Skip to content

පටුනට යන්න

සියලු නිර්මාණ පිටුපස දෙවිගේ බලය

සියලු නිර්මාණ පිටුපස දෙවිගේ බලය

සියලු නිර්මාණ පිටුපස දෙවිගේ බලය

“යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත. ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය.”—ගීතා. 33:6.

1, 2. (අ) විශ්වය සහ පොළොව ගැන මිනිසා සතු දැනුම වැඩි වී තිබෙන්නේ කොහොමද? (ආ) පිළිතුර සොයාගත යුත්තේ කුමන ප්‍රශ්නයටද?

ඇල්බර්ට් අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදය ගැන තොරතුරු 1905දී ඉදිරිපත් කරන විට ඔහු සහ තවත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කළේ මුළු විශ්වයටම ඇත්තේ එක මන්දාකිනියක් පමණක් බවයි. විශ්වයේ විශාලත්වය ගැන ඔවුන්ගේ තක්සේරුව මොන තරම් වැරදිද! විශ්වයේ මන්දාකිනි බිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක්ද ඉන් සමහර මන්දාකිනිවල තරු බිලියන ගණනක්ද තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා. විශ්වය නිරීක්ෂණය කිරීමට දියුණු දූරේක්ෂ නිපදවන තරමටම සොයාගන්නා මන්දාකිනි ප්‍රමාණයත් ඉහළ යනවා.

2 වර්ෂ 1905 වන විට විශ්වය ගැන තිබූ දැනුම සීමිත වූවා සේම පොළොව ගැන තිබූ දැනුමද සීමිත වුණා. නමුත් ඒ කාලයේ සිටි අය ඔවුන්ගේ මුතුන්මිත්තන්ට වඩා යම් තොරතුරු දැන සිටියා. ජීවයේ මනා සැකැස්ම සහ සංකීර්ණත්වය මෙන්ම එහි පැවැත්මට පෘථිවිය සැකසී ඇති ආකාරය ගැන එදාට වඩා බොහෝ දේ දැන් අවබෝධ වී තිබෙනවා. ඒ වගේම විශ්වය හා පොළොව සම්බන්ධයෙන් තවත් බොහෝ දේ ඉදිරියේදී දැනගත හැකි වන බවද ස්ථිරයි. මෙහිදී පැනනඟින වැදගත් ප්‍රශ්නය වන්නේ මේ සියල්ල ඇති වුණේ කෙසේද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීමට හැකි වී තිබෙන්නේ ඒ සියල්ලේ නිර්මාතෘ ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් කර තිබෙන නිසයි.

පුදුමාකාර නිර්මාණ

3, 4. දෙවි විශ්වය නිර්මාණය කළේ කොහොමද? ඉන් ඔහුට ප්‍රශංසාව ලැබෙන්නේ කොහොමද?

3 විශ්වය ආරම්භ වූ ආකාරය ගැන බයිබලයේ මුල්ම පදයේ මෙසේ සඳහන් වෙනවා. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” (උත්. 1:1) ඉර, හඳ, තාරකා, පෘථිවිය ඇතුළු විශ්වයේ ඇති සියලු දේවල් දෙවි නිර්මාණය කිරීමට පෙර කිසිම දෙයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කැටයම් ශිල්පියෙක් යම් නිර්මාණයක් කිරීමට දෑත් සහ ආයුධ භාවිත කළත් දෙවි සෑම දෙයක්ම නිර්මාණය කිරීමට යොදාගත්තේ ඔහුගේ බලයයි.

4 යෙහෝවා දෙවි ඔහුගේ “දෑතින්” එනම් තම බලය මාර්ගයෙන් නිර්මාණය කළ දේවල් නිසා දෙවිට විශාල ගෞරවයක් ලැබෙනවා. ගීතිකාකරු ඒ ගැන පැවසුවේ “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි” කියායි. (ගීතා. 19:1) ඇත්තෙන්ම දෙවි සතු බලය සඳහා ඕනෑ තරම් සාක්ෂි අප අවට ඇති නිර්මාණවලින් දැකගත හැකියි. (රෝම 1:20) ඒ කොහොමද කියා දැන් අපි සලකා බලමු.

දෙවිගේ අසීමිත බලය

5. දෙවිට මොන තරම් බලයක් තිබෙනවාද කියා පැහැදිලි වන්නේ කුමකින්ද?

5 ඉමක් කොනක් නැති අතිවිශාල විශ්වය නිරීක්ෂණය කිරීමෙන් දෙවිගේ බලය හා ශක්තිය මොන තරම්ද කියා දැනගත හැකියි. (යෙසායා 40:26 කියවන්න.) ශක්තිය පදාර්ථ බවටත් පදාර්ථ ශක්තිය බවටත් හැරවිය හැකි බව විද්‍යාවෙන් සොයාගෙන තිබෙනවා. තරුවක් වන අපගේ සූර්යයා සෑම තත්පරයකදීම පදාර්ථ ටොන් මිලියන හතරක පමණ ප්‍රමාණයක් සූර්ය ශක්තිය, තාපය සහ අනිකුත් ශක්තීන් බවට පරිවර්තනය කරනවා. ඉන් පොළොවට පතිත වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් පොළොවේ සිටින සියලුම ජීවීන්ගේ පැවැත්මට එය ප්‍රමාණවත්. බිලියන ගණන් තාරකා හා අපගේ සූර්යයා නිර්මාණය කිරීමට අතිවිශාල ශක්තියක් හා බලයක් අවශ්‍යයි. ඒවා නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය දෙවි සතුව තිබුණා. එපමණක් නොව ඊටත් වඩා වැඩි ශක්තියක් ඔහු සතුයි.

6, 7. (අ) දෙවි කළ නිර්මාණවල පිළිවෙළක් තිබෙන බව පවසන්න පුළුවන් ඇයි? (ආ) විශ්වය අහම්බෙන් ඇති නොවූ බව පවසන්න පුළුවන් ඇයි?

6 දෙවි තම බලය යොදාගෙන කළ නිර්මාණවල පිළිවෙළක් තිබෙන බවට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. නිදසුනකට ඔබ ළඟ විවිධ පාටවලින් යුත් බෝල සහිත පෙට්ටියක් තිබෙනවා කියා සිතන්න. එම බෝල සියල්ල කලවම් කර එකවිටම බිමට හළද්දී එකම පාට ඇති බෝල එකවිටම බිමට පතිත වෙයි කියා සිතන්න පුළුවන්ද? උදාහරණයකට නිල් පාට බෝල සියල්ල එකවිටත් ඉන්පසු කහ පාට බෝල සියල්ල එකවිටත් වැටෙයි කියා සිතන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. ඉන් පැහැදිලි වන්නේ යමක් පාලනය නොකරන විට එහි පිළිවෙළක් නොමැති බවයි. අපගේ විශ්වය සම්බන්ධයෙන්ද එය සත්‍යයක් බව පිළිගෙන තිබෙනවා. *

7 දූරේක්ෂයකින් විශ්වය නිරීක්ෂණය කළොත් අපට පෙනෙන්නේ කුමක්ද? අතිවිශාල මන්දාකිනි, තරු සහ ග්‍රහලෝක නිශ්චිත ගමන් මඟක ඉතා පිළිවෙළකට ගමන් කරන බවයි. මෙය කිසිම පාලනයක් නැති අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් විය නොහැකියි. මෙතරම් පිළිවෙළකට ක්‍රියාත්මක වන විශ්වයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ කුමන බලයක් තුළින්ද යන ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. එම බලය ගැන දැනගැනීමට විද්‍යාව හා තාක්ෂණය තුළින් අප ලබා තිබෙන දැනුම පමණක් ප්‍රමාණවත් නැහැ. බයිබලයේ එය හඳුන්වන්නේ දෙවිගේ බලය ලෙසයි. එය විශ්වයේ තිබෙන ප්‍රබලතම බලයයි. ගීතිකාකරු ඒ ගැන පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත. ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය.” (ගීතා. 33:6) ඒ ‘සියල්ලෙන්’ අපට දැකගත හැකි වන්නේ අල්පමාත්‍රයක් පමණයි.

පෘථිවිය බිහි වූ ආකාරය

8. දෙවිගේ නිර්මාණයන් ගැන අප දන්නේ කොපමණ ප්‍රමාණයක්ද?

8 අප අවට තිබෙන දේ ගැන අප දන්නේ අල්පමාත්‍රයක් පමණයි. තව බොහෝ දේ ඉගෙනගැනීමට තිබෙනවා. දෙවිගේ නිර්මාණ ගැන අප සතු දැනුම ඉතා සීමිත බව දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ් පැවසූ මේ දෙයින්ද පැහැදිලියි. “අප මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්‍රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි.” (යෝබ් 26:14) දෙවිගේ නිර්මාණ හොඳින් නිරීක්ෂණය කළ පුද්ගලයෙක් වන සලමොන් රජුද වරක් මෙසේ පැවසුවා. “[දෙවි] සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.”—දේශ. 3:11; 8:17.

9, 10. දෙවි පොළොව නිර්මාණය කිරීමට යොදාගත්තේ කුමන බලයද? පළමු දවස් තුනේදී සිදු වූ දේවල් මොනවාද?

9 යෙහෝවා දෙවි තම නිර්මාණ ගැන වැදගත් තොරතුරු හෙළි කර තිබෙනවා. උදාහරණයකට, දෙවිගේ බලය පෘථිවිය මතුපිට අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:2 කියවන්න.) ඒ කාලයේදී වියළි බිමක්වත් ආලෝකයවත් නොතිබූ අතර සමහරවිට හුස්මගැනීමට සුදුසු වාතයද පෘථිවියේ නොතිබෙන්න ඇති.

10 යෙහෝවා දෙවි ඔහුගේ නිර්මාණයන් කළේ දවස් කිහිපයක් තුළ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ එක දවසකට පැය 24ක් නොව යම් කාලපරිච්ඡේදයක් අයත් වෙනවා. පළමු කාලපරිච්ඡේදයේ එනම්, පළමු දවසේදී දෙවි ආලෝකය ඇති වීමට සැලැස්සුවා. හිරු එළිය සහ සඳ එළිය පොළොවට පතිත වූ විට එම ක්‍රියාවලිය අවසන් වුණා. (උත්. 1:3, 14) දෙවෙනි දවසේදී දෙවි වායුගෝලය ඇති වීමට සැලැස්සුවා. (උත්. 1:6) ඒ වන විට ජලය, ආලෝකය සහ වාතය පොළොවේ තිබුණත් වියළි බිමක් තිබුණේ නැහැ. තුන්වෙනි දවස ආරම්භයේදී යෙහෝවා දෙවි ඔහුගේ බලය යොදාගෙන වියළි බිම ඇති වීමට සැලැස්සුවා. සමහරවිට දෙවි ඒ සඳහා පොළොව අභ්‍යන්තරයේ ඇති විවිධ බලයන් යොදාගනිමින් මුහුද තුළින් ගොඩබිම මතු වීමට සලස්වන්න ඇති. (උත්. 1:9) තුන්වෙනි දවස අවසාන භාගයේදී සහ ඉතුරු දවස්වලදී තවත් ආශ්චර්යවත් දේවල් සිදු වීමට නියමිතව තිබුණා.

ජීවීන් බිහි වූ ආකාරය

11. ශාක සහ ජීවීන් සතු සංකීර්ණත්වයෙන්, අලංකාරයෙන් හා රටාවලින් පැහැදිලි වෙන්නේ කුමක්ද?

11 යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් තුන්වෙනි දවසේ සිට හයවෙනි දවස දක්වා මනා පිළිවෙළකට ශාක හා ජීවීන් නිර්මාණය කළා. (උත්. 1:11, 20-25) මෙම පුදුමාකාර නිර්මාණවල ඇති සංකීර්ණත්වයෙන්, අලංකාරයෙන් හා විචිත්‍ර රටාවලින් ඒවා මොන තරම් උසස් නිර්මාණද කියා පැහැදිලි වෙනවා.

12. (අ) සංකීර්ණ DNA අණුවෙන් සිදු වන කාර්යය කුමක්ද? (ආ) DNA අණුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

12 එක් පරම්පරාවකට ආවේණික ගතිලක්ෂණ තවත් පරම්පරාවකට ලබා දීමට ප්‍රධාන වශයෙන් උපකාරවත් වන DNA අණුව (ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය) තුළ සිදු වන රසායනික ක්‍රියාවලිය සලකා බලන්න. ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් මෙන්ම අලි ඇතුන්, නිල් තල්මසුන් වැනි ඉතා විශාල සතුන්ද මිනිසුන් සහ අනිකුත් සියලුම ජීවීන්ද සියලුම ශාකද ඒ ඒ වර්ග ලෙස බිහි වීමට උපකාරවත් වෙන්නේ DNA අණුවයි. පොළොවේ විවිධ ජීවීන් සිටියත් ඒ එක් එක් වර්ග සඳහා ආවේණික වූ ලක්ෂණ වසර දහස් ගණනක් පුරා වෙනස් නොවී තබාගන්න හැකි වී තිබෙන්නේ ඒ නිසයි. දෙවිගේ අරමුණට අනුව ජෛවගෝලය තුළ විවිධ ජීවීන්ට තම වර්ගයාව බෝ කිරීමට හැකි වී තිබෙන්නේ DNA නිසයි. (ගීතා. 139:16) නොවරදිනසුලු මනා පිළිවෙළකින් ක්‍රියාත්මක වන DNA අණුවෙන් පැහැදිලි වෙන්නෙත් සතුන් හා ශාක නිර්මාණය කිරීමට දෙවි තම බලය යොදාගත් බවයි.

පොළොවේ උසස්ම නිර්මාණය

13. දෙවි මිනිසාව නිර්මාණය කළේ කොහොමද?

13 දෙවි ගණන් කළ නොහැකි තරම් ජීවී සහ අජීවී නිර්මාණයන් කළ පසු පොළොව “හිස්ව, පාළුව” තිබුණේ නැහැ. ඒ වුණත් දෙවි ඔහුගේ බලය යොදාගෙන නිර්මාණ කිරීම අවසන් කළේ නැහැ. හයවෙනි දවස අවසානයේදී දෙවි පොළොවේ උසස්ම නිර්මාණය වන මිනිසාව සෑදුවා. ඒ සඳහා දෙවි ඔහුගේ බලය සහ පොළොවේ තිබෙන මූලද්‍රව්‍ය යොදාගත්තා.—උත්. 2:7.

14. මිනිසා සත්වයාට වඩා වෙනස් වන ආකාරය කුමක්ද?

14 “දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය” කියා උත්පත්ති 1:27හි සඳහන් වෙනවා. දෙවිගේ ගතිලක්ෂණ ඇතුව මිනිසාව නිර්මාණය කර ඇති නිසා ප්‍රේමය පෙන්වීමටත් ඔවුන්ගේ නිර්මාතෘ සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමටත් මිනිසාට හැකියාව තිබෙන අතර තීරණ ගැනීමේ හැකියාවද ඔවුන් සතුයි. ඒ නිසා සත්වයාගේ මොළයට වඩා මිනිසාගේ මොළය බෙහෙවින් වෙනස්. දෙවි එය නිර්මාණය කළේ දෙවි ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් සදාකාලයටම ඉගෙනගැනීමේ හා ඉන් සතුට ලැබීමේ හැකියාව ඇතුවයි.

15. ආදම් සහ ඒවට ලබා දී තිබුණේ කුමන අපේක්ෂාවද?

15 යෙහෝවා දෙවි ආදම් සහ ඒවට පොළොව සහ එහි ඇති අලංකාර නිර්මාණයන් ලබා දුන්නේ ඒවා ගැන අවබෝධයක් ලබාගෙන සන්තෝෂයෙන් ජීවත් වීමටයි. (උත්. 1:28) යෙහෝවා දෙවි ඇති තරම් ආහාර මෙන්ම ජීවත් වීමට පාරාදීසයක් ලබා දුන්නා. ඔවුන්ට සදාකාලයටම ජීවත් වෙන්නත් කිසිම අඩුවක් නැති පරිපූර්ණ දරු මුනුපුරන් මිලියන ගණනකගේ මව්පියන් වෙන්නත් අවස්ථාව තිබුණා. නමුත් ඔවුන් ඉන් ප්‍රයෝජන ගත්තේ නැහැ.

දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගැනීම

16. ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසුවත් අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

16 දෙවිට ස්තුතිවන්ත වී ඔහුට කීකරු වෙනවා වෙනුවට ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙන් පැවත එන සියලුදෙනාටම දුක් විඳීමට සිදු වී තිබෙනවා. නමුත් බයිබලයේ සඳහන් වන්නේ ආදම් සහ ඒවගේ අකීකරුකම නිසා සිදු වූ හානිය ඉවත් කර දෙවි තම මුල් අරමුණ ඉටු කරන බවයි. එවිට මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙන අතර සදාකාලයටම ජීවත් වන සෞඛ්‍ය සම්පන්න සන්තෝෂවත් ජනයාගෙන් එය පිරී යනවා. (උත්. 3:15) එම මවිතකර බලාපොරොත්තුව කෙරෙහි දිගටම විශ්වාසය තබාගැනීමට නම් අපට දෙවිගේ බලයේ උපකාරය අත්‍යවශ්‍යයි.

17. අප වැළකිය යුත්තේ කුමන ආකල්පවලින්ද?

17 අප යාච්ඤාව තුළින් දෙවිගේ බලයේ උපකාරය ඉල්ලිය යුතුයි. (ලූක් 11:13) සියල්ල නිර්මාණය කළේ දෙවි බවට වූ අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න එය අපට ඉතා වැදගත්. මන්ද පරිණාමවාදී සහ අදේවවාදී අදහස් දරමින් ඉදිරිපත් කරන බොරු සහ පදනමක් නැති තර්ක එන්න එන්නම වැඩි වී තිබෙනවා. ඒවාට බිය වන්නවත් ඒවා ගැන සැක ඇති කරගන්නවත් අවශ්‍ය නැහැ. සෑම තැනම පැතිරී ඇති එවැනි ආකල්පවලට මෙන්ම ඒවා විශ්වාස කිරීමට මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලට අප විරුද්ධ විය යුතුයි.කොලොස්සි 2:8 කියවන්න.

18. බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටින බවට විශ්වාස නොකරන අය නොසලකාහරින්නේ කුමක්ද?

18 අප අවට තිබෙන නිර්මාණයන් හොඳින් අධ්‍යයනය කළොත් දෙවි ගැනත් ඔහුගේ වචනය ගැනත් තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වන බව ස්ථිරයි. විශ්වයේ සහ මිනිසාගේ ආරම්භය ගැන විද්‍යාව තුළින් ඔප්පු නොකළ දේවල් විශ්වාස කිරීමට බොහෝ අය කැමති නැහැ. අපත් ඔවුන්ගේ අදහස් දරනවා නම් ඉන් පෙනී යන්නේ සියලුම සාක්ෂි සලකා බලා නොමැති බවයි. එපමණක් නොව ‘ගණන් කළ නොහැකි’ තරම් නිර්මාණ තිබෙන බවටත් ඒවාට මනා පිළිවෙළක් හා අරමුණක් තිබෙන බවටත් වූ සාක්ෂි අප නොසලකාහරිනවා. (යෝබ් 9:10; ගීතා. 104:25) කෙසේවෙතත් ක්‍රිස්තියානීන් ලෙස අප දන්නා දෙයක් වන්නේ දෙවි ඔහුගේ බලය යොදාගෙන ඉතා බුද්ධිමත් ලෙස සියල්ල නිර්මාණය කළ බවයි.

විශ්වාසය ශක්තිමත් කරන දෙවිගේ බලය

19. දෙවි කෙනෙක් සිටින බවත් ඔහුගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැනත් විශ්වාස කිරීමට අපට තිබෙන තවත් සාක්ෂි මොනවාද?

19 දෙවි කෙරෙහි විශ්වාසය තබන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඔහුට ගරුබිය දක්වන්නත් නිර්මාණ ගැන සෑම දෙයක්ම අප දැන සිටීම අවශ්‍ය නැහැ. ඒ වගේම දෙවි කෙරෙහි විශ්වාසය ශක්තිමත් වීමට නම් සාක්ෂි පමණක් ප්‍රමාණවත් වෙන්නේද නැහැ. එකිනෙකාව හොඳින් හඳුනාගන්නා විට මිත්‍රත්වයන් ශක්තිමත් වෙනවා හා සමානව දෙවි ගැන ඉගෙනගන්නා තරමටම ඔහු ගැන තිබෙන විශ්වාසයද වැඩි වෙනවා. දෙවි අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙන විටත් ඔහුගේ ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමෙන් ප්‍රයෝජන ලබන විටත් දෙවි කෙනෙක් සිටින බවට වූ අපගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවි අපට මඟ පෙන්වන විට, අපව ආරක්ෂා කරන විට, ඔහුට සේවය කිරීමට ගන්නා වෑයම්වලට ආශීර්වාද කරන විට සහ අපගේ අවශ්‍යතා සපුරන විට දෙවි සමඟ ඇති අපගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. ඒ සියල්ල, දෙවි කෙනෙක් සිටින බවටත් ඔහුගේ බලයේ ක්‍රියාකාරිත්වයටත් ප්‍රබල සාක්ෂි සපයනවා.

20. (අ) දෙවි විශ්වය සහ මිනිසාව නිර්මාණය කළේ ඇයි? (ආ) දෙවිගේ බලයේ මඟ පෙන්වීම් දිගටම අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

20 දෙවි ඔහුගේ බලය යොදාගත් ආකාරය ගැන විශිෂ්ටතම උදාහරණයක් වන්නේ බයිබලයයි. මන්ද එය ලියනු ලැබුවේ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟවයි.’ (2 පේතෘ. 1:21) එය ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කරන විට විශ්වයේ ඇති සියල්ල දෙවි නිර්මාණය කළා යන අපගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (එළි. 4:11) දෙවි සෑම දෙයක්ම නිර්මාණය කළේ ඔහු ප්‍රේමණීය කෙනෙක් නිසයි. (1 යොහ. 4:8) ඒ නිසා අපගේ ස්වර්ගික පියාණන් හා අපගේ මිතුරා වන ප්‍රේමණීය දෙවි යෙහෝවා ගැන අන් අයට උගන්වන්න අපට හැකි සියල්ල කරමු. අප දිගටම දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් සදාකාලයටම ඔහු ගැන ඉගෙනගැනීමේ වරප්‍රසාදය අපට ලැබෙනවා. (ගලා. 5:16, 25) ඒ නිසා අප දිගටම දෙවි ගැනත් ඔහුගේ ක්‍රියා ගැනත් ඉගෙනගනිමු. ඒ වගේම ඔහුගේ බලය යොදාගනිමින් අහස, පොළොව සහ මිනිසාව නිර්මාණය කිරීමෙන් ඔහු අපට පෙන්වා තිබෙන අසීමිත ප්‍රේමය ගැන අපි ගැඹුරින් කල්පනා කරමු.

[පාදසටහන]

^ 6 ඡේ. ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ 24-25 පිටු බලන්න.

ඔබට මතකද?

• විශ්වය සහ පොළොව දෙවිගේ බලය ගැන අපට උගන්වන්නේ කුමක්ද?

• අපව දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කර තිබෙන නිසා අපට කුමක් කළ හැකිද?

• නිර්මාණ ගැන සාක්ෂි සලකා බැලීම අවශ්‍ය ඇයි?

• දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගත හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

මනා පිළිවෙළකින් යුත් විශ්වය අපට උගන්වන්නේ කුමක්ද?

[හිමිකම් විස්තර]

Stars: Anglo-Australian Observatory/​David Malin Images

[8වන පිටුවේ පින්තූර]

මේ සියල්ල සඳහා DNA දායක වුණා

[10වන පිටුවේ පින්තූරය]

ඔබගේ විශ්වාසයට හේතු ඉදිරිපත් කිරීමට ඔබ සූදානම්ද?