Skip to content

පටුනට යන්න

අපේ පොළොව කවදා හෝ විනාශ වෙයිද?

අපේ පොළොව කවදා හෝ විනාශ වෙයිද?

අපේ පොළොව කවදා හෝ විනාශ වෙයිද?

‘අනාගතයේදී අපේ පොළොවට මොනවා වෙයිද’ කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? මේ අලංකාර පෘථිවියට සිදු වන දේ දකින බොහෝදෙනා සිතන්නේ මේ පොළොව අනාගතයේදී විනාශ වෙයි කියායි.

ජලය, වනාන්තර සහ වායුගෝලය වැනි සම්පත් දූෂණය වෙමින් තිබෙන නිසා පොළොව විනාශය කරා ඇදෙමින් පවතිනවා. සමහර විද්‍යාඥයන් පවසන්නේ විශාල උල්කාපාත වැටීමෙන්, තාරකා පිපිරීමෙන් හෝ සූර්යා සතු හයිඩ්‍රජන් ප්‍රමාණය නැතිවීමෙන් පොළොව සහ එහි ජීවීන් තර්ජනයට ලක් විය හැකි බවයි.

ඉදිරියේදී මෙම තත්වය වෙනස් නොවුණහොත් ජීවීන්ට පොළොවේ විසීමට නොහැකි වෙයි කියා විද්‍යාඥයන් පවසනවා. විශ්වකෝෂයක විස්තර කරන්නේ “යථා තත්වයට පත් කළ නොහැකි සේ සියල්ල වෙනස් වීමේ අවදානමක් පවතින” බවයි.—Encyclopædia Britannica.

පොළොව විනාශ වී, එහි ජීවය නැති වී යෑමට යෙහෝවා දෙවි කවදාවත් ඉඩ නොදෙන බවට බයිබලයේ සහතිකයක් දී තිබීම සතුටට කරුණක්. සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට ‘අති මහත් බලයක්’ තිබෙන නිසා ඔහුට හැකියි මෙම විශ්වයට විනාශ වෙන්න ඉඩ නොදී එය ආරක්ෂා කරන්න. (යෙසායා 40:26) එමනිසා මේ වචන කෙරෙහි ඔබට විශ්වාසය තබන්න පුළුවන්. “[දෙවි] පොළොව ස්ථිරව පිහිටුවා ඇත. එය කිසිදා නොසෙල්වෙන ලෙස සාදා ඇත.” “ඉරත් සඳත්, ඔහුට ප්‍රශංසා කරන්න. ආලෝකය දෙන සියලු තාරකාවෝ, ඔහුට ප්‍රශංසා කරන්න. . . . මන්ද ඔහු අණ දුන් විට ඒවා මවන ලදි. ඔහු ඒවා සදාකාලයෙන් සදාකාලයට පවතින්න සැලැස්සුවේය.”—ගීතාවලිය 104:5; 148:3-6, නව ලොව පරිවර්තනය, NW.

පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ

පොළොව අද මෙන් දූෂිත තත්වයක තිබෙනවා දකින්න දෙවි කොහෙත්ම අරමුණු කළේ නැහැ. ඔහු මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව නිර්මාණය කර ලස්සන උද්‍යානයක ඉන්න සැලැස්සුවා. එය නිකම්ම තිබෙන්න හරිනවා වෙනුවට එය ‘වගා කිරීමටත් බලාගැනීමටත්’ ඔවුන්ට පැවරුමක් දුන්නා. (උත්පත්ති 2:8, 9, 15NW) අපේ එම දෙමාපියන් පාපයට ඇද වැටෙන්න කලින් දෙවි ඔවුන්ට දුන්නේ ප්‍රීතිමත් වැඩ කොටසක්!

මුළු පොළොවම පාරාදීසයක් කරන්න අරමුණු කළ දෙවි ආදම් සහ ඒවට මෙම ආඥාව දුන්නා. “දරු සම්පත් ලබා ගණනින් වැඩි වන්න. පොළොව පුරා පැතිර යමින් එය රැකබලා ගන්න. මුහුදේ මත්ස්‍යයන්වද පක්ෂීන්වද පොළොව මත සිටින සියලු සතුන්වද ඔබ යටතේ තබාගන්න.”—උත්පත්ති 1:28NW.

කනගාටුවට කරුණක් වන්නේ සාතන් බවට පත් වූ අහංකාර දේවදූතයෙක් දෙවිගේ අරමුණට බාධා කිරීමයි. ආදම් සහ ඒවගේ නමස්කාරය ලැබීමට ඔහු තුළ ආශාවක් තිබුණා. එමනිසා සාතන් සර්පයෙකුව යොදාගෙන දෙවිගේ පාලනයට විරුද්ධව කැරලි ගසන්න එම යුවළව පෙලඹෙව්වා. (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) නිර්මාතෘ දුන් ආශීර්වාද අගය නොකරන තරමටම ආත්මාර්ථකාමී වූ ඔවුන් දෙවිට දුක් දුන්නා. ඔවුන් කැරලි ගැසුවත් පොළොව සම්බන්ධයෙන් දෙවි අරමුණු කළ දේ වෙනස් වුණේ නැහැ. දෙවි පැවසුවේ මෙයයි. “මා පවසන දේ ඉටු නොවී මා වෙතට නැවත හැරී එන්නේ නැත. මාගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉටු වන්නේය. මා අරමුණු කරන දේ එලෙසම සිදු වන්නේය.”—යෙසායා 55:11NW.

සාතන්ගේ කැරලි ගැසීම නිසා ඇති වූ ප්‍රතිඵල මේ දක්වාම පවතින්න දෙවි ඉඩහැර තිබෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි. දෙවිගෙන් ඈත් වූ මිනිසුන්ට මේ වන තෙක්ම නොයෙක් පාලන ක්‍රම අත්හදා බලන්න දෙවි ඉඩ දී තිබෙනවා. නමුත් එක පාලන ක්‍රමයක්වත් සාර්ථක වී නැහැ. ඉන් ඔප්පු වී තිබෙන්නේ දෙවිගෙන් ඈත් වී මිනිසාට සාර්ථකව කටයුතු කළ හැකියි කියා සාතන් පැවසූ දේ බොරුවක් වී ඇති බවයි. *යෙරෙමියා 10:23.

එය එසේ වුවත්, ගත වූ සියවස් ගණනාව පුරා සමහර අවංක මිනිසුන්ට දෙවි ආශීර්වාද කර තිබෙනවා. එමෙන්ම තමන්ගේ පාලනයට කීකරු වන අයටත් අකීකරු වන අයටත් ලැබෙන ප්‍රතිඵල ගැන ඔහු බයිබලය මගින් අපිට පවසනවා. අපේ යහපත උදෙසා දී තිබෙන මවිතාකාර දේවලින් පිළිබිඹු වෙන්නේ දෙවිගේ ප්‍රේමයයි. උදාහරණයකට ජීවත් වීමේ හොඳම ක්‍රමය අපට කියා දීමටත්, අප වෙනුවෙන් ජීවිතය දී අපව ගලවාගැනීමටත් ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයා වූ යේසුස්ව එව්වා. (යොහන් 3:16) යේසුස් පව්කාරයෙක් නොවූ නිසා ඔහු මරණයට සුදුස්සෙක් වුණේ නැහැ. ආදම් සහ ඒව මිනිසුන්ට අහිමි කළ සදාකාල ජීවනය යළි ලබා දෙන්න සුදුසුම තත්වයේ සිටියේ ඔහු පමණයි. * එමෙන්ම මුළු මිනිස් වර්ගයාවම පාලනය කිරීමට යෙහෝවා දෙවි ස්වර්ගික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එම රාජ්‍යයේ රජ ලෙස පත් කර තිබෙන්නේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්වයි. මෙම කදිම විධිවිධානයෙන් තහවුරු වෙන්නේ පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ ඉටු වෙන බවයි.—මතෙව් 6:9, 10.

එමනිසා බයිබලයේ සඳහන් මෙම පොරොන්දු ඉටු වෙන බවට නිසැක වෙන්න ඔබට හැකියි. “දුෂ්ටයන්ව විනාශ කර දමන්නේය. නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය පොළොව උරුම කරගන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය.” “‘බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ කීවේය: ‘බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි.’”—ගීතාවලිය 37:9, 29NW; එළිදරව් 21:3-5.

බයිබලයේ පරස්පර විරෝධී අදහස් නැහැ

‘ලෝකයේ අවසන් දවස් ගැන පවසන බයිබල් පද සමඟ ඉහත සඳහන් බයිබල් පද ගැළපෙන්නේ කොහොමද’ කියා සමහරු කල්පනා කළ හැකියි. කෙසේවෙතත් ඒ ගැන උදාහරණ කීපයක් සලකා බැලීමෙන් බයිබලයේ පටහැනි අදහස් නැති බව වටහාගත හැකියි.

භෞතික “සියල්ල වෙනස් වෙන” බව විද්‍යාඥයන් වටහාගැනීමටත් බොහෝ කලකට පෙරයි බයිබල් ලේඛකයෙක් වූ ගීතිකාකරු මෙසේ පැවසුවේ. “ඔබ [එනම්, දෙවි] පොළොවේ අත්තිවාරම් දැම්මේය. අහස ඔබේ අත්වැඩය වේ. ඒවා නැති වී ගියත් ඔබ සදහටම පවතින්නේය. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් ගෙවී යන්නේය. ඒවායින් ප්‍රයෝජනයක් නැති වූ විට වස්ත්‍ර මාරු කරන්නාක් මෙන් ඔබ ඒවා මාරු කරන්නේය. නමුත් ඔබ එකමය. ඔබේ පැවැත්ම කිසිදා කෙළවර වන්නේ නැත.”—ගීතාවලිය 102:25-27NW.

එසේ පැවසීමෙන් ගීතිකාකරු පොළොව සම්බන්ධයෙන් දෙවිගේ සදාකාල අරමුණට පටහැනි යමක් සඳහන් කළේ නැහැ. ඔහු පෙන්වූයේ දෙවි මවා තිබෙන සියල්ල විනාශ වී ගියත් දෙවි සදහටම සිටින බවයි. දෙවිගේ බලය නොතිබුණා නම් මුළු විශ්වයම අවුල් ජාලාවක් වේවි. එසේ සිදු වුණොත් ආලෝකය සහ ශක්තිය මෙන්ම සමතුලිතතාව ආපසු ලබාගැනීමේ හැකියාව සපයන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු අන් සියල්ලම අන්තිමේදී විනාශ වී යයි. මෙයින් පෙනී යන්නේ අද පවතින ලෝක තත්වය දිගටම පැවතුණොත් අපේ පොළොව ‘ගෙවී යන’ බව නැතහොත් සම්පූර්ණයෙන්ම නැති වී යන බවයි.

පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණට එකඟ නැහැයි කියා හැඟිය හැකි වෙනත් බයිබල් පදත් තිබෙනවා. බයිබලයේ පවසන්නේ අහස සහ පොළොව ‘පහව යන’ බවයි. (එළිදරව් 21:1) නමුත් මේ පදය යේසුස් දුන් මෙම පොරොන්දුවට පටහැනි නැහැ. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5) අහස සහ පොළොව ‘පහව යනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

බොහෝවිට බයිබලයේ සංකේත වශයෙන් “පොළොව” යනුවෙන් සඳහන් කරන්නේ මිනිස් සමාජය දැක්වීමටයි. උදාහරණයකට මේ බයිබල් පදය බලන්න. “ඒ දවස්වලදී, මුළු පොළොවෙහිම එක භාෂාවක්ද එක වචන මාලාවක්ද තිබිණ.” (උත්පත්ති 11:1NW) මෙහිදී ‘පොළොව’ කීමෙන් අදහස් වෙන්නේ එහි වෙසෙන ජනයා බව පැහැදිලියි. තවත් උදාහරණයක් බලමු. “පොළොවේ සියල්ලෙනි, යෙහෝවාට ගී කියන්න” කියා ගීතාවලිය 96:1හි [NW] පවසනවා. එහි හා තවත් පදවල “පොළොව” යන වචනය යොදා තිබෙන්නේ මිනිසුන්ව යොමු දක්වන්නයි.—ගීතාවලිය 96:13.

පොළොවේ පවතින පාලන ක්‍රමයන් අහසට සහ ආකාශ වස්තූන්වලට බයිබලයේ සමාන කර තිබෙනවා. උදාහරණයකට බැබිලෝනියේ දරුණු පාලකයන් වෙනත් අයට වඩා උසස් බව පෙන්වීමට තැත් කළ නිසා ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ තාරකාවන් හැටියටයි. (යෙසායා 14:12-14) අනාවැකියක පැවසෙන ආකාරයට බැබිලෝනියානු “අහස” එනම් පාලන පංතිය සහ “පොළොව” එනම් එම පාලනයට සහයෝගය දුන් අය ක්‍රිස්තු පූර්ව 539දී විනාශ වුණා. (යෙසායා 51:6) නමුත් පසුතැවිලි වූ යුදෙව්වන්ට යළි යෙරුසලමට යන්න අවස්ථාව ලැබුණා. එහි තිබුණේ ‘අලුත් අහසක්’ එනම් නව පාලන පංතියක් සහ ඔවුන් පාලනය කරමින් සිටියේ “අලුත් පොළොවක්” එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්.—යෙසායා 65:17.

බයිබලයේ අහස සහ පොළොව ‘පහව යන’ බව පවසද්දී ඉන් අදහස් වන්නේ අද පවතින ආණ්ඩු ක්‍රමවල සහ ඔවුන්ට සහයෝගය දක්වන ජනයාගේ අවසානයයි. (2 පේතෘස් 3:7) ඒත් එක්කම ධර්මිෂ්ඨ නව මිනිස් සමාජයකට දෙවිගේ නව ස්වර්ගික ආණ්ඩුවේ ආශීර්වාද ලබාගන්න ප්‍රස්තාව උදා වෙනවා. ‘අපි බලා සිටින්නේ දෙවිගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක්’ එන තුරුයි.—2 පේතෘස් 3:13.

ඔබටත් හැකියි අපේ භූමික නිවස සදහටම පවතින බවට දෙවි දී තිබෙන පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබන්න. එපමණක්ද නොව එය පාරාදීසයක් වූ දාට එහි ජීවත් වීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) පොළොවේ හා මිනිසුන්ගේ අනාගතය පිළිබඳව බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන සොයා බැලීමට ඔබත් ඉලක්කයක් තබාගන්න. ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ සඳහා ඔබට උපකාර කිරීමට සතුටෙන් සිටිනවා.

[පාදසටහන්වල]

^ 10 ඡේ. දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබීමට හේතුව දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 106-114 දක්වා පිටු බලන්න.

^ 11 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 47-56 දක්වා පිටු බලන්න.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපේ භූමික නිවස සදහටම පවතින බවට බයිබලයේ පොරොන්දු වෙනවා

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background globe: NASA/​The Visible Earth (http://​visibleearth.nasa.gov/); polar bear: © Bryan and Cherry Alexander Photography