Skip to content

පටුනට යන්න

මාරි වැලිකතරේ ඉපැරණි රැජින

මාරි වැලිකතරේ ඉපැරණි රැජින

මාරි වැලිකතරේ ඉපැරණි රැජින

“මම මගේ මිත්‍රයත් එක්ක සවුදිය පුරමින් අප සොයාගත් දේ ගැන කතා බහ කළායින් පසුව එදා රෑ මගේ නිදන කාමරයට මා ආවේ හරිම සතුටකින්.” මෙසේ කීවේ ප්‍රංශ ජාතික පුරා විද්‍යාඥයෙකු වන ඔන්ද්‍රේ පරෝ. වර්ෂ 1934 ජනවාරි මාසයේදී සිරියාවේ යුප්‍රටීස් නදිය අසබඩ පිහිටි අබූ කෙමාල් නම් කුඩා නගරය අසල ටෙල් හරීරි නම් ප්‍රදේශයේ පරෝ සහ ඔහුගේ කණ්ඩායම කැණීම් කටයුතු කරගෙන යද්දී එක්තරා ප්‍රතිමාවක් සොයාගත්තා. “එන්ලිල් නම් දෙවියාගේ ප්‍රධාන පූජකයා වූ මාරි රාජ්‍යයේ රජ වූ ලම්ගි මාරි” යන්න එහි කොටා තිබුණා. මෙය සොයාගත් ඔවුන්ට දැනුණේ අසීමිත සතුටක්.

කලක් සොයමින් සිටි මාරි නම් වූ නගරය අවසානයේදී සොයාගැනුණා. මේ නගරය සොයාගැනීම බයිබල් ශිෂ්‍යයන්ගේ උනන්දුවට හේතු වන්නේ ඇයි?

මේ ගැන උනන්දුවක් ඇයි?

මාරි නම් නගරයක් පැවති බවට ඉපැරණි පොත්වල සඳහන් වුණත් එය පිහිටා තිබූ ස්ථානය කිසිවෙකු දැනගෙන සිටියේ නැහැ. සුමේරිය ලේඛකයන් කියන අන්දමට මාරි යනු මුළු මෙසපොතේමියානු ප්‍රදේශයම වරක් සිය පාලනයට නතු කරගෙන සිටියා විය හැකි රාජ වංශයක් ජීවත් වූ නගරයක්. මෙම නගරය පිහිටා තිබුණේ යුප්‍රටීස් නදියේ ඉවුර අසබඩයි. ඒ නිසා මාරි නගරය හරහා සිරියාව, මෙසපොතේමියාව, ඇනටෝලියාව සහ මධ්‍යධරණී වෙරළ තීරය හා පර්සියානු බොක්ක යා කරන පාරවල් වැටී තිබුණා. දර, ලෝහ සහ ගල් වැනි මෙසපොතේමියාවේ ඉතා විරල දේවල් ඇතුළු වෙනත් භාණ්ඩ ප්‍රවාහණය කරනු ලැබුවේ මෙම නගරය හරහායි. මෙම භාණ්ඩවලට පැනවූ බදුවලින් මාරි නගරය උපයාගත්තේ මහත් ධනස්කන්ධයක්. ඒ නිසා මුළු ප්‍රදේශය පුරා අණසක පතුරුවන්නට මෙම නගරයට හැකි වුණා. එහෙත්, අක්කාඩ්හි සර්ගොන් රජ විසින් සිරියාව පරාජය කරනු ලැබූ අවස්ථාවේදී මෙම නගරයේ බලපරාක්‍රමය බිඳ වැටුණා.

සර්ගොන්ගේ ජයග්‍රහණයෙන් වසර 300කට පමණ පසුව, මාරි නගරය පාලනය කරනු ලැබුවේ හමුදා පාලකයන් කිහිපදෙනෙකු විසින්. ඔවුන්ගේ පාලනය යටතේ මේ නගරයේ වැසියන් යම් තරමක සමෘද්ධිමත් ජීවිත භුක්ති වින්දා. නමුත් අන්ති මට පාලනය කළ සිම්රි ලිම් නමැති පාලකයාගේ කාලයේදී මාරි නගරය පිරිහෙමින් තිබුණා. සිම්රි ලිම් යුද්ධ කිරීමෙන්, ඇතැම් රටවල් සමඟ ගිවිසුම් ඇති කරගැනීමෙන් හා බලවත් රාජ්‍යවල් සමඟ විවාහය තුළින් සම්බන්ධතා ඇති කරගැනීමෙන් තමාගේ අධිරාජ්‍යයේ බලය තහවුරු කරගන්නට මහත් ප්‍රයත්නයක් ගත්තා. නමුත් ක්‍රි.පූ. 1760දී බැබිලෝනියේ හම්මුරාබි රජ මාරි නගරය අල්ලාගෙන එය විනාශ කළා. මේ නිසා “ඉපැරණි ලෝකයේ පහනක් මෙන් බැබළුණු ඉතා දියුණු ශිෂ්ටාචාරයක්” ලෙස පරෝ විසින් හඳුන්වනු ලැබූ ඒ මාරි නගරය ඉතිහාසයේ වැළලී ගියා.

හම්මුරාබි රජුගේ හමුදා, මාරි නගරය විනාශ කරන අවස්ථාවේදී ඔවුන් නොදැනුවත්වම වාගේ නවීන දින පුරාවිද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට කර තිබෙන්නේ මහත් සේවාවක්. ඒ කෙසේද? ගඩොල්වලින් සාදා තිබූ ඒ නුවරේ තාප්ප බිඳදැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ගොඩනැඟිලි මීටර් පහක් පමණ ඝනකමට සුන්බුන්වලින් වසා දමනු ලැබුවා. මේ නිසා බොහෝ කාලයක් ගත වුණත් එම ගොඩනැඟිලිවල නටබුන්වලට හානියක් වුණේ නැහැ. එමනිසා කැණීම් කටයුතුවලදී දේවාල හා මාලිගාවල නටබුන්ද පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඉපැරණි ශිෂ්ටාචාරයක් ගැන කියාපාන බඩු භාණ්ඩ රාශියක් සහ ලිපි ලේඛන දහස් ගණනක්ද ඔවුන්ට හමු වී තිබෙනවා.

මාරි නගරයේ නටබුන් ගැන අප උනන්දු විය යුත්තේ ඇයි? ආබ්‍රහම් පොළොවේ ජීවත් වූ අවධිය ගැන කල්පනා කර බලන්න. ඔහු ඉපදුණේ ක්‍රි.පූ. 2018දී. ඒ, ජලගැල්මෙන් අවුරුදු 352කට පසුවයි. ඔහුගේ පරම්පරාව නෝවාගේ සිට දසවෙනි පරම්පරාවයි. දෙවිගේ අණ පරිදි, ආබ්‍රහම් තම උපන් නගරය වූ ඌර්හි සිට හාරාන් බලා ගියා. ක්‍රිස්තු පූර්ව 1943දී ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වන විට, ඔහු හාරාන්හි සිට කානාන් දේශය බලා පිටත් වුණා. “ඌර් දේශයේ විසූ ආබ්‍රහම් [කානාන් දේශයේ] යෙරුසලම බලා ගමන් කළේ මාරි නගරය රාජ්‍යයක්ව පැවති කාලයේදීයි” කියා ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ පාඕලෝ මාතීයි පවසනවා. ඒ නිසා මාරි නුවර තිබූ නටබුන් සොයාගැනීම අපට වැදගත්. මන්දයත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ ආබ්‍රහම් ජීවත් වූ සමාජය ගැන අපට යම් අවබෝධයක් ලබාගැනීමට හැකි වෙන නිසා. *උත්පත්ති 11:10–12:4.

නටබුන්වලින් හෙළි වන දෙය

මෙසපොතේමියාවේ මෙන්ම මාරි නුවරද ආගමික වන්දනා ක්‍රම හාත්පස පැතිරී තිබුණා. දෙවියන්ට සේවය කිරීම මිනිසුන්ගේ යුතුකම හැටියටයි සැලකුණේ. යම් වැදගත් තීරණ ගැනීමට පෙර මෙම දෙවිවරුන්ගේ කැමැත්ත කුමක්ද කියා නිතරම සොයා බැලුණා. දේවාල හයක නටබුන් පුරාවිද්‍යඥයන් සොයාගෙන තිබෙනවා. සිංහයන්ගේ දේවාලය (ඇතැම් විට බයිබලයේ සඳහන් දාගොන්ගේ දේවාලයක්), සශ්‍රීකත්වයේ දේවතාවිය වන ඉෂ්තාර්ගේ සහ ෂාමාෂ් නම් ඉරු දෙවියාගේ මණ්ඩප මේවා අතර වෙනවා. මෙම දේවාල දේවතාවුන්ගේ පිළිමවලින් පිරී තිබුණා. වන්දනාකරුවන් ඒවා ඉදිරියේ යාතිකා අයැදීම් කළා. වන්දනාකරුවන් තමන්ගේම රූප සාදා ඒවා දේවතා රූප ඉදිරියේ තැබුවා. එසේ කිරීමෙන් ඔවුන් විශ්වාස කළේ තමන් එතැන නොසිටියත් සිනහමුසු මුහුණින් තැනූ එම රූපය තමා වෙනුවෙන් දේවතාවුන්ට යාතිකා කරන බවයි. පරෝ මේ ගැන පැවසුවේ මෙසේයි. “කතෝලිකයන් යාතිකා ඉදිරිපත් කර පත්තු කරන ඉටිපන්දවලට සමාන කාර්යයක් එම රූපවලින් ඉටු වුණා. නමුත් එම රූපවලින් ඊටත් වඩා වැදගත් දෙයක් සිදු වන බවට විශ්වාස කෙරුණා. එනම් එම රූප බැතිමතා වෙනුවෙන් පෙනී සිටි බවයි.”

ටෙල් හරීරි නමැති ප්‍රදේශයේ කරන ලද සොයාගැනීම් අතර තිබූ වඩාත් අපූරුතම සොයාගැනීම වූයේ සුවිසල් මාලිගා සංකීර්ණයේ නටබුන්. එය නම් කර තිබුණේ එහි අන්තිම වතාවට වාසය කළ සිම්රි ලිම් නම් රජුගේ නමිනුයි. ප්‍රංශ ජාතික පුරාවිදඥ්‍යයෙකු වන ලුවීඌවේෂ් වැන්සොන් එම මාලිගා සංකීර්ණය විස්තර කළේ “පෙරදිග ගෘහ නිර්මාණ ශිල්පයේ මැණික” ලෙසටයි. අක්කර හයක ප්‍රමාණයක ගොඩනඟා තිබූ මෙම සුවිසල් මාලිගයට කාමර හා මිදුල් 300 ගණනක් තිබුණා. එහි පෞරාණික වටිනාකම අතින් බැලුවත් මෙම මාලිගය ලෝකයේ පුදුමවලින් එකක් හැටියටද සැලකුණා. ජෝර්ජ් රූ නමැත්තා පුරාණ ඉරාකය නම් තම පොතෙහි මෙහෙම සඳහන් කරනවා. “මෙම මාලිගාවේ තේජස ගැන කොතරම් ප්‍රසිද්ධව තිබුණාද කියනවා නම්, සිරියානු මුහුදුබඩ තීරයේ විසූ උගරිට්හි රජ, තමාගේ පුත්‍රයාව කිලෝමීටර් 600ක් දුර යැවීමේ එකම අරමුණ වූයේ සිම්රි ලිම්ගේ ගෘහය නැරඹීමටයි.”

මෙය නැරඹීමට ආ අමුත්තන්ට සිදු වුණා විශාල මාලිගා මණ්ඩපයට ඇතුල් වීමට පෙර, දෙපස විශාල කුලුනුවලින් යුත් පිවිසුම් මඟකින් ඇතුල් වෙන්න. සිම්රි ලිම් රජගේ සිංහාසනය පිහිටා තිබුණේ උස් වේදිකාවක් මතයි. එම වේදිකාවේ සිටයි ඔහු යුදමය කටයුතු, වෙළඳ කටයුතු සහ වෙනත් රටවල් සමඟ යම් යම් සබඳතා පිළිබඳ කාරණාවලට තීන්දු දුන්නේ. ඒ වගේම ඔහු වැදගත් තීන්දු දුන්නෙත් අමුත්තන්ව සහ තානාපතීන්ව පිළිගැනීම කළේත් මෙහි සිටයි. මෙම මාලිගයේ අමුත්තන්ට නවාතැන් ගැනීමට සියලු පහසුකම් තිබුණා. ඒ විතරක් නොවෙයි, ඉතා ඉහළ පෙළේ භෝජන සංග්‍රහවලින් ඔවුන්ට සත්කාර කරනු ලැබුවා. හරක් මස්, එළු මස්, මුව මස්, මාළු සහ කුකුල් මස් ව්‍යාංජන ඉතා ප්‍රණීත අන්දමට පිළියෙල කර ඔවුන්ට පිළිගැන්වූයේ රසවත් කුළුබඩු මිශ්‍ර කර සාදා තිබූ සුදුළූණු ව්‍යාංජන, එළවළු හා චීස්ද සමඟයි. අතුරුපසට පිළිගැන්වූයේ කේක් සහ නැවුම් හෝ වේළන ලද, සීනි සමඟ මිශ්‍ර කළ පළතුරුයි. ඔවුන්ගේ පිපාසය සන්සිඳුවීම සඳහා බීර හෝ වයින්ද පිළිගැන්නුවා.

මෙම මාලිගය හොඳ සෞඛ්‍යයට හේතු වන සියලු පහසුකම්වලින් සමන්විත වූවක්. මැටියෙන් තැනූ නාන තටාක සහ ආසන රහිත වැසිකිළිවලින් යුත් නාන කාමර නටබුන් අතර සොයාගෙන තිබෙනවා. මෙම නාන කාමරවල බිත්තිවල පහත කොටස් හා පොළොව බිටුමන් (තාර) ආවරණයකින් ආරක්ෂා කර තිබුණා. ජලය ගලා යෑම පිණිස ගඩොල්වලින් කාණු සාදා තිබූ අතර, ජලය කාන්දු නොවන සේ බිටුමන් තවරන ලද මැටි පයිප්ප වසර 3,500කට පසුවත් තවමත් ඒ තත්වයෙන්ම තිබීම පුදුමසහගතයි. රජුගේ අන්තඃපුරයේ ස්ත්‍රීන් තිදෙනෙකුට මාරාන්තික බෝ වෙන රෝගයක් වැලඳුණු විට ඉතා තදින් පිළිපැදිය යුතු නීති තිබුණා. අසනීප වූ එවන් තැනැත්තියක්ව වෙන් කර තැබුවා. “කිසිම කෙනෙක් ඇගේ කුසලානයෙන් පානය කිරීම, ඇය සමඟ මේසයක වාඩිවීම සහ ඇගේ ආසනයේ වාඩිවීම තහනම් කර තිබුණා.”

සොයාගත් ලේඛනවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

පරෝ සහ ඔහුගේ කණ්ඩායමට, අක්කාඩියන් බසින් උල් හැඩැති අකුරින් ලියන ලද පුවරු 20,000ක් පමණ සම්බ වුණා. මෙම පුවරුවල ලිපි සහ පරිපාලනයට, වෙළඳ ගනු දෙනුවලට සම්බන්ධ ලේඛන කොටා තිබුණා. මෙම ලේඛනවලින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඒවායින් තුනෙන් එකක් පමණයි. කෙසේවෙතත්, ඒවාට වෙළුම් 28ක් අන්තර්ගතයි. ඒවා කොතරම් වටිනවාද? මාරි නගරයේ පුරාවිද්‍යාත්මක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ෂොන් ක්ලෝද් මැගරෝන් මෙසේ කියනවා. “මාරි නගරයේ මෙම ඉපැරණි නටබුන් සොයාගැනීමට පෙරාතුව, ක්‍රි.පූ. 2000ට පෙර මෙසපොතේමියාවේ සහ සිරියාවේ විසූ ජනයාගේ ඉතිහාසය ගැනවත් ඔවුන්ගේ සමාජ ක්‍රමය හා එදිනෙදා ජීවිතය ගැනවත් අප කිසිවක් දැනගෙන සිටියේ නැහැ. නමුත් එම ලේඛනවලට ස්තුතිවන්ත වන්නට, ඒ ඉතිහාසය ගැන පිටු ගණන් ලියන්නට අපට අද හැකියාව තිබෙනවා.” පරෝ සඳහන් කළාක් මෙන්, “පුරාණ ගිවිසුමේ ආදි පීතෘවරුන් විසූ කාල පරිච්ඡේදය ගැන සඳහන් වන දේ සහ එදා විසූ ජනයා ගැන මෙම ලේඛනවලින් කියැවෙන දේ ගැන පුදුමාකාර සමානකමක් දක්නට තිබෙනවා.”

මාරි නගරයේ හමු වූ යම් පුවරු ආධාරයෙන්, බයිබලයේ සඳහන් යම් යම් සිද්ධීන් තේරුම්ගන්නට හැකියි. නිදසුනක් හැටියට එම පුවරුවල සඳහන් දෙයින් අඟවන දෙයක් තමයි, සතුරු රජෙක් පරාජය කොට ඔහුගේ අන්තඃපුරය සතු කරගැනීම “ඒ කාලයේ රජෙක් අනිවාර්යයෙන්ම කළ දෙයක්” බව. දාවිත් රජුගේ පුත් අබ්සලොම්, අහිතොපෙල් නම් කුමන්ත්‍රණකරුවාගේ උපදෙස් පරිදි තම පියාගේ උපභාර්යාවන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම අපගේ සිහියට නැඟෙනවා. මේ පුවරුවල සඳහන් වී ඇති දෙයින් පැහැදිලි වන්නේ අහිතොපෙල් දුන් උපදෙස ඔහුගේ පෞද්ගලික අදහසක් නොවූ බවයි.—2 සාමුවෙල් 16:21, 22.

වර්ෂ 1933 සිට පුරා විද්‍යාත්මක කැණීම් 41ක් පමණ ටෙල් හරීරි ප්‍රදේශයේ සිදු කර තිබෙනවා. එහෙත් අක්කර 270කින් යුත් බිම් ප්‍රදේශයක් වසා සිටි මාරි නගරයේ මෙතෙක් පරීක්ෂා කර ඇත්තේ එම බිම් ප්‍රමාණයෙන් අක්කර 20ක් පමණයි. පෙනෙන විදිහට මාරි නගරයේ තව බොහෝ දේවල් සොයාගැනීමට ලැබේවි. මාරි යනු වැලිකතරේ ඉපැරණි රැජින කියා අප හැඳින්වුවහොත් නිවැරදියි.

[පාදසටහන]

^ 8 ඡේ. යෙරුසලම විනාශය සිදු වූ ක්‍රි.පූ. 607ට පසුව, යුදෙව් වහලුන් බැබිලෝනියට ගෙන යනු ලැබුවේ මාරි නුවර නටබුන් අසලින් විය හැකියි.

[10වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පර්සියානු බොක්ක

ඌර්

මෙසපොතේමියාව

යුප්‍රටීස් ගඟ

මාරි

ඇසිරියාව

හාරාන්

ඇනටෝලියා

කානාන්

යෙරුසලම

මධ්‍යධරණී මුහුද (මහ මුහුද)

[11වන පිටුවේ පින්තූරය]

මාරි නගරයේ ඉයාඩුන් ලිම් රජ තමාගේ ඉදිකිරීම් කටයුතු ගැන පුරසාරම් දොඩා තිබුණේ මේ ලේඛනයේයි

[11වන පිටුවේ පින්තූරය]

ලම්ගි මාරිගේ මෙම ප්‍රතිමාව සොයාගැනීම නිසා මාරි නගරය හරි හැටි හඳුනාගැනීමට හැකි වුණා

[12වන පිටුවේ පින්තූරය]

දේවතාවියකගේ පිළිමයක් තබා තිබුණායයි සැලකෙන මාලිගයේ තිබූ වේදිකාවක්

[12වන පිටුවේ පින්තූරය]

එබිහිල් නම් වූ මාරි නගරයේ රාජ නිලධාරියෙක් යාතිකාවක් කරමින්

[12වන පිටුවේ පින්තූරය]

මාරි නගරයේ නටබුන්, නොපිලිස්සූ ගඩොල්වලින් සාදා ඇති ගොඩනැඟිලි

[12වන පිටුවේ පින්තූරය]

මාලිගාවේ නාන කාමරයක්

[13වන පිටුවේ පින්තූරය]

මාරි නගරයේ ජයග්‍රාහී රජ කෙනෙකු වූ නාරාම් සින්ගේ ජයග්‍රහණය කියාපාන ගල් පුවරුවක්

[13වන පිටුවේ පින්තූරය]

උල් හැඩැති අකුරු සහිත පුවරු 20,000ක් පමණ මාලිගාවේ නටබුන් අතර තිබී හමු වුණා

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Mission archéologique française de Tell Hariri - Mari (Syrie)

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ලියවිල්ල: Musée du Louvre, Paris; statue: © Mission archéologique française de Tell Hariri - Mari (Syrie)

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ප්‍රතිමාව: Musée du Louvre, Paris; podium and bathroom: © Mission archéologique française de Tell Hariri - Mari (Syrie)

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ගල් පුවරු: Musée du Louvre, Paris; මාලිගාවේ නටබුන්: © Mission archéologique française de Tell Hariri - Mari (Syrie)