Skip to content

පටුනට යන්න

සාමය ඇති කරන්න

සාමය ඇති කරන්න

“ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා! මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා!”—ලූක් 2:14.

නත්තල සමරන්නේ . . .

හැම නත්තලටම පාප්වරයා හා වෙනත් ආගමික නායකයන් සාමයේ පණිවිඩයක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ එහෙම කරන්නේ “මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා” කියලා බයිබලයේ තියෙන ප්‍රාර්ථනය ඉටු වෙයි කියන බලාපොරොත්තුවෙන්. සමහර බැතිමතුන් සාමය වෙනුවෙන් නත්තල් කාලෙදී වන්දනා ගමන් පවා යනවා.

ඇත්තටම වෙලා තියෙන්නේ . . .

නත්තල් කාලේ සාමය තියෙනවා වගේ පෙනුණට ඒක තාවකාලිකයි. උදාහරණයකට, 1914 පළවෙනි ලෝක මහා යුද්දේ තිබුණු කාලයේදී බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවනුයි ජර්මන් ජාතික සොල්දාදුවනුයි එකට නත්තල සැමරුවා. ඒගොල්ලෝ එකට කෑවා බිව්වා. එකට ක්‍රීඩා කරලා විනෝද වුණා. හැබැයි ඒගොල්ලෝ අතරේ සාමය තිබුණේ එදාට විතරයි. ජර්මන් ජාතික සොල්දාදුවෙක් බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්ට කිව්ව මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අද අපි සාමෙන් ඉන්නවා. ඒත් හෙට මම මගේ රට වෙනුවෙන් සටන් කරනවා. ඔයා ඔයාගේ රට වෙනුවෙන් සටන් කරනවා.”

බයිබලයේ තියෙන්නේ . . .

‘අපට ළදරුවෙක් උපන්නේය. ඔහුව සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත. ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.’ (යෙසායා 9:6, 7) යේසුස් ඉපදුණේ එක දවසකට විතරක් සාමය ගේන්නද? කොහෙත්ම නැහැ. දේවරාජ්‍යයේ රජු හැටියට ඔහු මේ පොළොව පාලනය කරද්දී සදහටම සමාදානය තියෙනවා කියලා බයිබලයේ කියනවා.

‘මා මාර්ගයෙන් ඔබට සමාදානය ලැබෙයි. ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා’ කියලා යේසුස් කිව්වා. (යොහන් 16:33) යේසුස්ගේ අනුගාමිකයන් පීඩා, ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. හැබැයි ඒ අය බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න නිසා මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න ගැටලු තියෙන්න හේතුව ගැනත් යේසුස් ඒ හැම දෙයක්ම විසඳලා ලොවට සාමය උදා කරන්නේ කොහොමද කියලත් තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ හිත්වල ලොකු සාමයක් සැනසීමක් තියෙනවා.

යේසුස්ගේ අනුගාමිකයන් හැටියට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ සමාදානය අද්දකිනවා. ඒ වගේම ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම්වලට කීකරු වෙන නිසා ඔවුන් අතරෙත් සමාදානය තියෙනවා. ඔවුන් මොන ජාතියට මොන ගෝත්‍රයට අයිති වුණත් මොන භාෂාවක් කතා කළත් ඔවුන් අතර භේද නැහැ. ඔයත් සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියොත් එයාලා අතරේ තියෙන සමාදානය ඔයාගේ ඇස් දෙකෙන්ම දකියි. සාක්ෂිකරුවන් අතරේ තියෙන සාමය නත්තල් දවසේ විතරක් අද්දකින සාමයට වඩා කොච්චර වෙනස්ද කියලා එදාට ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙයි.

මොන ජාතියට අයිති වුණත් මොන භාෂාවක් කතා කළත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර භේද නැහැ. එයාලගේ රැස්වීමකට ගියොත් ඔයාගේ ඇස් දෙකෙන්ම ඒක දකින්න ඔයාට පුළුවන් වෙයි