Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හිතේ කරදරවලට සහනයක්!

පවුලේ අය ගැනද කනස්සලු වෙන්නේ?

පවුලේ අය ගැනද කනස්සලු වෙන්නේ?

“මගේ තාත්තා මැරිලා ටික දවසක් ගියාම මහත්තයා කිව්වා එයාට වෙන ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. ඊටපස්සේ කියන්නෙම නැතුව එයාගේ ඇඳුම් ටිකත් අරගෙන මාවයි දරුවෝ දෙන්නාවයි දාලා ගියා” කියලා ජැනට් කියනවා. ජැනට් රස්සාවක් හොයාගත්තත් ගෙයි උකස ගෙවන්න තරම් වැටුප ප්‍රමාණවත් වුණේ නැහැ. ඇයට මුහුණ දෙන්න වුණේ මුදල් ප්‍රශ්නවලට විතරක් නෙවෙයි. ජැනට් මෙහෙමත් කියනවා. “අලුතෙන් පැටවුණු වගකීම් තනියෙන් කොහොම කරන්නද කියලා මම කල්පනා කෙරුවා අනිත් දෙමව්පියන් වගේ මගේ දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න බැරි නිසා මම දුක් වුණා. මා දිහාත් මගේ දරුවන් දිහාත් අනිත් අය කොහොම බලනවා ඇද්ද කියලා මම තාමත් වධ වෙනවා. මගේ විවාහය රැකගන්න මට පුළුවන් හැම දේම කළේ නැහැ කියලා ඔවුන් හිතයිද?”

ජැනට්

හැඟීම් පාලනය කරගෙන දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ජැනට්ට යාච්ඤාව උදව් වෙනවා. “රැය ගෙවාගන්න එක තමයි හරිම අමාරු. වටපිටාව නිස්කලංක වුණත් මගේ හිත හරිම කලබලයි. ඒත් යාච්ඤා කරන එක, බයිබලය කියවන එක නිදාගන්න උදව්වක්. මං ආසාවෙන් කියවන කොටසක් තමයි ෆිලිප්පි 4:6යි 7යි. ඒකේ කියන්නේ ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ හුඟක් දවස්වල මං රෑ පහන් කළේ යාච්ඤාවෙන්. ඒකෙන් යෙහෝවා දෙවියන් දෙන සහනය අද්දැක්කා.”

යාච්ඤාව ගැන යේසුස් කිව්ව මේ දේ ඇත්තටම සහනයක්. “ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා.” (මතෙව් 6:8) ඒ නිසා යාච්ඤා කරලා ඉල්ලන්න. යාච්ඤාව “දෙවිට ළං වන්න” උදව් වෙන ප්‍රධාන දෙයක්. එතකොට ‘ඔහුත් ඔබට ළං වෙනවා.’—යාකොබ් 4:8.

කනස්සල්ල ගැන දෙවියන්ට කියලා හිත නිදහස් කරගන්න එකට වඩා වැඩි දෙයක් යාච්ඤාවෙන් සිද්ධ වෙනවා. යෙහෝවා දෙවියන් “යාච්ඤා අසන තැනැත්තා” නිසා ඔහුව විශ්වාස කරලා ඔහුගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු උදව් කරනවා. (ගීතාවලිය 65:2) ඒ නිසයි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට “නිතරම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැනත් අධෛර්යය නොවී සිටීමේ අවශ්‍යතාව ගැනත්” ඉගැන්නුවේ. (ලූක් 18:1) ආශීර්වාද කරනවා කියන නිසැකකම ඇතුව අපි නොකඩවාම දෙවියන්ගේ මඟ පෙන්වීම් හා උපකාර ඉල්ලන්න ඕනේ. ඔහු උදව් කරයිද කියලා සැක කරන්න නරකයි. අපි ‘නොකඩවා යාච්ඤා කරනවා’ නම් අපිට සැබෑ විශ්වාසයක් තියෙනවා කියලා පෙන්වනවා.—1 තෙසලෝනික 5:17.

දෙවියන්ව විශ්වාස කරනවා කියන්නේ මොකක්ද?

විශ්වාස කරන්න නම් දෙවියන්ව පුද්ගලයෙක් හැටියට ‘දැන හඳුනා ගන්න’ ඕනේ. (යොහන් 17:3) ඒකට බයිබලයේ තියෙන දේවවචනය හිතට ගන්න ඕනේ. එතකොට අපිට දැනගන්න පුළුවන් ඔහු අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙනවා කියලා. ඒත් සැබෑ විශ්වාසය කියන්නේ දෙවියන් ගැන යමක් දැනගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ඔහු එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න එකත් ඒකෙන් අදහස් කරනවා. මිනිසුන් අතර එක රැයකින් ලොකු බැඳීමක් ඇති වෙන්නේ නැහැ වගේ දෙවියන් එක්කත් එක රැයකින් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. අපි කාලයක් තිස්සේ ඔහු ගැන ඉගෙනගනිද්දී, ‘ඔහුට ප්‍රසන්න දේවල් කරද්දී,’ ඔහුගේ උපකාර ලැබෙද්දී ඔහු ගැන තියෙන අපේ විශ්වාසය වැඩි වෙනවා. (2 කොරින්ති 10:15; යොහන් 8:29) ජැනට්ට කනස්සල්ලෙන් ගොඩ එන්න ලැබුණේ ඒ වගේ විශ්වාසයක් තිබුණ නිසයි.

ජැනට් මෙහෙම කියනවා. “නිතරම යෙහෝවා දෙවියන් උපකාරයට ඉන්නවා කියන එක අද්දැක්ක නිසා මගේ විශ්වාසය ශක්තිමත් වුණා. අපිට අසාධාරණකම් හුඟක් වෙනවා. ඒවාට මුහුණ දෙන්න බැහැ කියලා හිතුණත් දෙවියන්ට යාච්ඤා කරපුවාම ඒවාට මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා. ඔහුට ස්තුති කරන හැම වතාවකම මං වෙනුවෙන් ඔහු කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා මට මතක් වෙනවා. අවශ්‍යම වෙලාවට ඔහු අපිත් එක්ක ඉන්නවා. ඔහු මට අවංක අයව මිතුරන් කරගන්න උදව් කරලා තියෙනවා. ඒ අය නිතරම මට උදව් කරනවා විතරක් නෙමෙයි මගේ දරුවන්ටත් හොඳ ආදර්ශයක්.” *

“‘මම, දික්කසාද වීම හෙළාදකින්නෙමි’ කියලා යෙහෝවා දෙවියන් මලාකි 2:16 කිව්ව හේතුව මට දැන් පැහැදිලියි. ඒක නිර්දෝෂ කෙනාට කරන ලොකු ද්‍රෝහිකමක්. මගේ මහත්තයා මාව දාලා ගිහින් අවුරුදු ගාණක් ගියත් තාමත් මට සමහර වෙලාවට පාළුවක්, හිස්බවක් දැනෙනවා. එතකොට මං උත්සාහ කරනවා තව කෙනෙක්ට උදව් කරන්න. ඒක මටත් උදව්වක්.” තනි වෙන්න එපා කියලා බයිබලයේ තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගත්ත නිසා කනස්සල්ල අඩු කරගන්න ජැනට්ට පුළුවන් වුණා. *හිතෝපදේශ 18:1.

දෙවියන් “පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.”—ගීතාවලිය 68:5

“දෙවියන් ‘පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය’ කියන සහතිකය මට ලොකු සැනසීමක්. මගේ මහත්තයා වගේ ඔහු මාව කවදාවත් අත්හරින්නේ නැහැ” කියලා ජැනට් කියනවා. (ගීතාවලිය 68:5) දෙවියන් නපුරු දේවලින් අපිව පරීක්ෂා කරන කෙනෙක් නෙවෙයි කියලා ජැනට් දන්නවා. ඇත්තෙන්ම ඔහු “ත්‍යාගශීලීව” ප්‍රඥාව ලබා දෙනවා. අපි මානසිකව වැටිලා ඉන්න වෙලාවටත් ඔහු අපිට ‘සාමාන්‍යය ඉක්මවූ බලය’ දෙනවා.—යාකොබ් 1:5, 13; 2 කොරින්ති 4:7.

අපේ ජීවිත අනතුරේ තියෙද්දී කනස්සල්ලක් ඇති වෙනවා නම් කරන්න පුළුවන් මොනවාද?

^ 10 ඡේ. කනස්සල්ලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන “අභියෝග ජීවිතයට බාධාවක්ද?” කියන ලිපි මාලාව 2015 ජූලි ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා. එය www.jw.org/si වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්.