Skip to content

පටුනට යන්න

සැමට හිසට සෙවණක් අවශ්‍යයි

සැමට හිසට සෙවණක් අවශ්‍යයි

සැමට හිසට සෙවණක් අවශ්‍යයි

‘තමාගේ හා තම පවුලේ සනීපාරක්ෂාව හා ශුභ සිද්ධිය ඇතුව හොඳ නිවසක ජීවත් වීම කාගෙත් ආශාවයි. එසේ ජීවත් වීම සෑමකෙනෙකුටම තිබෙන අයිතියක්.‘—මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 25වන වගන්තිය.

ධනවත් රටවල පවා නිවසක් නැති අය සිටිනවා. එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඉතා දියුණු නගරයක් තමයි පාම් ස්ප්‍රිංස් නගරය. මෙම නගරයට නුදුරුව තිබෙන්නේ මෙකා නගරයයි. මෙහි ස්ථිර පදිංචියක් නැති කුලී වැඩ කරන බොහෝදෙනෙක් ආණ්ඩුවේ ඉඩම්වල තාවකාලික නිවෙස් අටවාගෙන ජීවත් වෙනවා. මෙම පදිංචිකරුවන්ට වැසිකිළි පහසුකම්, පිරිසිදු ජල සැපයුම් සහ කැළිකසළ ඉවත් කිරීමේ ක්‍රම පවා නැහැ. “ඉතාමත් අන්ත දුගී තත්වයේ ඉන්න අය තමයි මෙසේ පදිංචි වෙන්නේ” කියා එක් වාර්තාකරුවෙක් පැවසුවා.

අවුරුදු තුනකට පෙර ආණ්ඩුවේ නිලධාරීන් විසින් මෙම පදිංචිකරුවන්ව පන්නා දැමුවා. එවිට එම පදිංචිකරුවන් තම නිවෙස් අත්හැර නගරයේ තදබදයෙන් පිරි මුඩුක්කු නිවාසවල පදිංචියට ගියා. තවත් සමහරුන් ඔවුන්ගේ බඩු මුට්ටුද රැගෙන කුලී වැඩ සොයාගත හැකි ප්‍රදේශයකට ගොස් තාවකාලික නිවෙස් අටවාගත්තා.

ධනවත් රටක් වන එක්සත් ජනපදයේ මිලියන පහකට හරිහමන් නිවාස නැහැ. එසේනම් සංවර්ධනය වෙමින් පවතින රටක තත්වය ඊට වඩා කොයිතරම් දරුණු විය හැකිද? දේශපාලනික, සමාජීය හා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළද ලෝක ව්‍යාප්ත නිවාස අර්බුදය දිනෙන් දින උග්‍ර වන ගැටලුවක්.

ලෝක ව්‍යාප්ත අර්බුදයක්

සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව වටා බිලියනකට වඩා වැඩි පිරිසක් ජීවත් වන්නේ මුඩුක්කු නිවාසවලයි. බ්‍රසීලයේ විද්වතුන් බියෙන් සිටින්නේ එම රටේ නිවාස අර්බුදය හේතුවෙන් “නගරවල වැසියන්ට වඩා මුඩුක්කු වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි” නිසයි. නයිජීරියාවේ සමහර නගරවල සියයට 80කට වඩා වැඩි පිරිසක් ජීවත් වන්නේ මුඩුක්කුවලයි. “මීට ස්ථිර පිළියමක් යෙදුවේ නැත්නම් තව වසර 30කින් ලෝකයේ මුඩුක්කුවල වෙසෙන ජන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ යා හැකි බව” එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වන කොෆී අන්නන් පවසනවා.

මෙම සංඛ්‍යා ලේඛනවලින් නිවෙස් අර්බුදයට මුහුණ දෙන අයගේ සැබෑ තත්වය හෙළි වන්නේ නැහැ. එක්සත් ජාතීන් පවසන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනයෙන් සියයට 50කට වඩා වැඩි පිරිසකට මූලික සනීපාරක්ෂක පහසුකම්ද, සියයට 33කට පිරිසිදු ජලයද, සියයට 25කට සුදුසු නිවහනක්ද, සියයට 20කට නවීන සෞඛ්‍ය පහසුකම්ද ලැබෙන්නේ නැහැ. සංවර්ධිත රටවල සමහර සතුන්ට පවා මීට වඩා පහසුකම් තිබෙනවා.

සැමගේ මූලික අයිතිවාසිකමක්

සුදුසු නිවහනක් මූලික මිනිස් අවශ්‍යතාවක්. වර්ෂ 1948දී එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඒ බව සනාථ කළා.

වර්ෂ 1996දී රටවල් ගණනාවක් එකට එකතු වී සැමට නිවහනක් ලබා දීමට යම් න්‍යාය පත්‍රයක් සකස් කර එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළා. වර්ෂ 2002 ජනවාරි පළමුවෙනි දා එක්සත් ජාතීන් එම න්‍යාය පත්‍රය අනුමත කර ඒ අනුව ක්‍රියාත්මක වීමට ජාත්‍යන්තර සංවිධානයක් පිහිටෙව්වා. (එම සංවිධානය UN-Habitat)

සමහර ධනවත් රටවල් හඳේ සහ අගහරු ලෝකයේ ජනපද පිහිටුවීම සඳහා ගවේෂණ කටයුතුවලට මුදල් කන්දරාවක් වැය කරනවා. නමුත් මහ පොළොවේ සිටින තම දුප්පත් රට වැසියන්ට ඉන්න හිටින්න හරි හැටි නිවසක් නැහැ. එය ඇත්තෙන්ම සිනහවට කාරණයක්. ඔබත් නිවාස අර්බුදයට මැදි වී සිටිනවාද? සැමට හිසට සෙවණක් ලැබෙයි කියා බලාපොරොත්තු විය හැකිද?

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමහර ජාතීන්ගේ වෑයම හඳේ ජනපද පිහිටුවන්නයි. ඒත් ඔවුන්ගේ බොහෝ රටවැසියන්ට මහ පොළොවේ ඉන්න හරි හැටි නිවසක් නැහැ

[13වන පිටුවේ පින්තූරය]

ආසියානු අනාථ පවුලක්.

එක් නගරයක පවුල් 3,500ක් ජීවත් වෙන්නේ ජල හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිව කුඩාරම්වලයි

[හිමිකම් විස්තර]

© Tim Dirven/Panos Pictures

[14වන පිටුවේ පින්තූරය]

උතුරු අමෙරිකාව