ ඉගෙනගැනීමටයි. අවධානය දෙමින් බයිබලයේ මූලික ඉගැන්වීම්වලින් කිහිපයක් හෝ තේරුම්ගත හැකි වයසට දරුවන් පැමිණෙන විට රැස්වීම්ලදී කෙටි අදහසක් දීම මගින් තම ඇදහිල්ල ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න’ ඔවුන්ටත් හැකියි. (රෝම 10:10) ඊට ආරම්භයක් හැටියට ඔහුට තේරුම්ගත හැකි ප්‍රශ්නයකට කෙටි පිළිතුරක් දිය හැකියි. මුලින්, ප්‍රකාශනයේ තිබෙන මුද්‍රිත වචනයෙන්ම ඔහුට පිළිතුරු දිය හැකියි. නමුත් ක්‍රමානුකූලව ප්‍රකාශනයේ ඇති පිළිතුර තමාගේම වචනවලින් ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ කරයි. එසේ කරද්දී එය දරුවාට ප්‍රයෝජන ගෙන දෙනවා වගේම ඔහුට ප්‍රීතියක්ද ගෙනදෙයි. ඒ විතරක් නෙවෙයි, තම ඇදහිල්ල ගැන කරන එවැනි ප්‍රකාශයන් තුළින් පැමිණ සිටින වැඩිහිටියනුත් සතුටු වෙනවා. සාමාන්‍යයෙන් දෙමාපියන් රැස්වීම්වලදී අදහස් දැක්වීමෙන් තම දරුවන්ට ආදර්ශයක් තබනවා. හැකිනම් දරුවන් ළඟ තමන්ගේම බයිබලය, ගීතිකා පොත සහ පාඩම් කරන ප්‍රකාශනය තිබීම හොඳ දෙයක්. එවැනි ප්‍රකාශන නිසි ලෙස පාවිච්චි කිරීමට දරුවන් ඉගෙනගත යුතුයි. මෙයින්, අපගේ රැස්වීම් පරිශුද්ධයි කියන කාරණය අපේ දරුවන් ඉගෙනගන්නවා.

13. රැස්වීමට මුල් වතාවට පැමිණෙන අය සම්බන්ධයෙන් අපගේ ආශාව වන්නේ කුමක්ද?

13 පල්ලිවල පවත්වන පූජාවන් සමහරවිට නිරස හෝ බොරු ශාන්ත දාන්ත බවක් පෙන්වන, එහෙමත් නැත්නම් සංගීත සංදර්ශනයක මෙන් ඝෝෂා කරන ස්වරූපයක් ගන්නවා. නමුත් අපගේ රැස්වීම් ඒ වගේ වෙනවාට අපි කොහෙත්ම කැමති නැහැ. රාජ්‍ය ශාලාවේ පවත්වන අපගේ රැස්වීම් තුළ දිරිගන්වනසුලු සහ මිත්‍රශීලී ස්වභාවයක් තිබීම වැදගත්. එසේ වුණත් එය විනෝදය සඳහා එකමුතු වන ස්ථානයක ස්වරූපයක් නොගත යුතුයි. අපි රැස් වන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට නිසා ඒවා නිතරම නිසි ගෞරවයෙන් යුතුව තිබිය යුතුයි. අපගේ ආශාව වන්නේ රැස්වීමේදී ඉදිරිපත් කරන තොරතුරුවලට ඇහුම්කන් දීමෙන් සහ අපගෙත් අපගේ දරුවන්ගෙත් හැසිරීම දැකීමෙන් “දෙවි ඔබ අතරේ සිටින්නේය” කියා මුල් වතාවට පැමිණ සිටින අය කියනවා ඇසීමයි.—1 කොරින්ති 14:25.

අපගේ නමස්කාරයේ ස්ථිර අංගයක්

14, 15. (අ) ‘අපේ දෙවිගේ ගෘහය අත්නෑර’ සිටීමට අපට පුළුවන් වන්නේ කොහොමද? (ආ) යෙසායා 66:23 දැනටමත් ඉටු වෙමින් පවතින්නේ කෙසේද?

14 මෙම ලිපියේ මුලින්ම සඳහන් ලෙස යෙහෝවා දෙවි තම සෙනඟව එක්රැස් කරමින් සිටින අතර ඔහුගේ “යාච්ඤා ගෘහයේදී” එනම් සැබෑ නමස්කාරය තුළදී ඔවුන්ව ප්‍රීතිවීමට සලස්වයි. (යෙසායා 56:7) ඇදහිලිවන්ත නෙහෙමියා සෙසු යුදෙව්වන්ට මතක් කළේ එදා තිබුණු දේවමාලිගාවට හැකි පමණින් පරිත්‍යාග කිරීමෙන් ඊට නිසි ගෞරවය දැක්විය යුතු බවයි. ඔහු කිව්වේ “අපිද අපේ දෙවිගේ ගෘහය අත්නොහරින්නෙමු” කියායි. (නෙහෙමියා 10:39) අපිත් “යාච්ඤා ගෘහයේදී” යෙහෝවා දෙවිට නමස්කාර කරන්න කියා ඔහු කරන ආරාධනය ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

15 නමස්කාරය සඳහා නොකඩවාම රැස්වීමේ ඇති වැදගත්කම ගැන යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “එක් අමාවක සිට අනිකටත් එක් සබතක සිට අනිකටත් මා ඉදිරියේ වඳින පිණිස සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි යෙහෝවා කියන්නේය.” (යෙසායා 66:23) මෙය අද දින සැබෑවක් වී තිබෙනවා. නොකඩවා සෑම සතියක් මාසයක් පාසාම කැපවූ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා රැස්වෙනවා. ඔවුන් එසේ කරන්නේ රැස්වීම්වලට පැමිණීමෙන්, දේවසේවයේ හා වෙනත් එවැනි දේවල සහභාගි වීමෙනුයි. ඔබත් නිතරම ‘යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එන්නාවූ කෙනෙක්ද?’

16. රැස්වීම්වලට නොකඩවා සහභාගි වීම අපගේ ජීවිතයේ ස්ථිර අංගයක් විය යුත්තේ ඇයි?

16 යෙසායා 66:23හි සඳහන් වචනවල සම්පූර්ණ ඉටුවීම සිදු වෙන්නේ යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙන පාරාදීස පොළොවේදීයි. ඒ කාලයේදී “සියලු මනුෂ්‍යයෝ” වචනාර්ථයෙන්ම සතියක් සතියක් පාසා මාසයක් මාසයක් පාසා සදාකාලයටම යෙහෝවා දෙවි “ඉදිරියේ වඳින පිණිස” නැතහොත් නමස්කාර කරන පිණිස එනවා. පාරාදීස පොළොවේදී යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා රැස්වීම අපගේ ජීවිතයේ ස්ථිර අංගයක් වන නිසා, දැන් සිටම එම පරිශුද්ධ රැස්වීම්වලට නොකඩවා සහභාගි වීම අපි කළ යුතු දෙයක් නොවෙයිද?

17. ‘ඒ දවස ළං වන බව අපට පෙනෙද්දී, වැඩි වැඩියෙන් රැස්වීම’ අපට වැදගත් වන්නේ මන්ද?

17 අන්තිමය ළඟා වෙත්ම නමස්කාරය සඳහා අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමට අපි වෙන කවරදාටත් වඩා අධිෂ්ඨාන කරගත යුතුයි. පරිශුද්ධ රැස්වීම්වලට අපි නිසි ගෞරවය දෙන නිසා අපගේ රැකියාවට, පාසැලෙන් දෙන ගෙදර වැඩවලට හෝ අමතර පන්තිවලට, සෙසු නමස්කාරකයන් සමඟ නොකඩවා රැස්වීමෙන් අපිව වැළැක්වීමට ඉඩ නොදෙමු. සහෝදර ආශ්‍රයෙන් ලැබෙන ශක්තිය අපිට අවශ්‍යයි. අපගේ රැස්වීම් තුළින් එකිනෙකාව දැන හඳුනාගැනීමටත් දිරිගැන්වීම් බෙදාගැනීමටත් “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට” අනිත් අයව පෙලඹවීමටත් හැකි වෙනවා. “ඒ දවස ළං වන බව [අපට] පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ” කිරීම අවශ්‍යයි. (හෙබ්‍රෙව් 10:24, 25) එමනිසා අපි සියලුදෙනාම නොකඩවා පැමිණීමෙනුත් විනීතව ඇඳ පැළඳ සිටීමෙනුත් සුදුසු හැසිරීමෙනුත් හැමවිටම පරිශුද්ධ රැස්වීම් සඳහා නිසි ගෞරවය පෙන්වමු. එසේ කිරීමෙන් අපි පෙන්වන්නේ පරිශුද්ධ දේවල් සඳහා යෙහෝවා දෙවි දරන ආකල්පය අපටත් ඇති බවයි.

පුනරීක්ෂණ ප්‍රශ්න

• යෙහෝවා දෙවිගේ ජනයා නමස්කාර කිරීම සඳහා පවත්වන රැස්වීම් පරිශුද්ධ ලෙස සැලකිය යුත්තේ ඇයි?

• අපගේ රැස්වීම් පරිශුද්ධයි කියා ඔප්පු වන්නේ ඒවායේ තිබෙන කුමන අංග නිසාද?

• අපගේ පරිශුද්ධ රැස්වීම්වලට නිසි ගෞරවය දීමට දරුවන්ට හැක්කේ කෙසේද?

• රැස්වීම්වලට නොකඩවා පැමිණීම අපගේ ජීවිතයේ ස්ථිර අංගයක් කරගත යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූර]

ස්ථානය කුමක් වුණත් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා පවත්වන රැස්වීම් පරිශුද්ධයි

[31වන පිටුවේ පින්තූරය]

අපගේ කුඩා දරුවන් රැස්වීම්වලට පැමිණෙන්නේ ඇහුම්කන් දීමට සහ ඉගෙනගැනීමටයි