Skip to content

පටුනට යන්න

රාජ්‍ය බලාපොරොත්තුව ගැන ප්‍රීතිමත් වන්න!

රාජ්‍ය බලාපොරොත්තුව ගැන ප්‍රීතිමත් වන්න!

රාජ්‍ය බලාපොරොත්තුව ගැන ප්‍රීතිමත් වන්න!

මෙම වසරේ මාර්තු මාසයේ 10වනදා නියූ යෝක් බෙතෙල් පවුලේ සාමාජිකයන් භාවිත කරන විශාල ගොඩනැඟිලි සංකීර්ණ තුනක 5,784දෙනෙක් ප්‍රීතිමත් අවස්ථාවක් සඳහා එක්රැස් විය. ඒ, ගිලියද් මිෂනාරි පාසැලේ 110වන පංතියේ සාමාජිකයන්ට උපාධි පිරිනැමූ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සී. බාබ’ සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමින් වැඩසටහන ආරම්භ කළේය. ඔහු තම කතාව ආරම්භ කළේ මෙසේ පවසමිනි. “පංති 110කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව ගිලියද් මිෂනාරිවරුන් වශයෙන් පුහුණු කර ලොව පුරා විවිධ රටවලට යැවීමට හැකිවීම කොයිතරම් ප්‍රීතියක්ද!”

ප්‍රීතිය පවත්වාගත හැකි අයුරු

සහෝදර බාබ’ගේ ප්‍රාරම්භක වදන්වලින් පසුව, ඩොන් ඇඩම්ස් උපාධි ලැබීමට නියමිත වූ ශිෂ්‍යයන් හතළිස් අටදෙනා ඇතුළු සභාවේ සියලුදෙනාවම අමතමින් “යෙහෝවාගේ ආශීර්වාද අපව පොහොසත් කරන්නේය” යන මැයෙන් යුත් කථාව ඉදිරිපත් කළේය. එම කථාව පදනම් වී තිබුණේ හිතෝපදේශ 10:22 මතය. තම සේවකයන් රාජ්‍ය කාරණා ජීවිතයේ මුල් තැන තබා කටයුතු කරද්දී, යෙහෝවා ඔවුන්ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබා දෙමින් ඔවුන්ට ආශීර්වාද කරන බව සහෝදර ඇඩම්ස් සබයට මතක් කර දුන්නේය. ශිෂ්‍යයන්ට ඔහු දිරිගැන්වූයේ, ‘මකිදෝනියට ඇවිත් උපකාර කරන්න’ යන ආරාධනාව පිළිගැනීමේදී ප්‍රේරිත පාවුල් විදහාපෙන්වූ ආකල්පයම විදහාපෙන්වමින්, තමන් ලැබූ පැවරුම ඉතා සතුටින් භාරගන්න කියාය. (ක්‍රියා 16:9) ප්‍රේරිත පාවුල්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුවද, යන්න කිවූ ඕනෑම ස්ථානයකට ගොස් දේශනා කරන්න ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත්, එසේ කිරීමෙන් ප්‍රීතිය ගෙන දෙන ආශීර්වාද රැසක් භුක්ති විඳීමට ඔහුට හැකි වූ බවත් කථිකයා තවදුරටත් පැහැදිලි කළේය.

උපාධිලාභීන් තම මිෂනාරි පැවරුම්වලට සූදානම් වීමක් වශයෙන් මාස පහක පුහුණුවක් ඇතුළු බයිබල් පාඨමාලාවක් හදාරා තිබිණ. එසේ වුවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩැනියෙල් සිඩ්ලික් ඔවුන්ව දිරිගැන්වූයේ දිගටම ඉගෙන ගනිමින් සිටින්න කියාය. ඔහු “ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයෙකු වන්න” යන තේමාව යටතේ කතා කරමින් මෙසේ පැවසුවේය. “යේසුස්ගේ ගෝලයෙකු වීමෙන් අදහස් කරන්නේ නිතරම ඔහුගේ වචනවලට කීකරුව සිටීමයි. ඔහුගේ වචනවලට, ඔහුගේ පණිවිඩයට මෙන්ම ඔහුගේ ඉගැන්වීම්වලටද අවනත වීමට කැමැත්තෙන් සිටීම මෙයට ඇතුළත් වේ.” දෙවිගෙන් ලද ප්‍රඥාව ක්‍රිස්තුස්ගේ ජීවිතය තුළ නිදන් ගත වී ඇති නිසා ඔහුගේ අනුගාමිකයන් තම ස්වාමියාගේ හඬට සවන් නොදෙමින් තීරණ නොගන්නා බව ඔහු අවධාරණය කළේය. (කොලොස්සි 2:3) යේසුස් පැවසූ දේවලට එක් වරක් සවන් දුන් පමණින් ඔහු පිළිබඳ සෑම දෙයක්ම දන්නවා කියා කිසිවෙකුට පැවසිය නොහැක. එබැවින්, සැබෑ නිදහස අත් කර දෙන ක්‍රිස්තියානි සත්‍යයන් දිගටම ඉගෙනගැනීමටත්, අදාළ කරගැනීමටත්, ඒවා අන්‍යයන්ට ඉගැන්වීමටත් සහෝදර සිඩ්ලික් උපාධිලාභීන්ව දිරිගැන්වීය.—යොහන් 8:31, 32.

යෙහෝවාගේ සේවය තුළ ප්‍රීතිය පවත්වාගැනීමට නම් ලැබෙන හික්මවීම් පිළිගැනීමට සූදානමින් සිටිය යුතුයි. “ඔබේ වකුගඩු ඔබව හික්මවන්නේද?” යන ප්‍රශ්නය නඟමින් ගිලියද් උපදේශක ලෝරන්ස් බොවන් තම කථාව ආරම්භ කළේය. යමෙකුගේ ගැඹුරුම සිතුවිලිවලට හා හැඟීම්වලට යොමු දැක්වීමේදී, බයිබලයේ වකුගඩු උපමාලංකාරයෙන් භාවිත කර ඇති බව ඔහු පැහැදිලි කළේය. දේවවචනයේ උපදෙස් අපේ හදවත් තුළට ගැඹුරින් කිඳා බැස ඇත්නම් එම සංකේතවත් වකුගඩු අපිව හික්මවමින් අපේ පෞද්ගලිකත්වයේ ඇතුළාන්තයටම කිඳා බැස ඇති නැඹුරුවාවන් සකස් කරගැනීමට අපව පෙලඹවිය හැක. (ගීතාවලිය 16:7; යෙරෙමියා 17:10NW) අපේ විශ්වාසවන්ත ජීවන රටාව මගින් යෙහෝවාගේ ඇතුළාන්ත හැඟීම් පවා පුබුදුවාලන්න අපට පුළුවන. හිතෝපදේශ 23:15, 16, [NW] කියවීමෙන් අනතුරුව, කථිකයා මෙසේ ඇසුවේය. “ඔබේ වකුගඩු ඔබව හික්මවන්නේද? අපේ යාච්ඤාව වන්නේ එසේ සිදු වන්න කියලයි. එතකොට ඔබේ පැවරුම විශ්වාසවන්තව ඉටු කරන්න ඔබට පුළුවන්. එවිට යෙහෝවාගේ වකුගඩු, එනම්, ඔහුගේ අභ්‍යන්තර හැඟීම් පිබිදී ඔහුගේ හදවත ප්‍රීතියෙන් පිනා යන බව නිසැකයි” කියා ඔහු තවදුරටත් පැවසුවේය.

වැඩසටහනේ අන්තිම කථාව ඉදිරිපත් කළේ මාර්ක් නූම්‍යො විසිනි. ගිලියද් උපදේශකයෙකු වීමට කලින් සහෝදර නූම්‍යො කෙන්යාවේ මිෂනාරිවරයෙකු වශයෙන් සේවය කර තිබිණ. “ඇස්වලට පෙනෙන ඒවා හොඳය” යන මාතෘකාව ඔස්සේ සෑහීමට පත්වීමේ ඇති වැදගත්කම ගැන ඔහු අවධාරණය කළේය. දේශනාකාරයා 6:9ට එකඟව සහෝදර නූම්‍යො මෙසේ දිරිගැන්වීය. “යථාර්ථයට මුහුණ දෙන්න. ඒ කියන්නේ ඔබට නැති දෙයක් ගැන සිහින මවනවා වෙනුවට ‘ඇස්වලට පෙනෙන දෙයින්’ සෑහීමට පත් වන්න. ඔබ සිටින තත්වයට අනුව හැඩගැසෙන්න උත්සාහ කරන්න. යථාර්ථවාදී නොවන දේවල් ගැන සිහින මැවීමෙන් හෝ එවන් ඉලක්ක තබාගැනීමෙන් හෝ ඔබේ පැවරුමේ තිබෙන නිෂේධාත්මක දේවල් ගැන නිතරම සිතීමෙන් හෝ ඔබට කිසිදාක සෑහීමට පත් විය නොහැක.” ඔව්, අපි කොහේ සිටියත්, අපේ තත්වය කුමක් වුවත් දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව තුළින් අපට සෑහීමට පත් විය හැක. එවිට අපේ උත්තරීතර මැවුම්කරුට සතුටින් පිරි හදවත්වලින් සේවය කිරීමට අපට පුළුවන.

රාජ්‍යය දේශනා කිරීමෙන් හා ගිලියද් පාසැලෙන් ලද ප්‍රීතිමත් අද්දැකීම්

ප්‍රායෝගික උපදෙස්වලින් පූර්ණ මෙම කතාවලින් පසුව, ගිලියද් පාසැලේ ගත කළ මාස පහ තුළදී ප්‍රසිද්ධ දේශනා සේවයෙන් තමන් ලද ප්‍රීතිමත් අද්දැකීම් කිහිපයක් ගැන ශිෂ්‍යයන් විසින් සබයට විස්තර කරන ලදි. තමන් දෙවිගේ සේවකයන් බව ඔප්පු කළ ආකාරය, ගිලියද් පාසැලේ ලියාපදිංචිකරු වන වොලස් ලිවරන්ස්ගේ මෙහෙයවීම යටතේ ශිෂ්‍යයන් සබයට කියා දුන්නේය. (2 කොරින්ති 4:2) වීථිවලදී, ගෙයින් ගෙට සේවයේදී සහ වෙනත් අවස්ථාවලදී හමු වූ අවංක සිතැති මනුෂ්‍යයන් කිහිපදෙනෙකු සමඟම ශිෂ්‍යයන් බයිබල් පාඩම් ආරම්භ කරන ලදි. එයින් පැහැදිලි වූයේ එම මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට කතා කිරීමට ශිෂ්‍යයන් සමත් වූ බවයි. යෙහෝවාගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පත්වල බයිබල් සත්‍යයන් අඩංගු බව වටහාගත් උනන්දුව දැක්වූ ඇතැම් අය ඒවා කෙරෙහි තම අගය ප්‍රකාශ කර තිබිණ. ගෙයින් ගෙට සේවයේදී මුණ ගැසුණු එක් ස්ත්‍රියකගේ හදවතට බයිබල් පාඨයක් තදින්ම කාවැදුණු නිසා ඇය දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරමින් සිටී.

වැඩසටහනේ ඊළඟ කොටස මෙහෙයවන ලද්දේ සහෝදර ජොඑල් ඇඩම්ස් විසින්ය. පසු ගිය වසර තුළදී ගිලියද් උපාධි ලැබූ කිහිපදෙනෙකුව ඔහු විසින් සම්මුඛ සාකච්ඡාවකට කැඳවන ලදි. ඔහුගේ කථාවේ තේමාව වූයේ, “දිගින් දිගටම ඉගෙනගනිමින් යෙහෝවාට අඛණ්ඩව සේවය කරමු” යන්නයි. සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ අය විසින් අලුත් මිෂනාරිවරුන්ට ඉතා කාලෝචිත උපදෙස් දෙන ලදි. විසිහයවන ගිලියද් පංතියට සහභාගි වූ හැරි ජොන්සන් ගිලියද් පාසැලෙන් තමා ඉගෙනගත් දේ මතකයට නඟමින් මෙසේ පැවසුවේය. “යෙහෝවා මුල පටන්ම තම සෙනඟට මඟ පෙන්වූ බවත් සදාකාලයටම එසේ කරන බවත් අපි ඉගෙනගත්තා. එම විශ්වාසය මට වසර ගණනාවක් පුරාම මහත් දිරිගැන්වීමක් වෙලා තියෙනවා.” විලියම් නොන්කීස් 53වන ගිලියද් පංතියට සහභාගි වූ අයෙකි. ඔහු අලුත් උපාධිලාභීන්ට දිරිගැන්වූයේ, “සියල්ලට වඩා බයිබල් ප්‍රතිපත්ති මනසේ තබාගන්න” කියායි. “දැනුත්, අනාගතයේදීත් ඔබේ ජීවිතේ තීරණ ගැනීමට සිදු වන සෑම අවස්ථාවකදීම මේ ප්‍රතිපත්ති අදාළ කරගන්න. එතකොට ඔබේ පැවරුමේ අඛණ්ඩව නිරත වී සිටීමට ඔබට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, යෙහෝවාගේ මහඟු ආශීර්වාද අද්දකින්නත් ඔබට පුළුවන් වෙයි” කියා ඔහු තවදුරටත් පැවසුවේය.

ඉන් පසුව, රිචඩ් රයන් “යෙහෝවාගේ කැමැත්ත ඉටු කිරීමට ශක්තිය ලැබ” යන මාතෘකාව යටතේ සබය ඇමතුවේය. ඔහු ගිලියද් 30වන පංතියෙන් උපාධි ලැබූ ජෝන් ක’ට්ස්ව වේදිකාවට කැඳෙව්වේය. මෙම සහෝදරයා අවුරුදු 41ක් පුරාම ස්පාඤ්ඤයේ මිෂනාරිවරයෙකු වශයෙන් සේවය කර තිබිණ. ගිලියද් පාසැල ගැන අදහස් දැක්වීමට ආරාධනා කරද්දී සහෝදර ක’ට්ස් ඊට උත්තර දුන්නේ මෙලෙසයි. “අපිට ප්‍රධාන වශයෙන්ම ඉගැන්නුවේ බයිබලයෙන්. වෙනත් බයිබල් පොත් පත්වලිනුත් අපට ඉගැන්නුවා. ඒ පොත් පත්වලින් අපිට බයිබලය ගැන වඩාත් පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. මේ පොත් පත් හැම කෙනෙකුටම ලබාගන්න පුළුවන් ඒවා. ගිලියද් පාසැලෙන් රහසිගත තොරතුරු ලැබෙන්නේ නෑ. මේක මං නිතරම අපේ සහෝදර සහෝදරියන්ට කාවද්දන දෙයක්. මොකද ගිලියද් පාසැලෙන් අපිට ලැබෙන තොරතුරු බයිබලය සහ ඊට සම්බන්ධ ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන්.”

සහෝදර ගෙරිට් ලෝෂ්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහු මෙම ආත්මික වැඩසටහන කෙරෙහි ඇති අගය වැඩි කරවමින් “යෙහෝවාගේ පියාපත් සෙවණෙහි රැකවරණය සහ දිරිය ලබමු” යන මාතෘකාව යටතේ කතා කළේය. දෙවි තම සේවකයන්ව ආරක්ෂා කරන ආකාරයත් දිරිගන්වමින් උසුලන ආකාරයත් නිදර්ශනය කිරීමට බයිබලයේ රාජාලියෙකුගේ පියාපත් යොදාගෙන ඇති බව ඔහු පැහැදිලි කර දුන්නේය. (ද්විතීය කතාව 32:11, 12; ගීතාවලිය 91:4) සමහර අවස්ථාවලදී, රාජාලීන් පැය ගණනක් පුරාම තම පියාපත් විහිදුවා තබාගනිමින් පැටවුන්ට ආරක්ෂාව සලසා දෙයි. දැඩි ශීතලෙන් හා චණ්ඩ මාරුතවලින් තම පැටවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා මව් රාජාලියා ඇගේ පියාපත්වලින් උන්ව ආවරණය කරගන්නා අවස්ථාද තිබේ. ඊට සමාන ආකාරයකින්, යෙහෝවාද තම අරමුණුවලට එකඟව ක්‍රියා කරමින් තම සේවකයන්ට රැකවරණය ලබා දෙයි. ආත්මිකත්වයට තර්ජනයක් එල්ල විය හැකි පරීක්ෂණවලට මුහුණ දෙන ඔහුගේ සේවකයන්ට යෙහෝවා විශේෂ ආකාරයකින් ආරක්ෂාව සලසා දෙයි. යෙහෝවා කිසිවිටෙක තම සේවකයන්ට උසුලන්න බැරි පීඩා විඳින්න ඉඩ නොදෙන්නේය. එමෙන්ම ඔවුන් අද්දකින සෑම පරීක්ෂණයක්ම විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ඒවායින් මිදීමටද මාර්ගය පෙන්වා දෙයි. (1 කොරින්ති 10:13) සහෝදර ලෝෂ් තම කතාව අවසන් කළේ මෙම වදන්වලිනි. “සදහටම ආත්මික රැකවරණය ලබාගන්න නම්, අපි යෙහෝවාගේ පියාපත් සෙවණෙහි සිටිය යුතුයි. මෙයින් අදහස් වන්නේ කුමක්ද? අපි කිසිවිටෙක ස්වාධීනව කටයුතු නොකළ යුතුයි. කාරණා අපේ අතට ගන්න හදන්නේ නැතුව අපි සැමදා යෙහෝවාටත්, ඔහුගේ සංවිධානයටත් ළං වී සිටිමු. යෙහෝවා තම සංවිධානය තුළින් දෙන ප්‍රේමනීය මඟ පෙන්වීම්වලට හා උපදෙස්වලට අපි සදහටම අවනත වෙමු.”

සභාපති විසින් සිව් දිගින් පැමිණි විදුලි පණිවිඩ හා සුබ පැතුම් කියවීමෙන් අනතුරුව, උපාධි පිරිනැමීමට කාලය එළඹිණ. ගිලියද් පාසැල ආරම්භ කළ මුල් කාලයේදී අරමුණු කර තිබුණේ අවුරුදු පහක් ඇතුළත පංති කිහිපයක් පමණක් පැවැත්වීමටය. ඒ වුණත්, යෙහෝවා දෙවි වසර 58ක් පුරාම එම පාසැලට ආශීර්වාද කර තිබේ. සහෝදර බාබ’ තම ප්‍රාරම්භක කතාවේදී පැවසූ ලෙස, “වර්ෂ 1943දී ගිලියද් පාසැල ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා ඉන් උපාධි ලැබූවන් මොනතරම් ප්‍රශංසනීය ලෙසද කටයුතු කර ඇත්තේ! ඔවුන් සියලුදෙනාගේම සාමූහික ප්‍රයත්නය හේතුවෙන් මොළොක් ගුණැති දසදහස් දෙනෙක් යෙහෝවාගේ සංවිධානයට එක් රොක් වී තිබෙනවා.” ඔව්, මෙම මිෂනාරි පාසැල, මිලියන සංඛ්‍යාත දෙනෙකුට රාජ්‍ය බලාපොරොත්තුව ලබා දෙමින් ඔවුන්ට ප්‍රීතිය උදා කර දී තිබේ.

[24වන පිටුවේ කොටුව]

පංතියේ දත්ත

නියෝජිත රටවල් සංඛ්‍යාව: 8

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 18

ශිෂ්‍ය සංඛ්‍යාව: 48

වයස් සාමාන්‍යය: 34

සත්‍යය තුළ සිටි අවුරුදු ගණනේ සාමාන්‍යය: 18

පූර්ණ කාලීන සේවය කර ඇති අවුරුදු ගණනේ සාමාන්‍යය: 13

[25වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 110වන පංතිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) වැචෙක්, ඊ.; මැඩ්ලින්, එල්.; එවන්ස්, ජී.; වටනාබේ, කේ. (2) ට්‍රැෆඩ්, පී.; ටර්ෆ, ජේ.; විල්සන්, පී.; විලියම්ස්, ආර්.; වේබර්, ඒ. (3) ජොන්සන්, ටී.; හනව්, කේ.; මෝර්ලූ, එෆ්.; ෂාපාන්ට්යෑ, එෆ්.; පෙකම්, ආර්.; ඇන්ඩ්‍රසොෆ්, පී. (4) සීගර්ස්, ටී.; සීගර්ස්, ඩී.; බේලි, පී.; බේලි, එම්.; මැඩ්ලින්, කේ.; ලීපෝල්ඩ්, ඊ.; ලීපෝල්ඩ්, ටී. (5) එවන්ස්, එන්.; ගෝල්ඩ්, ආර්.; බෝල්මන්, අයි.; වැචෙක්, ආර්.; යූන්ජෝන්, ජේ.; විල්සන්, එන්. (6) ටර්ෆ, ජේ.; සූඩීම, එල්.; සූඩීම, ආර්.; බේංග්ට්සන්, සී.; බේංග්ට්සන්, ජේ.; ගලානෝ, එම්.; ගලානෝ, එල්. (7) පෙකම්, ටී.; මෝර්ලූ, ජේ.; ෂාපාන්ට්යෑ, සී.; ගෝල්ඩ්, එම්.; බෝල්මන්, ආර්.; යූන්ජෝන්, එෆ්. (8) වේබර්, ආර්.; ජොන්සන්, බී.; හනව්, ඩී.; වටනාබේ, වයි.; විලියම්ස්, ආර්.; ට්‍රැෆඩ්, ජී.; ඇන්ඩ්‍රසොෆ්, ටී.