Skip to content

පටුනට යන්න

 බෙනින් රටෙන් ලිපියක්

‘මම මේ මොනවද කරගත්තේ’

‘මම මේ මොනවද කරගත්තේ’

බටහිර අප්‍රිකාවේ බෙනින්වලදී මම ලබපු අද්දැකීම් ගැන දැන් මං ඔයගොල්ලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් උදේට පාරට බැස්සම බරට බරේ එක එක දේවල් ඔළුවේ තියාගෙන කඩි මුඩියේ එහා මෙහා යන ගෑනු අයවත්, ගනු දෙනු කරන වෙළෙඳුන්වත් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රස නහර පිනා යන කෑමවල සුවඳත් එනවා. වැඩි වෙලාවක් යන්න කලින් තදින්ම රස්නෙ දැනෙන්නත් පටන්ගන්නවා.

සාමාන්‍යයෙන් මේ රටේ දරුවන් පිටරට කෙනෙක්ව දැක්කම සිංදු කියලා නටනවා. ඒ නිසා මාව දැක්ක හැටියෙත් පුංචි දරු පැටව් ටිකක් සිංදුවක් කියකිය නටන්න පටන්ගත්තා. සිංදුව ඉවර වේගන එද්දී ඒගොල්ලන්ට තෑග්ගක් දෙනවාද කියලා සිංදුවෙන්ම ඇහුවා. හැබැයි එක ළමයෙක් සිංදු කිව්වේ නැහැ. පස්සෙ තමයි මම දැනගත්තේ එයාට කතා කරන්න බැහැ කියලා. එයා මගේ පස්සෙන් ඇවිත් අතින් මොනවද කරලා පෙන්නුවා. මම ඇමරිකාවේ ඉන්න කොට සංඥා භාෂාවෙන් මගේ නම පෙන්නන විදිහ දැනගෙන තිබුණා. ඒත් මෙහෙ ඉන්න අය කතා කරන්නේ ප්‍රංශ භාෂාව.

හැබැයි මම දන්න විදිහට මගේ නමේ අකුරු ටික සංඥා භාෂාවෙන් ඒ කොලු පැටියට පෙන්නුවම එයා ගොඩක් සතුටු වුණා. ඊටපස්සේ එයා මගේ අතින් අල්ලගෙන පුංචි පුංචි පාරවල් අස්සෙන් මාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. පවුලේ හැමෝම මාව වට කරගත්තා. ඒ හැමෝම කතා කළේ සංඥා භාෂාවෙන්. ඒ නිසා මම ඒගොල්ලන්ටත් සංඥා භාෂාවෙන්ම මගේ නම පෙන්නුවා. ඊටපස්සේ මම මෙහෙට ආවේ බයිබලයේ තියෙන දේවල් උගන්වන්න කියලත් ඕගොල්ලන්ව මුණගැහෙන්න මම ආයෙත් සැරයක් එන්නම් කියලත් කොළයක ලියලා ඒ අයට පෙන්නුවා. ඒක දැක්කම පවුලේ අය විතරක් නෙවෙයි එතනට ඇවිත් හිටිය අසල්වැසියනුත් හුඟක් සතුටු වුණා. ඒත් ‘මම මේ මොනවද කරගත්තේ කියලා’ මම හිතුවා.

අනාගතයේදී ‘බිහිරි අයගේ කන් ඇරෙනවා’ කියලා බයිබලයේ තියෙන පොරොන්දුව ගැන මේ අයට කියලා දෙන්න කවුරු හරි හිටියනං කොච්චර හොඳද කියලා මම ගෙදර ගිහින් කල්පනා කෙරුවා. (යෙසායා 35:5) ඊටපස්සේ මේ රටේ තොරතුරු ටිකක් හොයලා බැලුවම මට දැනගන්න ලැබුණා ඇසීමේ ආබාධ තියෙන 12,000ක් බෙනින්වල ඉන්නවා කියලා. මෙහේ අය ප්‍රංශ භාෂාව කතා කළාට බිහිරි අය ඉගෙනගන්නේ ප්‍රංශ සංඥා භාෂාව නෙමෙයි ඇමරිකානු සංඥා භාෂාව කියලා දැනගත්තම මට පුදුම හිතුණා. හැබැයි මෙහේ ඉන්න එක සාක්ෂිකරුවෙක්වත් ඇමරිකානු සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම සාක්ෂිකාරයෙක්ට කිව්වා “ඇමරිකානු සංඥා භාෂාව දන්න කෙනෙක් මෙහෙට ආවොත් හොඳයි නේද” කියලා. “ඇයි ඔයා ඉන්නේ” කියලා එයා කිව්වා. ඊටපස්සේ  සාක්ෂිකරුවන් පළ කරලා තිබුණු පොතකුයි DVD ටිකකුයි අරගෙන මම සංඥා භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. වැඩි කාලයක් යන්න කලින් කැමරූන්වල හිටිය ඇමරිකානු සංඥා භාෂාව දන්න කෙනෙක් මෙහෙට ආවා. මට හිතුණේ මගේ යාච්ඤාවට දෙවියන් උත්තර දුන්නා කියලයි.

මම සංඥා භාෂාවෙන් බයිබලයේ තියෙන දේවල් උගන්වනවා කියලා හැමෝටම ආරංචි වෙලා තිබුණා. සංඥා භාෂාව කතා කරන බ්‍රීස්ව මුණගැහෙන්න කියලා මට කිව්ව නිසා මම එයාව හොයාගෙන ගියා. එයා චිත්‍ර ශිල්පියෙක්. එයා හිටියේ පොල් අතු සෙවිලි කරපු ගේක. මෙහේ හුඟක් රස්නේ නිසා ඒ ගෙදරට ගියාම මට දැනුණේ පුදුම සනීපයක්. ගෙදර බිත්ති දිහා බැලුවම එයා චිත්‍ර ශිල්පියෙක් කියලා ඕනෙම කෙනෙක්ට තේරෙනවා. එයා ගෙදර තිබුණු බංකුවක දූවිලි ගසලා මට ඉඳගන්න දුන්නා. ඊටපස්සේ මං එයාට DVD එකක් දාලා පෙන්නුවා, එයා ආසාවෙන් බලන ගමන් සංඥා භාෂාවෙන් කිව්වා “මට තේරෙනවා, තේරෙනවා” කියලා. අහළ පහළ ළමයි ටිකකුත් ඇවිත් ඒක දිහා බලාගෙන හිටියා. එක පාරටම ළමයෙක් කිව්වා “ඇයි අනේ මේගොල්ලන් සද්දේ නැතුව ෆිල්ම් එකක් බලන්නේ” කියලා.

මම දිගටම බ්‍රීස්ව බලන්න ගියා. ඒ හැම වතාවකම එහෙට අලුත් අය ඇවිත් හිටියා. වැඩි කල් යන්න කලින් බ්‍රීස් වගේම අනිත් අයත් අපේ රැස්වීම්වලට ආවා. රැස්වීමේ කොටස් මම සංඥා භාෂාවට පරිවර්තනය කරපු නිසා මගේ දැනුම තවත් වැඩි වුණා. කාලයක් යද්දී සංඥා භාෂාවෙන් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න ආස කළ තවත් අය මාව හොයාගෙන ආවා. මට මතකයි දවසක් මං කාර් එකේ යද්දී පාරේ හිටපු ඌරන්වයි, එළුවන්වයි බේරන්න ගිහින් කීප වතාවක්ම වළවල්වල වැටුණා. එක පාරටම ලොකු සද්දයක් ඇහුණා. මම හිතුවා කාර් එක කැඩුණා තමයි කියලා. හැබැයි හැරිලා බලද්දී මම දැක්කා කවුද කෙනෙක් වාහනේට ගහනවා. කතා කරන්න බැරි නිසා මගේ අවධානය ගන්නයි එයා එහෙම කරලා තියෙන්නේ.

මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි අනිත් ප්‍රදේශවලත් සංඥා භාෂාව කතා කරන අය බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. අපේ වාර්ෂික සමුළුවේදී සංඥා භාෂාවටත් කතා පරිවර්තනය කළා. මටත් සමහර කතා සංඥා භාෂාවට පරිවර්තනය කරන්න ලැබුණා. එදා වේදිකාවේ ඉද්දී මගේ මතකය මොහොතකට අතීතයට ගියා. මම අප්‍රිකාවට සේවය කරන්න ආපු මුල්ම දවස් මට මතක් වුණා. ‘මෙහෙ ඉන්න අයට උදව් කරන්න මට මොනවද කරන්න පුළුවන්’ කියලා ඒ දවස්වල මම හැම තිස්සෙම හිතුවා. හැබැයි මේ සමුළුවට ඇවිත් ඉන්න සංඥා භාෂා කණ්ඩායම දැක්කම මට ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා.