Skip to content

පටුනට යන්න

ඔබ මිථ්‍යා විශ්වාසවල බලපෑමට හසු වී ඇද්ද?

ඔබ මිථ්‍යා විශ්වාසවල බලපෑමට හසු වී ඇද්ද?

ඔබ මිථ්‍යා විශ්වාසවල බලපෑමට හසු වී ඇද්ද?

ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ මිථ්‍යා විශ්වාසයන් පවතිනවා. සමහර අවස්ථාවලදී මිථ්‍යා විශ්වාස සංස්කෘතියෙන් දායාද කර දුන් වටිනා උරුමයක් ලෙසයි සැලකෙන්නේ. එහෙමත් නැත්නම් ඒවා එතරම් බැරෑරුම් ලෙස නොසලකන ජීවිතයට යම් රසයක් මුසු කරන යමක් ලෙසත් සැලකිය හැකියි. සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ නම් මිථ්‍යා විශ්වාස එතරම් බැරෑරුම්ව සලකන්නේ නැහැ. සමහරවිට ඒවා දෙස වපර ඇසෙන් පවා බලන්න පුළුවන්. නමුත් වෙනත් රටවල නම් මිථ්‍යා විශ්වාස මිනිසුන්ගේ ජීවිතවලට තදින්ම බලපානවා. අප්‍රිකාව මෙයට කදිම නිදසුනක්.

අප්‍රිකාවේ සංස්කෘතිය බොහෝදුරට පදනම් වී තිබෙන්නේ මිථ්‍යා විශ්වාස මතයි. එම රටේ චිත්‍රපටිවල, ගුවන්විදුලි වැඩසටහන්වල සහ පොත් පත්වල බොහෝවිට හුවා දක්වන්නේ මිථ්‍යා විශ්වාස මෙන්ම ගුප්ත විෂයන්. විජ්ජා බලය, මුතුන්මිත්තන්ට වන්දනා කිරීම හා මන්තර ගුරුකම් වැනි දේවල් උදාහරණ වශයෙන් දැක්විය හැකියි. මිනිස්සු මේ තරමටම මිථ්‍යා විශ්වාසයන්ගේ බලපෑමට හසු වී තිබෙන්නේ මන්ද? ඒ වගේම මිථ්‍යා විශ්වාසවලට මුල් වී තිබෙන්නේ කුමක්ද?

මිථ්‍යා විශ්වාසවල සුල මුල කුමක්ද?

පොදුවේ බලද්දී බොහෝ මිථ්‍යා විශ්වාසවලට මුල් වී තිබෙන්නේ මළවුන්ගේ ආත්මවලට නැතහොත් ඕනෑම ආකාරයක භූතාත්මයකට ඇති බියයි. සාමාන්‍යයෙන් යම් යම් සිද්ධීන් අර්ථ දක්වන්නේ තර්ජනයක්, අනතුරු ඇඟවීමක් හෝ ආශීර්වාදයක් මගින් භූත ආත්මයන් මනුෂ්‍ය ලොවේ අය සමඟ සම්බන්ධ වීමට දරන වෑයමක් ලෙසයි.

සුව කිරීම හා වෙදකම බොහෝදුරට මිථ්‍යා විශ්වාස හා බැඳී පවතිනවා. දියුණු වෙමින් පවතින ලෝකයේ බහුතරයකට නවීන බෙහෙත් හේත් ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නැහැ. බොහෝවිට ඒවා ලබාගැනීමත් දුෂ්කරයි. ඒ නිසා මිථ්‍යා විශ්වාස, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර හා භූතවාදය ආධාරයෙන් ලෙඩ සුව කිරීමට හෝ ඒවා වළක්වාගැනීමට ඔවුන් වෑයම් කරනවා. තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර දන්නා, තමන්ගේ භාෂාව කතා කරන කට්ටඩියෙක් හෝ මායාකාරයෙක් සමඟ කටයුතු කිරීම බටහිර වෙදකම් කරන වෛද්‍යවරයෙක් සමඟ කටයුතු කිරීමට වඩා පහසුයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. මිථ්‍යා මත දිගින් දිගටම පවත්වාගෙන යනු ලබන්නේ මේ ආකාරයටයි.

සම්ප්‍රදායානුකූල මිථ්‍යා විශ්වාසයන්ට අනුව ලෙඩ රෝග හා හදිසි අනතුරු සිදු වන්නේ අහම්බෙන් නොව ආත්ම විෂයෙන් ඇති වන බලපෑම් නිසයි. මේ නිසා මිය ගිය මුතුන්මිත්තෙක් යම් දෙයක් ගැන අසතුටින් සිටිනවායයි කට්ටඩියෙක් කියා සිටින්න පුළුවන්. එහෙමත් නැත්නම් එම පුද්ගලයා ලෙඩ වී ඇත්තේ හෝ ඔහුට අනතුරක් සිදු වී ඇත්තේ සතුරු කට්ටඩියෙකුගේ උපකාරයෙන් යමෙක් ඔහුට විරුද්ධව ශාප කර ඇති නිසයි කියා ආත්ම බන්ධනකරුවෙක් අඟවන්න පුළුවන්.

ලෝ පුරා විවිධාකාර මිථ්‍යා විශ්වාසයන් පවතිනවා. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නේ එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ප්‍රබන්ධ කථා හා විවිධ තත්වයන් නිසයි. නමුත් අදෘශ්‍යමාන ආත්ම විෂයේ යම් බලවේගයක් හෝ පුද්ගලයෙක් සතුටු කරන්න අවශ්‍යයි යන විශ්වාසය ඒ සෑම මිථ්‍යා මතයකටම පොදුයි.

මිථ්‍යා විශ්වාස ඇත්තෙන්ම හානිකරද?

සාමාන්‍යයෙන් පවුලකට නිවුන් දරුවන් ඉපදීම බොහෝදෙනෙක් සලකන්නේ අද්විතීය මෙන්ම ප්‍රීතිමත් අවස්ථාවක් ලෙසයි. නමුත් මිථ්‍යා මත විශ්වාස කරන අය එයින් යමක් සලකුණු කරන බව විශ්වාස කළ හැකියි. බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල නිවුන් දරුවන්ව දෙවි දේවතාවන් සේ සලකමින් ඔවුන්ට නමස්කාර කිරීමට පවා පෙලඹෙනවා. නිවුන් දරුවන්ගෙන් කෙනෙක් හෝ දෙදෙනාම මිය ගියොත් ඔවුන්ගේ ස්වරූපයට සමාන කුඩා පිළිම සාදා ඒවාට ආහාර පූජා පවා ඔප්පු කරනවා. තවත් ප්‍රදේශවල නිවුන් දරුවන්ගේ උපත සලකන්නේ ශාපයක් ලෙසයි. එම විශ්වාසය කොතරම් ප්‍රබල එකක්ද කිව්වොත් සමහර දෙමව්පියන් එක දරුවෙකුව හරි මරා දැමීමට තැත් කරන්න පුළුවන්. ඒ මන්ද? දරුවෝ දෙදෙනාම දිගටම ජීවත් වුණොත් ඔවුන් කවදාහරි දවසක තම දෙමව්පියන්ව ඝාතනය කරයි යන විශ්වාසය නිසයි.

මෙවැනි උදාහරණවලින් පෙනී යන්නේ සමහර මිථ්‍යා විශ්වාස සිත්ගන්නා මෙන්ම කිසිවෙකුට හානියක් එල්ල නොකරන බව පෙනෙන්න තිබුණත් තවත් ඒවා ඉතාමත් භයානක හා සමහරවිට මාරාන්තික ප්‍රතිඵල පවා අත් කර දෙන්න පුළුවන් බවයි. හානිකර නොවන සිද්ධියක් අසුභ ලකුණක් ලෙස අර්ථ දැක්වීමෙන් භයානක ප්‍රතිඵල අත් විය හැකි බව පැහැදිලියි.

ඇත්ත වශයෙන්ම මිථ්‍යා විශ්වාස අනුගමනය කිරීම ඇදහිලි ක්‍රමයක් නැතහොත් ආගමක් කියා පැවසිය හැකියි. එමනිසා මිථ්‍යා විශ්වාසවල භයානක පැත්ත ගැන සලකා බලන විට මෙසේ ප්‍රශ්න කිරීම සුදුසුයි. මිථ්‍යා මත විශ්වාස කිරීම හා ඒවා ක්‍රියාවට නැංවීම තුළින් ඇත්තෙන්ම ප්‍රයෝජන ලබන්නේ කවුද?

මිථ්‍යා විශ්වාසවල උල්පත

සාතන් හා වෙනත් දුෂ්ට ආත්ම ජීවීන් සිටින බවට සාක්ෂි තිබුණත් සමහරදෙනෙක් ඔවුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙත් යුධ සමයකදී භයානක සතුරෙකු සිටින බව පිළිගැනීමට අකමැති වීමෙන් අත් වන්නේ මාරාන්තික ප්‍රතිඵල පමණයි. අධිමානුෂික ආත්ම ජීවීන් සමඟ කරන සටන සම්බන්ධයෙන්ද මෙවැන්නක් සැබෑ විය හැකියි. මන්ද ප්‍රේරිත පාවුල් පෙන්වා දුන් පරිදි ‘අපට දුෂ්ටකමේ ආත්ම සේනාවට විරුද්ධව පොරබැදීමක් තිබෙනවා.’—එපීස 6:12, අකුරු ඇල කළේ අපය.

අපට දුෂ්ට ආත්මයන් නොපෙනුණත් ඔවුන් ඇත්තෙන්ම සිටිනවා. තුන්දිවාදියෙක් රූකඩයක් පාවිච්චි කරන්නාක් මෙන් අදෘශ්‍යමාන ආත්ම පුද්ගලයෙක් සර්පයෙකු භාවිත කර ඒව නමැති පළමු ස්ත්‍රිය සමඟ කතා බහ කළ බවත් දෙවිට විරුද්ධව කැරලිගැසීමට ඇයව පෙලඹෙවූ බවත් බයිබලයේ පැහැදිලි කරනවා. (උත්පත්ති 3:1-5) එම ආත්ම පුද්ගලයාව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ‘මුළු ලොව රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන්යයි නම් ලත් ආදි සර්පයා’ වශයෙන්. (එළිදරව් 12:9, නව අනුවාදය) සාතන් නමැති එම තැනැත්තා වෙනත් දේවදූතයන්වත් කැරලිගැසීමට පෙලඹෙව්වා. (යූද් 6) දුෂ්ට මාර්ගයකට ඇද වැටුණු මෙම දේවදූතයන් දෙවිට සතුරුකම් පාන භූතයන් බවට පත් වුණා.

යේසුස් මෙන්ම ඔහුගේ ගෝලයන්ද යක්ෂාවේශ වූවන්ගෙන් යක්ෂයන් දුරු කළා. (මාර්ක් 1:34; ක්‍රියා 16:18) ‘මළාහු කිසිවක් නොදන්න’ නිසා මෙම ආත්මයන් මිය ගිය මුතුන්මිත්තන් නොවෙයි. (දේශනාකාරයා 9:5) ඔවුන් සාතන් විසින් නොමඟ යවනු ලැබූ කැරලිකාර දේවදූතයන්. ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම හෝ ඔවුන්ගේ බලපෑමට හසුවීම සැහැල්ලුවට ගත යුතු දෙයක් නොවෙයි. මන්ද තමන්ගේ නායක වන සාතන් නමැති යක්ෂයා මෙන් ඔවුන්ද මාන බලන්නේ අපව කෙසේ හෝ ගිල දමන්නයි. (1 පේතෘස් 5:8) මිනිස්වර්ගයාගේ එකම බලාපොරොත්තුව වන දේවරාජ්‍යය අපේ දෘෂ්ටියෙන් බොඳ කිරීමයි ඔවුන්ගේ ඉලක්කය වන්නේ.

සාතන් සහ ඔහුගේ භූතයන් භාවිත කරන එක් උපක්‍රමයක් හෙළි කරමින් බයිබලය මෙසේ පවසනවා. “සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් නිතරම වෙස්වලා ගන්නේය.” (2 කොරින්ති 11:14, NW) අපට වඩාත් සිත්ගන්නාසුලු ජීවිතයක් ලබා දෙන්න තමන්ට හැකියි යන මුළා කරවනසුලු අදහස අපේ මනස්වලට ඇතුළත් කිරීමට සාතන් කැමතියි. එමනිසා දුෂ්ට ආත්මයන්ගේ මැදිහත් වීමෙන් යම් තාවකාලික ප්‍රයෝජන ලබාගත හැකි බව පෙනී යා හැකියි. නමුත් එම ප්‍රයෝජන කිසිවිටෙක කල්පවතින විසඳුම් අත් කර දෙන්නේ නැහැ. (2 පේතෘස් 2:4) කිසිවෙකුට සදාකාල ජීවනය අත් කර දීමට නොහැකි භූතයන්ගේ විනාශය අතළඟයි. (රෝම 16:20) සදාතන ජීවනයේ මෙන්ම සැබෑ සන්තෝෂයේ එකම උල්පත වන්නේ අපගේ මැවුම්කරුයි. දුෂ්ට ආත්ම බලවේගයන්ගෙන් අපට නියම ආරක්ෂාව ලබා දිය හැක්කේ ඔහුට පමණයි.—යාකොබ් 4:7.

ආත්ම බන්ධන ක්‍රියා මගින් භූතයන්ගේ උපකාරය පැතීම දෙවි හෙළා දකිනවා. (ද්විතීය කථාව 18:10-12; 2 රාජාවලිය 21:6) මෙය සතුරා සමඟ සම්බන්ධ වීමක්. දෙවිට ද්‍රෝහි වූවන් සමඟ මිත්‍රකම් පැවැත්වීමක්! හඳහන් බැලීම, ගෝත්‍රික කට්ටඩියෙකුගෙන් උපකාර පැතීම නැතහොත් මිථ්‍යා විශ්වාස හා බැඳි ඕනෑම ක්‍රියාවක නියැලීම මගින් ඔබ කරන්නේ ඔබේ තීරණවලට බලපෑම් කිරීමට දුෂ්ට ආත්මයන්ට ඉඩහැරීමක්. එය හරියට දෙවිට විරුද්ධව ඔවුන්ගේ කැරලිගැසීමට ඔබත් හවුල් වනවා හා සමානයි.

නපුරු දේවලින් ආරක්ෂාව සලසාගත හැකිද?

නයිගර් ප්‍රදේශයේ ජීවත් වන ආඩේ * යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙකු සමඟ බයිබලය අධ්‍යයනය කරමින් සිටියා. ඔහුගේ සාප්පුවේ යන්තරයක් තිබීමට හේතුව ඔහු මෙසේ පැහැදිලි කර දුන්නා. “මට ගොඩක් සතුරෝ ඉන්නවා.” ආඩේට බයිබලය උගන්වමින් සිටි සහෝදරයා ඔහුට පැහැදිලි කළා සැබෑ ආරක්ෂාව ලබාගත හැක්කේ යෙහෝවා දෙවිගෙන් පමණක් කියා. “යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි” යනුවෙන් ගීතාවලිය 34:7හි සඳහන් වචන ඔහු ආඩේට ඇහෙන්න කියෙව්වා. ආඩේ මෙසේ ප්‍රතිචාරය දැක්වූවා. “යෙහෝවාට මාව ආරක්ෂා කරන්න පුළුවන් නම් මම මේ යන්තරය අයින් කරනවා.” දැන් අවුරුදු ගණනාවක් ගත වී ඇති අතර ආඩේ වැඩිමහල්ලෙක් මෙන්ම පූර්ණ කාලීන දේවසේවකයෙක් වශයෙන් සේවය කරනවා. ඔහුගේ සතුරන්ගෙන් ඔහුට කිසිම හානියක් එල්ල වී නැහැ.

අප මිථ්‍යා මත විශ්වාස කළත් නැතත්, කාලයත් හදිසි කාරණාත් අප සියලුදෙනාටම බලපාන බව බයිබලයේ පෙන්වනවා. (දේශනාකාරයා 9:11) නමුත් යෙහෝවා කිසිවිටෙකත් නපුරු දේවලින් අපව පරීක්ෂා කරන්නේ නැහැ. (යාකොබ් 1:13) අපට මරණයත් අසම්පූර්ණත්වයත් අත් වන්නේ ආදම්ගෙන් උරුම වූ පාපයේ ප්‍රතිඵලයක් වශයෙනුයි. (රෝම 5:12) මේ හේතුවෙන් අප සියලුදෙනාම විටින් විට අසනීප වෙනවා. විපතකට තුඩු දිය හැකි වැරදි අප අතින් සිදු වෙනවා. ඒ නිසා සෑම අසනීපයක්ම හෝ කරදරයක්ම ඇති වන්නේ දුෂ්ට ආත්මයන් නිසයි කියා විශ්වාස කිරීම නුසුදුසුයි. මන්ද එවැනි විශ්වාසයක් නිසා දුෂ්ට ආත්මයන්ව යම් ආකාරයකින් සතුටු කිරීමට අප පෙලඹිය හැකියි. * අපට අසනීපයක් ඇති වූ විට ‘බොරුකාරයෙක් මෙන්ම බොරුවේ පියා’ වන සාතන් නමැති යක්ෂයාගෙන් පිහිට පතනවා වෙනුවට අපි නිසි වෛද්‍ය ප්‍රතිකාරය ලබාගත යුතුයි. (යොහන් 8:44) ගණනය කිරීම්වලට අනුව, පරම්පරා ගණනාවක් පුරා මිථ්‍යා විශ්වාස බොහොමයක් පිළිගන්නා රටවල ජනයා වෙනත් රටවල ජනයාට වඩා දීර්ඝායුෂ භුක්ති විඳින්නේවත් වඩා යහපත් ජීවිත ගත කරන්නේවත් නැහැ. එහෙමනම් මිථ්‍යා විශ්වාස යම් අන්දමකින් හිතකර සෞඛ්‍යයකට මඟ පාදන්නේ නැති බව පැහැදිලියි.

දෙවි ඕනෑම දුෂ්ට ආත්මයකට වඩා අතිශයින්ම බලගතු කෙනෙක්. ඔහු අපේ ශුභසිද්ධිය ගැන උනන්දු වෙනවා. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.” (1 පේතෘස් 3:12) ආරක්ෂාව හා ප්‍රඥාව ලබාගැනීම සඳහා ඔහුට යාච්ඤා කරන්න. (හිතෝපදේශ 15:29; 18:10) ඔහුගේ ශුද්ධ වූ වචනය වන බයිබලය තේරුම්ගැනීමට වෑයම් කරන්න. අපට ආරක්ෂා වීමට තිබෙන හොඳම මඟ වන්නේ බයිබලය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි. නපුරු දේවල් සිදු වන්නේ ඇයි කියාත් සර්වබලධාරි දෙවිගේ අනුමැතිය දිනාගත හැක්කේ කොහොමද කියාත් වටහාගැනීමට එය අපට උපකාරවත් වෙනවා.

දෙවි පිළිබඳව දැනුමක් ලබාගැනීමෙන් අත් වන ප්‍රයෝජන

සැබෑ ආරක්ෂාවක් ලබාගැනීමට තිබෙන ප්‍රධානතම මඟ වන්නේ මිථ්‍යා විශ්වාස හා නොදැනුවත්කමට ප්‍රතිවිරුද්ධ දේ වන යෙහෝවා හා ඔහුගේ අරමුණු පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි. මෙය බෙනින්හි වෙසෙන ෂාන්ගේ අද්දැකීමෙන් සනාථ වෙනවා. ෂාන්ගේ පවුලේ අය මිථ්‍යා මත තදින්ම විශ්වාස කළා. මිථ්‍යාදෘෂ්ටික ගෝත්‍රික සිරිත් විරිත්වලට අනුව පුතෙක් බිහි කළ කාන්තාවක් ඇය වෙනුවෙන්ම තනා තිබෙන විශේෂ මඩුවක දින නවයක් ජීවත් විය යුතුයි. දුවෙක් ඉපදුණ විට මඩුවේ ජීවත් විය යුත්තේ දින හතයි.

වර්ෂ 1975දී, ෂාන්ගේ බිරිඳට ලස්සන පුංචි පුතෙක් ලැබුණා. ඔවුන් පුතාට මාර්ක් යන නම තැබුවා. ෂාන්ට හා ඔහුගේ බිරිඳට බයිබලය පිළිබඳව තිබූ දැනුම නිසා දුෂ්ට ආත්ම හා බැඳි කිසිම දෙයකට සම්බන්ධ වීමට ඔවුන් කැමති වුණේ නැහැ. නමුත් බියපත් වීම හේතුවෙන් හා එක් එක්කෙනාගේ බල කිරීම් හේතුවෙන් මඩුව හා සම්බන්ධ මිථ්‍යා සිරිත අනුගමනය කිරීමට ඔවුන් පෙලඹුණාද? නැහැ, එම ගෝත්‍රික මිථ්‍යා මතය ඔවුන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.—රෝම 6:16; 2 කොරින්ති 6:14, 15.

ෂාන්ගේ පවුලට හානියක් වුණාද? දැන් අවුරුදු ගණනාවක් ගත වී තිබෙනවා. මාර්ක් තම ප්‍රදේශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ සභා සේවකයෙක් ලෙස සේවය කරනවා. මිථ්‍යා විශ්වාසවලට තම ජීවිත පාලනය කිරීමටවත් තම ආත්මික ශුභසිද්ධියට හානි කිරීමටවත් තමන් ඉඩ නොදීම ගැන පවුලේ සියලුදෙනාම සතුටු වෙනවා.—1 කොරින්ති 10:21, 22.

මැවුම්කරු වන යෙහෝවා සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් ලබා දෙන ආත්මික ආලෝකය පිළිගනිමින් මිථ්‍යා විශ්වාස හා බැඳි අඳුරු සිරිත් විරිත්වලින් සැබෑ ක්‍රිස්තියානීන් ඈත් විය යුතුයි. දෙවිගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කරන බව දැනගැනීම තුළින් ඔවුන්ට මනසේ සමාදානය භුක්ති විඳින්න පුළුවන්.—යොහන් 8:32.

[පාදසටහන්වල]

^ 20 ඡේ. සැබෑ නම් නොවේ.

^ 21 ඡේ. වර්ෂ 1999 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ “යක්ෂයා අපව රෝගාතුර කරනවාද?” යනලිපිය බලන්න.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ලෝ වටා පවතින ජනප්‍රිය මිථ්‍යා මත

• බත් දීසියක චීන බත් කූරු (චොප්ස්ටික්ස්) උඩු අතට සිටුවා තැබීම මරණයක් සිදු වන බවට ලකුණක්

• හිරු එළිය තිබියදී බකමූණෙක් දැකීම අසුභයි

• උත්සවයකදී ඉටිපන්දමක් නිවී යෑමෙන් අදහස් කරන්නේ දුෂ්ට ආත්ම ළඟ සිටින බවයි

• කුඩයක් බිම වැටීම එම නිවසේදී මිනි මැරුමක් සිදු වන බව අඟවයි

• ඇඳ මත තොප්පියක් තැබීම අසුභයි

• සීනු නාද කිරීමෙන් භූතයන්ව පලවාහරින්න පුළුවන්

• උපන්දින කේක් එක මත තිබෙන ඉටිපන්දම් සියල්ලම එක විටම නිවා දැමීමට සමත් වුණොත් ඒ අවස්ථාවේදී පතන ඕනෑම දෙයක් ලැබෙනවා

• කොස්සක් ඇඳකට හේත්තු කර තැබුවොත් කොස්ස තුළ සිටින දුෂ්ට ආත්මයන්ට පුළුවන් ඇඳට ගුරුකමක් කරන්න

• ඔබ ඉදිරිපසින් කලු පූසෙක් පාර හරහා මාරුවීම අසුභයි

• ගෑරැප්පුවක් බිම වැට්ටුවොත් පිරිමියෙක් නිවසට පැමිණෙනවා

• දොරට මුහුණ ලා අලියෙකුගේ පින්තූරයක් එල්ලුවොත් එයින් වාසනාව අත් වෙනවා

• ප්‍රධාන දොරටුවට ඉහළින් අශ්ව ලාඩමක් එල්ලීම වාසනාවන්තයි

• නිවසක පිටත බිත්තිය ආවරණය වන සේ ඉත්ත වැල් (ivy) වවනවා නම් එම නිවස දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂා වෙනවා

• ඉණිමඟක් යට ඇවිදීම අසුභයි

• කැඩපතක් කැඩීම අවුරුදු 7ක් පුරාම අසුභ ඵල ලැබීමට හේතු වෙනවා

• ගම්මිරිස් ඉහිරුණොත් හොඳම මිතුරා සමඟ එකඟ නොවීමක් ඇති වෙනවා

• ලුණු ඉහිරුණොත් අසුභ ඵල අත් වෙනවා. නමුත් ඉන් සුළු ප්‍රමාණයක් වම් උරහිසට උඩින් වීසි කර දැමුවොත් එය මඟහරවාගත හැකියි

• පැද්දෙන පුටුවකින් නැඟිට යන විට එය දිගටම පැද්දෙන්න ඉඩ දුන්නොත් භූතයන්ට ඇවිත් එහි ඉඳගන්න පුළුවන්

• සපත්තු උඩුබැලි අතට හරවා තැබීම අසුභයි

• යමෙක් මිය ගිය විට ඔහුගේ ආත්මයට ගෙයින් පිට වී යන්න ගෙයි ජනෙල් ඇර තැබිය යුතුයි

[6වන පිටුවේ කොටුව]

මිථ්‍යා විශ්වාසවල ග්‍රහණයෙන් මිදී

දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරමින් සිටියා. සාක්ෂිකරුවන් එක් නිවසකට ගොස් දොරට තට්ටු කළ විට දොර ළඟට පැමිණියේ සැන්ගෝමා (කට්ටඩියෙකුගේ) ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටි ස්ත්‍රියක්. ඔවුන් ඇයත් සමඟ කතා නොකර යන්න සූදානම් වුණත් එම ස්ත්‍රිය ඇයට පණිවිඩය කියන්න කියා ඔවුන්ට බල කළා. ඉන්පසු එක සාක්ෂිකරුවෙක් ද්විතීය කථාව 18:10-12 කියවා, ආත්ම බන්ධන ක්‍රියා සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය ඇයට පැහැදිලි කර දුන්නා. යක් දෙස්සියෙක් වූ එම ස්ත්‍රිය පණිවිඩය පිළිගෙන බයිබලය පාඩම් කරන්න එකඟ වුණා. සැන්ගෝමා කෙනෙක් හැටියට සිටීම යෙහෝවාගේ කැමැත්තට පටහැනියි කියා බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු පැහැදිලි වෙනවා නම් එම වෘත්තිය අත්හරින්න තමා සූදානම් බවත් ඇය පැවසුවා.

පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්න ඔබට හැක යන පොත ආධාරයෙන් ඇය බයිබලය අධ්‍යයනය කළා. එම පොතේ 10වන පරිච්ඡේදය පාඩම් කළ පසු ආත්ම බන්ධනයට සම්බන්ධ සෑම භාණ්ඩයක්ම ඇය පුලුස්සා දැමුවා. ඒ වගේම ඇය රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්නත් පටන්ගත්තා. අවුරුදු 17කට පුරුෂයාගෙන් වෙන්ව සිටියත් ඔවුන් දෙදෙනාගේ විවාහය නීත්‍යනුකූල කිරීමටද ඇය පියවර ගත්තා. දැන් ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් කැප වූ බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්.

[6වන පිටුවේ පින්තූරය]

යම් කෙනෙකුගේ රෝගයට හේතුව සොයා බැලීමට “සැන්ගෝමා” කෙනෙක් ඇටකටු වීසි කරනවා

[7වන පිටුවේ පින්තූර]

සැබෑ ආරක්ෂාව හා සන්තෝෂය අත් කරගත හැක්කේ දෙවි පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමෙන්