Skip to content

පටුනට යන්න

මං ඇත්තටම නිදහස අද්දැක්කා!

මං ඇත්තටම නිදහස අද්දැක්කා!

“තමුසෙලට නං මෙහෙටම වෙලා තමයි ඉන්න වෙන්නේ” කියලා හිරගෙදර නිලධාරියෙක් අපහසෙට වගේ අපිට කිව්වා. එතකොට අපි හිටියේ උතුරු කොරියාවේ හිරගෙදරක. දෙවෙනි ලෝක මහ යුද්දේ ඉවර වෙලා අවුරුදු පහක් විතර ගෙවිලා තිබුණා. රුසියානු ජාතික මමයි මගේ පවුලේ අයයි 1950දී කොරියාවේ හිරකරුවෝ වුණේ කොහොමද කියලා මම දැන් කියන්නං.

ලියකියවිලිවල කියන විදිහට නම් මං ඉපදිලා තියෙන්නේ 1924 රුසියාවේ ඈත ගම්මානයක. ඒ ගම තියෙන්නේ චීන බෝඩරයට කිට්ටුවෙන්.

මං ඉපදුණේ මේ ගමේ

දවසක් කොල්ලකරුවෝ ඇවිත් තාත්තවයි, අයියලාවයි පැහැරගෙන ගියා. අපි ආයේ කවදාවත් එයාලව දැක්කේ නැහැ. දරුවෝ ටිකත් එක්ක තනි වුණු මගේ අම්මට අපිට කන්න බොන්න දෙන එක හරිම අමාරු වුණා. ඒ කාලේ අපේ ගෙවල් ළඟ හිටපු කෙනෙක් අම්මට කිව්වා අපිව ඕතඩොක්ස් පල්ලියේ අනාථ මඩමට භාර දෙමු කියලා.

අම්මා ඒකට කැමති වුණා. එදා අම්මා අපිව අනාථ මඩමට භාර දුන්නේ නැත්නං මෙලහකටත් අපි හාමතේ මැරිලා. ඒ නිසා අම්මා එහෙම කරපු එක ගැන අද මං සතුටු වෙනවා. ඒත් අම්මා අපිව මඩමට දීපූ එක ගැන මට දුකකුත් දැනෙනවා.

මායි මගේ මහත්තයයි, 1941දී

මං 1941දී කොරියාවේ පදිංචියට ගියා. එහෙදි මම රුසියානු ජාතික ඉවාන්ව කසාද බැන්දා. ඊටපස්සේ අපි දෙන්නා අපි සියෝල් නගරේ ඉන්න කොට තමයි 1942දී අපේ දුව ඕල්යා ඉපදුණේ. ඊටපස්සේ 1945දී අපේ ලොකු පුතා කෝල්ය ඉපදුණා. අපේ පොඩි පුතා ජෝර ඉපදුණේ 1948දියි. මගේ මහත්තයාට සියෝල් නගරේ කඩයක් තිබුණා. මං කුලියට ඇඳුම් මැහුවා. සියෝල්වල වැඩියෙන් පාවිච්චි වුණේ ජපන් භාෂාව නිසා අපේ ළමයි පොඩි කාලේ ඉඳලා ඒ භාෂාව කතා කරන්න පුරුදු වුණා. හැබැයි අපි ගෙදරදි කතා කළේ රුසියානු භාෂාවෙන්.

උතුරු කොරියානුවන් සියෝල් අල්ලගත්තා

හිතපු නැති විදිහට 1950දී හැම දේම වෙනස් වුණා. උතුරු කොරියානු හමුදාව සියෝල් නගරය අල්ලගත්තා. අපිට බේරෙන්න විදිහක් තිබුණේ නැහැ. එහේ හිටපු බ්‍රිතාන්‍ය, රුසියානු, ඇමරිකානු, ප්‍රංශ විදේශිකයන් එක්ක අපිවත් අල්ලගත්තා. අවුරුදු තුනහමාරක් තිස්සේ අපිව උතුරු කොරියාවේ තැනින් තැනට ගෙනිච්චා. බෝම්බවලින් බේරිලා ඉන්න ඒ කාලේදී අපිට සිද්ධ වුණා. අපිට ඉන්න කියලා හරි හමං තැනක් තිබුණේ නැහැ. වැටිලා ඉන්න තැනක් හම්බ වුණොත් අපිව එහේ නතර කළා.

උතුරු කොරියාවේ සීත කාලේ හරිම දරුණුයි. ඉඳලා හිටලා නං අපිට ගිනි උදුන් තිබ්බ ගෙවල්වල ඉන්න ලැබුණා. එහෙම දවස්වලදී කෑම බීමත් හම්බ වුණා. හැබැයි හුඟක් වෙලාවට අපි කෑවේ මෙනේරි ඇට විතරයි. අපිට නිදාගන්න වුණේ අත්ඇරලා ගිය ගොඩනැඟිලිවල, සීතලේ ගැහිගැහි. අපිත් එක්ක හිටපු ගොඩක් අය කෑම නැති නිසාත් සීතල නිසාත් මැරුණා. ඒ දවස්වල මට දරාගන්න අමාරුම වුණේ මගේ දරුවෝ දුක් විඳිනවා බලං ඉන්න එකයි. මට මතකයි මම මුළු රෑම ගිනිමැලයක් ළඟ ඉඳගෙන ගල් රත් කරකර ඒවා මගේ දරුවෝ නිදාගෙන හිටිය තැනින් තියලා එයාලට උණුහුම දුන්න හැටි.

මේ විදිහට අපි ගම්මාන පහු කරගෙන යද්දී ගම්වල හිටපු අයට අපි ගැන ලොකු දුකක් දැනුණා. ඒ නිසා එයාලා අපිට කෑමට ගන්න පුළුවන් කැලේ වැවෙන දේවල් මොනවාද කියලා පෙන්නුවා. ඒ වෙන කොට සීත කාලේ ඉවර වෙලා තිබුණු හින්දා පලා ජාති, රාස්ප්බෙරි, මිදි, හතු වගේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඒත් ඒ වගේ දේවල් අපිට නිතරම හම්බ වුණේ නැති නිසා දරුවන්ගේ බඩගින්න නිවන්න ගෙම්බන්ව අල්ලන්න මං පුරුදු වුණා. බඩගින්න වැඩිකමට සමහර වෙලාවට මගේ ළමයි අනිත් අය ළඟට ගිහින් අපිට කන්න ගෙම්බෝ දෙන්න කියලා ඉල්ලද්දී මට මගේ පපුව පැළෙන්න තරම් දුකක් දැනුණා.

කාලයක් තිස්සේ තැනින් තැනට ගෙනිච්චට පස්සේ උතුරු කොරියාවේ මාම්පෝ කියන නගරෙට යන්න කියලා අපිට නියෝග කළා. දුවයි මහත්තයයි කට්ටිය එක්ක ඒ ගමන පයින් යන්න පිටත් වුණා. පොඩි ළමයිටයි අසනීප අයටයි එහෙට යන්න කරත්ත දෙනවා කියලා කිව්ව නිසා මමයි පුතාලා දෙන්නයි ඒ කරත්ත එනකං බලං හිටියා.

දවස් ගාණක් ගියාට පස්සේ කරත්ත ටික අපි හිටපු තැනට ආවා. ඒවාට අසනීපෙන් හිටපු අයව පැටෙව්වේ කිසිම අනුකම්පාවක් නැතුවයි. ගමන යද්දී මං පොඩි පුතාව පිටේ එල්ලගෙන ලොකු පුතාව කරත්තෙකට නග්ගන්න හැදුවා. ඒත් එයා අඬඅඬ “අනේ අම්මේ මාව විතරක් කරත්තෙට දාන්න එපා. මාත් ඔයගොල්ලෝ එක්ක පයින් එන්නං” කියලා කිව්වා.

එහෙම කිව්වට ඒ ගමන එයාට ලේසි වුණේ නැහැ. එයා මගේ සායේ එල්ලීගෙන අමාරුවෙන් මගේ පස්සේ දුවදුව ආවා. දවස් ගාණක් තිස්සේ ගිය මේ ගමනේදී හුඟක් සිරකරුවන්ව වෙඩි තියලා මරලා දැම්මා. කපුටෝ රංචු පිටින් අපේ පස්සෙන් ඇවිත් මරලා දාපු අයගේ මිනී කනවා අපි දැක්කා. කොහොමහරි මගේ මහත්තයයි දුවයි හිටපු තැනට යාගන්න අපිට පුළුවන් වුණා. අපි කට්ටිය බදාගෙන ඇඬුවා. මගේ දරුවෝ තුන්දෙනාම මං ළඟ හිටපු නිසා එදා රෑ නං මගේ හිතට ලොකු සැනසීමක් දැනුණා.

වර්ෂ 1953 වෙන කොට අපි හිටියේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි වෙන් කරන දේශ සීමාවේ තිබුණු කඳවුරකයි. එහෙදි නං අපිට පිරිසිදු ඇඳුම්, සපත්තු, කෑම විතරක් නෙමෙයි ටොෆිත් ලැබුණා. බ්‍රිතාන්‍ය ජාතික හා ප්‍රංශ ජාතික හිරකරුවන්ව ඉක්මනින්ම නිදහස් කළා. හැබැයි අපි කිසිම රටක ස්ථිර පදිංචිකරුවන් නොවුණු නිසා අපිව නිදහස් කළේ නැහැ. අන්තිමට ඉතුරු වුණේ අපි විතරයි. ඒ නිසා අපි හිටියේ හරිම දුකෙන්. කන්නවත් හිතුණේ නැහැ. එතකොට තමයි හිරගෙදර හිටිය නිලධාරියා අපිට කිව්වේ “තමුසෙලට නං මෙහෙටම වෙලා තමයි ඉන්න වෙන්නේ” කියලා.

අලුත් ජීවිතයක්!

හැබැයි ටික දවසකින් අපිව දකුණු කොරියාවට අරගෙන ගියා. ඇමරිකානු හමුදාවේ අය අපෙන් ප්‍රශ්න කරලා ඇමරිකාවට ගිහින් පදිංචි වෙන්න අපිට අවසර දුන්නා. අපි නැවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ කියන නගරෙට ගියා. එහෙදි අපේ පිහිටට ආවේ අසරණ අයට උදව් කරන සංවිධානයක්. එහෙ ටික කාලයක් ඉඳලා අපි වර්ජිනියාවට ගියා. එහෙ කාලයක් හිටියට පස්සේ අපි මේරිලෑන්ඩ්වලට ගිහින් අපේ ජීවිතේ අලුතෙන් පටන්ගත්තා.

අපි දෙන්නා දුවයි පුතයි එක්ක, 1954දී

ඇමරිකාවේ ජීවිතේ අපිට අලුත් අද්දැකීමක්. එදිනෙදා වැඩවලට පාවිච්චි කරපු සමහර උපකරණ අපි කලින් දැකලවත් තිබුණේ නැහැ. අපි පිටරටකින් ආපු නිසා ගොඩක් මහන්සි වෙලා පැය ගාණක් වැඩ කරන්න සිද්ධ වුණා. හැබැයි පිටරටින් ඇවිත් පදිංචි වෙලා හිටපු සමහර අය අලුතෙන් එහෙට ආපු අයට කිසිම අනුකම්පාවක් නැතුව සලකපු විදිහ දැක්කම මට ඇති වුණේ ලොකු කනගාටුවක්. මේරිලෑන්ඩ්වලට ආපු මුල් කාලෙදි අපිට රුසියානු ඕතඩොක්ස් පූජකයෙක්ව මුණගැහුණා. එයා අපිට මහ පුදුම කතාවක් කිව්වා. “ඔයගොල්ලෝ ඉන්නේ දැන් ඉන්න පුළුවන් හොඳම රටේ. දියුණු වෙන්න ඕනේ නං ඔයගොල්ලන්ගේ රටේ අයගෙන් ඈත් වෙලා ඉන්න.” හරි නං එයා අපිට කියන්න ඕනේ අසරණ අයට උදව් කරන්න කියලයි.

ඔහොම කාලේ ගෙවිලා යද්දී එක දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ආවා. ඒ 1970දියි. එයාගේ නම බර්නි බැට්ල්මන්. එයාත් අපි වගේ කෙළින් කතා කරන නිර්භීත කෙනෙක්. මං පොඩි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ ඕතඩොක්ස් මඩමක නිසා පල්ලියේ උගන්නපු දේවල් ගැන මාත් හොඳට දැනගෙන හිටියා. ඒ නිසා මං බර්නිගෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා. එයත් පැය ගාණක් තිස්සේ බයිබලෙන් දේවල් කියලා දුන්නා. අපි ළඟ බයිබලයක් තිබුණේ නැති නිසා දවසක් බර්නි අපිට බයිබලයක් ගෙනත් දීලා මෙහෙම කිව්වා. “මං මේක දෙන්නේ ඔයාලට ආදරේ නිසයි.” ඊටපස්සේ බර්නි අපිට බෙන්ව අඳුන්නලා දුන්නා. එයා බෙලෝරුසියාවෙන් ඇවිත් හිටිය, රුසියානු භාෂාව කතා කරපු සාක්ෂිකරුවෙක්.

බෙන් එයාගේ නෝනා එක්ක ඇවිත් හරිම ඉවසීමෙන් මං අහපු ප්‍රශ්නවලට උත්තර බයිබලෙන්ම පෙන්නුවා. ඒත් මං විශ්වාස කළේ සාක්ෂිකරුවන් එයාලට ඕන විදිහට බයිබලේ වෙනස් කරගෙන තියෙනවා කියලයි. එයාලගේ පොත් පත්වලින් මරියතුමීට තව දරුවෝ හිටියා කියලා කියෙව්වම මට ගොඩක් කේන්ති ගියා. මොකද පල්ලියෙන් අපිට උගන්වලා තිබුණේ එහෙම නෙමෙයි.

මට පෝලන්ත ජාතික මිතුරියක් හිටියා. මං එයාට කෝල් එකක් දීලා ඇහුවා පෝලන්ත භාෂාවෙන් තියෙන බයිබලේ මතෙව් 13:55, 56 කියන්නේ මොකක්ද කියලා. එයා ඒක කියෙව්වම මට අදහගන්න බැරුව ගියා. මොකද ඒකෙත් තිබුණේ යේසුස්ට බාල සහෝදරයෝ හිටියා කියලයි. ඊටපස්සේ එයා පුස්තකාලෙක වැඩ කරපු එයාගේ මිතුරියෙක්ට කෝල් කරලා කිව්වා පුස්තකාලේ තියෙන හැම බයිබලයකින්ම ඒ පදේ කියවලා බලන්න කියලා. එයා කිව්වෙත් ඒ හැම බයිබලේකම යේසුස්ට තව සහෝදර සහෝදරියෝ හිටියා කියලා තියෙනවා කියලයි.

මට උත්තර දැනගන්න ඕන වුණු තව ප්‍රශ්න ගොඩක් තිබුණා. ඇයි පොඩි ළමයි මැරෙන්නේ? රට රටවල් යුද්ධ කරන්නේ ඇයි? එකම භාෂාව කතා කරන අයට වුණත් එකිනෙකාව තේරුම්ගන්න බැරි ඇයි? ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර මට බයිබලෙන් ලැබුණම මට දැනුණේ පුදුම සතුටක්. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ට දුක් වේදනා දෙන්නේ දෙවියන් නෙමෙයි කියලත් මම දැනගත්තා. යුද්ධ නිසා නිරපරාදේ මැරුණු අපේ හිතවත් අයව ආයේ දැකගන්න පුළුවන් කියලා මං බයිබලෙන් ඉගෙනගත්තම දැනුණු සතුට කියන්න වචන නැහැ. ටිකෙන් ටික මට යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් ඇති වෙන්න පටන්ගත්තා.

ඒ කාලෙදිම වගේ මගේ පුතා වියට්නාමේ යුද්දෙට ගිහින් ගෙදර ඇවිත් හිටියා. පුතා හිටියේ පුදුම කලකිරීමකින්. ඒ නිසා මම පල්ලියෙන් ගෙනාපු පින්තූර ඉස්සරහට ගිහින් පුතා වෙනුවෙන් ඔරසන් කිව්වා. එහෙම ඔරසන් කියකිය ඉද්දී මට එකපාරටම මතක් වුණා මං කන්නලව් කරන්න ඕනේ මේ පින්තූරවලට නෙමෙයි සැබෑ දෙවිට කියලා. මං පින්තූර ටික ගලවලා ඉරලා දැම්මා. ඒවා නිකම්ම නිකං පාට පාට ඊයම් කොළ විතරයි. එදා රෑම මං ඒවා ඔක්කොම විසි කරලා දැම්මා.

පොඩි කාලේ ඉඳලා මං අදහපු ආගම වෙනස් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් අනිත් හැම දේකටම වඩා බයිබලේ තියෙන ඉගැන්වීම් වටිනවා කියලා මං තේරුම් අරං හිටියා. දවසක් මම මගේ මහත්තයයි දුවයි එක්ක ඕතඩොක්ස් පූජකයාව හම්බ වෙන්න ගියා. ඒ යද්දී මම පොඩි පොතක ප්‍රශ්න වගේකුයි ඒවාට උත්තර දෙන බයිබල් පදයි ලියාගෙන ගියා. ඒ පද මං පූජකයාට කියවද්දී එයා මට කිව්වා “ඔයා නොමඟ ගිහින්. ආයේ නං මේ පැත්ත පළාතේ එන්න එපා” කියලා.

ඒ සාකච්ඡාවෙන් පස්සේ මගේ දුවත් බයිබලයේ තියෙන දේවල් ගැන තව හොයලා බලන්න උනන්දු වුණා. එයාත් මාත් එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මම 1972දී බව්තීස්ම වුණා. දුව බව්තීස්ම වුණේ ඊට අවුරුද්දකට පස්සේ.

“අතීතය අමතක කරලා වර්තමානය ගැන හිතමු”

මේරිලෑන්ඩ්වල අපේ ගෙදර මිදුලේ, 1990දී විතර

පවුලක් විදිහට අපේ අධිෂ්ඨානය වුණේ අතීතය අමතක කරලා වර්තමානය ගැන හිතන එකයි. ඒ නිසා අලුත් දෙයක් වුණත් ඒක හරි නං ඒක කරන්න අපි පසුබට වුණේ නැහැ. මායි මගේ දුවයි බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන දෙවියන්ට ළං වෙද්දී ඉගෙනගත්ත දේවල් අනිත් අයටත් කියලා දෙන්න අපිට ආසාවක් ඇති වුණා. ඒ නිසා ගෙයින් ගෙට ගිහින් අපි ඉගෙනගත්ත දේවල් මිනිසුන්ට කියලා දුන්නා. සාමාන්‍යයෙන් මම කියන්න තියෙන දෙයක් කෙළින්ම කියන කෙනෙක්. ඒ නිසා බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙද්දිත් සමහර වෙලාවට මං කෙනෙක්ගේ හැඟීම් ගැන හිතන්නේ නැතුව කියන්න ඕන දේ කෙළින්ම කියලා දැම්මා. එහෙම වෙලාවලදී මාත් එක්ක හිටපු අනිත් කෙනාට සිද්ධ වුණා කාරුණිකව ඒ දේවල් පැහැදිලි කරලා දෙන්න. කාලයක් යද්දී ඕනම කෙනෙක්ට ඉවසීමෙන් බයිබලේ තියෙන දේවල් පැහැදිලි කරලා දෙන්න මං ඉගෙනගත්තා.

මායි මගේ දුවයි නිතර හිතුවා යුරෝපයේ දේශපාලන ගැටුම් ඉවර වුණොත් රුසියාවට ගිහින් දෙවි ගැන දන්නේ නැති අයට දෙවි ගැන කියලා දෙන්න ඕනේ කියලා. අපි හිතපු විදිහට 1990 ගණන්වල මුල් කාලෙදී ඒ ගැටුම් ඉවර වුණා. මට යන්න බැරි වුණත් මගේ දුව රුසියාවට ගිහින් අපේ හීනේ සැබෑ කළා. එයා එහේ අවුරුදු 14ක් පූර්ණකාලීනව සේවය කළා. ඒ කාලේ එයා ගොඩක් අයට බයිබලේ තියෙන දේවල් කියලා දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙත් එයා සේවය කළා. එහෙදී දුව අපේ පොත් පත් සඟරා රුසියානු භාෂාවට පරිවර්තනය කරන්න හවුල් වුණා.

දැන් මට ඇවිදින්න බැහැ. මං ඉන්නේ ඇඳට වෙලා. මගේ දරුවෝ මාව සතුටින් තියන්න එයාලට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මගේ ජීවිතේ මුල් කාලේ මං ගොඩක් දුක් වින්දත් ඊටපස්සේ කාලේ මගේ ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වුණු එක ගැන මං යෙහෝවා දෙවිට ස්තුති කරනවා. යෙහෝවා දෙවි ගැන බයිබලේ තියෙන මේ වචන කොච්චර ඇත්තද කියලා මං අද්දැක්කා. “සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට [දෙවි] මා ගෙන යන්නේය. ඔහු මා ප්‍රාණවත් කරන්නේය. තම නාමය උදෙසා ඔහු ධර්මිෂ්ඨ මාවත්වල මා ගෙන යන්නේය.”—ගීතාවලිය 23:2, 3. *

^ 29 ඡේ. වර්ෂ 2010 මාර්තු 1වෙනිදා මාර්යියා කිලින් මිය ගියා.