Skip to content

දෙවියන් එක්ක බැඳීමක් තියෙන කෙනෙක් කොයි වගේද? එහෙම කෙනෙක් වෙන්න ආගමක් අදහන්නම ඕනෙද?

දෙවියන් එක්ක බැඳීමක් තියෙන කෙනෙක් කොයි වගේද? එහෙම කෙනෙක් වෙන්න ආගමක් අදහන්නම ඕනෙද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලේ කියන විදිහට දෙවියන් එක්ක බැඳීමක් තියෙන කෙනෙක්ට දෙවියන්ව සතුටු කරන්නත් ඔහු හිතන විදිහට හිතන්නත් තියෙන්නේ ලොකු ආසාවක්. ඒ වගේම ජීවිතයේ හැම කාරණයකදීම දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති සහ ඔහුගේ බලයේ උපකාරයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න උපරිමයෙන් වෑයම් කරනවා.—රෝම 8:5; එෆීස 5:1.

 දෙවියන් එක්ක මොන වගේ බැඳීමක්ද තියෙන්න ඕනෙ කියලා විස්තර කරන්න බයිබලේ හුඟක් තැන්වල ඒ වගේ බැඳීමක් නැති කෙනෙක් වැඩ කරන විදිහ ගැන පෙන්නලා තියෙනවා. උදාහරණෙකට ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙකුට දෙවිගේ බලයේ උපකාරය ඇතුව අවබෝධ කරගත හැකි දේවල් තේරුම්ගන්න’ බැහැ කියලා බයිබලේ කියනවා. (1 කොරින්ති 2:14-16) ඒ වගේම දෙවියන් එක්ක බැඳීමක් තියෙන අය ත්‍යාගශීලීව, සාමකාමීව වැඩ කළත් තමන්ගේ ආශාවන්වලට අනුව වැඩ කරන අය අනිත් අයට ‘ඊර්ෂ්‍යා කරනවා, අඬදබර ඇති කරගන්නවා.’ (1 කොරින්ති 3:1-3) ඒ විතරක් නෙවෙයි එයාලා කේලම් කියලා කිට්ටු යාළුවන්ව වෙන් කරනවා. ඒ වගේ අය ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “තිරිසනුන් මෙන් හැසිරෙන්නෙත් ඔවුන්ය. ඔවුන් තුළ දෙවිගේ බලය ක්‍රියා කරන්නේ නැත.”—යූද් 19; හිතෝපදේශ 16:28.

මේ ලිපියෙන්

 දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න අපේ හිත්වල ආසාවක් තියෙන්නේ ඇයි?

 දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න, ඔහුට නමස්කාර කරන්න අපේ හිත්වල ආසාවක් තියෙන්නේ අපිව ඔහුගේම ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරලා තියෙන නිසයි. (උත්පත්ති 1:27) හුඟක් මිනිස්සු නොපෙනෙන දේවල් ගැන හොයන්න, ඉගෙනගන්න ආසාවෙන් ඉන්න එක ඇත්තටම පුදුමයක් නෙමෙයි.

 යෙහෝවා a දෙවියන්ගේ ගතිලක්ෂණ අනුකරණය කරන්න උපතින්ම අපිට හැකියාව ලැබිලා තියෙනවා. උදාහරණෙකට හැමෝටම එක වගේ සලකන්න, දයාව පෙන්නන්න, සාමයෙන් වැඩ කරන්න අපි පෙලඹෙන්නේ ඒ නිසයි. (යාකොබ් 3:17) ඒ වගේම දෙවියන් දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න උපරිමයෙන් වෑයම් කරන අයට ඔහු එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න දෙවියන් ඔහුගේ බලය දෙනවා.—ක්‍රියා 5:32.

 දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න එක වැදගත් ඇයි?

 දෙවියන් එක්ක දිගටම බැඳීමක් තියාගන්න අයට විතරයි “ජීවනය හා සමාදානය” අද්දකින්න පුළුවන් වෙන්නේ. (රෝම 8:6) දෙවියන්ගෙන් ලැබෙන ඒ වටිනා තෑගි වෙන කිසිම දෙයකට සමාන කරන්න බැහැ.

  •   ජීවනය. දෙවියන් එක්ක බැඳීමක් තියෙන අයට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—යොහන් 17:3; ගලාති 6:8.

  •   සමාදානය. දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න අයට ඔහු එක්ක සමාදාන වෙන්න පුළුවන් වෙනවා. (රෝම 8:7) ඒ වගේම ඒ බැඳීම තවත් ශක්තිමත් කරගන්න කැමති අයට ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’ අද්දකින්නත් පුළුවන්. (ෆිලිප්පි 4:6, 7) ජීවිතය සතුටින් ගත කරන්න ඒක උදව් වෙනවා.—මතෙව් 5:3.

 දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

  •   දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඉගෙනගෙන ඒවාට කීකරු වෙන්න. බයිබලය කියවන එක ඒ දේ කරන්න ඔයාට උදව් වෙයි. මොකද “දෙවි ලබා දුන්න මඟ පෙන්වීම්වලට එකඟව” ලියවුණ බයිබලේ ඔහු කැමති අකමැති දේවල් ගැන සඳහන් වෙනවා. (2 පේතෘස් 1:21) දෙවියන් “ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” ඔහුට නමස්කාර කරන්න ඒ දැනුම ඔයාට උදව් වෙයි.—යොහන් 4:24.

  •   යාච්ඤා කරලා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. (ලූක් 11:13) එතකොට දෙවියන්ගේ යාළුවෙක් වෙන්න උදව් වෙන ගුණාංග වර්ධනය කරගන්න ඔහු ඔයාට උදව් කරයි. (ගලාති 5:22, 23) ඒ වගේම ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන ප්‍රඥාවත් ඔහු ඔයාට දෙයි.—යාකොබ් 1:5.

  •   දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන අයව යාළුවන් කරගන්න. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එයාලා ඔයාව දිරිගන්වයි. (රෝම 1:11, 12) හැබැයි දෙවියන් ගැන කිසිම තැකීමක් නැති, තමන්ගේ ආසාවන් ගැනම විතරක් හිතන අයව ඔයා යාළුවෝ කරගත්තොත් දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම දුර්වල වෙන්න ඒක හේතුවක් වෙයි.—යාකොබ් 4:4.

 ආගමක් අදහන නිසාම දෙවියන් එක්ක බැඳීමක් ඇති වෙනවාද?

 නිකම්ම ආගමකට සම්බන්ධ වෙලා හිටියා කියලා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති වෙන්නේ නැහැ. බයිබලේ කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.”—යාකොබ් 1:26.

 අනිත් අතට බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන අය ඔහු පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරනවා කියලා. ඒ අය තේරුම් අරන් තියෙනවා හරියට ශරීරයක අවයව එකට බැඳිලා තියෙනවා වගේ දෙවියන්ගේ සෙනඟ අතරේ ‘එක්සත්කම රැකගන්නත් සමාදානයෙන් ජීවත් වෙන්නත්’ පුළුවන් වෙලා තියෙන්නේ දෙවියන්ගේ බලයේ උපකාරය නිසයි කියලා.—එෆීස 4:1-4.

 දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න එක ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: කෙනෙක් මොන වගේ ජීවිතයක් ගත කළත් තමන් ගැනම හොඳ හැඟීමක් තියෙනවා නම් දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්.

 ඇත්ත මේකයි: තමන්ට ජීවිතය ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන් කියලත් ජීවිතය ගත කරන්න ඕනෙ ඔහු කැමති විදිහට කියලත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියෙන අය තේරුම් අරන් ඉන්නවා. (ගීතාවලිය 100:3) ඒ නිසා එයාලා දෙවියන්ව පැත්තකට දාලා තමන්ට හිතෙන විදිහට දේවල් කරලා සතුටු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අය ජීවිතය ගත කරන්නේ දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව.

 වැරදි මතය: තපස් ජීවිතයක් ගත කරන එක, තමන්ගේ ශරීරයට වධ දෙන එක දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙනවා.

 ඇත්ත මේකයි: දෙවියන්ව සතුටු කරන්න හිතාගෙන තමන්ගේ ශරීරයට නොයෙකුත් වධ හිංසා කරන එක බයිබලේ හඳුන්වන්නේ මිනිස්සු “තමන් විසින්ම සාදාගත් නමස්කාර පිළිවෙතක්” විදිහට. (කොලොස්සි 2:18, 23) බයිබලේ කියන විදිහට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකෙන් ලැබෙන්නේ සතුටක් මිසක් වේදනාවක් නෙවෙයි.—හිතෝපදේශ 10:22.

 වැරදි මතය: මළවුන් එක්ක කතා කරන එක වගේ භූතවාදී දේවල්වලට සම්බන්ධ වෙන එකෙන් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන්.

 ඇත්ත මේකයි: අත්භූත දේවල් ගැන සහ භූතවාදය ගැන විශ්වාස කරන හුඟදෙනෙක් හිතනවා මැරුණු අය එක්ක කතා කරන්න එයාලට පුළුවන් කියලා. හැබැයි බයිබලේ පැහැදිලිව කියනවා කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ කල්පනාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. (දේශනාකාරයා 9:5) භූතවාදී ක්‍රියාවලට හවුල් වෙන අය ඇත්තටම සම්බන්ධ වෙන්නේ දෙවියන්ට විරුද්ධව වැඩ කරන භූතයන් එක්ක. භූතවාදී දේවල් දෙවියන් පිළිකුල් කරනවා. ඒ නිසා ඒ දේවල්වලට හවුල් වෙන අයට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ.—ලෙවී කතාව 20:6; ද්විතීය කතාව 18:11, 12.

 වැරදි මතය: හැම ජීවියෙක්ටම උපතින්ම දෙවියන් එක්ක බැඳීමක් තියෙනවා.

 ඇත්ත මේකයි: දෙවියන් නිර්මාණය කරලා තියෙන හැම දේකින්ම ඔහුව ගෞරවයට පත් වෙනවා. (ගීතාවලිය 145:10; රෝම 1:20) හැබැයි ඔහු එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ දේවදූතයන්ට සහ මිනිසුන්ට විතරයි. සත්තුන්ට දෙවියන්ගේ යාළුවන් වෙන්න බැහැ. මොකද උන් දේවල් කරන්නේ උන්ට ලැබිලා තියෙන සහජ හැකියාවන්ට අනුව. උන්ගේ ජීවිතේ ප්‍රධානම දේ වෙන්නේ කන බොන එක වගේ දේවල්. (2 පේතෘස් 2:12) ඒ නිසයි බයිබලේ කියන්නේ තිරිසනුන් වගේ හිතන, වැඩ කරන අයට දෙවියන්ගේ යාළුවන් වෙන්න බැහැ කියලා.—යාකොබ් 3:15; යූද් 19.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.