Skip to content

පටුනට යන්න

මුදල් පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගත හැකි අයුරු

මුදල් පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගත හැකි අයුරු

මුදල් පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගත හැකි අයුරු

මුදලට ඇති ඇල්ම හා වස්තුව හිමි කරගැනීමේ ආශාව අලුතින් පහළ වූවක් නොවේ. එය පුරාණයේ සිටම පැවත එන දෙයකි. බයිබලය ඒ සම්බන්ධයෙන් මුණිවත රකින්නෙත් නැත. දෙවි ඉශ්‍රායෙලිතයන්ට ව්‍යවස්ථාව මගින් මෙසේ උපදෙස් දී තිබිණ. “නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. . . . නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”—නික්මයාම 20:17, නව අනුවාදය.

මුදල් හා වස්තුවට ඇති ඇල්ම යේසුස්ගේ කාලයේ පොදු දෙයක්ව පැවතිණ. ‘බොහෝ ධනවත්’ තරුණයෙකු සමඟ යේසුස් කළ සංවාදයක් පිළිබඳ වාර්තාව සලකා බලන්න. ‘යේසුස් ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුව යන්ට එන්නැයි ඔහුට කීවේය. නමුත් ඔහු ඒ අසා, බොහෝ ධනවත්ව සිටි බැවින් අතිශයින් ශෝක වූයේය.’—ලූක් 18:18-23.

මුදල් සම්බන්ධයෙන් නිවැරදි දෘෂ්ටියක්

කෙසේවුවද, බයිබලය මුදල් හෝ ඉන් ලබාගත හැකි ප්‍රයෝජන හෝ හෙළාදකින බව නිගමනය කිරීම වරදකි. මුදල් මගින් ජනයාට අත්‍යවශ්‍ය දේවල් ලබාගැනීමට හැකි කරවන අතර එමගින් දිළිඳුභාවයෙන් මෙන්ම ඉන් ඇති වන කරදරවලින්ද ප්‍රායෝගිකව ආරක්ෂා වීමට හැකි බව බයිබලයේ පෙන්වයි. “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය.” එමෙන්ම, “මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය.”—දේශනාකාරයා 7:12; 10:19, න.අ.

මුදල් නිසි ලෙස පරිහරණය කිරීම දෙවි අනුමත කරයි. උදාහරණයක් වශයෙන්, යේසුස් මෙසේ පැවසීය. “අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න.” (ලූක් 16:9) දෙවිගේ සැබෑ නමස්කාරය වැඩිදියුණු කිරීමට මුදල් පරිත්‍යාග කිරීම ඊට ඇතුළත් වේ. එසේ කරන්නේ දෙවි අපේ මිතුරා කරගැනීමට අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය නිසාය. තම පියා වූ දාවිත්ගේ ආදර්ශය අනුගමනය කළ සාලමොන් යෙහෝවාගේ දේවමාළිගාව ගොඩනැඟීම සඳහා මුදල් කන්දරාවක් මෙන්ම වටිනා දේවල් පරිත්‍යාග කළේය. අවශ්‍යතාව ඇති අයට ද්‍රව්‍යමය අතින් උපකාර කිරීම තවත් ක්‍රිස්තියානි ආඥාවකි. ප්‍රේරිත පාවුල් “ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න” කියාද, “ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න” කියාද පැවසීය. (රෝම 12:13) මේ සඳහා බොහෝවිට යම් මුදලක් වැය කිරීමට සිදු වේ. කෙසේවුවද, මුදලට ඇලුම් වීම ගැන කුමක් කිව හැකිද?

“රිදීවලට ආශාවීම”

පාවුල් ක්‍රිස්තියානි යෞවනයෙකු වූ තිමෝතිට ලියූ අවස්ථාවේ “මුදල් තණ්හාව” හෝ පදගතාර්ථය වන “රිදීවලට ආශාවීම” සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් සැපයීය. පාවුල්ගේ අවවාදය 1 තිමෝති 6:6-19හි [න.අ.] සඳහන්ව ඇත. ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් පුළුල් ලෙස කතා කරමින් සිටියදී “මුදල් තණ්හාව” පිළිබඳවත් ඔහු අදහස් පළ කළේය. අද සමාජය තුළ මුදලට දෙන තැන සම්බන්ධයෙන් කල්පනා කර බලන කල, පාවුල් දේවානුභාවයෙන් පළ කළ අදහස්ද පරෙස්සමෙන් සලකා බැලීම වටී. එවැනි පරීක්ෂණයක් ‘සැබෑ ජීවනය (අරුත්බර දිවිය) ලබාගන්නා’ ආකාරය පිළිබඳ රහස හෙළි කරන බැවින් නිසැකවම එය ප්‍රයෝජනදායකය.

පාවුල් මෙසේ අනතුරු අඟවයි. “මක්නිසාද වස්තු තෘෂ්ණාව [මුදල් තණ්හාව] සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” (1 තිමෝති 6:10) මෙම පදය හෝ වෙනත් ශුද්ධ ලියවිලි පදයක් හෝ මුදල් නරක දෙයක් බව පවසන්නේ නැත. එමෙන්ම ‘නපුරට’ ප්‍රධාන හේතුව මුදල් බව හෝ සෑම ගැටලුවකටම මූලික හේතුව මුදල් බව ප්‍රේරිතයා පවසනවා නොවේ. ඒ වෙනුවට ඔහු පවසන්නේ, මුදල් සියලු ආකාර ‘නපුර’ සඳහා එකම හේතුව නොවුවත් එයද එක් හේතුවක් විය හැකි බවය.

ගිජුකමෙන් වළකින්න

ශුද්ධ ලියවිල්ලේ මුදල් හෙළාදකින්නේ නැතැයි කියා සිතමින් පාවුල්ගේ අවවාදය සුළු කොට නොතකන්න. මුදලට තණ්හාවක් ඇති කරගන්නා ක්‍රිස්තියානීන් සිටින්නේ අවදානම් තත්වයකයි. ඔවුන්ට නොයෙක් ගැටලුවලට මුහුණ දෙන්න සිදු විය හැකි අතර ඉන් දරුණුතම ගැටලුව වන ඇදහිල්ලෙන් මුළාව යෑමට පවා ඉඩ තිබේ. මෙම සත්‍යය තව තවත් තහවුරු වන්නේ පාවුල් කොලොස්සියේ ක්‍රිස්තියානීන්ට පැවසූ මේ දෙයිනි. “එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් . . . නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.” (කොලොස්සි 3:5) තණ්හාව, ගිජුකම හෝ “මුදල් තණ්හාව” රූප වැඳීමකට සමාන විය හැක්කේ කෙසේද? මින් අදහස් කරන්නේ වඩාත් විශාල නිවසක්, අලුත් මෝටර් රථයක්, වැඩි වාසිදායක රැකියාවක් ලබාගැනීමට ආශාවක් ඇතිවීම වරදක් බවද? මෙවැනි ආශාවන් ඇතිවීම වරදක් නොවේ. වරද තිබෙන්නේ ඒ පිටුපස ඇති චේතනාවලයි. මේ අනුව වැදගත් වන්නේ, මේ දේවල් වුවමනා කරන තැනැත්තාගේ හෘදයේ ආකල්පය කුමක්ද යන්න හා ඇත්තෙන්ම ඒ දේවල් අත්‍යවශ්‍යද යන්න සොයා බැලීමය.

කෑම පිසීම සඳහා යොදාගන්නා පුංචි ගිනිමැළය හා කැලෑවක් ගිනිලෑමට හැකි වන සේ බුර බුරා නැඟෙන ගිනිජාලාව අතර වෙනස සාමාන්‍ය ආශාව හා ගිජුකම අතර වෙනසට සම කළ හැකිය. යහපත් මෙන්ම යෝග්‍ය ආශාවක් ප්‍රයෝජනවත් විය හැක. වැඩ කිරීමට හා ඵල උපදවාගැනීමට එය අපව පොලඹවයි. හිතෝපදේශ 16:26 මෙසේ පවසයි. “වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොලඹවයි.” එහෙත් ගිජුකම අනතුරුදායක මෙන්ම විනාශකාරීය. එය පාලනයෙන් තොර ආශාවකි.

පාලනය කරගැනීම අමාරුම කාර්යයයි. මුදල් හා ද්‍රව්‍යමය දේවල් රැස් කරන්නේ අපේ අවශ්‍යතා සපුරාගන්නද? එසේ නැතහොත් ඒවා අපව පාලනය කරයිද? අප කල්පනාකාරි නොවුවහොත් අප ඒවාට වහලුන් වනු ඇත. මේ නිසයි ‘ගිජු පුද්ගලයෙක් රූපවඳින්නෙක්’ කියා පාවුල් පවසන්නේ. (එපීස 5:5NW) ඇත්තෙන්ම යමකට ගිජුවීම යන්නෙන් අදහස් කරන්නේ අප ඊට යටත් වන බවය. අවසානයේදී සිදු වන්නේ එය අපේ ස්වාමියා නැතහොත් අපේ සේවය ලබන දෙවියා වීමය. ඊට විරුද්ධව දෙවි තරයේ මෙසේ පවසයි. “මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.”—නික්මයාම 20:3.

ගිජුකමෙන් අඟවන තවත් දෙයක් වන්නේ අපේ අවශ්‍යතා සපුරාලන බවට දෙවි දී ඇති පොරොන්දුව කෙරෙහි අප තුළ විශ්වාසයක් නැති බවය. (මතෙව් 6:33) එසේනම්, ගිජුකම යනු දෙවිගෙන් ඉවත්ව යෑමකි. මේ අර්ථයෙන් ගත් කළද එය ‘රූපවන්දනාවකි.’ පාවුල් පැහැදිලිවම එයට විරුද්ධව අනතුරු ඇඟවීම පුදුමයක් නොවේ!

යේසුස්ද ගිජුකමට එරෙහිව ඍජු අනතුරු ඇඟවීමක් කළේය. අප සන්තකයේ නැති දෙයක් සම්බන්ධයෙන් දැඩි ආශාවක් ඇති කරගැනීමෙන් වැළකීමට ඔහු අපට අණ කළේය. “සියලු ආකාර ලෝභකමෙන් [ගිජුකම්වලින්, NW] ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට [කීවේය].” (ලූක් 12:15) මෙම පදය හා පසුව යේසුස් දුන් උපමාව සම්බන්ධයෙන් බලන කල ගිජුකම ගොඩනැඟී තිබෙන්නේ, තමන් සතු කරගත් දේ ජීවිතයේ වැදගත්ම දේයයි සිතීමේ අනුවණ විශ්වාසය මතය. ඒවා නම් මුදල්, තත්වය, බලය හෝ එවැනි තවත් දේවල්ය. අත් කරගත හැකි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ගිජුකමක් වර්ධනය කරගැනීමට හැකියාවක් තිබේ. ඒ දෙය අත් කරගැනීමෙන් සෑහීමට පත් විය හැකියයි අප සිතීමට පුළුවන. එහෙත් බයිබලයට අනුව හා මිනිසුන් ලත් අද්දැකීම්වලට අනුව පෙනීයන්නේ, අපට අත්‍යවශ්‍ය දේවල් සැපයීමට හැක්කේ දෙවිට පමණක් බවය. එමෙන්ම ඒවා ලබා දෙන්නෙත් දෙවි පමණකි. ඒ බව යේසුස් සිය අනුගාමිකයන්ට හොඳින් පැහැදිලි කළේය.—ලූක් 12:22-31.

අද, වාණිජ ලෝකය ගිජුකම නමැති ගින්නට පිදුරු දමමින් සිටී. මෙම වාණිජ ලෝකය යොදන සූක්ෂ්ම නමුත් බලවත් ක්‍රමවලට අසු වී සිටින බොහෝදෙනෙකුගේ අදහස වන්නේ තමන් සතු දේ ප්‍රමාණවත් නොවන බවය. තිබෙන දේට වඩා වැඩි දෙයක් හා වඩාත් විශාල මෙන්ම වඩාත් හොඳ දේවල් ඔවුන්ට අවශ්‍යය. අප අවට ලෝකය වෙනස් කිරීමට අපට නොහැකි නමුත්, පෞද්ගලිකව මෙම නැඹුරුවාවෙන් වැළකීමට අපට හැකි වන්නේ කෙසේද?

සෑහීමට පත්වීම ගිජුකම නසාලයි

පාවුල් ගිජුකම වෙනුවට සෑහීමට පත්වීමේ විකල්පය ඉදිරිපත් කරයි. ඔහු මෙසේ පවසයි. “තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.” (1 තිමෝති 6:8) අපට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ “කෑම ඇඳීම” පමණක්ය යන අදහස දෙන මෙම විස්තරය හරිම බොළඳ එකක් මෙන් පෙනිය හැක. කීර්තිමත් පුද්ගලයන් වෙසෙන සුඛෝපභෝගී නිවෙස් කරා ප්‍රේක්ෂකයන්ව ගෙනයන රූපවාහිනී වැඩසටහන් මගින් බොහෝදෙනෙක් රසාස්වාදයක් ලබති. සෑහීමට පත් කරවන මාර්ගය එය නොවේ.

ඇත්තෙන්ම, දෙවිගේ සේවකයන්ට විහින් දිළිඳු ජීවිතයක් ගත කිරීමට අවශ්‍යතාවක් නොමැත. (හිතෝපදේශ 30:8, 9) කෙසේවුවද, දිළිඳුකම කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් හා හිසට සෙවනක් නැති තත්වයක් බව පාවුල් අපට සිහිගන්වයි. අනික් අතට, ඒ දේවල් අපට තිබෙනවා නම් සෑහීමට පත්වීම සඳහා එය අපට පදනමක් සපයයි.

සෑහීමට පත්වීම සම්බන්ධයෙන් පාවුල් දුන් විස්තරය යථාර්ථවාදී එකක් විය හැකිද? අත්‍යවශ්‍යම දේවල් වන ආහාර, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් තිබීමෙන් පමණක් ඇත්තෙන්ම සෑහීමට පත් විය හැකිද? මේ ගැන පාවුල් හොඳින් දැනගෙන සිටියා විය යුතුයි. රෝමානු පුරවැසිභාවය ලබා සිටි පාවුල් කලින් ධනවත්ව හා බොහෝ වරප්‍රසාදයන් භුක්ති විඳිමින් යුදෙව් සමාජය තුළ වැජඹෙමින් සිටියේය. (ක්‍රියා 22:28; 23:6; පිලිප්පි 3:5) එමෙන්ම මිෂනාරි සේවයේ යෙදුණු විට පාවුල් බොහෝ දුෂ්කරතාවලටද මුහුණ දුන්නේය. (2 කොරින්ති 11:23-28) මේ සෑම දෙයකින්ම, සෑහීමට පත්ව සිටීමට උපකාර වන රහස කුමක්ද කියා ඔහු ඉගෙනගත්තේය. එම රහස කුමක් වීද?

“රහස ඉගෙනගෙන සිටිමි”

පාවුල් තම ලිපියක මෙසේ පැහැදිලි කළේය. ‘මම පහත් තත්වයක සිටින්නටද, සමෘද්ධව සිටින්නටද දනිමි. මා කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධව සිටින්නටත්, අග හිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි.’ (පිලිප්පි 4:12, න.අ.) පාවුල්ට තිබුණේ මොනතරම් නිසැකකමක් හා ශුභවාදී හැඟීමක්ද! ඔහු මෙම වචන ලියද්දී, ඔහුගේ ජීවිතය රෝස මල් යහනාවක් මෙන් තිබෙන්න ඇති කියා සිතීමට ඉඩ තිබුණත්, එය එසේ වූයේ නැත. ඔහු සිටියේ රෝමයේ හිරඅඩස්සියෙයි!—පිලිප්පි 1:12-14.

මෙම කාරණය ගැන කල්පනා කර බලන විට, එම පදවල සෑහීමට පත්වීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රබල අදහසක් ඉදිරිපත් කරයි. එනම් ද්‍රව්‍යමය වස්තු සම්බන්ධයෙන් පමණක් නොව නමුත් මුහුණ දීමට සිදු වන මොනම තත්වයකදී වුවත් සෑහීමට පත් වන්නේ කෙසේද යන්න ගෙනහැර දක්වයි. ධනසම්පත් හෝ දුෂ්කරතා බහුලව තිබෙන විට අප ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමකටද යන ප්‍රශ්නය මතු විය හැක. ද්‍රව්‍යමය වශයෙන් කුමන තත්වයක් තිබුණත් තමාව සෑහීමට පත් කළ ආත්මික දායාදයන් ගැන පාවුල් මෙසේ පැවසීය. “මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන.” (පිලිප්පි 4:13) බහුලව හෝ හිඟව තිබුණත්, ඔහුගේ තත්වයන් හොඳ හෝ නරකව තිබුණත් තමාගේ අවශ්‍යතා පිරිමසාගැනීමට පාවුල් තමාට හිමිව තිබූ දේවල් වෙත හැරෙනවා වෙනුවට හැරුණේ දෙවි වෙතටයි. ඒ හේතුවෙන් ඔහු සෑහීමට පත් විය.

පාවුල්ගේ ආදර්ශය විශේෂයෙන්ම තිමෝතිට වැදගත් විය. ප්‍රේරිතයා මෙම යෞවනයාගෙන් උදක්ම ඉල්ලා සිටියේ, ධනසම්පත් හඹා යන ජීවන රටාවක් වෙනුවට දේවභක්තිය හා දෙවි සමඟ කිට්ටු සබඳතාවක් පවතින ජීවන රටාවක් හඹා යන ලෙසය. පාවුල් මෙසේ පැවසීය. “නුමුත්, [දෙවියන්ගේ] මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.” (1 තිමෝති 6:11) එම වචන පවසා තිබෙන්නේ තිමෝතිට විය හැකි නමුත් දෙවිට ගරු කිරීමට වුවමනා මෙන්ම සැබවින්ම සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට වුවමනා ඕනෑම කෙනෙකුට එය අදාළ වේ.

අන් සෑම ක්‍රිස්තියානියෙකු මෙන් තිමෝතිද ගිජුකම සම්බන්ධයෙන් අවදිව සිටිය යුතු විය. පෙනෙනාකාරයට, පාවුල් ඔහුට ලියන විට ඔහු සිටි එපීස සභාවේ පොහොසත් ඇදහිලිවන්තයන් සිටින්නට ඇත. (1 තිමෝති 1:3, 4) පාවුල්, මෙම සමෘද්ධිමත් වාණිජ කේන්ද්‍රස්ථානයට ඇතුල් වූයේ ශුභාරංචිය දේශනා කරමින් බොහෝදෙනෙකුව ඇදහිලිවන්තයන් බවට පත් කරමින්ය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අදදින ක්‍රිස්තියානි සභාවේ සිටින සමහරෙකු මෙන් පොහොසත් අයව සිටි බවට සැකයක් නැත.

එසේනම්, 1 තිමෝති 6:6-10හි උගන්වන දේ සම්බන්ධයෙන් ගත් කල වැදගත් ප්‍රශ්නය වන්නේ මෙයයි. පොහොසත් ගණයේ ලා ගැනෙන ජනයාට දෙවිට ගරු කිරීමට වුවමනා නම් ඔවුන් කුමක් කළ යුතුද? පාවුල් පවසන්නේ, ඔවුන් තමන්ගේ ආකල්පයන් පරීක්ෂා කර බැලීමට පටන්ගත යුතු බවය. පුද්ගලයෙකු තුළ ආත්ම විශ්වාසයේ අනිසි හැඟීමක් ජනිත කරවීමේ හැකියාවක් මුදල්වලට තිබේ. පාවුල් මෙසේ පවසයි. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන [දෙවි] කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.” (1 තිමෝති 6:17, න.අ.) ධනවත් අය තමන්ගේ මුදල් කෙරෙහි රඳා නොසිටීමට උගත යුතුය. ඒ වෙනුවට සෑම ධනයකම උල්පත වූ දෙවි කෙරෙහි රඳා සිටීමට ඔවුන් ඉගෙනගත යුතුය.

එහෙත් හරි ආකල්පයක් තිබීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. පොහොසත් ක්‍රිස්තියානීන්ට තමන්ගේ ධනසම්පත් නැණවත් ලෙස භාවිත කිරීමට සිදු වන දිනක් කවදා හෝ උදා වනු ඇත. පාවුල් මෙසේ උපදෙස් දෙයි. ‘යහපත කරන්න. උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්න. ත්‍යාගශීලී වන්න. බෙදා දීමට ලැදිව සිටින්න.’—1 තිමෝති 6:18.

“සැබෑ ජීවනය”

පාවුල්ගේ උපදේශයේ පරමාර්ථය, ද්‍රව්‍යමය දේවල තිබෙන්නේ සීමිත වටිනාකමක් පමණක් බව අපට සිහිගැන්වීමය. “පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ” කියා දෙවිගේ වචනය පවසයි. (හිතෝපදේශ 18:11) ඇත්තෙන්ම, ධනයෙන් ලබාගත හැකි ආරක්ෂාව අවසානයේදී මනඃකල්පිත එකක් පමණක් වන අතර මායාවක්ද වෙයි. දෙවිගේ අනුමැතිය ලබාගන්නවා වෙනුවට අපේ ජීවිත ධනය වටා කේන්ද්‍රගත කිරීම වරදකි.

ද්‍රව්‍යමය වස්තුවේ තිබෙන අස්ථිරත්වයෙන් පැහැදිලි වන්නේ ඒ මත අපේ බලාපොරොත්තුව තැබීම අනුවණ දෙයක් බවය. සැබෑ බලාපොරොත්තුව තබාගත යුතු වන්නේ ශක්තිමත්, අර්ථවත් මෙන්ම කල්පවතින පදනමක් මතය. ක්‍රිස්තියානි බලාපොරොත්තුව පිහිටුවා තිබෙන්නේ, අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි හා සදා ජීවනය පිළිබඳ ඔහුගේ පොරොන්දුව මතය. මුදලින් සතුට උදා කරගත නොහැකි බව සත්‍යයක් වන අතරම මුදලින් ගැළවීම ලබාගැනීමට නොහැකි බව ඊටත් වඩා සත්‍යයකි. එවැනි බලාපොරොත්තුවක් අපට දීමට හැකි වන්නේ, දෙවි කෙරෙහි ඇති අපේ ඇදහිල්ලට පමණයි.

මෙබැවින් අප පොහොසත් අය වුවත්, දුප්පත් අය වුවත්, අපව ‘දෙවි කෙරෙහි පොහොසත්’ කරවන ජීවිත ක්‍රමයක් හඹා යමු. (ලූක් 12:21) මැවුම්කරුගේ අනුමැතිය ඇතුව සිටීමට වඩා වෙන කිසිම දෙයක් වටින්නේ නැත. එය ඇතුව සිටීමට දරන සෑම වෑයමක්ම අපේ ‘අනාගතය සඳහා ස්ථිර පදනමක් සපයමින් අපට නියම සැබෑ ජීවනය ලබා දෙන ධන සම්භාරයක් රැස් කිරීම’ හා සමානය.—1 තිමෝති 6:19, න.අ.

[7වන පිටුවේ පින්තූරය]

පාවුල් සෑහීමට පත්වීමේ රහස ඉගෙනගත්තේය

[8වන පිටුවේ පින්තූර]

අපට ඇති දෙයින් සතුටු වී සෑහීමට පත්වීමට හැක