Skip to content

පටුනට යන්න

දිලිඳුකම නැති ලෝකයක් ළඟදීම!

දිලිඳුකම නැති ලෝකයක් ළඟදීම!

දිලිඳුකම නැති ලෝකයක් ළඟදීම!

මේ සඟරාවේ කවරයේ පින්තූරය දෙස බලන්න. ඒක පාරාදීසයක්. මේ වගේ පින්තූරු දිලිඳුකමින් පෙළෙන අයගේ සිත් ඇදගන්නවාට කිසිදු සැකයක් නැහැ. පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒව ජීවත් වුණේ පාරාදීසයකයි. ඔවුන් සිටියේ ඒදන් උයනෙයි. (උත්පත්ති 2:7-23) මිනිස් වර්ගයාට ඒ පාරාදීසය අහිමි වුණත් දිලිඳුකමින් තොර නව ලෝකයක, එනම් අනාගත පාරාදීසයක ජීවත් වීමේ බලාපොරොත්තුව සිහිනයක් නෙවෙයි. එය බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙන පොරොන්දුවක්.

යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ ජීවත් වූ අන්තිම දවස්වලදී යම් පොරොන්දුවක් දුන්නා. යේසුස් සමඟ මිය ගිය එක්තරා අපරාධකරුවෙක්, ඒ පොරොන්දුව ගැනත් මිනිසාගේ ගැටලු විසඳීමට දෙවිට තිබෙන හැකියාව ගැනත් විශ්වාසය තැබුවා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න” කියා ඔහු යේසුස්ට කීවා. මේ වචනවලින් පෙනී යන්නේ යේසුස් රජෙකු ලෙස කටයුතු කරනු ඇති බවත් මළවුන්ව නැවත නැඟිටුවනු ඇති බවත් මේ අපරාධකරු විශ්වාස කළ බවයි. “සැබවින්ම මම අද ඔබට කියමි. ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය” කියා යේසුස් පිළිතුරු දුන්නා.—ලූක් 23:42, 43.

පාරාදීසයේ ජීවත් වන්නට යන අය ගැන බයිබලය මෙසේ පවසනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; මිදි වතු වවා එහි පල කන්නෝය.” (යෙසායා 65:21) ඔව්, “ඔවුහු එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය; කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය; මක්නිසාද සේනාවන්ගේ යෙහෝවාගේ මුඛයෙන් ඒක කියන ලද්දේය.”—මීකා 4:4.

ඒ වුණත්, තවමත් පොළොවේ දිලිඳුකම තිබෙන්නේ ඇයි? දිලිඳුකමින් පෙළෙන අයට දෙවි දැන් දෙන උපකාර මොනවාද? දිලිඳුකම සදහටම නිමා වෙන්නේ කවදාද?

තවමත් දිලිඳුකම තිබෙන්නේ ඇයි?

සාතන් නමැති දුෂ්ට දූතයා දෙවිට විරුද්ධව ආරම්භයේදී ගැසූ කැරැල්ලට ආදම් සහ ඒව හවුල් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන්ට ඒ පාරාදීසය අහිමි වුණේ. සාතන් මෙහිදී සර්පයෙකුව යොදාගෙන ඒවව මුළා කළා. එක්තරා ගසකින් ගෙඩි කෑම ගැන දෙවි දී තිබූ නීතිය කඩ කිරීමට ඇයව පෙලඹුවා. දෙවිගෙන් නිදහස් වුණොත් තමාට වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්නට හැකි වේය යන වැරදි අදහස විශ්වාස කරන්නයි සාතන් ඒවව පෙලඹුවේ. දෙවි එපා කියූ දේ කරමින් ඒව එම ගෙඩිය කෑමට ආදම්ටත් දුන්නා. ඒ නිසා දෙවිට වඩා තම භාර්යාවගේ සිත සතුටු කිරීමට ගිය ආදම්ටද දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැති වුණා.—උත්පත්ති 3:1-6; 1 තිමෝති 2:14.

ඒ කැරලිකාර යුවළව පාරාදීසයෙන් පිටමං කිරීම සාධාරණයි. ඔවුන්ට ජීවත් වීම පිණිස ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුණා. අද දක්වා යෙහෝවා දෙවි සාතන්ට ඉඩ දී තිබෙනවා පව්කාර මිනිස් සංහතියව පාලනය කරන්න. ඒ නිසා දෙවිට අකීකරු වීමේ ඵල විපාක දැන් කාටත් හොඳ හැටි පේනවා. මිනිස් ඉතිහාසය දෙස බලද්දී පෙනෙන්නේ කුමක්ද? පොළොව පාරාදීසයක් කිරීමට මිනිසාට කොහෙත්ම නොහැකි වී තිබෙන බවයි. (යෙරෙමියා 10:23) ඔව්, දෙවිගෙන් ඈත්ව ක්‍රියා කිරීමට යෑම නිසා ඉතාමත් දරුණු විපත්වලට මනුෂ්‍යයා මුහුණ දී තිබෙනවා. දිලිඳුකම ඒ අතරින් එක් ගැටලුවක්.—දේශනාකාරයා 8:9.

එහෙත් ගැටලුවලින් පිරි මේ ලෝකයේ දිලිඳුකමින් පෙළෙන අයට යම් උපකාර තිබෙනවා. ඔවුන්ට ඒ උපකාර ලැබෙන්නේ දේවවචනය වන බයිබලයේ දී තිබෙන සමබර මඟ පෙන්වීම් තුළිනුයි. අපි එම මඟ පෙන්වීම් සලකා බලමු.

“කිසිවිටක කනස්සලු නොවන්න”

යේසුස් එක්තරා විශාල පිරිසකට කතා කරද්දී ඒ අතර දිලිඳු අයත් සිටියා. ඔහු ඔවුන් අමතා කීවේ මෙහෙමයි. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද? . . . එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.”—මතෙව් 6:26-33.

දිලිඳු කෙනෙකු වුණත් දෙවිට තම ජීවිතයේ මුල් තැන දුන්නොත්, ඔහුගේ අවශ්‍යතා සැපිරෙන බව මින් පැහැදිලි වෙනවා. ඔහුට සොරකම් කිරීමට අවශ්‍ය නැහැ. (හිතෝපදේශ 6:30, 31) දකුණු අප්‍රිකාවේ ලෙසතෝ නුවර වෙසෙන ටුකීසෝ නමැත්තාගේ තත්වය සලකා බලන්න. වර්ෂ 1998දී විදේශීය හමුදා ලෙසතෝ නගරයට ඇතුල් වුණා. ඔවුන් එහි පැමිණියේ ඒ රටේ ආණ්ඩුවට එරෙහිව දියත් වෙමින් තිබූ කැරැල්ලක් මැඩපැවැත්වීමටයි. ඒ නිසා දෙපිරිස අතර යුද්ධයක් හටගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සාප්පුවලින් මිනිස්සු බඩු කොල්ල කෑවා. සමහරුන්ට තමන්ගේ රැකියා අහිමි වුණා. ඒ නිසා ඉතා දරුණු විදිහට ආහාර හිඟයක් ඇති වුණා.

ටුකීසෝ ජීවත් වුණේ අගනුවර පිහිටි ඉතාම දිලිඳුම ප්‍රදේශයේ. ඔහුගේ අසල්වාසීන් බොහෝදෙනෙක් ජීවත් වීම සඳහා සාප්පු කොල්ල කෑවා. ඔහු එක් දිනක් තමා ජීවත් වූ තනි කාමරයකින් යුත් නවාතැනට එන විට, ඔහු සමඟ එකට ජීවත් වෙමින් සිටි මාසේසෝ නමැති කාන්තාව සාප්පුවකින් සොරකම් කළ බඩු බොහොමයක් ගෙනැවිත් තිබෙනවා ඔහු දැක්කා. “මේවා මෙහෙන් අරන් යන්න” යයි ටුකීසෝ කීවේ සොරකම් කිරීම දේවනීතියට පටහැනි බව ඇයට පැහැදිලි කරමිනුයි. මාසේසෝ ඊට කීකරු වුණා. මෙය දුටු අසල්වාසීන් ඊට සරදම් කරමින් ඇය සොරකම් කළ ඒ බඩු අරගත්තා.

ටුකීසෝ මේ වගේ දෙයක් කළේ ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයෙන් ඉගෙනගත් දේ නිසයි. ඔහු දෙවිගේ නීතියට කීකරු වූ නිසා ඔහුට හාමතේ ඉන්න සිදු වුණාද? නැහැ. ඊට ටික කලකට පසුව ඔහු ඇසුරු කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ වැඩිමහල්ලන් ටුකීසෝ සිටින තැන සොයාගෙන ඔහුට ආහාර රැගෙන ආවා. දකුණු අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශවල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල්ද ලෙසතෝ නුවර සිටින තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට සහනාධාර ටොන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එවා තිබුණු බව මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ටුකීසෝ දෙවිට දැක්වූ ප්‍රේමයත් සභාව පෙන්වූ ප්‍රේමණීය සැලකිල්ලත් මාසේසෝගේ සිතට තදින් කාවැදුණා. ඇයද බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. අන්තිමේදී මේ දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වූ පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වීමට සුදුසුකම් ලැබුවා. මේ දෙදෙනා තවමත් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.

යෙහෝවා දෙවි දිලිඳු අය කෙරෙහි දක්වන්නේ ඉතා මහත් සැලකිල්ලක්. (“දෙවි දිලිඳු අයව සලකන්නේ කෙසේද?” යන මාතෘකාවෙන් යුත් කොටුව බලන්න.) ටුකීසෝ හා මාසේසෝට පමණක් නෙවෙයි තවත් බොහෝදෙනෙකුට තමා ගැන ඉගෙනගන්න දෙවි ඉතා ප්‍රේමණීය ලෙස උපකාර කර තිබෙනවා. ඒ වගේම දෙවි බයිබලය තුළින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය අවවාදද ඉදිරිපත් කර තිබෙනවා.

දෙවිගෙන් ලැබෙන තවත් උපකාරයක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිතරම උත්සාහ කරන්නේ දෙවි දිලිඳු අය කෙරෙහි දක්වන සැලකිල්ලම දැක්වීමටයි. (ගලාති 2:10) බොහෝ අවස්ථාවලදී යම් රටක විපත්තියක් සිද්ධ වෙන විට හා සැබෑ ක්‍රිස්තියානීන් ඒ මගින් පීඩාවට පත් වන විට, අවශ්‍ය උපකාර දීම සඳහා කටයුතු පිළියෙල කෙරෙනවා. ඊටත් වඩා වැදගත් දේ නම්, දිලිඳු අය ඇතුළු සියලුදෙනාටම දෙවි ගැන දැනගැනීමට සාක්ෂිකරුවන් උපකාර කිරීමයි. (මතෙව් 9:36-38) පසුගිය අවුරුදු 60 පුරා, හොඳ පුහුණුවක් ලබා ඇති දේවසේවකයන් දහස් ගණනක් විවිධ රටවලට ගොස් දෙවි ගැන අන් අයට කියා දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා. නිදසුනක් හැටියට, ටුකීසෝ සහ මාසේසෝට යේසුස්ගේ ගෝලයන් වීමට බයිබලයෙන් උපකාර කළේ ෆින්ලන්තයේ සිට ආ යුවළක්. ඒ සඳහා සෙසොතෝ භාෂාව ඉගෙනගන්නට මේ යුවළට සිදු වුණා. (මතෙව් 28:19, 20) සුවපහසු ජීවිතයක් අත්හැර දමා දිලිඳු රටකට ගොස් එවන් සේවයක් කිරීම සඳහා කෙනෙකුට බොහෝවිට ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කිරීමට සිදු වෙනවා.

සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වීම සඳහා සොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට, තමන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට යෙහෝවා දෙවිට තිබෙන හැකියාව කෙරෙහි ඔවුන් තුළ තිබෙන්නේ දැඩි විශ්වාසයක්. (හෙබ්‍රෙව් 13:5, 6) යෙහෝවා දෙවි සිය සෙනඟගේ මූලික අවශ්‍යතා සපුරාලන එක් ක්‍රමයක් නම්, ලොව පුරා සිටින තමන්ට නමස්කාර කරන අය මාර්ගයෙනුයි. මන්ද ඔවුන් එකිනෙකාට සැබවින්ම ප්‍රේම කරන සෙනඟක්.

දිලිඳු අයට එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය උපදෙස් හා අවවාදද යෙහෝවා දෙවි ලබා දෙනවා. නිදසුනක් වශයෙන් බයිබලයේ මෙහෙම මඟ පෙන්වනවා. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න.” (එෆීස 4:28) රැකියාවක් නැති අය ගෙවතු වගාව වැනි කටයුතුවල නිරත වීමෙන් තමන්ගේ රැකියා ප්‍රශ්නය විසඳෙන තිබෙනවා. ඒ ආකාරයෙන් වෙහෙස මහන්සි වී කළ හැකි නොයෙක් ස්වයං රැකියාවල නියැලෙන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ වගේම බීමත්කම වැනි නරක පුරුදුවලින් මිදෙන්නත්, ඒ මගින් මුදල් නාස්තිය වළක්වාගන්නත් දිලිඳු අයට හැකියාව ලැබෙනවා. මේ සියල්ලටම හේතු වෙන්නේ බයිබලයෙන් ලබා තිබෙන දැනුමයි.—එෆීස 5:18.

දිලිඳුකමින් තොර ලෝකයක් කවදා හෝ ඇති වෙයිද?

බයිබලයේ පැහැදිලිව පෙන්වන්නේ සාතන්ගේ පාලනයේ “අන්තිම දවස්වල” අප ජීවත් වෙමින් සිටින බවයි. (2 තිමෝති 3:1) ඉතාම ඉක්මනින් යෙහෝවා දෙවි මිනිස් වර්ගයාව විනිශ්චය කිරීමට යේසුස් ක්‍රිස්තුස්ව යොදාගනීවි. ඒ කාලයේදී කුමක් සිදු වේවිද? මීට පිළිතුරක් යේසුස්ම දුන්නා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන කල, ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නේය. සියලු ජාතීන් ඔහු ඉදිරියෙහි රැස් කරනු ලැබේ. එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔහුද මිනිසුන්ව වෙන් කරන්නේය. ඔහු බැටළුවන්ව තමන්ගේ දකුණු පැත්තටද එළුවන්ව තමන්ගේ වම් පැත්තටද දමන්නේය.”—මතෙව් 25:31-33.

මෙම උපමාවේ බැටළුවන්ට යේසුස් සමාන කළේ ඔහුගේ පාලනයට යටත් වන අයවයි. එසේ සමාන කළේ ඔවුන් යේසුස් වන තමන්ගේ එඬේරා පසුපස යන නිසයි. (යොහන් 10:16) යේසුස් පාලනය කරන කාලයේදී බැටළු ගුණැති මේ අයට සදාකාල ජීවනය ලැබෙනවා ඇති. එය දිලිඳුකමින් තොර පාරාදීස පොළොවක සතුටින් පිරි ජීවිතයක් වෙනවා ඇති. යේසුස්ගේ පාලනය ප්‍රතික්ෂේප කරන එළුවන්ට සමාන උද්දච්ච අහංකාර මිනිසුන්ව සදහටම විනාශ කර දමනවා.—මතෙව් 25:46.

දුෂ්ටකමට නිමාවක් ගෙනෙන්නේ දෙවිගේ රාජ්‍යයෙන් විතරයි. ඒ කාලයේදී දිලිඳුකම තවත් දක්නට ලැබෙන්නේ නැහැ. එදාට මුළු පොළොවේම වාසය කරන්නේ එකිනෙකාට ප්‍රේම කරන, එකිනෙකා කෙරෙහි සැලකිල්ලක් දක්වන අයයි. ඒ වගේ නව ලෝකයක් ඇති වෙන බව දැනටමත් පැහැදිලිව දැකගන්න පුළුවනි. ඒ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන ප්‍රේමණීය සහෝදරත්වය තුළින්. මන්ද යේසුස් පැවසුවේ මෙහෙමයි. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35.

[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවි දිලිඳු අයව සලකන්නේ කෙසේද?

මිනිස් වර්ගයාගේ මැවුම්කරුවාණන්ව, ‘බඩගිනි වූවන්ට කෑම දෙන’ තැනැත්තා හැටියට විස්තර කර තිබෙනවා. (ගීතාවලිය 146:7) දිලිඳු අය සඳහා දෙවි දක්වන සැලකිල්ල දැකගත හැකි පාඨ සිය ගණනක් බයිබලයේ අඩංගු වෙනවා.

උදාහරණයක් ගනිමු. යෙහෝවා ඉපැරණි ඊශ්‍රායෙල් ජාතියට සිය නීතිය දුන් අවස්ථාවේදී, ඔහු ඊශ්‍රායෙල් ගොවීන්ට අණ කළා, තමන්ගේ කෙත්වල නියර අසල ඇති අස්වැන්න සම්පූර්ණයෙන්ම නෙළාගන්න එපා කියා. ඔලීව ගසකින් හෝ මිදි ගසකින් පළමු අස්වැන්න නෙළූ පසු නැවත ගොස් දෙවන වර ඉතිරි අස්වැන්න නෙළීම ඔවුන්ට තහනම් කර තිබුණා. මන්ද විදේශීන්ට, අනාථ දරුවන්ට හා වැන්දඹුවන්ට ඒ ඉතිරි අස්වැන්න නෙළාගැනීමට ඉඩ තැබිය යුතු වුණා. මේ අනුව ඔවුන් කෙරෙහි දෙවි දැක්වූයේ මහත් සැලකිල්ලක්.—ලෙවී කතාව 19:9, 10; ද්විතීය කතාව 24:19-21.

දෙවි ඊශ්‍රායෙල් ජාතියට මේ වගේ තවත් අණක් දී තිබුණා. “කනවැන්දුමියකටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. ඔබ යම් ආකාරයකින් ඔවුන්ට හිංසා කළොත් ඔවුන් මට හඬගැසුවොත් මම සැබවින් ඔවුන්ගේ හඬ අසන්නෙමි. මාගේ උදහසද ඇවිළෙන්නේය; මමද කඩුවෙන් ඔබ මරන්නෙමි; ඔබගේ භාර්යාවෝ කනවැන්දුමියෝද ඔබගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය.” (නික්මයාම 22:22-24) නමුත් ධනවත් ඊශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක් මේ වචන නොසලකාහැරීම කනගාටුවට කරුණක්. මේ වගේ වැරදි ක්‍රියා සහ වෙනත් වැරදි ක්‍රියා ඔවුන් කළ නිසා, යෙහෝවා දෙවි සිය අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඊශ්‍රායෙලිතයන්ට විටින් විට අනතුරු ඇඟෙව්වා. (යෙසායා 10:1, 2; යෙරෙමියා 5:28; ආමොස් 4:1-3) අන්තිමේදී දෙවි ඇසිරියානුවන් මගින් හා පසුව බැබිලෝනිවරුන් මගින් ඊශ්‍රායෙල් දේශය පරාජය වීමට ඉඩහැරියා. මෙහිදී ඊශ්‍රායෙල් වැසියන් බොහෝදෙනෙක් මිය ගියා. ඉතිරි වූ අයව වහලුන් හැටියට වෙනත් රටවලට ගෙන ගියා.

දෙවිගේ ප්‍රිය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ද දිලිඳු අය කෙරෙහි දැක්වූයේ තම පියා දැක්වූ ප්‍රේමණීය සැලකිල්ලමයි. තමා කළ සේවයේ අරමුණ ගැන පැහැදිලි කරමින් යේසුස් පැවසුවේ මෙහෙමයි. “යෙහෝවාගේ ආත්මය මා කෙරෙහි ඇත. මන්ද ඔහු මා අභිෂේක කර තිබෙන්නේ දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසය.” (ලූක් 4:18) මින් අදහස් කරන්නේ යේසුස් සේවය කළේ දිලිඳු අයට පමණක් බව නෙවෙයි. ධනවත් අයටත් ඔහු ඉතාමත් ප්‍රේමණීය ලෙස උපකාර කළා. එහෙත්, එසේ කරද්දී යේසුස් දිලිඳු අය කෙරෙහි දැඩි සැලකිල්ලක් නිතරම පෙන්නුවා. උදාහරණයකට, ඔහු එක්තරා ධනවත් පාලකයෙකුට දුන්නේ මෙවන් අවවාදයක්. “තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට බෙදා දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.”—ලූක් 14:1, 12-14; 18:18, 22; 19:1-10.

මේ අනුව යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා දිලිඳු අය කෙරෙහි ඉතා ගැඹුරු සැලකිල්ලක් දක්වන බව අපට පැහැදිලියි. (මාක් 12:41-44; යාකොබ් 2:1-6) දිලිඳු අය කෙරෙහි ඇති සැලකිල්ල මොන තරම්ද කියනවා නම්, දැනට මිය ගොස් සිටින මිලියන ගණනක් දිලිඳු ජනයාව ඔහු තම මතකයේ තබාගෙන සිටිනවා. ඒ අයව දිලිඳුකමෙන් තොර පාරාදීස පොළොවකට නැවත නැඟිටුවනවා ඇති.—ක්‍රියා 24:15.

[පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වයෙන් පෙන්වන්නේ සාමයෙන් පිරි නව සමාජයක් බලාපොරොත්තු විය හැකි බවයි

[5වන පිටුවේ පින්තූරය]

ටුකීසෝ සහ මාසේසෝ, ටුකීසෝ සමඟ බයිබලය අධ්‍යයනය කළ සහෝදරයා සමඟ

[5වන පිටුවේ පින්තූරය]

මාසේසෝ ඇය හා බයිබලය අධ්‍යයනය කළ සහෝදරිය සමඟ ඇගේ නිවස දොරකඩදී