Skip to content

පටුනට යන්න

සැමට නිවසක්—සිහිනය සැබෑ වෙයි

සැමට නිවසක්—සිහිනය සැබෑ වෙයි

සැමට නිවසක්සිහිනය සැබෑ වෙයි

කෙන්යාවේ නයිරෝබි නුවර අසල තිබෙන්නේ අක්කර 140ක බිම් ප්‍රමාණයකින් යුත් එක්සත් ජාතීන්ගේ ගිගිරි සංකීර්ණයයි. එහි එක්සත් ජාතීන්ගේ කාර්යාල කිහිපයක් පිහිටා තිබෙන අතර ඔවුන්ගේ නිවාස ව්‍යාපෘතියේ මූලස්ථානය ඇතුළු කාර්ය මණ්ඩලයට හා අමුත්තන්ට විනෝදය සඳහා අවශ්‍ය පහසුකම්ද සපයා තිබෙනවා. මෙම සංකීර්ණය පිහිටා තිබෙන ස්ථානය කලින් කැළි කසළ දැමූ ස්ථානයක්. එසේ වුවත් සහයෝගය හා ප්‍රමාණවත් ආධාර නිසා එය අලංකාර ස්ථානයක් බවට පත් වී තිබෙනවා.

මෙම අලංකාර ගොඩනැඟිලි සංකීර්ණයට නුදුරින් තිබෙන මුඩුක්කු නිවාස දිනෙන් දින වැඩි වෙනවා. මෙහි තිබෙන කටු මැටි පැල්පතක බිම් ප්‍රමාණය වර්ග අඩි 170ක් පමණ වෙයි. පැල්පත් අතර මාර්ගවල අපවිත්‍ර ජලය නිතරම රැඳී තිබෙනවා. එක්සත් ජනපදයේ වැසියෙක් පවිත්‍ර ජලය ලබාගැනීමට වැය කරන මුදල මෙන් පස් ගුණයක් පමණ මෙහි වැසියෙක් ඒ සඳහා වැය කරනවා. මෙහි වෙසෙන 40,000ක පමණ සෙනඟගෙන් වැඩිදෙනෙක් අවුරුදු 20ත් 30ත් අතර වයස් සීමාවක පසුවෙන අයයි. ඔවුන් මෙවැනි තත්වයක ඉන්නේ අලසකම නිසා නෙමෙයි. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ නයිරෝබි නගරයෙන් රැකියා සොයාගැනීමේ අරමුණින්. මේ සෑම දෙයකින්ම නිවාස අර්බුදය කොතරම් දරුණුද කියා ඔප්පු වෙනවා.

ඒත් ලෝක නායකයෝ සැප පහසු, අලංකාර ස්ථානයක රැස් වී සිටින්නේ මෙම අසල්වැසි නගරයේ ජීවත් වන දුගී ජනතාවගේ අනාගතය ගැන සාකච්ඡා කිරීමටයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පවසන්නේ මෙම මුඩුක්කු වැසියන්ගේ තත්වය දියුණු කිරීමට “මිනිසුන් ළඟ අමුද්‍රව්‍ය, දැනුම සහ හැකියාව තිබෙන” බවයි. එසේනම් කළ යුත්තේ කුමක්ද? ඒ ගැන අන්නන් මහතා තවදුරටත් මෙසේ පැහැදිලි කරනවා. “මගේ බලාපොරොත්තුව වන්නේ, . . . මේ ගැන කතා කරන සියලුදෙනා ඔවුන්ගේ දේශපාලනික භේද නොතකා ඉතා උද්‍යෝගයෙන් වැඩ කළොත් මෙම ගැටලුවෙන් ගොඩ එන්න [පුළුවන්] වෙයි” කියලයි.

එම බලාපොරොත්තුව කොතරම් යථාර්ථවාදීද? විදේශීය හා දේශීය දේශපාලනඥයන් තම ආත්මාර්ථකාමී අදහස් උදහස් දුරලා එකම අරමුණක් උදෙසා කටයුතු කිරීමට නම් කුමක් අවශ්‍ය කරයිද? අමුද්‍රව්‍ය, දැනුම හා බලය ඒ සඳහා අවශ්‍යයි. මේ සියල්ල සතු පුද්ගලයෙක් සිටිනවා. ඒ වගේම මෙම අර්බුදයෙන් පෙළෙන්නන් ගැන අනුකම්පාවක්ද, ගැටලුව විසඳීමට වුවමනාවක්ද ඔහුට තිබීම විශේෂ දෙයක්. ඔහුගේ ආණ්ඩුව මගින් නිවාස අර්බුදයට ස්ථිර විසඳුමක් ගෙනෙනාකාරය දැනටමත් පැහැදිලි කර තිබෙනවා.

අලුත් නිවාස ව්‍යාපෘතියක්

අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි අරමුණු කර තිබෙන දේ බයිබලයේ සඳහන් වෙනවා. ඔහුගේ පොරොන්දුව මෙයයි. “මම අලුත් ස්වර්ගයක්ද අලුත් පොළොවක්ද මවමි.” (යෙසායා 65:17) විශාල වෙනසක් සිදුවීමට නියමිතයි. මෙම අලුත් “ස්වර්ගය” යනු දේවරාජ්‍යයයි. මෙමගින් වර්තමාන ආණ්ඩුවලට ඉටු කිරීමට නොහැකි දේ සම්පූර්ණ ලෙස ඉටු කරයි. මේ ආණ්ඩුව මගින් අලුත් මිනිස් සමාජයේ සියලුම වැසියන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය ලැබෙන බවට සහතික කරනවා. මෙම අලුත් සමාජයේ වැසියන් වීමට බලාපොරොත්තු වන සියලුදෙනාව “මතු පැමිණෙන දවස්වලදී” එකතු කරන බව යෙසායා සඳහන් කර තිබෙනවා. (යෙසායා 2:1-4) මින් අදහස් වන්නේ මෙම වෙනස්කම් ඉතා ළඟදී සිදු වන බවයි.—මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5.

යෙසායා 65වන පරිච්ඡේදයේ කලින් සඳහන් කළ පදවලට අමතරව අනෙක් පදවල දෙවි එම කාලයේදී සෑම කෙනෙකුටම සැමදා විසීමට නිවසක් ලබා දෙන බවට මෙසේ ස්ථිර කරනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය.” තවදුරටත් මෙවැන්නක්ද පවසනවා. “අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩනොනඟන්නෝය.” (යෙසායා 65:21, 22) පිරිසිදු වටපිටාවක් ඇති ලස්සන උද්‍යානයක, අතුරු ආන්ත්‍රාවක් නැති නිවහනක සුවසේ විසීමට ලැබීම ගැන නිකමට සිතා බලන්න! ඒ වගේ තත්වයක ජීවත් වෙන්න කවුද අකමැති? ඒත් දෙවි පොරොන්දු කර තිබෙන දේවල් ගැන ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

විශ්වාසය තැබිය හැකි පොරොන්දුවක්

දෙවි ආදම් සහ ඒවව මැවූ විට ඔවුන්ව නිකම්ම නිකම් පාළු ඉඩමක තැබුවේ නැහැ. පිරිසිදු වාතාශ්‍රය, ජලය හා ආහාර තිබෙන ලස්සන උද්‍යානයක් වන ඒදන් උයනේ තමයි දෙවි ඔවුන්ව පදිංචි කෙරෙව්වේ. (උත්පත්ති 2:8-15) ජනගහනය පිරී ඉතිරී නොයන සේ “බෝ වෙමින් පොළොව පුරා පැතිර” යන්න කියා ආදම්ට ඔහු පැවසුවා. (උත්පත්ති 1:28) ආරම්භයේදීම දෙවිගේ අරමුණ වුණේ සියලුම වැසියන් මනා පිළිවෙළකින් හා සමඟියෙන් ජීවත් වෙමින් තිබෙන සියලු යහපත් දෙයින් තෘප්තියක් ලැබීමයි.

පසු කාලයකදී, එනම් නෝවා ජීවත් වූ කාලයේ මිනිස් සමාජය බලහත්කාරයෙන් හා දුරාචාරයෙන් පිරී ගියා. එමනිසා ‘පොළොව දෙවි ඉදිරියෙහි දූෂ්‍ය වුණා.’ (උත්පත්ති 6:11, 12) දෙවි මෙම තත්වය ඉදිරියෙහි ඇස් පියාගෙන සිටියාද? ඇත්තෙන්ම නැහැ. ඔහු වහාම පියවරක් ගත්තා. ඔහු තම නාමය වෙනුවෙනුත් ධර්මිෂ්ඨ නෝවා සහ ඔහුගේ පවුල වෙනුවෙනුත් ලෝක ව්‍යාප්ත ජලගැල්මක් මාර්ගයෙන් පොළොව පවිත්‍ර කළා. ජලගැල්මෙන් පසු නෝවා නැවෙන් එළියට පැමිණ පිරිසිදු කරන ලද පොළොවට පා තැබූ විට දෙවි ඔහුට ආශීර්වාද කර “සඵලව බෝවී පොළොව පුරා පැතිර සිටින්න” කියා පැවසුවා.—උත්පත්ති 9:1.

ඊටත් පසු කාලයකදී දෙවි ආදි පියා වූ ආබ්‍රහම්ට පොරොන්දු වූ උරුමය ඊශ්‍රායෙල් ජාතියට ලබා දුන්නා. එම උරුමය “යහපත් වූ විශාල වූ කිරි සහ මීපැණි ගලා යන්නාවූ දේශයක්.” (නික්මයාම 3:8) ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා ඔවුන්ට අවුරුදු 40ක් ඉන්න හිටින්න හරි හැටි තැනක් නොමැතිව වනාන්තරයේ එහෙ මෙහේ යෑමට සිදු වුණා. එනමුත් දෙවි තම වචනයට එකඟව ඔවුන්ට පදිංචි වීමට දේශයක් ලබා දුන්නා. දේවානුභාවයෙන් ලියූ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් ඔවුන්ට නිවාඩු දුන්නේය. . . . යෙහෝවා ඊශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් නිෂ්ඵල නොවී සියල්ල සිද්ධ විය.”—යෝෂුවා 21:43-45.

සිහිනය සැබෑ වෙයි!

යෙසායා 65වන පරිච්ඡේදයේ සඳහන් යෙහෝවාගේ පොරොන්දු බොරු පොරොන්දු නෙමෙයි. සෑම දෙයකම මැවුම්කරු හැටියට මෙම පොළොව පවිත්‍ර කර ඔහුගේ මුල් අරමුණ ඉටු කිරීමට ඇත්තටම ඔහුට බලය තිබෙනවා. (යෙසායා 40:26, 28; 55:10, 11) මීට අමතරව දෙවිට එසේ කිරීමට වුවමනාවක්ද තිබෙනවා කියා බයිබලයේ අපට සහතික කරයි. (ගීතාවලිය 72:12, 13) ධර්මිෂ්ඨ මිනිසුන්ට නිවාස ලබා දීමට ඔහු අතීතයේදී කටයුතු කළා හා සමානව අනාගතයේදීත් කටයුතු කරයි.

දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් පොළොවට පැමිණි විට ‘දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා’ කියා යාච්ඤා කිරීමට තම ගෝලයන්ට විශේෂයෙන්ම ඉගැන්වුවා. (මතෙව් 6:10) පොළොව පාරාදීසයක් වන බව ඔහු සඳහන් කළා. (ලූක් 23:43) එම පාරාදීසයේ මුඩුක්කු, පැල්පත් දකින්න ලැබෙන්නෙත් මිනිස්සුන්ට වීථිවල නිදා සිටින්න අවශ්‍ය වන්නෙත් නැහැ. කිසිවෙකුව තම නිවෙස්වලින් පන්නා දමන්නෙත් නැහැ. මොනතරම් සන්තෝෂයක් තියේවිද? සෑමදෙනාම කැමතියි තමන්ගේම කියා නිවසක ජීවත් වීමට. දෙවිගේ රාජ්‍ය පාලනය යටතේදී එම සිහිනය සැබෑවක් වේවි!

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පුරාණ ඊශ්‍රායලයේ නිවාස

ඊශ්‍රායෙල්වරු ඔවුන්ට පෙර සිටි කානානි ජාතිකයන් මෙන් ගලින් ගොඩනැඟූ නිවෙස්වල විසීමට ප්‍රිය කළා. මෙම නිවෙස් සවි ශක්තියෙන් වැඩි වූ නිසා ඔවුන්ට සොරුන්ගෙන් ආරක්ෂාවක් ලැබුණා. (යෙසායා 9:10; ආමොස් 5:11) පහත් බිම්වල වැසියන් නිවෙස් ගොඩනැඟුවේ අව්වෙන් හෝ පෝරණුවෙන් පිළිස්සූ මැටි ගඩොල් භාවිත කරමින්. මෙම නිවෙස්වල වහල පැතලි නිසා සමහර නිවෙස්වල වහල උඩ කාමරයක් තනා තිබුණා. බොහෝවිට ගෙයි මිදුලේ පෝරුණුවක් සහ කලාතුරකින් ළිඳක් හෝ ටැංකියක් දක්නට ලැබුණා.—2 සාමුවෙල් 17:18.

මෝසෙස්ට දෙනු ලැබූ නීතියෙහි නිවසක් තැනිය යුතු ආකාරය ගැන උපදෙස් දී තිබුණා. ඒවායින් වඩාත්ම වැදගත් වුණේ ආරක්ෂාව ගැන දී තිබූ උපදෙසුයි. අනතුරු වැළැක්වීමට පැතලි වහල වටා කෙටි තාප්පයක් බැඳිය යුතු වුණා. එමෙන්ම තම අසල්වාසියාගේ නිවසට ආශා නොවෙන්න කියා දහවන පණතේ අනතුරු ඇඟවීමක් කර තිබුණා. යම් පුද්ගලයෙකුට තම නිවස විකුණන්න සිදු වුණොත් යම් කාල සීමාවක් ඇතුළත එය නැවත මිල දී ගැනීමේ අයිතිය ඔහුට තිබුණා.—නික්මයාම 20:17; ලෙවී කතාව 25:29-33; ද්විතීය කතාව 22:8.

ඊශ්‍රායලයේ නිවසක් තුළ ආගමික කටයුතුවලට විශේෂ ස්ථානයක් හිමිව තිබුණා. පියවරුන්ගේ වගකීම වුණේ නිවසේ ඉන්න විට දෙවිගේ අණ පණත් දරුවන්ට ඉගැන්වීමයි. ඒ වගේම නිවස රූප වන්දනාවට සම්බන්ධ සෑම දෙයකින්ම නිදහස්ව තබාගැනීමටත් ඔවුන්ට අණ කර තිබුණා.—ද්විතීය කතාව 6:6, 7; 7:26.

[පින්තූරය]

පුරාණ ඊශ්‍රායලයේ කූඩාරම් මංගල්‍ය වැනි ආගමික උත්සව පැවැත්වීමට නිවාස භාවිත කළා

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මුල් කාලයේ නිවාස

පළමු මිනිසා වූ ආදම් නිවසක ජීවත් වුණා කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේවුවත් උත්පත්ති 4:17හි සඳහන් වෙන්නේ කායින් “නුවරක් ගොඩනඟා තමාගේ පුත්‍රයාගේ නම ලෙස එයට ඒනොක් යන නම තැබුවේය” කියායි. අද තිබෙන නගර සමඟ සසඳා බලන කල එය නගරයකට වඩා ගමක ස්වරූපයක් ගත්තා. එහි කුමනාකාරයේ නිවාස තිබුණාද කියා එම වාර්තාවේ සඳහන් කර නැහැ. සමහරවිට එම මුළු නගරයේම ජීවත් වූ වැසියන් කායින්ගේ පවුලේ අය පමණක් වෙන්න ඇති.

මුල්ම කාලයේ කූඩාරම් තමයි වැඩි වශයෙන් දක්නට ලැබුණේ. කායින්ගෙන් පැවත එන්නෙක් වන යාබල්ව හඳුන්වන්නේ “කූඩාරම්වල වසන ගවහිමියන්ගේ පියා” ලෙසයි. (උත්පත්ති 4:20) කූඩාරම් සාදාගැනීමත් ඒවා තැනින් තැනට රැගෙන යෑමත් පහසු වුණා.

කාලය ගෙවී යෑමත් සමඟම මිනිසුන් නවීන පන්නයේ නිවාස ඇති නගර ගොඩනැඟුවා. කුලදෙටු ආබ්‍රම් (ආබ්‍රහම්) විසූ ඌර් නගරයේ නටබුන්වලින් පෙනෙන්නේ එම දේශයේ සමහර වැසියන්ට පහසුකම් සහිත කාමර 13ක හෝ 14ක විශාල නිවාස තිබුණ බවයි. කපරාරු කර හුණු ගාන ලද බිත්තිවලින් සාදා තිබුණ එම නිවෙස්වල විසීමට කවුරුත් කැමති වෙන්න ඇති.

[18, 19වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨයන්ට ස්ථිර නිවසක් දීමට දෙවි පොරොන්දු වෙයි