Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 28

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

බොරුවෙන් සත්‍යය වෙන් කරලා අඳුරගන්න

බොරුවෙන් සත්‍යය වෙන් කරලා අඳුරගන්න

‘ඔබේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන නොසැලී ස්ථිරව සිටින්න.’එෆී. 6:14.

ලිපියේ අරමුණ

යෙහෝවා අපිට උගන්නලා තියෙන සත්‍යයයි, සාතන් සහ අපේ විරුද්ධවාදීන් පතුරුවන බොරුයි අතර වෙනස අඳුරගන්න අපි අපිවම පුහුණු කරගන්නේ කොහොමද? ඒ ගැන අපි බලමු.

1. සත්‍යය ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

 බයිබලෙන් ඉගෙනගත්ත සත්‍යයට යෙහෝවාගේ සෙනඟ හුඟක් ආදරෙයි. අපි අපේ විශ්වාසේ ගොඩනඟලා තියෙන්නේ ඒ මත. (රෝම 10:17) ක්‍රිස්තියානි සභාව “සත්‍යය උසුලන කණුවක්ද ආධාරකයක්ද” විදිහට පිහිටුවලා තියෙන්නේ යෙහෝවා කියලා අපි විශ්වාස කරනවා. (1 තිමෝ. 3:15) අපි අතර ඉන්න ‘පෙරමුණ අරන් වැඩ කරන අය’ බයිබලේ තියෙන සත්‍යයන් පැහැදිලි කරද්දී, යෙහෝවාගේ කැමැත්තට එකඟව මඟ පෙන්වීම් දෙද්දී අපි ඒවාට සතුටින් කීකරු වෙනවා.—හෙබ්‍රෙ. 13:17.

2. යාකොබ් 5:19 කියන විදිහට සත්‍යය ඉගෙනගත්තාට පස්සෙත් අපිට වෙන්න පුළුවන් මොනවාද?

2 හැබැයි අපි සත්‍යය පිළිගත්තාට පස්සෙත් සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනෙ කියලා තේරුම්ගත්තාට පස්සෙත් අපි නොමඟ යන්න ඉඩ තියෙනවා. (යාකොබ් 5:19 කියවන්න.) සාතන්ටත් ඕනෙ බයිබලේ ගැන, සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් ගැන අපේ හිතේ සැක ඇති කරන්න.—එෆී. 4:14.

3. අපි සත්‍ය ඉගැන්වීම්වලට ඇලිලා ඉන්න ඕනෙ ඇයි? (එෆීස 6:13, 14)

3 එෆීස 6:13, 14 කියවන්න. ළඟදීම සාතන් සූක්ෂ්ම බොරු පතුරුවලා පොළොව පුරාම ඉන්න ජාතීන්ව නොමඟ යවනවා. ඒ නිසා එයාලා යෙහෝවාට විරුද්ධ වෙනවා. (එළි. 16:13, 14) අපි දන්නවා එදාට යෙහෝවාගේ සෙනඟව නොමඟ යවන්න සාතන් ගන්න උත්සාහය දෙගුණ තෙගුණ කරයි කියලා. (එළි. 12:9) ඒකයි සත්‍යය සහ බොරුව අතර තියෙන වෙනස අඳුරගෙන සත්‍යයට ඇලිලා ඉන්න අපි දැන් ඉඳන්ම පුහුණු වෙන්න ඕනේ. (රෝම 6:17; 1 පේතෘ. 1:22) ඒ මත තමයි මහත් පීඩාවේදී අපි බේරෙයිද නැද්ද කියන එක රැඳිලා තියෙන්නේ.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 බයිබලේ තියෙන සත්‍යය අඳුරගන්නත් සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්නත් අපිට උදව් වෙන ගුණාංග දෙකක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. අපි ඊළඟට බලනවා දිගටම සත්‍ය ඉගැන්වීම්වලට ඇලිලා ඉන්න අපි කරන්න ඕන දේවල් තුනක් ගැන.

සත්‍යය අඳුරගන්න ගුණාංග දෙකක්

5. යෙහෝවාට තියෙන ගරුබිය සත්‍යය අඳුරගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

5 යෙහෝවාට තියෙන ගරුබිය. යෙහෝවා ගැන අපේ හිතේ ගරුබියක් තියෙනවා කියන්නේ අපි ඔහුට ගොඩක් ආදරේ නිසා අපි ඔහු අකමැති කිසිම දෙයක් කරන්නේ නැහැ කියන එකයි. අපිට ලොකු වුවමනාවක් තියෙනවා හරි දේ සහ වැරදි දේ අතර, සත්‍යය සහ බොරුව අතර තියෙන වෙනස ගැන ඉගෙනගන්න. මොකද අපි දන්නවා ඒකෙන් අපිට යෙහෝවාගේ හිත සතුටු කරන්න පුළුවන් කියලා. (හිතෝ. 2:3-6; හෙබ්‍රෙ. 5:14) අපි කවදාවත් මිනිස්සුන්ට තියෙන බයෙන් යෙහෝවාට තියෙන ආදරේ යට වෙන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි කරන්නේ මිනිස්සු සතුටු වෙන දේවල්. හැබැයි අපි දන්නවා මිනිස්සු සතුටු වෙන හුඟක් දේවල් ගැන යෙහෝවා සතුටු වෙන්නේ නැහැ කියලා.

6. මිනිස්සුන්ට තියෙන බය ඊශ්‍රායෙල් අධිපතීන්ට බලපෑවේ කොහොමද?

6 අපේ හිතේ යෙහෝවාට තියෙන ගරුබිය යට කරගෙන මිනිස්සුන්ට තියෙන බය උඩට ආවොත් සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධ දෙයක් වුණත් විශ්වාස කරන්න අපි පෙලඹෙයි. ඒක තේරුම්ගන්න පොරොන්දු දේශයේ තොරතුරු බලන්න යවපු ඊශ්‍රායෙල් අධිපතීන් 12දෙනාගේ සිද්ධිය අපි බලමු. ඒ අයගෙන් දහදෙනෙක්ම යෙහෝවාට තියෙන ආදරේ යට කරන්න කානානිවරුන්ට තිබුණ බයට ඉඩ දුන්නා. ඒකයි එයාලා මෙහෙම කිව්වේ. “ඒ දේශයේ මිනිස්සු අපිට වඩා හුඟක් බලවත්. ඔවුන්ට විරුද්ධව සටන් කරන්න අපට ශක්තියක් නැහැ.” (ගණන්. 13:27-31) මිනිස්සු බලන විදිහට බැලුවා නම් ඒ කියපුවා හරි. මොකද කානානිවරු ඊශ්‍රායෙල්වරුන්ට වඩා බලවත්. හැබැයි කෙනෙක් කියනවා නම් ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ සතුරන්ව පරද්දන්න බැහැ කියලා එයාට යෙහෝවාව අමතක වෙලා. හරි නම් ඒ දහදෙනා කරන්න ඕනෙ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා හිතන එක. ඒ වගේම යෙහෝවා එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන හිතන එක. එතකොට එයාලට තේරෙයි යෙහෝවාගේ බලයත් එක්ක බලද්දී කානානිවරු කවුද කියලා. හැබැයි යොෂුවා සහ කාලෙබ් වැඩ කළේ එයාලට වඩා වෙනස් විදිහට. ඒ දෙන්නාට ඕන වුණේ යෙහෝවාගේ හිත සතුටු කරන්න. ඒකයි එයාලා සෙනඟට කිව්වේ “අපිට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම අපිව ඒ දේශයට ගෙන යයි” කියලා.—ගණන්. 14:6-9.

7. යෙහෝවාට තියෙන ගරුබිය වැඩි කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

7 යෙහෝවාට තියෙන ගරුබිය තව වැඩි කරගන්න නම් තීරණයක් ගන්න වෙන හැම වෙලාවකම මෙහෙම කල්පනා කරන්න. ‘මං මොකක් කළොත්ද යෙහෝවාගේ හිත සතුටු වෙන්නේ?’ (ගීතා. 16:8) බයිබලේ කියවද්දී ඔයාගෙන්ම අහලා බලන්න ‘මං එතන හිටියා නං මං මොන වගේ තීරණයක් ගනීද’ කියලා. හිතන්න, ඔයා දැන් ඉන්නේ ඊශ්‍රායෙල්වරු අතරේ කියලා. අධිපතීන් දහදෙනා කියනවා “අපිට කවදාවත් සතුරන්ව පරද්දන්න බෑ” කියලා. මිනිස්සුන්ට තියෙන බය නිසා ඔයා එයාලව විශ්වාස කරයිද? නැත්නම් යෙහෝවාට තියෙන ආදරේ, ඔහුව සතුටු කරන්න තියෙන ආසාව නිසා ඔයා මිනිස්සුන්ට තියෙන බය පරද්දයිද? එදා හිටපු ඊශ්‍රායෙල්වරුන්ට නම් බැරි වුණා යොෂුවා සහ කාලෙබ් කිව්වේ ඇත්ත කියලා විශ්වාස කරන්න. ඒ නිසා එයාලට පොරොන්දු දේශයට යන්න බැරි වුණා.—ගණන්. 14:10, 22, 23.

ඔයා කාව විශ්වාස කරයිද? (7 ඡේදය බලන්න)


8. අපි මහන්සි වෙන්න ඕනෙ මොන ගුණාංගය ඇති කරගන්නද? ඒ ඇයි?

8 නිහතමානිකම. යෙහෝවා සත්‍යය හෙළි කරන්නේ නිහතමානී අයට. (මතෙ. 11:25) අපිත් නිහතමානීව සත්‍යය පිළිගත්තා. (ක්‍රියා 8:30, 31) ඒත් උඩඟු නොවී ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද අපි උඩඟු වුණොත් සමහරවිට අපිට හිතෙයි අපි කියන දේවල්, අපේ අදහස් බයිබලේ තියෙන, සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් වගේමයි කියලා.

9. දිගටම නිහතමානී වෙලා ඉන්න අපිට පුළුවන් කොහොමද?

9 යෙහෝවාත් එක්ක බලද්දී අපි කොච්චර පුංචිද කියලා මතක් කරගන්න එක දිගටම නිහතමානීව ඉන්න අපිට උදව්වක්. (ගීතා. 8:3, 4) නිහතමානී වෙලා සත්‍ය ඉගැන්වීම් පිළි අරන් ඒ අනුව වෙනස් වෙන්න කැමති හදවතක් දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්නත් අපිට පුළුවන්. එතකොට අපේම අදහස්වල එල්ලිලා ඉන්නේ නැතුව බයිබලෙන්, සංවිධානයෙන් ලැබෙන අදහස් අගය කරන්න යෙහෝවා අපිට උදව් කරයි. අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි බයිබලේ කියවද්දී යෙහෝවා නිහතමානිකමට කැමතියි කියලත් උද්දච්ච, උඩඟු අයව ඔහු පිළිකුල් කරනවා කියලත් කියන්න තියෙන සාක්ෂි හොයන එක. අනිත් අයගේ අවධානයට ලක් වෙන විදිහේ පැවරුම් ලැබෙද්දී අපි විශේෂයෙන්ම වෙනදාටත් වඩා නිහතමානීව වැඩ කරන්න ඕනේ.

සත්‍ය ඉගැන්වීම්වලට ඇලිලා ඉන්න

10. යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම් දෙන්න පාවිච්චි කරන්නේ කාවද?

10 සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් ගැන දිගටම විශ්වාසේ තියන්න. අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න යෙහෝවා මුලින්ම පාවිච්චි කළේ මෝසෙස්ව. ඊටපස්සේ යොෂුවාව. (යොෂු. 1:16, 17) සෙනඟ එයාලව යෙහෝවාගේ නියෝජිතයන් කියලා පිළිගන්න තාක් කල් යෙහෝවා එයාලට ආශීර්වාද කළා. ඊට සියවස් ගාණකට පස්සේ ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්නන්න යෙහෝවා පාවිච්චි කළේ යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාව. (ක්‍රියා 8:14, 15) පස්සේ කාලේදී ඒ කණ්ඩායමට යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්වත් එකතු කළා. ඒ විශ්වාසවන්ත පුරුෂයන් දීපු මඟ පෙන්වීම් පිළිගද්දී “සභාවල සිටි සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වූ අතර එහි සිටි අයගේ ගණනද දිනෙන් දින වැඩි වුණා.” (ක්‍රියා 16:4, 5) අදත් සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් අපි පිළිගද්දී යෙහෝවා අපිට ආශීර්වාද කරනවා. හැබැයි පෙරමුණ අරන් වැඩ කරන්න යෙහෝවා පත් කරලා තියෙන අයව පිළිගන්න අපි අකමැති වුණොත් ඒ ගැන ඔහුට කොහොම දැනෙයිද? ඒක තේරුම්ගන්න ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට යද්දී වෙච්ච දෙයක් අපි බලමු.

11. මඟ පෙන්වීම් දෙන්න යෙහෝවා පත් කළේ මෝසෙස්වයි කියලා පිළිගන්න අකමැති වුණ අයට මොකද වුණේ? (පින්තූරයත් බලන්න.)

11 දවසක් පොරොන්දු දේශයට යන අතරතුර ඊශ්‍රායෙල්වරු අතර හිටපු අධිපතීන් පිරිසක් මෝසෙස්ටයි, යෙහෝවා එයාට දීපු අධිකාරියටයි විරුද්ධව කැරලිගැහුවා. එයාලා කිව්වා “මේ මුළු සෙනඟම සිටින්නේ ශුද්ධ තත්වයකයි. යෙහෝවා දෙවිත් ඔවුන් අතරේ සිටිනවා” කියලා. (ගණන්. 16:1-3) එයාලා කියපු දේ ඇත්ත. යෙහෝවා ඉස්සරහා ‘එයාලා හැමෝම’ හිටියේ ශුද්ධ තත්වයක තමයි. හැබැයි සෙනඟට මඟ පෙන්නන්න එයාලා අතරින් යෙහෝවා පත් කළේ මෝසෙස්වයි. (ගණන්. 16:28) එයාලා මෝසෙස්ට විරුද්ධව කැරලිගහලා කළේ යෙහෝවාට විරුද්ධව කැරලිගහන එකයි. එයාලා බැලුවේ යෙහෝවාට ඕනෙ මොනවාද කියලා නෙවෙයි එයාලට ඕනෙ මොනවාද කියලයි. ඇත්තටම එයාලට ඕනෙ වුණේ අනිත් අය අතරේ කැපිලා පේන්න, තව බලය ලබාගන්න. හැබැයි අන්තිමේදී මේ කැරලිකරුවන්වයි, එයාලට සහයෝගය දීපු දහස් ගාණක්වයි යෙහෝවා විනාශ කළා. (ගණන්. 16:30-35, 41, 49) මොකක්ද පාඩම? අදත් සංවිධානයෙන් ඇති කරලා තියෙන සැලසුම් අපි පිළිගන්නේ නැත්නම් යෙහෝවා අපිවත් පිළිගන්නේ නැහැ.

ඔයා කාගේ පැත්ත ගනීද? (11 ඡේදය බලන්න)


12. සංවිධානය ගැන තියෙන විශ්වාසේ අපි වැඩි කරගන්න ඕනෙ ඇයි?

12 දෙවියන්ගේ සංවිධානය ගැන අපි දිගටම විශ්වාස කරන්න ඕනේ. හිතන්න, බයිබලේ තියෙන ඉගැන්වීමක් ගැන අපේ අවබෝධයේ වෙනසක් වුණා කියලා. නැත්නම් අපි දෙවියන්ට සේවේ කරන විදිහේ වෙනසක් වුණා කියලා. ඒ වගේ වෙලාවට වෙනස්කම් කරන්න දාසයා අදිමදි කරන්නේ නැහැ. (හිතෝ. 4:18) මොකද අනිත් හැම දේටම වඩා එයාලට ඕනෙ යෙහෝවාගේ හිත සතුටු කරන්න. ඒ වගේම මඟ පෙන්වීම් දෙද්දී ඒවා හැම තිස්සේම බයිබලේ මත පදනම් කරගන්න එයාලා වගබලා ගන්නවා. මොකද එයාලා දන්නවා නිවැරදි, ප්‍රයෝජනවත් ඉගැන්වීම් තියෙන්නේ බයිබලේ විතරයි කියලා.

13. “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” කියන්නේ මොනවාද? ඒවා දැනගත්තාම අපි කරන්න ඕනෙ මොකක්ද?

13 “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න.” (2 තිමෝ. 1:13) “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” කියන්නේ බයිබලෙන් අපි ඉගෙනගන්න දේවල්වලට. (යොහ. 17:17) අපි විශ්වාස කරන හැම දෙයක්ම ගොඩනැඟිලා තියෙන්නේ ඒ ඉගැන්වීම් මත. අපි ඒ ඉගැන්වීම්වලට ඇලිලා ඉන්නේ කොහොමද කියලා සංවිධානයෙන් අපිට උගන්නනවා. ඉතින් අපි ඒ ඉගැන්වීම් සත්‍යයයි කියලා පිළිගද්දී යෙහෝවා අපිට ආශීර්වාද කරනවා.

14. “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට” තදින් ඇලිලා ඉන්න සමහර ක්‍රිස්තියානීන්ට බැරි වුණේ ඇයි?

14 කෙනෙක්ගේ විශ්වාසේ ගොඩනැඟිලා තියෙන්නේ “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” මත නෙවෙයි නම් මොනවා වෙයිද? ඒක තේරුම්ගන්න මේ සිද්ධිය බලන්න. මුල් සියවසේදී ක්‍රිස්තියානීන් අතර කතාවක් පැතිරුණා යෙහෝවාගේ දවස ඇවිල්ලා කියලා. ඒ කටකතාව හැදුණේ පාවුල් එව්වයි කියලා හිතපු ලියුමක් නිසා. කාලේ අරන් ඒ ගැන ඇත්ත නැත්ත හොයලා බලනවා වෙනුවට සමහර ක්‍රිස්තියානීන් තව අය අතරේ ඒ කටකතාව පැතිරුවා. පාවුල් එයාලත් එක්ක හිටපු කාලේ කියපු දේවල් එයාලට මතක තිබුණා නම් කවදාවත් එයාලා ඒ කටකතාවට රැවටෙන්නේ නැහැ. (2 තෙස. 2:1-5) මොකද පාවුල් එයාලට අනතුරු අඟවලා තිබුණා කනට වැටෙන හැම දේම විශ්වාස කරන්න එපා කියලා. ඒ නිසයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා පාවුල් එයාලට ලියපු දෙවෙනි ලියුමේ අන්තිමට මෙහෙම සඳහන් කළේ. “පාවුල් වන මම සෑම ලිපියකම කරනවා වගේ මගේම අත්අකුරින් සුබ පැතුම් ඔබට ලියා එවන්නෙමි.”—2 තෙස. 3:17.

15. ඇත්ත වගේ පේන බොරුවලට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න. (පින්තූරත් බලන්න.)

15 පාවුල් තෙසලෝනිකවරුන්ට කියපු දෙයින් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? හිතන්න, බයිබලේට එකඟ නැති මොකක් හරි දෙයක් ගැන ඔයාට ආරංචි වෙනවා. සමහරවිට ඒක අදහාගන්න බැරි ආරංචියක්. ඒක අහපු ගමන්ම විශ්වාස කරනවා වෙනුවට හිතන්න ‘ඒ දේ මං මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍යයට එකඟද’ කියලා. සෝවියට් පාලන කාලේදී සතුරන් අපේ සහෝදරයන්ට ලියුමක් යැව්වා. බැලූ බැල්මට පේන්න තිබුණේ ඒක ලෝක මූලස්ථානයෙන් ලැබුණ එකක් වගේමයි. ඒකේ සමහර සහෝදරයන්ට කියලා තිබුණා පොඩි පොඩි කණ්ඩායම් හදාගන්න කියලා. හැබැයි අපේ විශ්වාසවන්ත සහෝදරයන් නම් ඒකට රැවටුණේ නැහැ. එයාලට තේරුණා මේ ලියුමේ තියෙන දේවල් එයාලා මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟ නැහැ කියලා. අදත් සතුරන් නවීන තාක්ෂණය පාවිච්චි කරලා අපේ මනස අවුල් කරන්න, අපි අතර බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට ‘ඉක්මනින් ක්‍රියා කරලා මනස අවුල් කරගන්න එපා.’ ඒ වෙනුවට ‘මං මේ අහන, කියවන දේ මං මෙච්චර කල් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟයිද නැද්ද’ කියලා කල්පනා කරලා බලමු.—2 තෙස. 2:2; 1 යොහ. 4:1.

සූක්ෂ්ම විදිහට පතුරුවන බොරු තොරතුරුවලට රැවටෙන්න එපා (15 ඡේදය බලන්න) a


16. රෝම 16:17, 18 කියන විදිහට කෙනෙක් සත්‍යය අත්හැරලා යනවා නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

16 යෙහෝවාට ළැදි අයත් එක්ක එකමුතුව ඉන්න. දෙවියන් කැමැතියි අපි හැමෝම එකට එකතු වෙලා ඔහුට නමස්කාර කරනවා දකින්න. ඉතින් අපි සත්‍යයට ඇලිලා ඉන්න තාක් කල් අපිට පුළුවන් එක්සත්ව ඉන්න. හැබැයි කෙනෙක් සභාව ඇතුළේ ඉඳන්ම බොරු ඉගැන්වීම් පතුරුවනවා නම් දෙවියන් අපිට අනතුරු අඟවනවා “ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න” කියලා. එහෙම කළේ නැත්නම් අපිත් එයාලා ගිය පාරේම ගිහින් සත්‍ය මාර්ගයෙන් ඈතට වීසි වෙලා යයි.—රෝම 16:17, 18 කියවන්න.

17. සත්‍යය අඳුරගන්න එකෙන් සහ ඒකට තදින් ඇලිලා ඉන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 අපි සත්‍යය අඳුරගෙන දිගටම ඒකට ඇලිලා ඉන්නවා නම් යෙහෝවාට කිට්ටු වෙන්නත් විශ්වාසේ ශක්තිමත්ව තියාගන්නත් අපිට පුළුවන්. (එෆී. 4:15, 16) එතකොට සාතන්ගේ බොරු ඉගැන්වීම්වලට, සූක්ෂ්ම විදිහට පතුරුවන බොරු කතාවලට අපි අහු වෙන්නේ නැහැ. මහත් පීඩාව අතරතුරේදී අපිට යෙහෝවාගේ රැකවරණය ලබන්නත් පුළුවන්. ඒ නිසා සත්‍ය ඉගැන්වීම් දිගටම ඔයාගේ හිතේ රඳවගන්න. ‘එතකොට සමාදානයේ දෙවියන් ඔයාට ආශීර්වාද කරයි’ කියලා කතා දෙකක් නැහැ.—ෆිලි. 4:8, 9.

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

a පින්තූරේ අදහස: මේ රඟ දැක්වීමෙන් පෙන්නන්නේ මීට දශක ගාණකට කලින් සෝවියට් පාලන කාලේ අපේ සහෝදරයන්ට ලියුමක් ලැබුණ විදිහ ගැනයි. ඒ ලියුම ආවේ ලෝක මූලස්ථානයෙන් කියලා පේන්න තිබුණාට ඇත්තටම ඒක එව්වේ අපේ සතුරන්. අදත් සතුරෝ අපිව නොමඟ යවන්න සමහරවිට ඉන්ටර්නෙට් එක හරහා සංවිධානය ගැන බොරු පතුරුවනවා.