Skip to content

පටුනට යන්න

“විද්වතුන්ගේ” උපදෙස් එදා සහ අද

“විද්වතුන්ගේ” උපදෙස් එදා සහ අද

“විද්වතුන්ගේ” උපදෙස් එදා සහ අද

ඔබ පරිගණකයක් භාවිත කර අන්තර්ජාලයෙන් දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට උත්සාහ කළොත් මේ ගැන අමතර තොරතුරු සොයාගත හැකි තැන් මිලියන 26කට වඩා වැඩි ප්‍රමාණයක් ක්ෂණයකින් ඔබට සොයාගත හැකියි. ඒවා එක එක කියවන්න විනාඩිය බැගින් ගත කළත් ඒ සියලුම තොරතුරු කියවා නිම කිරීමටත් පෙර ඔබේ දරුවා වැඩිහිටියෙකු බවට පත් වී හමාරයි. මින් පැහැදිලි වෙන්නේ දෙමාපියන් සඳහා ඇති උපදෙස් කොතරම්ද කියායි!

අද දින අන්තර්ජාලය පමණක් නොව ළමා රෝග විශේෂඥයන් හා ළමා මනෝවිද්‍යාඥයන්ද සිටිනවා. නමුත් අතීතයේ දෙමාපියන් උපදෙස් ලබාගත්තේ කොහෙන්ද? අම්මලා තාත්තලා, නැන්දලා මාමලා, ආච්චිලා සීයලා වැනි තම පවුලේ නෑහිතවතුන් අවශ්‍ය උපදෙස් දෙන්න ඕන වෙලාවක සූදානමින් හිටියා වගේම ඒ සඳහා ඔවුන්ට අද්දැකීම්ද තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ අග හිඟකම්වලදී උදව් කරන්නත් දරුවන්ව ටිකක් බලා කියාගන්නත් ඔවුන් හරි කැමැත්තෙනුයි හිටියේ. නමුත් බොහෝ රටවල තත්වය දැන් එන්න එන්නම වෙනස්. ඈත පිටිසර ගම්වල වෙසෙන දහස් ගණන් දෙනා නගරවල ජීවත් වීමට පැමිණෙද්දී ඒ බැඳීම් ඔවුන්ට අහිමි වෙනවා. ඒ නිසා අද සිටින බොහෝ මව්වරු සහ පියවරු ඒ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ තනිවමයි.

මෑතක සිට දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන හතු පිපෙනවා වගේ වැඩි වී තිබෙන්නේ ඒ නිසයි. තවත් බොහෝදෙනා විශ්වාස කරන්නේ නවීන විද්‍යාව තුළින් තමන්ට හොඳ මඟ පෙන්වීම් සොයාගත හැකි බවයි. එක් දහස් අටසිය ගණන්වල අගභාගයේදී අමෙරිකානුවන්ගෙන් බහුතරයක් විශ්වාස කළේ මිනිස් ජීවිතයේ සෑම පැත්තක්ම දියුණු කිරීමට විද්‍යාවට හැකි බවයි. දරුවන් හදා වඩා ගැනීම ගැනත් ඔවුන් සිතුවේ එහෙමයි. වර්ෂ 1899දී ජාතික අමෙරිකානු මව්වරුන්ගේ සංගමය “තම වගකීම් හරි හැටි ඉටු කරන්න නොදන්නා දෙමාපියන්” ගැන ප්‍රසිද්ධියේ තම කනගාටුව පළ කළා. එවිට “දරුවන් හදා වඩා ගැනීමට උපදෙස් දෙන විද්වතුන්” දරුවන් පුහුණු කරන්නේ කොහොමද කියලා උපදෙස් සැපයීමට ඉදිරිපත් වුණා. එමෙන්ම තම දරුවන්ව ඇති දැඩි කිරීමේදී ගැටලු අද්දකින දෙමාපියන්ට උපකාර කිරීමටද ඔවුන් පොරොන්දු වුණා.

පොත්වලින් උපදෙස්

නමුත් එම උපදේශකයන් කොතරම් දුරට සාර්ථකද? මීට වසර කිහිපයකට පෙර සිටි දෙමාපියන්ට වඩා දැන් සිටින අය තම වගකීම් ඉටු කිරීමට හැකි තත්වයක ඉන්නවාද? ඉන් දෙමව්පියන් තෘප්තිමත්ද? මෑතකදී බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකදී එය එසේ නොවන බව හෙළි වුණා. යෞවන දරුවන් සිටින දෙමාපියන්ගෙන් සියයට 35ක් පමණ තවමත් විශ්වාසවන්ත මඟ පෙන්වීම් සොයමින් සිටින බව ඉන් පෙනී ගියා. තවත් අයට හැඟුණේ කරන්න තියෙන එකම දේ නම් තමන්ට හොඳයි කියා හිතන විදිහට ඒ වගකීම් ඉටු කළ යුතුයි කියායි.

දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් විද්වතුන් අතින් ලියවී ඇති පොත් පත්වල ඉතිහාසය ගැන ඈන් හල්බට් තමන් ලියූ පොතක සඳහන් කළා. (එම පොත Raising America: Experts, Parents, and a Century of Advice About Children) දෙදරු මවක් වන ඇය පැහැදිලි කරන්නේ ඔවුන් උපදෙස් සඳහා විද්‍යාවේ දියුණුව තුළින් සම්මත වූ තොරතුරු භාවිත කළ බවයි. විද්වතුන් බහුතරයක් පළ කළ මත හා අදහස් බොහෝදුරට පදනම් වූයේ තමන්ගේම ජීවිත අද්දැකීම් පමණයි. ඔවුන් ලියා ඇති උපදෙස් දෙස නැවත හැරී බලද්දී පෙනී යන්නේ ඒවා බොළඳ, එකිනෙකට පටහැනි මෙන්ම ඉතා අමුතු ස්වරූපයක් ගන්නා බවයි.

ඉතින් අද දින සිටින දෙමාපියන්ගේ තත්වය කුමක්ද? වෙන කවරදාකටත් වඩා ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ හරියට පඹගාලක පැටලුණ ගානටයි. අද දින තිබෙන නානාප්‍රකාර උපදෙස්, යෝජනා සහ මත භේද ඊට හේතුවයි. නමුත් හැම දෙමාපියෙක්ම එසේ අසරණ වී නැහැ. ඊට හේතුව, ලොව පුරා සිටින බොහෝ දෙමාපියන් ඉතාමත් විශ්වාසයෙන් යුතුව උපදෙස් ලබාගන්නා ඉපැරණි මඟක් තිබෙනවා. එය කුමක්ද කියා අපි ඊළඟ ලිපියෙන් බලමු.