එසකියෙල් 23:1-49

23  යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය.+  “මනුෂ්‍ය පුත්‍රය, එක මවකගේ දූවරුන් දෙදෙනෙකු ගැන මම දැන් ඔබට කියමි.+  ඔවුහු දෙදෙනා තම තරුණ වියේදීම ඊජිප්තුවේදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ඒ දේශයේදී කායික ඇසුරෙහි රස විඳිමින්+ තම පිවිතුරු බව නැති කරගත්තෝය.+  වැඩිමල් තැනැත්තියගේ නම ඔහොලාය. ඇගේ නැඟණිය ඔහොලිබාය. මම ඔවුන්ව අයිති කරගත්තෙමි.+ ඔවුහු දූපුතුන්ව බිහි කළෝය.+ ඔහොලා නමින් හඳුන්වන්නේ සමාරිය නුවරය.+ ඔහොලිබා යෙරුසලමය.+  “ඔහොලා මට අයිතිව සිටියදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තාය.+ කාමාශාවෙන් උමතුව සිටි ඇය, ඇගේ පෙම්වතුන්+ වන අසල්වාසී ඇසිරියානුවන් පසුපස ගියාය.+  ඔවුහු නිල් සළුපිළි පැළඳ සිටි ආණ්ඩුකාරයෝ සහ නියෝජ්‍ය නායකයෝය. ඔවුහු සියලුදෙනාම අශ්වයන් පිට නැඟ යන සිත් වශී කරවනසුලු කඩවසම් තරුණයෝය.  ඇය ඇසිරියාවේ හැඩිදැඩි තරුණයන් සමඟ නොනවත්වාම වේශ්‍යාකම් කළාය. ඔවුන් සියලුදෙනා පසුපස කාමාශාවෙන් හඹා ගිය ඇය ඔවුන්ගේ පිළිකුල්සහගත රූප පසුපසද යමින් තව තවත් අපවිත්‍ර වූවාය.+  ඊජිප්තුවේ සිටි කාලයේදී කළ වේශ්‍යාකම් ඇය තවමත් අත්හැර නැත. එකල තරුණ වියේ සිටි ඇය තම පිවිතුරු බව නැති කරගනිමින් ඔවුන් සමඟ සයනය කළාය. රාගයෙන් මත්ව සිටි ඊජිප්තුවරුද නොනැවතී ඇය සමඟ අනාචාරයෙහි යෙදුණෝය.+  එමනිසා ඇගේ පෙම්වතුන්+ වන ඇසිරියානුවන් කෙරෙහි කාමාශාවෙන් උමතුව සිටි ඇයව ඇගේ පෙම්වතුන්ගේම අතට භාර දුනිමි.+ 10  ඔවුහු ඇගේ නිරුවත දකින පිණිස ඇයව නිර්වස්ත්‍ර කළෝය.+ ඇගේ දූපුතුන්ව පැහැරගෙන ගියෝය.+ පසුව ඇයව කඩුවෙන් මරා දමන ලදි. ඇසිරියානුවන් ඇයට දඬුවම් කළේ එලෙසිනි. ඇගේ නින්දිත හැසිරීම ස්ත්‍රී වංශයටම ලැජ්ජාවකි. 11  “ඇගේ සොහොයුරිය වූ ඔහොලිබා සිදු වූ දේ දුටු විට,+ ඇය තම සොහොයුරියටත් වඩා කාමාශාවෙන් උමතුව හැසිරුණාය. ඇය තම සොහොයුරියටත් වඩා පහත් ලෙස වේශ්‍යාකම් කළාය.+ 12  ඇය තම කාමාශාව සන්සිඳුවා ගැනීම සඳහා+ තම අසල්වාසීන් වන ඇසිරියාවේ ආණ්ඩුකාරයන් සහ නියෝජ්‍ය නායකයන් පසුපස ගියාය. වටිනා සළුපිළිවලින් සැරසී, අශ්වයන් පිට නැඟ ගිය ඔවුහු සියලුදෙනාම සිත් වශී කරවනසුලු, කඩවසම් තරුණයෝය.+ 13  ඇයද එලෙස අපවිත්‍ර වූ නිසා ඔවුන් දෙදෙනා අතරේ කිසිම වෙනසක් නැති බව මම දුටුවෙමි.+ 14  බිත්තිය පුරා කැටයම් කළ පුරුෂයන්ගේ රූප+ එනම්, තද රතු පාටින් සායම් කළ+ කල්දිවරුන්ගේ රූප+ දුටු ඇය වේශ්‍යාකමට තව තවත් පෙලඹුණාය. 15  ඒ කැටයම් කළ රූපවල සිටි මිනිසුන්ගේ පෙනුම රණශූරයන් මෙනි. ඔවුන්ට විසිතුරු හිස්වැසුම්ද ඉණපටිද+ තිබිණ. ඔවුන්ගේ පෙනුම කල්දිවරුන්ගේ දේශයේ උපන් බැබිලෝනියේ පුත්‍රයන්ගේ පෙනුම මෙනි. 16  ඇය එම රූප දුටු විගස වශී වී+ ඔවුන් කෙරෙහි කාමාශාවෙන් උමතු වූවාය. එබැවින් ඇය කල්දිවරුන්ගේ දේශය වෙත පණිවිඩකරුවන් යවා ඔවුන්ව ගෙන්වාගත්තාය.+ 17  බැබිලෝනියේ පුත්‍රයෝද දිගින් දිගටම ඇයව සොයා ඇවිත් ඇගේ යහනට නැඟ ඇය සමඟ අනාචාරයේ හැසිරුණෝය.+ ඇයද දිගටම ඔවුන් සමඟ අනාචාරයේ හැසිර අපවිත්‍ර වූවාය. පසුව ඇයට ඔවුන් ගැන පිළිකුලක් ඇති වී ඔවුන්ගෙන් ඉවත් වූවාය. 18  “ඇය එළිපිටම වේශ්‍යාකම් කරමින් ඇගේ නිරුවත හෙළි කළාය.+ ඒ නිසා මම ඇගේ සොහොයුරියව පිළිකුල් කළාක් මෙන් ඇයවද පිළිකුල් කර ඇගෙන් ඈත් වුණෙමි.+ 19  එහෙත් ඇය තම තරුණ වියේදී+ ඊජිප්තුවේදී+ වේශ්‍යාකම් කළ ආකාරය සිහියට නඟමින් දිගටම වේශ්‍යාකම් කළාය.+ 20  ඇය රාගයෙන් මත් වී අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක මෙන් ඔවුන් පසුපස ගියාය. ඇගේ පෙම්වතුන්ගේ රහසඟ බූරුවන්ගේ හා අශ්වයන්ගේ රහසඟට සමාන විය.+ 21  ‘ඔහොලිබා, ඊජිප්තුවේ ගත කළ ඔබේ යොවුන් වියේ පටන්ම ඔබ නින්දිත ක්‍රියාවලට ලොල්කමක් දැක්වූවෙහිය.+ එසේ කළේ තරුණ වියේ සිටම ඔබ තුළ තිබූ කාමාශාව සන්සිඳුවා ගැනීම සඳහාය.+ 22  “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට පවසන මේ දේට ඇහුම්කන් දෙන්න. “කලක් කාමාශාවෙන් උමතුව ඔබ පසුපස ලුහුබැඳ ආ ඔබේ පෙම්වතුන්ව මම ඔබට විරුද්ධව එවන්නෙමි.+ ඔබ පිළිකුල් කර අත්හැර ගිය ඒ පෙම්වතුන් මාගේ අණ පරිදි ඔබව වට කර ඔබට පහර දෙනු ඇත.+ 23  මම බැබිලෝනියේ පුත්‍රයන්වද+ සියලුම කල්දිවරුන්වද+ පෙකොඩ්,+ ෂෝවා හා කෝවා යන ප්‍රදේශවල පුරුෂයන්වද ඔවුන් සමඟ ඇසිරියාවේ සියලු පුත්‍රයන්වද ඔබට විරුද්ධව එවන්නෙමි. උපදේශකයන් ලෙස තෝරාගත් ඒ සියලුදෙනා අශ්වයන් පිට නැඟ එන්නෝය. සිත් වශී කරවනසුලු, කඩවසම් තරුණයන් වන ඔවුහු ආණ්ඩුකාරයෝ, නියෝජ්‍ය නායකයෝ සහ රණශූරයෝය. 24  ලොකු කුඩා පලිස් අතැතිව, හිස්වැසුම්වලින් සැරසුණු මහත් සමූහයක් සමඟ පැමිණෙන ඔවුහු වේගයෙන් ධාවනය වන යුධ රථවල නැඟ ඔබට විරුද්ධව එති.+ ඔවුහු ඔබව සම්පූර්ණයෙන්ම වට කරන්නෝය. ඔබව විනිශ්චය කරන්න මම ඔවුන්ට අවසර දෙන්නෙමි. එහෙයින් ඔවුහු තමන් කැමති ලෙස ඔබව විනිශ්චය කර ඔබට දඬුවම් කරන්නෝය.+ 25  මම ඔබට විරුද්ධව මාගේ උදහස ප්‍රකාශ කරන්නෙමි.+ එවිට ඔවුහු දැඩි කෝපයකින් ඔබට විරුද්ධව කටයුතු කරනවා ඇත.+ ඔවුහු ඔබේ නාස් හා කන් කපා ඉවත් කරන්නෝය. ඉන්පසු ඔබව කඩුවෙන් මරා දමන්නෝය. ඔවුහු ඔබේ දූපුතුන්වද+ රැගෙන යනු ඇත.+ ඉතුරු වන සියල්ල ගින්නෙන් දවා දමනු ලබන්නේය.+ 26  ඔවුහු ඔබේ වස්ත්‍රද+ ඔබ පැළඳ සිටින අලංකාර ආභරණද ගලවාගනු ඇත.+ 27  මෙලෙස, ඔබේ නින්දිත හැසිරීමද ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් කළ වේශ්‍යාකම්ද+ මම සම්පූර්ණයෙන්ම නතර කර දමන්නෙමි.+ ඔබ නැවතත් ඊජිප්තුවරුන්ගෙන් පිහිට පතන්නේ නැත. ඔවුන්ව නැවත කිසිදා ඔබේ මතකයට නැඟෙන්නේ නැත.” 28  “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මේ අසන්න! ඔබට පිළිකුලක් වූ, ඔබ වෛර කර ප්‍රතික්ෂේප කළ අයට මම ඔබව භාර දෙන්නෙමි.+ 29  ඔවුහු මහත් වෛරයකින් ඔබට විරුද්ධව ඇවිත් ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් සියලු දේ පැහැරගන්නෝය. ඔවුහු ඔබව නිරුවත් කර ඔබව අත්හැර යනු ඇත.+ එමෙන්ම ඔබ වේශ්‍යාකම් කළ ආකාරයද ඔබේ නින්දිත ක්‍රියාද අනාචාර හැසිරීමද සියල්ලන් ඉදිරියේ හෙළි කරනු ලබනවා ඇත.+ 30  ඔබ ගණිකාවක මෙන් වෙනත් ජාතීන් පසුපස ගොස්+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර වූ නිසා+ මේ සියල්ල ඔබට සිදු වන්නේය. 31  ඔබේ සොහොයුරියගේ අඩිපාරෙහිම ඔබ ගමන් කළ බැවින්+ මම ඇයට දුන් කුසලානෙන් ඔබටත් බොන්න දෙන්නෙමි.”+ 32  “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “ඔබේ සොහොයුරියට දුන් විශාල කුසලානෙන් ඔබටත් පානය කරන්න සිදු වෙයි.+ කට දක්වාම පුරවා ඇති ඒ කුසලානෙන් පානය කළ පසු ඔබ සියලුදෙනාගේ සමච්චලයටද නින්දාවටද ලක් වනු ඇත.+ 33  ඔබේ සොහොයුරිය වූ සමාරියට දුන් කුසලානෙන් බිවූ පසු ඔබ වෙරි වී ශෝකයෙන් සිටිනු ඇත. මන්ද එය ඔබව විනාශ කර අන්ත අසරණ තත්වයකට පත් කරවන කුසලානයකි. 34  එම කුසලානය හිස් වන තෙක්ම ඔබට බොන්න සිදු වෙයි.+ ඉන්පසු එය කඩා එහි මැටි කැබලි කන්නත් ඔබට සිදු වනු ඇත. ඔබේ පියයුරුද ඔබ කපා ඉවත් කරනු ඇත.+ ‘මන්ද මේ දේ පවසන්නේ මමය’ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.” 35  “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “ඔබ මාව අමතක කර+ මට පිටු පා ඇති නිසා+ ඔබේ නින්දිත ක්‍රියාවල හා වේශ්‍යාකම්වල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වනු ඇත.”’” 36  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔහොලා සහ ඔහොලිබා+ විනිශ්චය කර+ ඔවුන් සිදු කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට කියන්න සූදානම්ද?+ 37  ඔවුන් අනාචාරයේ* යෙදී ඇති අතර+ ඔවුන්ගේ අත්වල ලේ තැවරී තිබේ.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලට කරන නමස්කාරය අනාචාරයකි.+ එපමණක්ද නොව ඔවුහු තමන් විසින් බිහි කළ මාගේ පුත්‍රයන්වද ගින්නෙන් දවා* ඒ රූපවලට ආහාරයක් සේ පුදා ඇත.+ 38  ඔවුහු මට විරුද්ධව තවත් දේවල්ද කර ඇත. ඔවුහු මාගේ ශුද්ධස්ථානය+ කෙලෙසා+ මා නියම කළ සබත් දවස් සුළු කළෝය.+ 39  පිළිකුල්සහගත රූප ඉදිරියේ තමන්ගේ පුත්‍රයන්ව මරා දැමූ දවසේදීම+ ඔවුහු මාගේ ශුද්ධස්ථානයට පැමිණ එය අපවිත්‍ර කළෝය.+ මේ සෑම දෙයක්ම ඔවුන් කළේ මාගේ ගෘහය තුළය.+ 40  එපමණක්ද නොව ඔවුහු පණිවිඩකරුවෙකුව යවා+ බොහෝ දුර බැහැර සිටින පුරුෂයන්ව පවා කැඳෙව්වෝය.+ ‘ඔහොලිබා, ඔබද ඒ පුරුෂයන්ව පිළිගැනීම සඳහා ඇඟපත සෝදාගෙන,+ දෑස්වලට අඳුන් ගා+ ආභරණ පැළඳගත්තෙහිය.+ 41  ඔබ සරසන ලද විශාල යහනක් මත හිඳගත්තෙහිය.+ ඒ ඉදිරියෙහි ඔබ මේසයක් තබා+ ඒ මත මාගේ සුවඳ ද්‍රව්‍යද+ තෙල්ද තැබුවෙහිය.’+ 42  ඇය සමඟ වින්දනයක් ලබන සමූහයකගේ හඬ ඇසිණ.+ ඒ සමූහයට අමතරව පාළුකරයෙන් බේබද්දන්වද+ ගෙන්වාගනු ලැබීය. ඔවුහු ඒ ස්ත්‍රීන් දෙදෙනාගේ අත්වලට වළලු දමා ඔවුන්ට අලංකාර ඔටුනුද පැළඳුවෝය.+ 43  “එවිට අනාචාරයේ යෙදී වෙහෙසට පත්ව සිටි+ ඇය ගැන මම මෙසේ පැවසුවෙමි. ‘ඇය දිගටම වේශ්‍යාකම් කරනු ඇත.’+ 44  මිනිසුන් ගණිකාවක ළඟට යන්නාක් මෙන් ඔවුහුද වැල නොකැඩී ඇය ළඟට ආවෝය. මෙසේ, ඔවුහු නින්දිතව හැසිරෙන ඔහොලා සහ ඔහොලිබා යන ස්ත්‍රීන් දෙදෙනා වෙත ගියෝය.+ 45  එහෙත් ධර්මිෂ්ඨ පුරුෂයෝ+ ඇවිත් ඔවුන්ව විනිශ්චය කරන්නෝය. ඔවුන්ට ලැබෙන්නේ අනාචාර ස්ත්‍රීන්ට+ හා ලේ වගුරුවන ස්ත්‍රීන්ට ලැබෙන විනිශ්චයමයි.+ මන්ද ඔවුහු අනාචාරයේ යෙදෙන ස්ත්‍රීහුය. ඔවුන්ගේ අත්වල ලේද තැවරී ඇත.+ 46  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘ඔවුන්ට විරුද්ධව සමූහයක් කැඳවනු ලබන්නේය.+ ඔවුන්ට සිදු වන දේ දැක ජනයා බියපත් වන්නෝය. ඒ සමූහය ඔවුන් සතු සියල්ල කොල්ල කන්නෝය.+ 47  ඒ සමූහය ඔවුන්ට ගල් ගසා+ කඩුවෙන්ද ඔවුන්ව මරා දමන්නෝය. ඔවුන්ගේ දූපුතුන්ව මරා දමා+ ඔවුන්ගේ ගෙවල් ගිනිබත් කරන්නෝය.+ 48  මෙසේ, දේශයේ සිදු වන නින්දිත ක්‍රියා+ මම තුරන් කර දමන්නෙමි.+ සියලු ස්ත්‍රීහුද ඔබට සිදු වන දේ දැක පාඩමක් ඉගෙනගෙන නින්දිත හැසිරීමෙන් වැළකී සිටින්නෝය.+ 49  නින්දිත ලෙස හැසිරුණු ඔබට ඒ සමූහය අතින් නිසි දඬුවම් විඳින්න සිදු වෙයි.+ පිළිකුල්සහගත රූප ඉදිරියේ වැඳ වැටී ඔබ කළ වැරදිවලට වන්දි ගෙවන්නද ඔබට සිදු වෙයි. එවිට මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව ඔබ සැමට පිළිගන්න සිදු වෙනවා ඇත.’”+

පාදසටහන්

මූ.අ., “පරදාර සේවනයේ.”
එස 16:21හි පාදසටහන බලන්න.