Skip to content

පටුනට යන්න

අද මෙන් එදත් යුවතියන්ගේ සිත් ගත් රූපලාවණ්‍යය

අද මෙන් එදත් යුවතියන්ගේ සිත් ගත් රූපලාවණ්‍යය

අතීතයේ සිටි ඇතැම් ස්ත්‍රීන් රුව අලංකාර කරගැනීමට විවිධ ආලේපන භාවිත කළා

කාන්තාවන් රුව වඩන ආලේපන භාවිත කිරීමට පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. ඈත අතීතයේ පටන්ම ඔවුන් ඒවා භාවිත කළා. ඒ කාලයේදී බෝල්සම්, කුරුඳු, කරඳමුංගු, කට්ටකුමංජල්, පැණි, සුවඳ ලාටු වැනි දේ යොදාගෙන සුවඳවත් තෙල් සාදාගත්තා. ඒවා අසුරා තිබුණේ කුඩා බෝතල් හා බඳුන්වලයි. එම බඳුන් සාදා තිබුණේ වීදුරු, ඇත්දළ සහ සිප්පි කටු වැනි දේවලිනුයි. ඒවා වෛවාරණ මෝස්තර යොදා සාදාගත් පෙට්ටිවල දමා තිබුණා. රුව වඩන ආලේපන මිශ්‍ර කරගැනීමට පුංචි හැඳි, පීරිසි වගේ දේවල් එම පෙට්ටියේ තිබුණා.

ස්නානය කිරීමෙන් පසුව කාන්තාවන් එම සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කර තම සුසිනිඳු සමේ ගල්වාගත්තේ ඉමහත් කැමැත්තකින්.

කාන්තාවන් පුරාණයේ පටන්ම තමන්ගේ රූපශ්‍රීය ගැන සැලකිලිමත් වූ බව කියාපාන බොහෝ සාක්ෂි සොයාගෙන තිබෙනවා. උදාහරණයකට පුරාණ මෙසපොතේමියාවේ සහ ඊජිප්තුවේ සිටි කාන්තාවන් රූපලාවණ්‍යය භාවිත කළ බව පැරණි චිත්‍රවලින්, බිතුසිතුවම්වලින් සහ වෙනත් කලා නිර්මාණවලින් ඔප්පු වෙනවා.

අතීතයේදී ඊශ්‍රායෙල් කාන්තාවනුත් රුව වඩන ආලේපන භාවිත කළාද? ඒ ගැන කියාපාන බිතුසිතුවම් කිසිවක් තවම සොයාගෙන නැහැ. නමුත් බයිබලයේ සඳහන් ඇතැම් තොරතුරු සහ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් සොයාගෙන ඇති දේවලින් ඊශ්‍රායෙල් කාන්තාවන් රුව වඩන ආලේපන භාවිත කර තිබෙන බව ඔප්පු වෙනවා.

භාවිත කළ උපකරණ

කැණීම්වලින් සොයාගත් හුණුගලින් සෑදූ පීරිසි

රුව වඩන ආලේපන සහ සුවඳ තෙල් සෑදීමට භාවිත කළ උපකරණ සෑහෙන ප්‍රමාණයක් ඊශ්‍රායෙල් දේශයේ කළ කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. ආලේපන සෑදීමට භාවිත කළ ද්‍රව්‍ය අඹරාගැනීමට සහ මිශ්‍ර කරගැනීමට පාවිච්චි කළ ගල්වලින් සෑදූ භාජන, කැරට් අලයේ හැඩයට සාදා තිබෙන සුවඳවිලවුන් දැමූ බඳුන්, ඇලබැස්ටර් බඳුන්, ඔප දැමූ ලෝහ කැඩපත් ඒ අතර තිබුණා. ඊට අමතරව එක් පැත්තක පාම් කොළ සහ අනික් පැත්තේ කාන්තාවකගේ මුහුණක් කොටා, ඇත්දළවලින් සාදා තිබූ හැන්දක්ද සොයාගෙන තිබෙනවා.

රුව වඩන ආලේපන දැමීමට සිප්පි කටුවලින් නිමැවූ මිල අධික ඇසුරුම් පොහොසත් අය භාවිත කළා කියා සිතිය හැකියි. රුව වඩන ආලේපන මිශ්‍ර කිරීමට භාවිත කළ ඇත්දළවලින් හා ලීවලින් සාදා තිබූ පුංචි හැඳි ඊජිප්තුවෙන් හා කානාන් දේශයෙන් සොයාගෙන තිබෙනවා. ඉන් සමහරක ගැහැනු ළමයි කිහිපදෙනෙකු පිහිනන ආකාරය කැටයම් කර තිබෙන අතර තවත් ඒවායේ වෙනත් සියුම් මෝස්තර කොටා තිබුණා. ඒ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අතීතයේ සිටි කාන්තාවන් රුව වඩනා ආලේපන බෙහෙවින් භාවිත කර තිබෙන බවයි.

නේත්‍රාලේප

බයිබලයේ සඳහන් වන යෝබ්ගේ දෙවෙනි දියණියගේ නම “කෙරෙන්-හප්පූක්.” එම හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කළේ ඇස් අලංකාරවත් කිරීමට භාවිත කළ කලු ආලේපන දැමූ කුඩා පෙට්ටිය හෝ බඳුන යන්න විය හැකියි. (යෝබ් 42:14) ඇයව එසේ හඳුන්වන්න ඇත්තේ ඇගේ රූපශ්‍රීය නිසා වෙන්න ඇති. කොහොමවුණත් අතීතයේදී රූපලාවණ්‍යය භාවිත කළ බවට එයත් සාක්ෂියක්.

බයිබලයේ සඳහන් දුෂ්ට යෙසබෙල් රැජින ඇස් අලංකාර කිරීමට ආලේපන භාවිත කළ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම දෙවිට අකීකරු වූ යෙරුසලමේ වැසියන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ඇස් ආලේප කරගත් වේශ්‍යාවක් ලෙසයි. (2 රාජාවලිය 9:30; යෙරෙමියා 4:30; එසකියෙල් 23:40) ඊශ්‍රායෙල් දේශයේ කළ කැණීම්වලදී වීදුරුවලින් හෝ ගල්වලින් සාදා තිබූ පුංචි බඳුන් සමඟ ඇස්වල ආලේප ගෑමට භාවිත කළ කුඩා කූරු සොයාගෙන තිබෙනවා. දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල් කාන්තාවන් විශේෂයෙන්ම රාජකීය පැළැන්තියේ හෝ පොහොසත් ස්ත්‍රීන් නේත්‍රාලේප සහ අනෙකුත් රුව වඩනා ආලේපන බෙහෙවින් භාවිත කර තිබෙන බව ඒවායින් හෙළි වෙනවා.

නමස්කාර කටයුතුවලදී හා එදිනෙදා ජීවිතයේදී

ඈත අතීතයේ පටන් ඊශ්‍රායෙල්වරු ඔලීව් තෙල් භාවිත කර සුවඳ තෙල් සාදා තිබෙනවා. නමස්කාර කටයුතු සඳහා පූජකයන් සුවඳ තෙල් සාදාගත යුත්තේ කෙසේද කියා පැහැදිලි විස්තරයක් බයිබලයේ සඳහන් වෙනවා. එය සාදාගත යුතුව තිබුණේ කුරුඳු, සුවඳ ලාටු සහ අනෙකුත් සුවඳවත් පැළෑටි මිශ්‍ර කරගැනීමෙනුයි. (නික්මයාම 30:22-25) නමස්කාර කටයුතු සඳහා පළමු සියවසේදී සුවඳ තෙල් සෑදූ බවට සැක කරන ස්ථානයක් පුරාවිද්‍යාඥයන් යෙරුසලමෙන් සොයාගෙන තිබෙනවා. නමස්කාර කටයුතුවලදී මෙන්ම එදිනෙදා ජීවිතයේදී සුවඳ තෙල් භාවිත කළ අවස්ථා ගැනත් බයිබලයේ සඳහන් වෙනවා.—2 ලේකම් 16:14; ලූක් 7:37-46; 23:56.

සුවඳවිලවුන් දැමූ මැටි බඳුනක්

ඒ කාලයේ පිරිසිදුකම පවත්වාගැනීමට සුවඳ තෙල් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. තද අව්වෙන් සම ආරක්ෂා කරගැනීමටත් රුව වඩනා ද්‍රව්‍යයක් ලෙසත් තෙල් භාවිතයට ගැනුණා. (රූත් 3:3; 2 සාමුවෙල් 12:20) යුදෙව් තරුණියක් වූ එස්තර්ව අහෂ්වේරොෂ් රජු ඉදිරියට ගෙන යෑමට කලින් මාස හයක් පුරා සුවඳ ලාටු තෙලෙනුත් තවත් මාස හයක් බෝල්සම් තෙලෙනුත් ඇයව සම්බාහනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—එස්තර් 2:12.

අතීතයේදී සුවඳ තෙල් සැලකුවේ රිදී හා රන් තරම් වටින දෙයක් ලෙසයි. ෂෙබාහි රැජින, සලමොන් රජුව බැලීමට පැමිණි අවස්ථාවේදී ඇය ගෙනා වටිනා තෑගි අතරේ රන්, මැණික් වගේම බෝල්සම් තෙලුත් තිබුණා. (1 රාජාවලිය 10:2, 10) හෙසකියා රජ බැබිලෝනියෙන් පැමිණි රජුගේ නියෝජිතයන්ට තමන්ගේ වස්තු ගබඩාවේ තිබූ රන්, රිදී විතරක් නෙවෙයි ‘බෝල්සම් තෙල්ද වෙනත් අනර්ඝ තෙල්ද’ පෙන්නුවේ මහත් ආඩම්බරයෙන්.—යෙසායා 39:1, 2.

විවිධ මල්, පලතුරු, කොළ සහ මැලියම් වර්ගවලින් සුවඳ තෙල් සාදාගැනීමට හැකි වුණත් ඒවායින් ලබාගැනීමට හැකි වුණේ ඉතා සුළු තෙල් ප්‍රමාණයක් විතරයි. බයිබලයේ එවැනි ශාක කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඒ අතරට කෝමාරිකා, බෝල්සම්, ඩෙලියම් ලාටු, පැඟිරි කුරුඳු, සුවඳ දඬු, කුරුඳු, කට්ටකුමංජල්, සුවඳ ලාටු සහ සැෆ්රන් ඇතුළත්. ඒ අතරින් කිහිපයක් යොර්දාන් ගඟ ආශ්‍රිතව වැඩුණු අතර බහුතරයක් ශාක ගෙන්වාගත්තේ ඉන්දියාව, දකුණු අරාබිය සහ වෙනත් රටවලිනුයි.

බෝල්සම් තෙල්

මළ මුහුදට බස්නාහිරින් පිහිටි වෙරළබඩ ප්‍රදේශයේ තිබෙන කුම්රාන් නම් ප්‍රදේශය අවටින් 1988දී කුඩා තෙල් බඳුනක් සොයාගෙන තිබෙනවා. එය දැනට ඉතුරු වී තිබෙන අවසන් බෝල්සම් තෙල් ස්වල්පයද කියා බොහෝ අය සැක කරනවා. නමුත් පර්යේෂකයන් මේ වන තෙක් ඒ ගැන කිසිවක් සොයාගෙන නැහැ. බෝල්සම් පැළ නැවත වගා කිරීමට පැළ වගා කරන්නන් ගෙන තිබෙන උත්සාහය තවමත් නතර කර නැහැ.

ඇත්දළින් සෑදූ ආලේපන දැමූ බඳුනක්

තිබෙන සාක්ෂිවලට අනුව බෝල්සම් ගස් බහුලව වගා කර තිබුණේ එවකට ඒන්-ගෙදී ලෙස හැඳින්වූ ප්‍රදේශයේයි. එහි කළ කැණීමකදී ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් ගිනි උදුනක්, බඳුනක්, ලෝහවලින් සහ ඇටකටුවලින් සාදා තිබූ භාණ්ඩ සමහරක් සොයාගෙන තිබෙනවා. ඒවා සුවඳ තෙල් සෑදීමට ගත් භාණ්ඩවලට සමානයි. බෝල්සම් ගසේ නිජබිම අරාබිය හෝ අප්‍රිකාව කියා ඇතැම් විශාරදයන් පවසනවා. බෝල්සම් තෙල් ඉතා මිල අධික නිසා එම ගස් වගා කරන ආකාරය හා තෙල් සාදාගන්නා ආකාරය අතීතයේ ජීවත් වූ අය රහසක්ව තබාගත්තා.

රාජකීයයන් අතරේද තෑගි වශයෙන් බෝල්සම් හුවමාරු කරගෙන තිබෙනවා. උදාහරණයකට ඉතිහාසඥයෙක් වන ජොසීෆස් පවසන ආකාරයට මාක් ඇන්තනි බෝල්සම් වත්තක් මිලට ගෙන එය ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජිනට තෑගි කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ යුදෙව්වන් සහ රෝමවරුන් අතර යුද්ධ පැවති කාලයේදී රෝමවරුන්ට උරුම කරගැනීමට නොහැකි වන ලෙස යුදෙව්වන් සියලුම බෝල්සම් පැළ විනාශ කර දැමූ බව ඉතිහාසඥයෙක් වන ප්ලීනි සඳහන් කර තිබෙනවා.

අතීතයේදීත් මිනිසුන් රුව වඩන ආලේපන භාවිත කර තිබෙන බව අපි සලකා බැලූ බයිබලයේ සඳහන් තොරතුරුවලින් සහ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගෙන තිබෙන දේවලින් පැහැදිලි වෙනවා. (1 තිමෝති 2:9) රුව ගැන සැලකිලිමත් වීම හොඳ දෙයක් වුණාට ‘දෙවිට බොහෝ සෙයින් වටින්නේ තැන්පත්, මෘදු ස්වභාවයකින් කටයුතු කරන අය’ බව බයිබලයේ සඳහන් වෙනවා. තරුණ මහලු සෑම කාන්තාවක්ම එය මතකයේ තබාගැනීම මොන තරම් වැදගත්ද!—1 පේතෘස් 3:3, 4.