Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

මගේ ජීවිතේ නරක අතටම හැරුණා

මගේ ජීවිතේ නරක අතටම හැරුණා
  • ඉපදුණ අවුරුද්ද: 1952

  • රට: ඇමරිකා එක්සත් ජනපදය

  • අතීතයේදී: දරුණු කෙනෙක්

මගේ අතීතය:

මං හැදුණේ වැඩුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල. අපි ජීවත් වුණේ මැර කල්ලියි කුඩු ගහන අයයි හිටිය පැතිවල. අපේ පවුලේ දරුවෝ 6දෙනාගෙන් දෙවෙනියා මමයි.

පොඩි කාලේ ඉඳලා අපි ගියේ එවැන්ජලිස්ත සභාවට. ඒ කාලෙදී මම දෙබිඩි ජීවිතයක් ගත කරපු යෞවනයෙක්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටපු මම ඉරිදාට ගීතිකා කිව්වා. සතියේ අනිත් දවස්වල මත්ද්‍රව්‍ය අරන්, දුරාචාරයේ යෙදිලා, විනෝදකාමී ජීවිතයක් ගත කළා.

මට ඒ දවස්වල හරියට කේන්ති ගිය හින්දා දරුණු දේවල් කෙරුවා. හොඳින් හෝ නරකින් දිනන්නයි මට ඕන වුණේ. පල්ලියෙන් ඉගෙනගත්ත දේවලින් වැඩක් වුණේ නැහැ. මම නිතරම කිව්වේ “පළිගැනීම අයිති දෙවිටයි. ඔහු පාවිච්චි කරන ආයුධය මමයි” කියලා. 1960 ගණන්වල ඉහළ පන්තියේ ඉගෙනගද්දී බ්ලැක් පැන්තර්ස් කියන දේශපාලනික කණ්ඩායමේ අදහස් දරන්නත් මම පටන්ගත්තා. ඒක කලහකාරී විදිහට මානව අයිතිවාසිකම් ලබාගන්න නැඟී හිටිය කණ්ඩායමක්. මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී ඉන්න ශිෂ්‍ය සංගමයකටත් මං බැඳුණා. අපේ උද්ඝෝෂණ නිසා කීප සැරයක්ම පාසැල වහලා දැම්මා.

උද්ඝෝෂණ කරලා විතරක් සෑහීමට පත් නොවුණ මම තරහ සන්සිඳවගන්න අපරාධවලටත් හවුල් වුණා. උදාහරණෙකට මායි මගේ යාළුවොයි එක්සත් ජනපදයේ හිටිය අප්‍රිකානු වහලුන් දුක් වින්ද විදිහ පෙන්නුව චිත්‍රපටි බලන්න ගියා. සුදු ජාතිකයන් කරපු අසාධාරණකම් දැකලා කොච්චර කේන්ති ගියාද කියනවා නම් දවසක් අපි සිනමා ශාලාවෙදිම සුදු ජාතික යෞවනයන්ට ගැහුවා. ඊටපස්සේ සුදු ජාතිකයන්ට ගහන්න කියලා හිතාගෙන ඒ අය ඉන්න පැතිවලටත් ගියා.

මගේ අයියායි, මල්ලිලා දෙන්නායි, මායි මැරයෝ වෙලා ඉද්දී මට අවුරුදු 18ක් 19ක් විතර ඇති. සමහර අවස්ථාවලදී අපි බලධාරීන් එක්කත් ප්‍රශ්න ඇති කරගත්තා. මගේ මල්ලි කෙනෙක් නම ගිය මැර කල්ලියක සාමාජිකයෙක් වුණා. මමත් ඒ අයව ආශ්‍රය කළා. ඒ නිසා මගේ ජීවිතය නරක අතටම හැරුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මගේ යාළුවෙක්ගේ අම්මායි, තාත්තායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ක්‍රිස්තියානි රැස්වීමකට එන්න කියලා ඒ අය කිව්වාම මම ගියා. සාක්ෂිකරුවන්ගේ ලොකු වෙනසක් දැක්කා. රැස්වීමෙදී හැමෝම බයිබලය පෙරළලා බැලුවා. බාල අයත් කතා දුන්නා. දෙවියන්ගේ නම යෙහෝවා කියලා දැනගත්තාමත් ඒක නිතරම ඇහෙද්දිත් මට පුදුම හිතුණා. (ගීතාවලිය 83:18) සභාවේ විවිධ ජාතීන් හිටියත් ඒගොල්ලන් අතරේ කිසිම ජාති භේදයක් තිබුණේ නැහැ.

 කලින් මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න අකමැති වුණත් එයාලගේ රැස්වීම්වලට යන්න කැමති වුණා. දවසක් රෑ මම රැස්වීමකට ගිහිල්ලා ඉද්දී මගේ යාළුවෝ ටික සංදර්ශනයක් බලන්න ගිහිල්ලා. එතනදී කොල්ලෙක් එයාගේ ලෙදර් ජැකට් එක දුන්නේ නැහැ කියලා ඒ කොල්ලට ගහලා මරලා දාලා. ඊළඟ දවසේ, එයාලා කරපු දේ ගැන උජාරුවට කියෙව්වා. ඒ ගැන නඩුව අහද්දිත් ඒක විහිළුවකට ගත්තා. අන්තිමේදී එයාලගෙන් වැඩිදෙනෙක්ව ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. මම එදා බේරුණ හින්දා මට ලොකු සතුටක් දැනුණා. මං තීරණයක් ගත්තා ජීවිතය වෙනස් කරගෙන දිගටම බයිබලය පාඩම් කරනවා කියලා.

ජාතිවාදය පැතිරිලා තිබුණ කාලෙක සාක්ෂිකරුවන් අතරේ භේද නොතිබුණු එක ගැන මට පුදුම හිතුණා. සුදු ජාතික සාක්ෂිකරුවෙක්ට රට යන්න ඕන වෙලා එයාගේ දරුවන්ව කලු ජාතික පවුලක් ළඟ තියලා ගියා. තවත් වෙලාවක අසරණ වෙලා හිටිය කලු ජාතික යෞවනයෙක්ව සුදු ජාතික පවුලක් ඒ අයගේ ගෙදර නවත්තගත්තා. මට එතකොට පැහැදිලි වුණා යොහන් 13:35 යේසුස් කිව්ව දේ හොඳටම ගැළපෙන්නේ සාක්ෂිකරුවන්ට කියලා. ඒකේ කියන්නේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලයි. නියම සහෝදරත්වයෙන් ඉන්න කට්ටියව හම්බ වුණා කියලා මට තේරුණා.

බයිබලය ඉගෙනගනිද්දී මං හිතන විදිහ වෙනස් කරගන්න ඕන කියලත් සාමකාමීව ඉන්න ඉගෙනගන්න එක විතරක් නෙවෙයි ඒ විදිහට ජීවත් වෙන එක තමයි හොඳම දේ කියලත් මට තේරුණා. (රෝම 12:2) මං ටිකෙන් ටික වෙනස් වුණා. 1974 ජනවාරි මාසයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

සාමකාමීව ඉන්න ඉගෙනගත්තා විතරක් නෙවෙයි ඒ විදිහට ජීවත් වෙන එක තමයි හොඳම දේ කියලත් මට තේරුණා

බව්තීස්ම වුණාට පස්සෙත් කේන්තිය පාලනය කරගන්න සෑහෙන වෑයමක් දරන්න සිද්ධ වුණා. දවසක් ගෙයින් ගෙට සේවේ යද්දී මං දැක්කා කෙනෙක් මගේ කාර් එකේ රේඩියෝ එක ගලවගෙන දුවනවා. මම එයා පස්සේ පැන්නුවා. ළං වෙනවාත් එක්කම මනුස්සයා රේඩියෝ එක දාලා දිව්වා. ඒ ගැන අනිත් අයට කියද්දී වැඩිමහල්ලෙක් ඇහුවා “ස්ටීවන්, එයාව අල්ලගන්න පුළුවන් වුණා නං ඔයා එයාට මොනවා කරයිද” කියලා. ඒ ප්‍රශ්නේ හින්දා මං හිතුවා මීට වඩා සාමකාමී කෙනෙක් වෙන්න ඕන කියලා.

1974 ඔක්තෝබර්වලදී බයිබලයේ තියෙන දැනුම අනිත් අයට කියලා දෙන පූර්ණකාලීන සේවය පටන්ගත්තා. ඒකට මාසෙකට පැය 100ක් ගත කරන්න වුණා. පස්සේ කාලෙක මට නිව් යෝර්ක් බෘක්ලින්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ස්වේච්ඡා සේවකයෙක් හැටියට වැඩ කරන්නත් පුළුවන් වුණා. ඒත් මගේ අම්මා අසනීප වුණ හින්දා 1978දී ආපහු ලොස් ඇන්ජලීස්වලට යන්න සිද්ධ වුණා. ඊට අවුරුදු 2කට පස්සේ මම ආරොන්ඩා එක්ක විවාහ වුණා. අම්මාව බලාගන්න එයා මට හුඟක් උදව් කළා. අම්මා මැරෙන කල්ම අපි දෙන්නා එයාව හොඳින් බලාගත්තා. අපිට ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට යන්නත් අවස්ථාව ලැබුණා. එහෙදී පැනමාවලට යන්න පැවරුමක් ලැබුණු නිසා එහෙට ගිහින් දේවසේවකයන් විදිහට සේවය කෙරුවා.

බව්තීස්මයෙන් පස්සේ ආරවුල් ඇති වෙන තත්වයන් කීපයකටම මං මුහුණ දුන්නා. ඒත් කවුරුහරි මගේ තරහ අවුස්සන්න හදද්දී එතනින් අයින් වෙලා යනවා. නැත්නම් තත්වය දුර දිග යන්න නොදී තරහ නිවෙන විදිහට කටයුතු කරනවා. මගේ බිරිඳත් හුඟදෙනෙකුත් මං ඒ තත්වයන් හැසිරුව විදිහ ගැන ප්‍රශංසා කළා. ඒක කරන්න පුළුවන් වුණ එක ගැන මටම පුදුමයි. ඒත් මගේ ජීවිතය වෙනස් වුණ එක ගැන මම ප්‍රශංසාව ලබාගන්නේ නැහැ. දේවවචනය තමයි මාව වෙනස් කළේ.—හෙබ්‍රෙව් 4:12.

මං දැන් අද්දකින ආශීර්වාද:

බයිබලය නිසා මගේ ජීවිතයට අරමුණක් ලැබුණා. සාමකාමීව ඉන්නත් ඉගෙනගත්තා. දැන් මං අනිත් අයට ගහන්නේ, හිරිහැර කරන්නේ නැහැ. ඒ වෙනුවට සහනයක් ලබා දෙන පණිවිඩයක් කියනවා. ඉහළ පන්තිවල ඉගෙනගනිද්දී මගේ හතුරෙක් වෙලා හිටිය කෙනෙක් එක්කත් මම බයිබලය පාඩම් කළා. එයා බව්තීස්ම වුණාට පස්සේ අපි දෙන්නා හොඳ යාළුවෝ වෙලා කාලයක් එකම කාමරේ නැවතිලා හිටියා. තාමත් අපි හොඳ යාළුවෝ. මේ වෙනකොට මායි මගේ බිරිඳයි බයිබලය ගැන ඉගෙනගෙන සාක්ෂිකරුවන් වෙන්න 80කට වඩා වැඩිදෙනෙක්ට උදව් කරලා තියෙනවා.

අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් නියම සහෝදරයන් අතරේ ඉන්නත් ලබා දුන්න අවස්ථාව ගැන මම යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.